දිවි නසා ගැනීමේ චර්යාව
Posted on June 9th, 2016
වෛද්‍ය රුවන් එම් ජයතුංග
2016 ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්‌වෙන පරිදි ලොව සියදිවි නසා ගැනීම් වැඩිවශයෙන් සිදුවන රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වැනි ස්‌ථානයට පත්ව ඇත. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් ලක්‍ෂයකට 28.8 දෙනකු දිවි නසා ගනිති. දිවි තොර කර ගන්නාවූ බහුතරය, වයස 15-44 අතර පුද්ගලයන් ය.(ලංකාව නිදහස ලබා ගත් වසර වන 1948 දී සියදිවි නසා ගැනීමේ අනුපාතිකය වූයේ පුද්ගලයන් ලක්‍ෂයකට 9 කි).
සියදිවි නසාගැනීමේ අවදානම සදහා බලපාන ප්‍රධාන සාධක අතර මානසික රෝග විශේෂයෙන් විශාදය වැනි තත්වයන් හඳුනාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ මානසික රෝග පිළිබඳ දත්ත අනුව පුද්ගලයන් දස දෙනකුගෙන් එක් අයකු කුමන හෝ මානසික රෝග තත්ත්වයකින් පෙළෙන අතර ප්‍රතිකාර සඳහා යොමු වන්නේ සියයට 20 ක් වැනි සුළු ප්‍රතිශතයකි. මානසික රෝග පිළිබඳව සමාජයේ පවතින පසුගාමී අදහස් , රෝගීන් පිටුදැකීම , මානසික රෝග හා බැඳුනු කලංකය (stigma ) නිසා මානසික රෝගීන් ප්‍රතිකාර වෙත යොමු නොවෙති. මේ හැර මානසික රෝග වලදී සුදුසුකම් ඇති චිකිත්සකයන් වෙත යාම වෙනුවට වියාජ පොට්ටනි වෙදුන් , නිපුණතාවක් හෝ දැණුමක් නැති වියාජ සුදුසුකම් දක්වන මනෝ උපදේශකයන් මගින් ප්‍රතිකාර ලබා ගැනීමට යාමෙන් මානසික රෝග උග්‍ර අතට හැරී රෝගීන් දිවි නසාගත් අවස්ථාද වාර්තා වී ඇත.
ලංකාවේ ජනමාධ්‍ය මගින් සියදිවි නසාගැනීම වාර්තාකරණය බොහෝ විට ආචාර සම්පන්න නොවන අතර සියදිවි නසාගැනීමේ ක්‍රමවේදයන් ද පළ කරති. මෙමගින් සියදිවි නසාගැනීම උත්ප්‍රේරණය වේ.
2003 වසරේදී මමත් විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතාත් විසින් දිවි නසා ගැනීමේ චර්‍යාව සහ උපදේශන් ප්‍රතිකාර නමින් පොතක් පළ කලෙමු. මෙම පොත මගින් අප අදහස් කලේ වෛද්‍යවරුන්ට , මනෝ උපදේශයන්ට දිවි නසා ගැනීමේ චර්‍යාව හා සබැඳි ගතිකයන් පිළිබඳව අවලෝකනයක් මෙන්ම දිවි නසා ගැනීමේ චර්‍යාව නිශේදනය කිරිමේලා උපදේශන දීමට අවශ්‍ය දැණුම ලබා දීමයි.
වෛද්‍ය රුවන් එම් ජයතුංග