සෝමවංශ අමරසිංහ මහතාඟේ මරණය.
Posted on June 17th, 2016
චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි
අපි කවුද?
අපිව මෙහෙට ගෙන්වන්න සැලසුම් කලේ කවුද?
ඒ මොකටද?
යන ප්රශ්න රාශියක් අප ඉදිරියේ ඇත.
මේවාට ඇති උත්තර මොනවාද?
උපත හා උපත සමග අත්වැල් බැදගත් විපත කරා අප යන මේ ගමනේදී අප ඇති කර ගන්නා බැදීම් කන්දරාව අත්හැර අප ආපසු යන්නේ කොහේටද?
එන්නේ කොහේසිටදැයි නොදන්නා අප යන්නේ කොහිදැයි යන්නද නොදනී.
අපිට ලැබී ඇති වටිනාම වස්තුව වන්නේ,
උපතේ සිට විපත දක්වා ගතකරන්නට ලබාදී ඇති කාලයයි.
කාලය කොතරම් සොදුරුද?
මේ කාලයේ සුන්දරත්වය තේරෙන්නේ කාලය අවසන්ව ඇති බව දැනෙන විටය.
දැන් කාලය නිමව ඇත.
ඒ සෝමවංශ අමරසිංහ මහතාගේය.
අද අපි ඔහුව අමතන්නේ සෝමවංශ අමරසිංහ මහතා කියාය.
ඔහු කලකට පෙර අපගේම සහෝදරයෙක් විය.
කාලයේ මහා රැලි විසින් ඒ සහෝදරත්වයේ බැමි සිද බිදලා ඔහුව ඈතට ඈතට තල්ලු කර දමන විට,
අප ඒ දෙස බලා සිටියෙමු.
ඔහු පමණක් නොව,
අප සමග අත්වැල් බැදගෙන සිටින තව තවත් මිනිසුන් අපව අත්හැ දමා යන බව දන්නා අප ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිනු මිස වෙන කුමක් කරමුද?
ඔහු ගිය මග අපට යාමට නොහැක,
අප කරන්නේ කුමක්ද?
අප දොඩන්නේ කුමක්දැයි
මහත් විමසිල්ලකින් බලා සිටින බලවේගයක් ඇත.
ඒ අප ආ දිවි ගමනේදී,
මේ රටේ කලයුතු උත්තරීතර කාර්ය යයි විශ්වාස කරමින්,
අප හා අත්වැල් බැදගෙන,
තමන්ගේ ජීවිතයේ සුන්දරම අවදිය වූ තාරුණ්ය පූජා කල ඒ සහෘදයන් කැලයි.
ඔවුන්ගේ අව්යාජ සිනහව, තවමත් අපට කිසිදු වෙනසක් නැතිව දැනෙන්නේ,
ඔවුන් හා අප තවම එකම කදවුරක සිටින නිසාය.
අප එක්ව ගොඩනංවන්නට වෙර දැරූ ඒ ලෝකය,
තවමත් අපේ අරමුණ බැවිණි.
ඔවුන් සැවොම දිවි ගමන කෙලවර කලද,
උදාර පරමාර්තයන් සිතැතිව කල ඒ මෙහෙවර හේතුවෙන්,
ඔවුන් තවම මියගොස් නැත.
ඔවුන් කිසිදා මියයන්නේද නැත.
සෝමවංශ අමරසිංහ මහතා මියගොස් ඇත.
මෙරට ජනතාවට කිසිවක් ඉතිරි නොකරම මියගොස් ඇත.
සදාකාලිකවම මියගොස් ඇත.
ස්වභාවයේ ධර්මතාවය එයයි.