වැට් එක බැට් එකක් වීම
Posted on June 26th, 2016
කතුවැකිය උපුටා ගැන්ම දිවයින
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය මගින් ප්‍රකාශයට පත් කර තිබෙන ආකාරයට 2014/2015 සඳහා වන පුද්ගල ආදායම් බද්ද මෙසේය. කෙනෙකු උපයන පළමුවන රුපියල් ලක්‍ෂ 5 ට අවුරුද්දට 4% ක බද්දකි. දෙවැනි රුපියල් ලක්‍ෂ 5 ට අවුරුද්දට 8% ක බද්දකි. තුන් වැනි රුපියල් ලක්‍ෂ 5 ට 12% ක් ද, සිව්වැනි රුපියල් දශලක්‍ෂයට 16% ක් ද, ඊළඟ රුපියල් දශ ලක්‍ෂයට 20% ක්‌ද, එතැනින් එහා උපයන හැම සතයකටම 24% ක් ද වශයෙන් බදු ගෙවිය යුතුය. මේ අනුව අවුරුද්දකට රුපියල් තිස් ලක්‍ෂයක් උපයන කෙනෙක් වෙත්ද, හේ සිය තුන්වන දශ ලක්‍ෂය වෙනුවෙන් පමණක් රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසකට කිට්‌ටු මුදලක් බදු ගෙවිය යුතු ය. අවසන් ඵලයේදී තමන් හම්බ කරන එකෙන් හතරෙන් එකක් ආණ්‌ඩුවට බදුÊගෙවන්නට සිදු වන විට එය හම්බ කරන එකා අහස දෙස බලා ආණ්‌ඩුවට හෙණ ඉල්ලයි. එහෙත් ආණ්‌ඩුවක් යනු හෙණ වදින ඒකකයක් නොවේ. එය තමන්ට වදින හෙණ ජනතාවට හරවන අපූරු ආයතනයකි.
ඉහත සඳහන් වෙබ් අඩවියෙහිම සඳහන් වන පරිදි ශ්‍රී ලංකාවේ ඪAඔ බද්ද පිළිබඳ දත්ත මෙසේයá සාමාන්‍ය වැට් බද්ද අවුරුද්දට 11% කි. මූල්‍ය සේවා සඳහා අය කරන බද්ද ද 11% කි. කාර්තුවකට එනම් අවුරුද්ද කොටස් හතරකට බෙදා ඉන් එක් කොටසකට රුපියල් දසලක්‍ෂ 100 නො ඉක්‌මවන ආදායම් ලබන තොග හා සිල්ලර වෙළෙන්දන්ගෙන් අය කරන බද්ද ද අවුරුද්දට 11% කි. මෙසේ තිබියදී 11% වැට් බද්ද තවත් 4% කින් ඉහළ දමා 15% කරන බවත්, එය 2016 මැයි 02 වැනිදා සිට ක්‍රියාත්මක වන බවත් 2016 අප්‍රියෙල් 15 හෝ එයට ආසන්න දවසක අගමැති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී කීවේය.
වැට් බද්ද ඉහළ නැංවීමේ කටයුත්ත තවමත් පාර්ලිමේන්තුවෙන් සම්මත කර නැත. එබැවින් එය තවමත් නීතියක් බවට පත්වී නැත. එහෙත් ආණ්‌ඩුව කියන පරිදි ගිය මාසේ 1 වැනිදා සිට වැට් බද්ද 4% කින් ඉහළ නැග තිබේ. මේ අතර වැට් බද්ද ඇතුළු වෙනත් හේතු රාශියක් නිසා, එනම් ගංවතුර, වැස්‌ස, බෙංගාල බොක්‌කේ සුළි කුණාටු, ලෝක වෙළෙඳපොලේ මිල ඉහළ යැම වැනි රාජකාරි නිසා මැයි 2 වැනිදායින් පසු රටේ බඩු මිල ඉහළ ගියේය. වැට් එක බැට් එකක් බවට පත් වී කුපිත වූ ජනයා එම බැට් එකෙන් ගසා ආණ්‌ඩුවේ ඔලු පළන්නට සූදානම් වන්නේ මේ අතරය.
2016 ජුනි 16 වැනිදා මුළු මහරගම නගරයම කඩ වැසුවේය. ඒ ඉහළ ගිය වැට් බද්දට විරෝධය පළ කිරීමක් වශයෙනි. එදා එදිනෙදා බඩු මිලට ගන්න බැරිවීමෙන් මහරගම සහ තදාසන්න ප්‍රදේශවල ජනයා මහත් කරදරයකට පත් වූහ. එහෙත් ඒ මිනිසුන්ම කීවේ තමන් මේ විරෝධයට එකඟ බව ය. එබැවින් බඩු මිලට ගැනීමට බැරි වීමෙන් සිදුවන හානිය එතරම් ගණන් නො ගන්නා බව ද ඔවුහු කීහ.
ඊට පසු මේ විරෝධය ක්‍රමයෙන් රට පුරා පැතිර යන්නට පටන් ගත්තේය. පසුදින ගම්පහ නගරයේ වෙළෙන්දෝ කඩ වැසූහ. ඊළඟ දිනයේදී මාතර මිනිස්‌සු කඩ වැසුහ. මේ හැම සිදුවීමකදීම වෙළෙඳුන් කඩ වසා ගෙවල්වලට ගොස් වක ගසාගෙන නිදා නොගත් බව කවුරුත් මතක තබා ගත යුතු ය. ඔවුහු පාරට බැස විරෝධතා පැවැත්වූහ. ආණ්‌ඩුවට බැණ වැදුණාහ.
ආණ්‌ඩුව නොදන්නවාට මේ දිනවල සීනි කිලෝවක් රුපියල් 120 කි. සමහර කඩවල රුපියල් 124 කි. හාල් ගණන් ය. එළවළු ගිනි ගණන් ය. මාළු මිල නැඟ ඇත්තේ මාළුවා මුහුදින් ගොඩට එන්නට පෙර තමන්ට වැට් ගසාගෙන ඇති බවක් සිහිපත් කරවමිනි. වැට් වැඩි වීම නිසා දේශීය නිෂ්පාදකයන්ට බලවත් අර්බුද රැසකට මුහුණ පෑමට සිදුව තිබේ. එක් පැත්තකින් උද්ධමනය නිසා මිල වැඩි වීමෙන් බඩු විකිණෙන්නේ නැත. අනෙක් පැත්තෙන් එසේ වැඩි වූ බඩු මිලට වැට් වැදීම නිසා මිල තවත් ඉහළ යැමෙන් බඩු විකිණෙන්නේ නැත.
ජනතාව වැඩි ඡන්දයෙන් ආණ්‌ඩුවක් පත් කර ගත්තේ කෑමට මිස හිඟාකෑමට නොවේ. මෙතැනදී zකෑමටZ යන පදයෙන් අප අර්ථ දක්‌වන්නේ බත් ගිලීම නොව කරදරයක් නැතිව ජීවත් වීමය. එසේම හිඟා කෑම ලෙස අප දකින්නේ ආත්ම ගරුත්වයක් නැති වන තැනට දරිද්‍රතාවයෙන් පෙළෙමින් ජීවත් වීම ය. ආණ්‌ඩුව හතර අතේ බදු වැඩි කරමින් මේ කරන ක්‍රියාව යුතුකමක් නොවේ. ගෙවන එකාගෙන් මිරික මිරිකා බදුÊගැනීමේ ප්‍රතිපත්තිය අත්හැර බදු නොගෙවන, බදු මඟහරින මිලියන සංඛ්‍යාවක් ධනවතුන් අල්ලා ගැනීමට ආණ්‌ඩුව පියවර ගත යුතු ය.
වැට් එක බැට් එකක් වුවහොත් අවසානයේදී එයින් පහර වදින්නේ ජනයාට පමණක් නොවේ. බෝලය දමන ආණ්‌ඩුවටත් ඒ බැට් එකෙන් පහර වදින බව ස්‌ථිර ය.