මහා බැංකු කොල්ලය
Posted on April 19th, 2015
නලින් ද සිල්වා
කෙසේ වෙතත් මහා බැංකුවේ බැඳුම්කර වැඩි කිරීම හා අදාළ පොලිය 12% දක්වා වැඩි වීම ඉහත සඳහන් දෙයාකාරයෙන් ම මහා බැංකු කොල්ලයකි. එවැනි මහා බැංකු කොල්ලයක් ගැන සෙවීමට මහා පරීක්‍ෂණ මණ්ඩලයක් පත්කළ යුතු ය. එහෙත් රනිල් වික්‍රමසිංහ මුදල් ඇමති ලෙස නොව අගමැති ලෙස සුළු පරීක්‍ෂණ මණ්ඩලයක් පත් කළේ ය. රනිල් 19 වැනි සංශෝධනයට පෙර ම අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පත් වී ඇත් ද?
පරීක්‍ෂණ මණ්ඩලය මහා බැංකු කොල්ලයට මහා බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව සම්බන්ධ නැතැයි යන නිගමනයට පැමිණ ඇත. එය හොරාගෙ අම්මගෙන් පේන ඇහීමක් යැයි අපි නො කියමු. එය හොරාගෙ බාප්පලාගන් පේන ඇහීමක් ද නො වේ. පේන ඇහීම බටහිර විද්‍යාව විසින් හෙළා දකිනු ලබන අපේ සංස්කෘතියට අයත් කටයුත්තකි. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු කොල්ලයට සෘජුව සම්බන්ධ නොවේ ය යන්න විද්‍යාත්මක සොයා ගැනීමකි. අප විසින් කෘෂිරසායනික වකුගඩු රෝගය ලෙස හැඳින්වෙන රෝගයට හේතුව ආසනික් ග්ලයිෆොසේට් දැළිස නො වේ ය යන්න ද විද්‍යාත්මක සොයා ගැනීමකි.
රනිල් සුළු පරීක්‍ෂණ මණ්ඩලයක් පත්නොකර මහා පරීක්‍ෂණ මණ්ඩලයක් පත්කළත් නිගමනය වෙනස් නොවීමට තිබිණි. මහා බැංකු කොල්ලයට අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව සම්බන්ධ නැත. එය ඉතා පැහැදිලි ය. බැඳුම්කර තීරණය ගෙන ඇත්තේ අදාළ ටෙන්ඩර් මණ්ඩලයෙනි. අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකුවේ අධිපති ලෙස පත් කෙරුණු සිංගප්පූරු රටවැසියෙකි. ඔහු මහා බැංකු අධිපති වුවත් ඔය කියන ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයකු නො වෙයි. ඉතින් එවැන්නකු මහා බැංකු කොල්ලයට සෘජුව සම්බන්ධ නැතැයි කීම විද්‍යානුකූල නො වන්නේ ද?
අර්ජුන් මහේන්ද්‍රන් මහා බැංකු කොල්ලයට වක්‍රව සම්බන්ධ දැයි ඇසීම හෝ ඔහු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන් සමග කතා නොකරන්නේ දැයි ඇසීම හෝ සදාචාරාත්මක නො වේ. එය විද්‍යානුකූල ද නො වේ. යමකු යමකට වක්‍රව සම්බන්ධ දැයි යන්න තීරණය කරන්නේ කෙසේ ද? ඒ සඳහා ඇති විද්‍යාත්මක නිර්ණායක කවරේ ද? අර්ජුන් මහේන්ද්‍රන්ට මහා බැංකු අධිපති වූ පමණින් ටෙන්ඩර් මණ්ඩලය සමග සාකච්ඡා කිරීම තහනම් කර නැත. හැරත් ඔහු ටෙන්ඩර් මණ්ඩලයේ සාමාජිකයන් සමග රූප ලාවන්‍ය පාඨමාලාවක් ගැන කතා නොකළේ දැයි අප තබා සුළු පරීක්‍ෂණ මණ්ඩලයවත් දැනගන්නේ කෙසේ ද? විද්‍යාත්මක නිරීක්‍ෂණ මත පදනම් ව නිගමනවලට එළඹීම පේන ඇසීම වැනි සුළු කරුණක් නො වේ.
විද්‍යත්මක නිරීක්‍ෂණ නිගමනවල ආධාරයෙන් අපි කරුණු දෙකක් දනිමු. මහා බැංකු කොල්ලයට අර්ජුන් මහේන්ද්‍රන් සෘජුව සම්බන්ධ නැත. කෘෂිකාර්මික වකුගඩු රෝගයට ආසනික් ග්ලයිෆොසේට් දැළිස සමග සම්බන්ධයක් නැත. ඒ අතර එකී රෝගයෙන් රෝගීහු මිය යති. මහා බැංකු කොල්ලය නිසා ජනතාව මිය ගොස් නැත. ඒ විද්‍යාත්මක වූ ද ආනුභවික වූ ද විද්‍යාත්මක නිරීක්‍ෂණ දෙකකි.
නලින් ද සිල්වා
2015 අප්‍රේල් 19
April 19th, 2015 at 5:33 pm
Namaste: This is not “Banku Kollayak” (Bank robbery). It is called financial fraud. This guy’s Guru (He calls him Uncle) Is Raj Rajaratnam who was jailed in the US for financial fraud. Is Indian Empire and the US helping us in this case as they are doing with bribery and corruption of others? Jai Hind