දේශපාලන ත්‍රිකෝණය
Posted on September 2nd, 2015
මනෝඡ් අබයදීර දිවයින
සර්, සජිත්ටයි එවන්ස්‌ටයි පොඩ්ඩකට කාමරයෙන් එළියට යන්න කියමුද? එම සාකච්ඡාව අපි දෙදෙනා අතර පමණයි පැවතිය යුත්තේ.”
“හොඳයි” ජනාධිපතිතුමා කීයේය. මේ වේලාවේ එතුමාගේ මුහුණේ පෙර පැවති සුහදතාවය නොතිබුණි. ඇස් දෙක රතුය. බැල්මත් භයානකය. ඇතුලත්මුදලි ඇමැතිතුමාත් පැමිණ ඇත්තේ බැගෑවීමට නොවේ. දෙකෙන් එකක් බේරුම් කර ගන්නටය. ආරංචිකරු කී හැටියට ඔහු පැමිණ ඇත්තේ ඉල්ලා අස්‌වීම තීන්දු කරගෙනය. අපි කාමරයෙන් පිටවූයෙමු. කාමරය වැසී ගියේය.
කාමරය කොච්චර හොඳට වැසී තිබුණත්, ඇතුළතින් එන ශබ්දවල හැටියට දෙදෙනා ඇරගන්නවා වගේ ය. ජනසෙත සැදූ ජනපති සෙවණේ යන ග්‍රන්ථයේදී එවන්ස් කුරේ විසින් එසේ සිය මතකය දිග හරිනු ලබන්නේ දෝෂාභියෝගය මොහොතේ ලලිත් ඇතුලත්මුදලි සහ ජනාධිපති ප්‍රේමදාස අතර ඇතිවුණු උණුසුම් සාකච්ඡාව ගැනය.
තෙදවත් ප්‍රේමදාස චරිතයට විපක්‌ෂය පවා අභියෝග කරන්නට බිය වී සිටිනා මොහොතක, අට දෙනකු ඇතුළතින් කැරැල්ලක් ගැසූ අවස්‌ථාවක් ලෙස ජනාධිපති ප්‍රේමදාසට එරෙහිව පැමිණි දෝෂාභියෝගය ගත හැකිය.
ප්‍රේමදාස විසින් දොර වැසීම නිසා ඇතිවූ ප්‍රශ්නයෙන් ආණ්‌ඩුවක් එසේ නාය යද්දී මහින්ද දොර ඇරගෙන සිටියදී ඒ ආණ්‌ඩුව නාය ගියේය.
මහින්ද, ජනාධිපති පුටුවේ සිටින විට ඔහුගේ ආණ්‌ඩුවට ඇතුළුවීමට තිබුණේ සැලූන් දොරක් බව හොඳින්ම දැන ගෙන හිටියේ එදා විපක්‌ෂයේ සිටි එජාපයේ මන්ත්‍රීවරුය. 2010 අප්‍රියෙල් මාසයේ පවත්වන ලද මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවේ විපක්‌ෂය නියෝජනය කිරීම සඳහා මන්ත්‍රීවරු 81 ක් පත්වූහ. එයින් 60 ක් එජාපයේ මන්ත්‍රීවරු වූහ. මහින්දගේ සැලූන් දොරෙන් එජාපයේ මන්ත්‍රීවරු 19ක් ඇතුල්වීමත් සමග, එජාපයේ මන්ත්‍රීවරු ගණන 41 දක්‌වා අඩු වීය. මේ විදිහට එජාපය බලාගෙන සිටියදී නාය යන විට, එජාපයේ අවසානය අත ළගට පැමිණ ඇතැයි බොහෝ දෙනා සිතන්නට වූහ. සතුරු බලවේගයක් පේනා තෙක් මානයේ නොසිටි, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයක් සහිත මහින්ද, 2015 ජනාධිපතිවරණය පරාජයට පත්වූයේ, මෛත්‍රී ඇතුළු පස් දෙනකු මහින්දට එරෙහිව එළියට බැසීමත් සමගය.
ආණ්‌ඩු දෙදරන්නේ මෙහෙමය. විධායක බලය කොයිතරම් ප්‍රබල වුවත් පාර්ලිමේන්තුව මොන තරම් ස්‌ථාවර වුවත්, ඒ පැත්තේ කිහිප දෙනෙකුගේ කැරැල්ලක් මගින් සියල්ල උඩු යටිකුරු කළ හැකිය.
මේ කතා වෙනදාට මතක් කරන්නේ, ආණ්‌ඩුවක් යන අතර මැදය. එහෙම ගිහින් පරණ කතා මතක් කර ගන්න විට අර්බුදය අත උඩටම ඇවිල්ලා නිසා, කරගන්න දෙයක් නැති ගාණය. නමුත් වේලාසනින්ම මේ කතා මතක් කර ගෙන සිටියොත් යන ගමන පරිස්‌සමට යා හැකිය.
ජනාධිපති මෛත්‍රී අරගලයකට නොබියව අත ගසා බලයට පැමිණි, චරිතයකි. එසේ වුවත් ඔහු බලයට එන්නේ තමන්ගේ දේශපාලන ව්‍යාපාරයකින් නොව අනුන්ගේ පක්‌ෂ කිහිපයක උදව්වෙනි. මේ නිසා තම බලය හොබවන්නට ඔහුට කිහිලිකරු වුවමනා විය. තමන් බලයට ගෙනා එජාපය එක අතක වාරුවට ගන්නා අතරේ අනික් වාරුව සදහා ඔහු උපයෝගී කර ගත්තේ තමන් කලින් සිටි ශ්‍රීලනිපය ය. මේ වාරු දෙක තබා ගෙන ඔහු දැන් කරළියට පිවිස තිබේ. එජාපය ගතහොත්, එය බලය හොඳට හොබවා ඇති පක්‌ෂයකි. 1994 න් පසු තවමත් ඊට පරිපූර්ණ බලයක් අතට ගන්නට ඉඩ ලැබුණේ නැත. 2001 දෙසැම්බර් මහ මැතිවරණයෙන් ආසන 109 ක් ලබාගෙන ජයග්‍රහණය කරන්නට එජාපයට හැකි වුවත්, විධායක බලය අතේ තබා ගෙන සිටි ජනාධිපතිනි චන්ද්‍රිකා විසින් ඒ ආණ්‌ඩුවේ ආයුෂ තීරණය කළාය. චන්ද්‍රිකාගේ කාලයේ තරම් අවුලක් වර්තමාන ජනාධිපති යටතේ එජාපයට නැතත්, මේ තියෙන්නේ එජාප ආණ්‌ඩුවක් නොවේය යන මතය යූඇන්පී කාරයන්ගේ ඔළුවේ තිබෙනවා විය හැකිය. මේ ගැන ජනාධිපති මෛත්‍රීට ද ඉවක් නොමැති වන්නට බැරිය. තවමත් මෛත්‍රී විසින් එජාපය සමග හොඳ සම්බන්ධතාවක් පවත්වා ගනිමින් තිබේ. ඔහු අවුල් කරගෙන තිබෙන්නේ තමන් නායකත්වය දරන සන්ධානය සහ ශ්‍රීලනිපය මිස එජාපය නොවේ. ආසන 106 ක් අතේ තිබෙන එජාපය ද මෛත්‍රී අතහැර තනියම යන්නේ නැත්තේ තවම ඒ සඳහා වෙලාව පැමිණ නැති නිසාය.Ê
2001 චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව පෙරළුවේ රනිල්ය. එදා ආණ්‌ඩුව ලෙස ක්‍රියා කරන ලද පොඑපෙට තිබුණේ ආසන 109 ක බලයකි. මේ තත්ත්වයෙන් ප්‍රයෝජන ගත් එජාපය අමුතුම දැලක් චන්ද්‍රිකාට එලන්නට විය. ජාතික ආණ්‌ඩුවක් සදහා එජාපය සහ පොඑපෙ සාකච්ඡා කරන්නට පටන් ගත්තේය. එජාපය විසින් ඇමැති මණ්‌ඩලයට ඇතුළුවීම ඇතුළු යෝජනා ගණනාවක් ඒහිදී ඉදිරිපත් කරමින් සිටියේය. මේ ගැටයෙන් ගැලවෙන්නට ඒ වන විටත් චන්ද්‍රිකා අලූත් උපායක් යොදා ගත්තාය. එජාපය සමග ජාතික ආණ්‌ඩුව ගැන කතා කරන අතරේ අනික් පැත්තෙන් හොර රහසේම ජවිපෙ සමග චන්ද්‍රිකා කතා බහක් පටන් ගෙන තිබුණි. එක් පැත්තක විපක්‌ෂ නායක රනිල් සහ අනික් පැත්තෙන් ජනාධිපතිනි චන්ද්‍රිකා විසින් දේශපාලන චෙස් ක්‍රීඩාව කරන්නට පටන් ගෙන තිබුණි. එජාපය සමග සාකච්ඡා අතරමග නවතා දමා ජවිපෙ සමග චන්ද්‍රිකා සන්ධානයක් හදාගන්නේ මේ අතරය. පරිවාස ආණ්‌ඩුව ලෙස ප්‍රසිද්ධ ඒ දාම් ඇදීම ඉදිරියේ රනිල් සැලූනේ නැත. 2001 ඔක්‌තෝබරයේදී පොඑපෙ මන්ත්‍රීවරු නව දෙනකු තම පැත්තට ගෙන චන්ද්‍රිකාගේ ආණ්‌ඩුව වට්‌ටන්නට රනිල් සමත් විය. මේ අත්දැකීම් නිසා බහුතරය නොමැති තත්ත්වයක් තුළ දේශපාලන දාම් අත සෙල්ලම් කළ යුතු ආකාරය රනිල් දනී. තමන්ට ආසන 106 ක් ලැබී තිබුණත් ජාතික ආණ්‌ඩුවේම රනිල් යන්නේ මේ නිසා විය හැකිය. අනික් අතට ප්‍රධාන විපක්‌ෂය වූ එජනිසය තමන්ට බලය ලැබුණු 95 පරිමාවෙන්ම සිටියහොත් එය පහසු නැති බවද රනිල් තේරුම් ගෙන ඇතුවා වන්නට ඇත. ජනාධිපති මෛත්‍රීගේ කල්පනාව ද එයටම සරිලන්නේය. තමන් නායකයා ලෙස කටයුතු කරන සන්ධානය සහ ශ්‍රීලනිපය තමන්ට කීකරු කර ගන්නට තිබෙන හොඳම විදිහ එජාපය සමග අත් අල්ලා ගැනීම සහ ශ්‍රීලනිපයේ තමන්ගේ පිරිසක් ඇති කර ගැනීම බව මෛත්‍රී සිතනවා ඇත. මේ ගැළපීම් දෙකම සමපාත වීමෙන් එකඟතා ආණ්‌ඩුව ඇතිවී තිබෙන බව පෙනේ. ඊයේ රැස්‌වුණු 15 වෙනි පාර්ලිමේන්තුවත් 4 වෙනිදා දිවුරුම් දෙන කැබිනට් මණ්‌ඩලයත් යන දුර තීරණය කරන්නේ මේ සම්පත වීම පවතින කාල සීමාවය.Ê
අමතක නොකළ යුතු තවත් කරුණක් තිබේ. පාර්ලිමේන්තුවේ කාටත් ඇසුරු කළ හැකි පරිදි නිස්‌කලංකේ මහින්ද රාජපක්‌ෂ ද හිඳියි. වරක් රන්ජන් රාමනායක ප්‍රකාශ කළේ, කල් මැරීම පිළිබඳ උපාධියක් රනිල්ට ඇති බවය. ඒ විශ්ව විද්‍යාලයෙන්ම ඒ උපාධියම මහින්ද ද ලබාගෙන සිටියි. 1994 සිට 2004 දක්‌වා චන්ද්‍රිකාගේ ආණ්‌ඩුවට වී අනේකවිධ හයිරම් බලමින්, ගැහැට විඳිමින් මහින්ද කල් ඇල්ලූවේ තමන්ට අවස්‌ථාව එනතුරුය. මහින්ද ඉන්නේ පැරදිලා වුවත් ඉතිහාසයේ හොඳම පරාජිතයා ඔහුය. ජනාධිපති මෛත්‍රී අද එජාපය සමග හෙට්‌ටු කරමින් ඇමතිකම් අරගන්නේ මහින්ද විසින් බිහි කරන ලද ඉතිහාසයේ හොඳම විපක්‌ෂය අතට ගෙනය. ආසන 96ක් මහින්ද අරගත්තේ, පක්‌ෂ නායකයා පුළුවන් තරම් කකුලෙන් අදිද්දීය. මහින්ද නොවන්නට මෙහෙම විපක්‌ෂයක් එජනිසයට ලැබෙන්නේ නැත. ඒ අතරම මහින්ද සමග යළි නැගිටිය යුතු යෑයි සිතනා පිරිසක් තවම පාර්ලිමේන්තුවේ සිටියි. මේ ගැන ඊයේ ලංකාදීප පුවත්පත සමග විමල් වීරවංශ ප්‍රකාශයක් කර තිබුණි.
ප්‍රශ්නය – මහින්ද රාජපක්‌ෂ කියන්නේ තිබුණ හොඳම හා අවසන් තුරුම්පුව. ඒ තුරුම්පුව ගහලා ඉවරයි. මෙතැනින් එහාට තියෙන තුරුම්පු මොනවාද?
පිළිතුර – තිබිච්ච හොඳම තුරුම්පුව වගේම අනාගතයටත් තියෙන හොදම තුරුම්පුව මහින්ද රාජපක්‌ෂයි. කවුරුහරි හිතනවා නම් ඒක එහෙම නොවෙයි කියලා මේ රටේ ඉදිරි වසරක පමණ කාලයක් ඇවෑමෙන් තේරුම් ගනීවි මොකක්‌ද ඇත්ත තත්ත්වය කියලා.
විමල් මෙහෙම කියන්නේ, සෙමින් සෙමින් තට්‌ටු අල්ලා ඉනිම ක්‍රීඩා කරන්නට පිටියට පිවිසෙන ගමන්ය. ඒ කියන්නේ මහින්ද මේ සිටින්නේ ද තමන්ට සිග්නල් එක වැටෙන තුරු බවය.
මේ අනුව බලන විට මෛත්‍රී, රනිල්, මහින්ද කියන ත්‍රිකෝණයටම දැන් කියන ගීතය වනු ඇත්තේ ‘සම කෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඔහුත් සිටින’ යන්නය.
-මනෝඡ් අබයදීර
දිවයින