රණසිංහ සර් (රෙජී රණසිංහ) පිළිබඳ මගේ මතකය
Posted on June 7th, 2015
වෛද්‍ය රුවන් එම් ජයතුංග
රෙජී රණසිංහ මහතා කොලඹ නාලන්දා විද්යාලයේ ගුරුවරයෙකු විය. ඔහු ජාතික ඇඳුම ඇඳි ඉතා චාම් ගුරුවරයෙකු වූ බව මට මතකය. ඒ කාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ළමයින්ට දඬුවම් කිරීමේ ලා නම් දැරුවත් රෙජී රණසිංහ මහතා කිසිදු සිසුවෙකුට දඬුවම් කරනවා මා දැක නොමැත. නාලන්දා විද්‍යාලයේ ගුරුවරු බොහෝ දෙනෙකු ගෙන් ගුටි කා තිබෙන මා රෙජී රණසිංහ මහතාගෙන් කිසි දින දඬුවම් විඳ නැත. එම නිසා රෙජී රණසිංහ මහතා කිසි දිනක සිසුවෙකුට දඬුවම් කොට නැති බව මම විශ්වාස කරමි.
රෙජී රණසිංහ මහතා අමුතු තාලයේ විශේෂිත ගුරුවරයෙකු විය. ඔහු සිසුන්ට දැනුම බලහත්කාරයෙන් පොවන්නට ගියේ නැත. එසේම සිසුන් ගෙන් ගරුත්වය ලබා ගැනීම සඳහා වේවැල අතැතිව බොරු රඟපෑමකද නිරත නොවීය. ඔහුගේ ක්‍රමය වූයේ ළමයා දැනුම ලබා ගැනීම සඳහා පෙලැඹවීමයි. එය ඉතා සාර්ථක ක්‍රමයක් විය. එසේම සිසුන් ඔහුට ආදරයෙන් යුතුව ගරු බුහුමන් කලෝය. එය මට අද සාක්‍ෂාත් වන්නේ රෙජී රණසිංහයන්ට සිසුන් ඔහු නැති තැන පවා කට පුරා රණසිංහ සර් ලෙස ආමන්ත්‍රණය කිරීමේ පුරුද්ද මතක් වීමෙනි.
එකල සෑම ගුරුවරයෙකුටම පාහේ පටබැඳි විකට නමක් විය. සිසුන් විකට නම් පටබැඳිමේ සූරයන් වූහ. ටකරමා, බොහොඬා, යකඩයා, මෝරා, කණයා මේ එකල සිසුන් විසින් ගුරුවරුන්ට පටබැඳි නම් වූහ. නමුත් මේ දක්වා රණසිංහ සර්ට පටබැඳි විකට නමක් ගැන මට සිතා ගැනීමටවත් නොහැක. එයින් පෙනී යන්නේ ඔහු සිසුන් අතර සැබවින්ම ගරුත්වයට ලක් වූ ගුරු පියෙකු බවය. එයට එක් හේතුවක්
වූයේ ඔහු ගේ සැබෑ චාම්කමයි. එසේම ඔහු දැනුමින් පිරිපුන් ගුරුවරයෙකු විය. නැෂනල් හෙවත් ජාතික ඇඳුම ඇඳි ගුරුවරුන්ට සමහර කොලඹ ළමුන් රහසේ සිනාසුනත් රණසිංහ සර් ගේ නිර්ව්‍යාජ පෞරුෂත්වය ඉදිරිපිටදී කිසිවෙකු ඔහුව කෝලමකට ගත්තේ නැත.
1979 වසරේ ඔහු සිසුන් අතර කථික තරඟයක් සංවිධානය කලේය. ජුලියස් සීසර් ගේ අවමගුල දා මාක් ඇන්ටනි කල කථාවේ සිංහල අනුවාදය සහ එහි පසුබිම ඔහු අපිට කියා දුන්නේය. ඉන් පසු හැඟීම් ඉස්මතු වන ආකාරයට එම කථාව කරන අයුරු ඔහු අපිට පෙන්වා දුන්නේය. ඔහු කොතරම් සාර්ථක අයුරින් සිසුන් ගේ නෙත් සිත් ග්‍රහණය කරගනිමින් කලේද යත් මට අද දින පවා ඔහු ඉගැන් වූ එම කථාවෙන් විශාල කොටසක් මතකයේ තිබේ.
ඔහු ප්ලේන් ටී බීමට ප්‍රිය කලේය. විවේක කාලයේදී රෙජී රණසිංහ සර් කැන්ටිමට ගොස් වඩයක් කමින් ප්ලේන් ටී බොන අයුරු දැනුදු මට මැවී පෙනේ. ඒ කාලයේ කැන්ටිම කලේ මහළු පුද්ගලයෙකි. සිසුන් ඔහු ඇමතූයේ “අන්කල්” නමිනි. රෙජී රණසිංහ සර් කැන්ටිමේ තේ බොන විට අපද නොබියව ගොස් “අන්කල් ලෝදිය කෝප්පයක් දෙන්න කියා“ කැන්ටිමේ අන්කල් ගෙන් තේ ඉල්ලීමට පුරුදුව සිටියෙමු. රෙජී රණසිංහ සර් අප දෙස උපේක්ශාවෙන් බලා සිටියා මිස අපව වෙනත් ගුරුවරුන් මෙන් කැන්ටිමෙන් එලවා ගත්තේ නැත. බොහෝ විටදී කැන්ටිමේදී පවා ඔහු පොත් කියවයි.
රෙජී රණසිංහ යනු ගුරුවරයෙකු පමණක් නොව සුප්‍රකට විචාරකයෙකු බවද නාලන්දාවේ බොහෝ දෙනෙකු දැන සිටියේ නැත. විශ්ව සම්භාව්‍ය චිත‍්‍රපට ගැන ඔහුට තිබූ දැනුම අති විශාලය. අන්තර් ජාලය, යූ ටියුබ් නොතිබූ ඒ යුගයේ රීගල් චිත්‍රපට ශාලාවටත් බ්‍රිටිෂ් කවුන්සිලයටත් යමින් කොපලා, ඩේවිඩ් ලීන්, කුරොසෝවා වැනි පතාකයන් ගේ සිනමාවේදය ඔහු ස්ව උත්සහයෙන්ම උගත්තේය. ඔහුගේ ගැඹුරු දැනුම පිලිබඳ මට යම් වැටහීමක් ලබුනේ පාසලෙන් ඉවත් වී බොහෝ කාලයට පසුවය. නමුත් ඒ කාලයේ අපට ඔහුගේ සුවිසල් දැනුම ගැන කිසිදු අවබෝධයක් නොවීය. මහා කස්සප මහ රහතන් වහන්සේගේ ගුණය සහ අනුභූතිය පිලිබඳ අනවබෝධයකින් යුතු වූ ඇබිත්තයා මෙන් අප මේ සුවිසල් පුරුෂයාගේ දැණුම සහ විචාරයන් පිලිබඳව එකල අනවබෝධයෙන් සිටියෙමු. නමුත් ඔහු තුල යම් ගුප්ත බවක් මා එකල දුටුවෙමි. එය කුමක්ද කියා කීමට මට වැටහීමක් නොවීය. නමුත් අද දිනයේ මා සිතන්නේ එය ඔහුගේ දැනුම, නිර්ව්‍යාජ බව, චාම් බව,හෘදයංගම බව කැටි කල පෞරුෂත්වයේ පරාවර්තනය බවයි.
ඔහු පාසලේදී ද නිවසේදී ද හැදෑරීම් කලේය. එසේම රණසිංහයන් මනා වූ දේශපාලන විඥානයකින් ද යුක්ත විය. එය යන්නම් වාලේ කල දේශපාලනයක් නොවීය. පාසලේ කිසිම ඉගැන්වීමක් නොකොට – තම යුතුකම ඉටු නොකර තුන්සිය හැටපස් දවස පුරා පවත්නා ආණ්ඩුව විවේචනය කරමින් රතු පත්තර කියවමින් වසරකට වරක් පෙලපාලි ගිය ගුරු ක්‍රියාකාරීන් යැයි කියාගත් ලාමක චරිත වලට රෙජී රණසිංහයන් අවබෝධ කර ගත නොහැකි විය. එවැනි චරිත අතර රෙජී රණසිංහයන් හුදකලා චරිතයක් විය.
රෙජී සර් ගැන ඒ.ඩි.රංජිත් කුමාර මෙසේ ලියයි.
මීට වසර 25 කට එපිට මරදානේ දුම්රිය ස්ථානයේදී සතියේ පාසල් යන දින පහේ දකින්නට ලැබෙන සුලභ දසුනක් මගෙ මතකයට එයි. හිමිදිරි පාන්දර මීගමුව කොච්චිකඩේ දුම්රිය පොළෙන් පිටත්වන කෝච්චිය මරදානේ දුම්රිය පොළේ නතර කරන විට ඉන් බසින හීන්දැරි උස, කුණු බිංදුවක්වත් නැති සුදුම සුදු ජාතික ඇඳුමින් සැරසුණු ඉස්කෝලේ මහත්තයෙක් නොවැරදීම දකින්නට ලැබෙයි. ඔහු ගේ කටේ සුරුට්ටුවකි. අතේ බරට බරේ ගෙනියන හම් බෑගයකි. ඒ බෑගයේ ඇත්තේ පොත්පත් මිස වෙන කිසිවක් නොවන බව නාලන්දයේ ඔහුගෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයන් හා ඔහු ඇසුරු කළ සමීප හිතවත්තු පමණක් දැන සිටියහ. මේ ඉස්කෝල මහත්තයා එතැන් සිට නාලන්දා විද්‍යාලය තෙක් පයින් ගමන් ගත්තේය. දෙනෝ දහක් මිනිසුන් අතර හැප්පි හැප්පී යන්නා මේ පුද්ගලයා ලංකාවේ එවකට සිටි හොඳම චිත්‍රපට විචාරකයා” බව දන්නේ කීයෙන් කී දෙනාද? මා මේ කතා කරන්නේ 60, 70 දශකයේ මේ රටේ චිත්‍රපට කලාව බුද්ධිමත් ප්‍රේක්ෂකයාගේ අවධානයට ලක් වූ චිත්‍රපට විචාරකයන් අතර මුල් තැනක වැජඹුණු, එහෙත් ප්‍රසිද්ධියට අකමැති නිර්ව්‍යාජ ගැමියකු වූ රෙජී රණසිංහ ගැනය. සංස්කෘති” සඟරාවෙන් චිත්‍රපට විචාර ලියූ, ඒ විචාර තුළින් සිනමා විචාර කලාවේ නිම් වළලු පුළුල් කළ විචාරකයා ගැනය. නිර්මාණාත්මක කෙටිකතා ලියූ විශිෂ්ට පරිවර්තන හා පරිවර්තන කෙටි කතා ලියූ ලේඛකයා ගැනය. රෙජී රණසිංහ මීට වසර 10කට පෙර 2004 ජනවාරි 30 වෙනිදා ජීවිතයෙන් සමුගත්තේය. මීට හරියටම දස වසරකට පෙර මිය ගිය රෙජී සර්ගේ අවමඟුලට අජිත් තිලකසේන, තිස්ස ප්‍රේමසිරි හා මා සහභාගි විය. ඒ චාම් අවමඟුල දුටු මට මතක් වූයේ විරාගය” චිත්‍රපටයේ අවසාන දර්ශනයේ අරවින්දගේ අවමඟුලය. (සිනමා විචාර කලාවේ රෙජී සර් ඒ.ඩි.රංජිත් කුමාර)
අද රෙජී රණසිංහ සර් ජීවතුන් අතර නැත. රෙජී රණසිංහලා නැති ලංකාව අද බුද්ධිමතුන් ගේ කාන්තරයක් බවට පත් වී තිබේ. එකල රෙජී රණසිංහලා විශ්ව සාහිත්‍යය, විශ්ව සිනමාව ගැන ලියා උසස් රසාස්වාදනයකට හුරු කල ලාංකිකයන් ගේ පරම්පරාව වෙනුවට අද ඉන්නේ මෙගා ටෙලි හා සුපර් ස්ටාර් සංස්කෘතිය හරහා බිහි වූ බුද්ධිමය වශයෙන් ආබාධිත වූ පරම්පරාවකි. එවැනි පරම්පරාවක් සබුද්ධික කිරීම සඳහා යළි රෙජී රණසිංහ වැන්නවුන් මේ ගර්හිත සමාජයේ යළි පහළ වන්නේ නම් මැනවි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග
June 7th, 2015 at 2:34 am
රුවන්,
මෙවැනි ගුණ වැයුම් අද මෙවැනි මිනිස් දෙවිවරු නැවත බිහිකිරීමට උදව් වේවායි පතමි. ඔබට පින්.
මෙතරම් ම විස්තර නැතත් මෙවැනිම සේවයක් සිසුන්ට කළ ගුරුවරියක් ගැන අසන්නට ලැබිනි. මේ ගුරුවරිය පලමුවැනි රක්‍ෂාව ලෙස තඹුත්තේගම මහා විද්‍යාලයේ උසස්පෙල සිසුන්ට සියලුම විශ්‍යයන් ඉගැන්වූවාය.
මගේ කාලයේ එක්තරා ගුරුවරයෙක් අපට පාසල් කාලයෙන් පසුව ගණියත දෙකම ඉගැන්නුවේය. ඔහු නැතිනම් අප කීප දෙනෙකුට කවදාවත් ගණිත විශයන් දෙකම ඉතාම උසස් ලෙස සමත් විය නොහැකිවනු නියතය.