නිකෝල් , නේතන් සහ ලංකාවේ සරසවි සිසුන්
Posted on July 18th, 2016

වෛද්‍ය රුවන් එම් ජයතුංග

යෝක් විශ්ව විද්‍යාලයේ ආපන ශාලාවේදී මට නිකෝල් කැප්‍රියෝටි හමු විය​. කැපචීනෝ කෝප්පයක් ගත් ඇය මගේ මේසයට ආවාය​.

“කොහොමද මැප් ගේ පරියේෂණ වැඩ ? මම ඇසුවෙමි.

ඇල්ස්ටෙයාර් මැප් පරියේෂණ මනෝ විද්‍යා මහාචාර්‍යවරයාය​.  නිකෝල් ඔහු යටතේ මනෝ විද්‍යා පරියේෂන විශයක් කරන්නීය​. ඇල්ස්ටෙයාර් මැප් අමුතු අන්දමේ චරිතයකි. ඔහු බොහෝ සෙයින් විහිළු කරයි. එහෙත් ඔහු සිටින්නේ දුකෙන් බව මගේ සිත කියයි.

” මහාචාර්‍ය මැප් ගේ හැටි දන්නවානේ ?  නිකොල් සිනාවක් පාමින් කියන්නීය​.

ඔහු සමග වැඩ කිරීම විනෝද ජනකය​. නමුත් විභාග ප්‍රතිඑල දෙන විට ඔහු ඉතා තදය​. මේ නිසා සිසු සිසුවියන් විභාග කාලයට ආතතියෙන් යුතුව මුහුණ දෙති.

nicolnathan

“මම විභාගයට නියමිත පොත් සල්ලි දීලා ගත්තේ නෑ . ඔන් ලයින් පොත් අඩු මිලට ගත්තා ඒවා වලින් තමයි ඉගෙන ගන්නේ ” නිකොල් කීවාය​.

නිකොල් වැනි සිසුවියන් ඉගෙන ගන්නේ අතිරේක රැකියා කරමිනි. උදේ දේශන වලට එන ඇය සවස් වරුවේ බේ විව් හි ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හලක සේවය සඳහා යන්නීය​.

උසස් අධ්‍යාපනය සඳහා නිකොල් කැප්‍රියෝටි වැනි සිසුවියන් මෙන්ම  පිත්සා බෙදා හරිමින් නේතන් වැනි සිසුන් කරන අරගල  මම දුටුවෙමි.  නේතන් උස සිසුවෙකි. ඔහු දෙමාපියන්ට බරක් නොවී තම අධ්‍යාපනය කරගෙන යයි.  මෙවැනි සිසු සිසුවියන් දකින විට හරකුන් මෙන් දක්කාගෙන ගොස් පාරවල් බ්ලොක් කර ගෙන උද්ඝෝෂණයේ යෙදෙන ලංකාවේ සරසවි සිසුන්  කෙතරම් ලාමකද කියා සිතේ.

ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබේ.

” ඔබ දන්නවාද ලංකාවේ සරසවි සිසුන්ට විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ ලැබෙන බව ?  මම නිකොල්ට කීවෙමි.

” විශ්ව විද්‍යාල අධ්‍යාපනය නොමිලේ … ඇය ප්‍රතිරාව කලාය​.

” අපට නොමිලේ අධ්‍යාපනය ලැබුනේ හයිස්කූල් දක්වා පමණයි. ලංකාවේ  විශ්ව විද්‍යාල සිසුන් වාසනාවන්තයි ” නිකෝල් කීවාය.

අහෝ ඔවුන් ඉගෙන ගැනීමට තිබෙන කාලය නාස්ති කරමින් පාරවල් වල උද්ඝෝෂණ කරන බව ඇය දන්නවා නම්. ඔවුනට මහපොල නොමිලේ ලැබුනද නිකෝල් සහ නේතන් වැනි සිසු සිසුවියන් අධ්‍යාපනය ලැබීමට ශිෂ්‍ය නය ආධාර ලබා ගනිති. එය යළි ගෙවිය යුතුය​.

පිටස්තර ලෝකය ගැන කිසිවක් නොදන්නා ලිං මැඩියන් වන් ලාංකික සරසවි සිසුන් නවක වධය කරති , ඉංග්‍රීසි ටිකක්​, පරිගණක විශය ටිකක් ඉගෙන නොගෙන පාරවල් පුරා රස්තියාදු වෙති. අරගල කරනවා කියා මහ පාරවල් හරස් කරගෙන වැඩ කරන ජනයා පෙළති. මොවුන් හරකුන් මෙන් දක්වන්නෝ අණ්ඩපාලලා  වෙති. ඔවුන් තම දරුවන් පිටරටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලට යවා ලාංකික සරසවි සිසුන් පාරවල් පුරා යවති.

එදා රාගම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැසීම සඳහා ත්‍රීමා විතාණ , කොල්ලූරේලා, වෙනුරලා වැනි බිලි බෝයිස්ලා දං ගෙඩියට යවපු සිසු නායකයන් ගේ දේශපාලකයන් ගේ දරුවන් අද ඉගෙන ගන්නේ විදෙස් රටවල පුද්ගලික විශ්ව විද්‍යාල වලය​.  ඔවුන් පිටරට ඩිග්‍රි ගසා ජීවිතය විඳිමින් සිටින විට බිලි බෝයිස්ලාගේ දෙමාපියන් පවුලේ සොහොයුරු සොහොයුරියන් තවමත් කඳුළු බොති.

මේ අතර ලාංකික සරසවි සිසුන්  රැකියාවක් ඉල්ලමින්  උපාවාසයේ යෙදෙති. ඒ අතරවාරයේ ඉංග්‍රීසි හැකියාව ඇති පිටරට උපාධි ගත්තෝ එති. පුද්ගලික අංශය ඔවුන් පාවඩ එළා පිලිගනිති. ඉංග්‍රීසිය , පරිගණක දැණුම නොමැතිව පුද්ගලික අංශයට ගියහොත්   තමන් නියත වශයෙන්ම ඇණ ගන්නා බව දන්නා දේශීය විශ්ව විද්‍යාල සිසුන් පතන්නේ රජයේ පින් රැකියාවකි. කළමනාකරණ සහකාර ලෙස රජයේ පත්වීම් ලබා ගන්නා මොවුන් ෆොටෝ කොපියක් ගැනීමට , ෆැක්ස් එකක් යැවීමටවත් දන්නේ නැත​. නිකන්ම ආයතන වල පුටු රත්කරන මොවුන් රජයට මෙන්ම ජනතාවටද බරකි.

රජයටවත් , දෙමාපියන්ටවත් , තමන්ටවත් බරක් නොවී නිකෝල් ලා නේතන් ලා උසස් අධ්‍යාපනය ලබති. විශය කරුණු හොඳින් හැදෑරීමෙන් උසස් ලෙස සමත් වී ජීවිත ජය ගනිති. අවසානයේදී එකී රටවල් දියුණු වන අතර අපේ රටවල් එක තැන පල් වෙති. අපගේ දේශපාලුවන් මේ කාලකන්නි තත්වයට හේතුව බටහිර කුමන්ත්‍රණ කියා ජනතාවට කියති. ජනතාව අත්පොලොසන් දෙති.  බටහිරට බනිති.

මේ විශම චක්‍රය නවතින්නේ කවදාද​?

 

3 Responses to “නිකෝල් , නේතන් සහ ලංකාවේ සරසවි සිසුන්”

  1. Jana Rala Says:

    රුවන්, ඔබ තක්කඩි දේශපාලනයක නිරතවන්නෙක්. කාලයක් තිස්සේ ඔබ ගැන සැකයක් පැවතියද, ඔබ කවුදැයි නියමාකාරයෙන්ම හඳුනාගත්තේ, බුදුන්වහන්සේ විසින් රාහුල කුමරා මහනකිරීම සම්බන්ධයෙන් ඔබ විසින් මෙම වෙබ් අඩවියේ පලකල ලිපිය කියවීමෙන්ය. එහිදී බුදුන්ගේ එම ක්‍රියාව විවේචනය කිරීමට “හයියක්” නොමැති ඔබ, අනුගමනය කරන්නේ මහ තුප්පහි උපක්‍රමයකි. ඔබ එම ලිපිය ගොඩනගන්නේ එය කියවාගෙන යන තැනැත්තෙකුට බුදුන්ගේ ක්‍රියාව වැරදියයි ඒත්තු යන ආකාරයෙන්. ඉන් පසු ඔබ උපක්‍රමිකව මෝඩ තර්ක පාවිච්චිකරමින් බුදුන්ගේ ක්‍රියව සාධාරනීකරණයකරයි. එනම් ප්‍රේක්ෂයන්ට ඩෑෂ් ගැසීමට බෝලය ඔසවා තබයි. ලිපිය අවසානයේ බුදුන් විවේචනය කරන්නේ ලිපිය කියවා “කමෙන්ට්” කරන පාඨකයාය. ඔබ කොතරම් දීන ආකාරයෙන් කටයුතුකරන්නේද? යන වග එයින් අවබෝධවිය. ඔබ තමුන්ගේ මතවාදය ප්‍රසිද්ධියේ පලකිරීමට ධෛර්යයක් නොමැති පුද්ගලයෙකි. මෙම ලිපියේත් ඔබ අනුගමනය කරන්නේ එවන් ක්‍රමවේදයකි.

    මෙහි සඳහන් බටහිර කුමන්ත්‍රණ කතාව හැර අන් සිය්ල්ලම බොහෝ සෙයින් සත්‍යවේ. අද සරසවි සිසුන් අරගලවලට යොමුකරන්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙර‍ටුගාමී සමාජවාදී පක්ෂවේ. පසුගිය රාජපක්ෂ රෙජීමය පෙරලීමට බටහිර රටවල් සහ ඇමරිකාව, ජනතා විමුක්ති පෙරමුණ සමග එක්ව කටයුතු කලබව නොරසක්. එමෙන්ම පෙර‍ටුගාමීන්ද දෙමල බෙදුම්වාදී උවමනාවන් වෙනුවෙන් පෙනී සිටියි. සරසවි අරගල මෙහෙයවන ජවිපේ හෝ පෙර‍ටුගාමීන් කිසිවිටක “බටහිර කුමන්ත්‍රණ” ගැන කතා නොකරයි. බටහිර කුමන්ත්‍රණ ගැන සඳහන් කරන්නේ සිංහල ජාතිකත්ව පිලේ දේශපාලකයින්ය. ශ්‍රී ලංකා ආන්ඩුව ලවා දෙමල බෙදුම්වාදීන්ට ඉඩම් සහ පොලිස් බලතල ලබාදී ෆෙඩරල් රාජ්‍යක් කරා ගෙනයාමට කුමන්ත්‍රණය කරන්නේ බටහිරයින්ය. එය නොදන්නවුන් පල් මෝඩයෝය. එසේ නොමැතිනම් එම කුමන්ත්‍රණය අනුමත කරන්නෙකි. නමුත් සරසවි සිසුන්ගේ ‍රැකියා ප්‍රශ්නය සහ බටහිර කුමන්ත්‍රණ එකට සම්බන්ධකරන දේශපාලකයින් දැන් නැත. පරණ සමසමාජ කාරයින් සහ කොමිනිස්ට්කාරයින් එසේ කියන්නනට ඇත. ඔබ වටින්ගොඩින් පහර එල්ල කරන්නේ සරසවි සිසුන් පාරට දක්කන ජවිපෙට හෝ පෙර‍ටුගාමීන්ට නොවේ. ඔවුන්ගේ පරම හතුරන්වන සිංහල ජාතිකත්ව දේශපාලනයටයි. නමුත් එය ප්‍රසිද්ධියේ කීමට ඔබට හයියක් නොමැති නිසා, තුට්‍ටු දෙකේ ගෙවල උපක්‍රම භාවිතාකරයි.

  2. . Says:

    @ Jana Rala Says: July 20th, 2016 at 8:31 am මම මගේ නියම නමින් පෙනී සිටිමි. ඔබ තමාගේ නියම නමින් පෙනී සිට ඔය ටික කීමට කොන්දක් මෙන්ම ධෛර්යයක් නොමැති පුද්ගලයෙකි. ඔබ සැඟවී ගල් ගසන බියගුල්ලෙකි

    Dr Ruwan M Jayatunge

  3. S.Gonsal Says:

    Thank you Ruwan for exposing truth and more thanks for the right answer to the attacker.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress