ඉබිසා නගරය
Posted on November 3rd, 2015
Dr Ruwan M Jayatunge M.D
“ඉබිසා නගරය ඔබට අමතක කල හැකිද? සංගීතය සහ රිද්මය පිරි මධ්‍යධරණි උණුසුම් සුළඟ රැගත් ඉබිසා නගරයේ දැකුම්කළු රැයක්. මනස්කාන්ත වෙරළ, වේග රිද්ම ගීතයට නටන මිනිසුන් හා කාන්තාවන්. ජීවිතය දුකක් කීවේ කවරෙක්ද? ඉබිසා නගරයේ මම දැක්කේ උතුරා යන සතුට.
ඉබිසා නගරයට මුලින්ම ආවේ කොරියානු සහ වියට්නාම යුද වලට සහභාගී වීම ප්‍රතික්ෂේප කල ඇමරිකානු තරුණයන්. කරුණාකර ඔවුන්ව යුද විරෝධී මානවාදීන් කියා උත්කර්ෂයට නග්ගන්න එපා. ඒ වගේම රට වෙනුවෙන් යුද කිරීම ප්‍රතික්ෂේප කල දේශ ද්‍රෝහියන් කියා හෙලා දකින්නත් එපා. ඔවුන් වීරයන් හෝ ද්‍රෝහියන් නොවේ. ඔවුන් ජීවිතය තෝරාගත් මිනිසුන්. මේ පෘතුවි ගෝලයේ පිහිටා ඇති එක් තෝරාගත් භූමියක් වෙනුවෙන් යුද වැදී මියයාමට, දේශපාලන සංකල්පයක් වෙනුවෙන් මිනී මැරීමට, උණ්ඩයට ළය පෑමට ඔවුන්ට අවශ්‍ය උනේ නැහැ. ඔවුන්ට උවමනා කලේ ජීවිතය විඳින්න. ඉතින් ඉබිසා නගරය ඔවුන්ට ක්ෂේම භූමියක් උණා.
ඔවුන් සංගීතය හා ජිවන රිද්මය සොයාගෙන ගියා. පුපුරා යන අර්ටිලරි හඬ, කීන් නාදයෙන් මරණයේ පණිවිඩය රැගෙන එන උණ්ඩ වල හඬ, මිනිස් ශරීර යකඩ කෑලි වලින් හිල් වී යන විට නැගෙන විලාපය, ශරීර වේදනාව නිසා නඟන හඬ, සතුරාට සාප කරන ක්‍රෝධ ස්වරය, හුස්ම හිරවන මිට උගුරින් නැගෙන බොල් හඬ, සියලු දෙනා මිය ගිය පසු යුද බිමේ ඇතිවන නිහඬතාවය , මේවා කිසිම දෙයක් ඔවුනට අවශ්‍ය කෙරුනේ නැහැ. ඔවුන්ට අවශ්‍ය කලේ, උදෑසන හිරුරැස් වල උණුසුම ලබන්න. දහවලට උණුසුම් සුළං හමන විට මුහුදු රළ අතර කිමිදෙන්න. හවසට ඉර සක්වලගල යටින් බැස යනවා බලන්න. ඔවුන්ට නම්බු නාම, විරු පදක්කම්, ආචාර වෙඩිමුර අවශ්‍ය කලේ නැහැ. ඔවුන් උණුසුම් හැඟීම් තිබු මිනිසුන් පිරිසක්. ප්‍රීතිමත් නගරයක් නිර්මාණය කළා. උදේ සිට රාත්‍රිය දක්වා ජීවිතය විඳිය හැකි නගරයක් ඔවුන් සැදුවා. යුද අගල්, බංකර, කඳවුරු, කටුකම්බි , බිම් බෝම්බ, උණ්ඩ, නැති ලෝකයක් නිර්මාණය කල හැකි බවට මේ අව්‍යාජ මිනිසුන් පෙන්නා දුන්නා.
යුද්දය දේශනා කරන පුජකයන්, දේශප්‍රේමය ගැන දෙසුම් පවත්වමින් තම බලය තහවුරු කර ගන්නා දේශපාලකයන්, ආයුධ විකුණා ප්‍රකෝටිපතියන් වූ වෙළෙන්දන්, සටනින් මියගිය සොල්දාදුවගේ මළකඳ පවා විකුණගෙන කන ගිජුලිහිණියන් මේ ඉබිසා නගරයට පා තැබුවේ නැහැ. ඒ නිසා ඉබිසා නගරය පුජනිය නගරයක්.”
(මානසික රෝගියාගේ පරිකල්පනය කෘතිය ඇසුරෙනි )
November 3rd, 2015 at 3:29 pm
බොහොමයක් ඇත්ත වෙන්න පුලුවන්.
එහෙත් මොවුන්ට ලෙඩ හැදෙන්නේ නැත් ද ? කැන්සර් නැත් ද ? ඒඩ්ස් නැත්ද ? මොවුන් වයසට යන්නේ නැත් ද ? මැරෙන කම්ම නටන අයද ඉන්නේ ?
ජීවිතය දුකයි කියා බුදුරජුන් කීවේ නැත. බුදු රජුන් දුක පෙනෙන අවස්තාවන් මෙවැනි දිව්‍ය ලෝකවල ඉන්න අයට පවා පැහැදිලි වන ලෙස වදාල සේක. ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා.. ආදී වශ යෙනි. මේවා කියවා බලා ධර්මාවබෝධ්‍ය ලබා ගන්න. ඔබට නිවන් දුරනැත.