ඊලම දමනය
Posted on February 27th, 2017
චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.
පිරිත්නූල් කඹ
1931 දී ඩොනමෝර් ක්‍රමය යටතේ සර්‍ව ජන චන්ද බලය ලැබුණායින් පසු සිලෝන් (සිංහලේ යන නම ඉංග්‍රීසි කාරයාට ඇහුණ හැටි) කොලනියේ ඉතිහාසය ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් විසින් වෙන් කර පෙන්වූ, මරණ බියක් ඇතිවූ විට ඕ මයි ගෝඩ් හෝ බුදු අම්මෝ හෝ කියා කෑගසන සිංහලයින් දෙකොටස අතරේ සිදුවූ, සිදුවන ගැටුම නොවේද? මේ ගැටුමේදී කොඩි උස්සාගෙන ගිය බුදු අම්මෝ පිරිසට ඉතිරිවුනේ කොඩිවල පොලු පමණක් යයි උන්වහන්සේ කිව්වේය. දැන් කොසොල් රජතුමාගේ හීන සැබෑවෙන මේ රටේ කොඩි වෙනුවට කඹ තරම් මහත පිරිත්නූල් අතේ බැඳගෙන ඉන්නේ මේ දෙකොටසගෙන් මොන කොටසද කියා පැහැදිලි නැත. ගෙදර ගොස් පරණ සිරිතට බූරු ඇඳක ඇලවී විශ්‍රාම සුවයෙන් සිටිය යුතුව සිටි ඉතා මහළු හිටපු අගමැති දි මු ජයරත්න මහතා සම්බුද්‌ධ ජයන්තිය සැමරීමේ කොමිටියට අන්‍යාගමික (ඉස්ලාම්, හින්‌දු, ක්‍රිස්තියානි) නියෝජිතයින්ව පත්කලේ ඒ නිසාය.
යහපාලනයක් (ශීලාචාරීකරණය)
මෙවැනි පසුබිමක් යටතේ දැන් 2017 වන විට දක්නට ලැබෙන්නේ ලිච්චවි රජදරුවන්ගේ පාලන ක්‍රමය නිතර නිතර මතක් කරමින් සිටිනා ලංකා අගමැති කෙනෙකි. ඔහු මීට පෙර රටේ අගමැතිවූ කාලවල මෙය කලේ නැත. රටේ ජනාධිපතිතුමාත් ඉඩක් ලද හැම විටකම කියන්නේ බෞද්ධ දර්‍ශනයට අනුව රටේ ප්‍රශ්න විසඳනවා කියාය. ඉන්දියාවේ ජනාධිපති නිලය හෙබවූ අබ්දුල් කලාම් හා ප්‍රතිභා පටිල් යන දෙන්නාද කියා සිටියේ ලෝකයේ ප්‍රශ්න වලට විසඳුම් බෞද්ධ දර්‍ශනය අනුසාරයෙන් ලබාගත හැකිය කියාය. අබ්දුල් කලාම් දෙමළ මුස්ලිම් සම්භවයක් ඇති අයෙක් වූ අතර ප්‍රතිභා පටිල් හින්දු ආගමිකාවක් විය. සිරිසේන මහතා 2016 ජූලි 27 ජාතික පිරිවෙන් දිනයේදී ගැටඹේදී කියා සිටියේ බුදු දහමට අනුව රට පාලනය කරනවා කියාය. 2016 අගෝස්තු 6 දා කිරිවෙහෙරේ ආගමික උත්සවයකදී සඳහන් කළේ යහපත් සමාජයක් ගොඩ නැඟීමේ එකම මග (ථේරවාද) බෞද්ධ දර්‍ශනය ය කියාය. ඔහු මේ අදහස 2016 සැප්තැම්බර් 22 දින යූ එන් ඕ මහසභාව ඉදිරියේදීද කියා සිටියේය. 2017 ජනවාරි 2 දා ගම්බද පන්සල් වලට මුදල් ආධාර බෙදා දෙමින් ජනාධිපති මන්දිරයේදී නැවතත් කියා සිටියේ බෞද්ධ දර්‍ශනය සමාජයක් ගොඩනැඟීමට හොඳම විධිය බවය.
2017 ජනවාරි මැද වනවිට අපට ලැබුණ අළුත්‌ම ආරංචිය නම්, මේ ගැටවර වයසේදීම චීන කොමියුනිස්ට් පක්‍ෂයට බැඳී දේශපාලනය ඇරඹූ සිරිසේන මහතා, 2015 නොවැම්බර් මස පැරිසියේදී තම්පලාවෙල ධම්මරතන (යුනෙස්කෝවේ බෞද්ධ නියෝජිත) හිමියන් හමුව යහපාලනය හා බුද්ධාගම ගැන කල පැයක සාකච්චාවේ ප්‍රතිඵලයක් වශයෙන් බුඩිස්ට් අයිඩියල්ස් ඔෆ් ගුඩ් ගවර්‌නන්ස් (බෞද්ධ රාජ්‍ය පාලන ප්‍රතිපත්ති) යනුවෙන් පොතක් සෝර්බෝන් විශ්ව විද්‍යාලය මගින් පලකර ඇති බවය. මේ අනුව ලංකාව පමණක් නොව මුළු ලෝකයම සුවපත් කිරීමට (ශීලාචාර කිරීමට) මඟ පෙන්වීම මේ පොතේ අරමුණය. 1977 ජයවර්‌ධන මහතාගේ ධර්මිෂ්ට සමාජයක් යන කතාවට වඩා ඉදිරියට ගිය, බැරෑරුම්, යහපාලන (දස රාජ ධර්‍ම) අදහස් ප්‍රචලිත කරන ලෝක සංවිධානයක් පිහිටුවීමටද මේ පොතෙන් යෝජනා කරයි (ලෝකයේ රටවල් 198 න් 85 ක බෞද්ධයින් සිටී).
බෞද්ධ දේශපාලන විද්‍යාවක්?
මාක්ස්වාදය, ධනවාදය, සමාජවාදය, ලෝක යෝධ කොම්පැනි වාදය, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය යන මේ වාද අතරට සම්මුතිවාදී දස රාජ ධර්‍මවාදයක් ද එකතු කල හැක්කේ එය ක්‍රියාවට නංවා පෙන්වීමෙනි. දියසේන කුමාරයෙක් ගැන අප ඉඳහිට අසා ඇත. ධර්‍මාශොක රජතුමා ගැනද මහාවංශයේ ඒ නම සඳහන්වූ නිසා අපි දැනගත්තෙමු. ඉන්දියාවේ ඩලිට් කුලයේ ජනයා අම්බෙඩ්කාර් මහතා විසින් බුද්ධාගමට හැරවූයේ හින්දු ආධිපත්‍යයට යටවී ඉන්නා හරි ජනයා ගැන කතා කලත් කුල පීඩනයට විසඳුමක් ගාන්‌ධි ගෙන් නොලැබුණ නිසාය. අනිත් පැත්තෙන් ඔහුගේ ප්‍රතිපත්ති ගැන සුබාස් චන්ද්‍රබෝෂ් ගාන්‌ධිට දෙහි කැපුවේය. 1956 මැතිවරණයේදී මාර යුද්ධය නමින් කාටූන් එකකින් සර් ජෝන්ලා ඔලිවර් ගුණතිලකලා බුද්ධ රූපයකට හානි කරන්නට අවි අමෝරා ගෙන යූ එන් පී ඇතා පිට නැඟ එනවා පෙන්නුවේය. මීට හේතුව ආණ්ඩුව සරණං ගච්චාමි කියා පදයක් බුද්‌ධාගමේ නැතැයි අගමැති ඩී එස් සේනානායක මහතා විසින් හේන්පිටගෙදර ඥානසීහ හිමියන්ට කීමෙන් එලිවුන ආණ්ඩු ප්‍රතිපත්තිය නිසාය. පංච මහා බලවේගයේ කොටසක් වශයෙන් 1956 දී මෙසේ හාමුදුරුවරු චන්ද වැඩට මැදිහත්‌වීම හැරුනු විට, දේශපාලන විද්‍යාවක් වශයෙන් ප්‍රථම වරට බුද්ධාගම රාජ්‍ය පාලනයට ගාවා ගන්නට පොරොන්‌දුවූයේ 1977 දී ජේ ආර් ජයවර්‌ධන මහතාගේ ධර්මිෂ්ට සමාජයක් යන තේමාවය. මැතිවරණ වේදිකාවේ බිම ඔහු ඉඳගත්තේ ගන්‌ධිව සිහිකරවමිනි.
මේ සඳහා ඔහු වෙනුවෙන් රට වටේ ගියේ ඩබිලිව් එස් කරුණාරත්න බෞද්ධ දර්‍ශනය පිළිඹඳ මහාචාර්‍යවරයාය. බාහිර විප්ලවයට (කාර්, ශීතකර, රත්‌මාල, උපාධි, ධනය) අමතරව වැසියාගේ සිත් සතන් වල සන්තානගත විප්ලවයක්ද (ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගය) සිදුවිය යුතුබව ඔහුගේ තර්‍කය විය. චන්දයට පසුව ඔහු පාර්ලිමේන්තුවට ගොස් මේ ගැන මන්ත්‍රීන්ට ඉංග්‍රීසියෙන් කතාවක් ද දුන්නේය. ධර්මිෂ්ඨ සමාජයක් නමින් මුද්දරයක්ද නිකුත්‌විය. ඉන් පසුව ඔහු ඇමෙරිකාවේ තානාපති වශයෙන් ගියේය. ආපසු ලංකාවට එනවිට ඔහු චන්දකාලයේ කතාකල ධර්මිෂ්ඨ සමාජය, මහාචාර්‍ය එදිරිවීර සරච්චන්ද්‍රට බිම දමාගෙන බයිසිකල් චේන් වලින් ගසන, ආණ්ඩුවට අහිතකර තීන්දු දුන් නඩුකාරයින්ගේ ගෙවල් වලට ගල් ගසන සමාජයක් වී තිබුණේය. ඒ දිනවල මහබැංකුවට ගොස් බෞද්ධ සාර ධර්‍ම ගැන ඔහු දුන් කථාව ඔහුගේ බලවත් කලකිරීම එලිදරව් කලේය. සරච්චන්ද්‍ර මහතා (අ)ධර්මිෂ්ඨ සමාජය යන නමින් පොතක් ද ලිව්වේය. පසු කලෙක සෝම හාමුදුරුවන්ගේ ක්‍රියා නිසා මතුවූ බෞද්ධ ප්‍රතිපත්ති පක්‍ෂයවූ ජාතික හෙල උරුමයද අච්චාරුවී ගියේය.
සම්මා දිට්ටි-සම්මා සංකප්ප-සම්මා වායාම
මෙම මෑත ඉතිහාසයෙන් මොනවට ඔප්පුවන කාරණයක් නම් කතාව හා ක්‍රියාව (ඉංග්‍රිසියෙන් කියන වෝක් ද ටෝක්) අතර වෙනසට හේතුව සම්මා දිට්ටි-සංකප්ප-වායාම යන ආර්‍ය අෂ්ටාංගික මාර්‍ගයේ අංග තුන හරියට හිතට නොගෙන දසරාජ ධර්‌මවාදයක් ගොඩනඟා ගත නොහැකි බවය. මේ නිසා මේ ලිපියෙන් පෙන්වා දෙන්නට හදන්නේ සිරිසේන ජනාධිපතිතුමාට සම්මා දිට්ටි (නිවැරදි දැනීම) සම්මා සංකප්ප (නිවැරදි ආකල්පය) නැත්නම් ඔහුට සම්මා වායාමයක් (නිවැරදි උත්සාහයක්) ගත නොහැකිවන බවය. බෞද්ධ දර්‍ශනය මඟින් ලෝකයේ ඇති ප්‍රශ්න වලට විසඳුම් සොයාගත හැකියයි ඉන්දියාවේ හිටපු උපතින් බෞද්ධ නොවන ජනාධිපතිලා දෙන්නෙක්ම කියා සිටියේය. මෙවැනිම අදහසක් තරුණ කාලයේ හිපියෙකු වශයෙන් කාලය ගෙවූ පසුව දලයි ලාමා ගේ ඇසුරෙන් බුද්ධාගම ගැන ඉගෙනගෙන බෞද්ධ දර්‍ශනය පිළිඹඳව මාහාචාර්‍ය වරයෙකු වූ රොබට් තර්‌මන් විසින්ද ඇමෙරිකාවේ ප්‍රශ්න හා සම්බන්‌ධව ප්‍රකාශ කලේය (ඉනර් රෙවොලූෂන්, 1999). මීට පෙර, ජර්‌මනියේ උපන් (යුදෙව් ජාතික?) පසුව බ්‍රිතාන්‍යයේ ආර්ථික විද්‍යාඥයෙකුවූ ඊ එෆ් ෂුමාකර් විසින් 1973 දී ලියූ ස්මෝල් ඊස් බියුටිෆුල් යන පොතෙන් වත්‌මන් ලෝකයට බුඩිස්ට් ඉකොනොමික්ස් හඳුන්වාදී තිබුණි. මහාචාර්‍ය කේ එන් ජයතිලක, ගුනපාල මලලසේකර යන අයද මීට කලකට පෙර මේ බෞද්ධ රාජ්‍ය පාලනය ගැන ලිපි ලිව්වේය. එහෙත් අද ලංකාවේ බොහෝ අය නොදන්නා දෙයක් නම් කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර මහනාහිමියන් විසින් 1933-41 කාලයේ සිට ඉතාමත් සාර්‍ථකවූ ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධමර්‍ධන නම් දීප ව්‍යාප්ත ජාතික ව්‍යාපාරයක් ක්‍රියාවට නැඟූ බවත්, එවකට බලයේ සිටි සුද්දන් හා කළු සුද්දන් එකතුව එය කඩාකප්පල්කර දැමූ බවත් ය. ඩී එස් සේනානායක හේන්පිටගෙදර ඥානසීහ හාමුදුරුවන්ට කලදේ වැනි දෙයක්ම (පොරොන්‌දු කඩකිරීම) ඊට පෙර සර් ඩී බී ජයතිලක විසින් ප්‍රඥාශෙඛර හාමුදුරුවන්ටද කලබව ඇසීම යමෙකු මවිත කරවන සුළුය.
ආණ්ඩුව සරණං ගච්චාමි නොවීම
මේ අන්‌දමට බෞද්ධ දර්‍ශනයේ ගුණ ගායනාකරණ එය ක්‍රියාවටද නැඟිය හැකි ජනාධිපතිවරයෙක් ලෙස ලෝකයේ දැනට ඉන්නේ සිරිසේන මහතාය. ඔහුට ඒ සඳහා පිට්ටනියක්, කුඹුරක්, පර්‍යේෂණාගාරයක් ලැබී ඇත. ඔහු විසින් කියූ තවත් කරුණක් නම් සෙසු ලෝකයේ රටවල් වලද සහයෝගය ලබාගෙන ඊලම්වාදය (වෙනම දෙමළ රටක් වාදය) තුරන් කර දමනවාය යන්නය. ඒ සමඟම කියවෙන තවත් අදහසක් නම් සාමය, සතුට හා තිරසර සංවර්‍ධනයක් උදාකර ගැනීමය. මේ සියල්ල එකට බැඳී ඇති කාරණා නිසා මේවා ඉෂ්ටකරගතහැකි ක්‍රමයක් තිබේද? සිරිසේන මහතා විසින් කල තවත් ඓතිහාසික ප්‍රකාශයක් ද (වෙන කිසිම ලංකා රාජ්‍යනායකයෙක් නොකී) මෙහිදී ඉතාමත් වැදගත්වේ. එය නම් ලංකාව පලාත් නවයකට බෙදුවේ ඉංග්‍රීසිකාරයින් (කෝල්බ්‍රැක් සාමි 1832 දී) ඔවුන්ගේ අධිරාජ්‍යවාදී සූරාකෑමේ වාසිය සඳහා මිස රටේ යහපත ගැන සිතා නොවේය යන කියමනය. මෙසේ සුද්දන් ඇතිකල මායිම් බදාගෙන, ඒ අනුව බෙදී කෑ ගැසීම නිෂ්ඵල දේශපාලනයක් බව ඔහු පෙන්වා දුන්නේය.
ඊලම හා බුද්‌ධාගම
විග්නේෂ්වරන් විසින් 1948 සිට ලංකාවේ දෙමළ වර්‌ගයා ඝාතනය කිරීමක් (ටැමිල් ජෙනෝසයිඩ්) තිබෙනවායයි කියන අතරේ සිරිසේන මහතා කියන්නේ දෙමළ ජනයාට අසාධාරණකම් සිදුවුනා/සිදුවෙනවා කියාය. මේ නිසා මේ ලිපියේ මේ මාතෘකාව යටතේ අප සලකා බැලිය යුතු මේ ප්‍රශ්නයට බුද්ධාගමේ මැදි පිලිවෙත අනුව විසඳුමක් ලබා දිය හැකි ආකාරයය. මෙම විසදුම සිංහිඳියා කොමිසමටත්, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිටත් ඒ කාලයේ ඉදිරිපත් කලත් ඔවුන්ට සම්මා දිට්ටියක් නොවීය. අප අසා ඇති අංගුලිමාල දමනය, ආලවක දමනය හෝ නාලාගිරි දමනය මෙන් ඊලම් දමනයක් කරන්නට තාමත් හොඳටම ඉඩකඩ ඇත. ඇත්‌තවශයෙන්ම සිතන විට මේ සඳහා පැරිසියේ සිට ඉංග්‍රීසියෙන් ලියූ පොතක් අවශ්‍ය නැත.
සම්මා දිට්ටි යටතේ මෙහිදී කල්තියාම සිහියට ගතයුතු මූලික කාරණයක් ඇත. නූතන නීති විද්‍යාව (ජුරිස්ප්‍රැඩන්ස්), දේශපාලන විද්‍යාව හා පරිසර ව්ද්‍යාත්‌මක දැනුම් සම්භාරයට අනුකූලව, විශේෂයෙන් දෙමළ ජනයාට ගුණාත්‌මකවන බලය ලබාදීමක් දීමක් (ඇමෙරිකන් තානාපති රොබට් බ්ලේක් ඒ කාලයේ කිව් අන්‌දමේ මීනින්ෆුල් ඩෙවෙලූෂන් එකක්) යනු, සම්බන්‌ධන් මහතා කියන ඔක්කොටම එකඟ වන්නට පුළුවන් හෝ ඒබ්‍රහම් සුමන්තිරන් මහතා කියන දුන්නට පසු ආපසු ගන්නට බැරි බලය පැවරීමක් නම් නොවන බවය. ඒ මඟින් සාමකාමී, සාධාරණ බෞද්ධ ඊලම් දමනයක් සිදුනොවේ.
පුද්ගලයින්ගේ අවශ්‍යතා හා දේශපාලකයින්ගේ අභිලාශ
යම් දෙමළ. සිංහල හෝ මුස්ලිම් හෝ වැසියෙකුට ඇති ආශා, උවමනා එපාකමුත් (නීඩ්ස් ඇන්ඩ් වෝන්ට්ස්), බොරු නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ ඔවුන් රවටාගෙන තරවන පක්‍ෂ දේශපාලන කයිරාටිකයින් විසින් සිංහලයින්ට සාපේක්‍ෂව ඉදිරියට දාන දෙමළ හෝ මුස්ලිම් අභිලාශත් (ඇස්පිරේෂන්ස්) අතර ඇති වෙනස අප මෙහිදී අවභොධ කරගත යුතුය. ලංකාවේ භූමි ප්‍රදේශය තුල වෙනම දෙමළ රටක් ජනිත කර ගැනීමේ ලෝක දෙමළ ව්‍යාපාරයේ හා ටී එන් ඒ දෙමළ ඊලම් කොටස්වල අභිලාශය මානසික හා භෞතික වශයෙන් පරාජය නොකර දෙමළ වැසියන්ගේ පුද්ගලික යහපත උදාකර දීමට හැකියයි සිතීම සම්මා දිට්ටි හෝ සම්මා සංකප්ප හෝ නොවේ. ඒකීය රටක් නොව එක්සත් රටක් තුල බලය බෙදීමක් ඕනෑයයි ඊලම් වාදීන් කියන්නේ දෙමළ වැසියාගේ ජන ජීවිතය ගැන සිතා නොව දේශපාලකයින්ගේ බඩගෝස්තරය ගැන සිතාය. ඉතා සුළු උදාහරණයක් ගත්තොත්, ලංකාවේ දෙමළ ජනයාගෙන් සියේට හතලිහක්ම ඉන්නේ උතුරේ හා නැඟෙනහිර තියෙනවා කියන දෙමළ නිජ භූමියේ නොව ඉන් පිටය. කොළඹ නගරය ගත්තොත් එහි සිංහල ජනයා ඉන්නේ සියේට තිහක් පමණය. මේ නිසා වෙනම රටක් කඩාදීම මේ ප්‍රශ්නයට විසඳුම නම් කොළඹ හා මලය නාඩුද (කන්‌ද උඩරට වතු දෙමළ) ඒ දෙමළ රටේ කෑලි විය යුතුය. ලෝක දෙමළ නිජ භූමිය තිබෙන්නේ ටැමිල්නාඩ් වලය.
මෙවැනි ජරමරයක් නොකර, එක්තරා සාධාරණ ප්‍රමාණයකට යම් දෙමළ අභිලාශද ලබා ගත හැකි, එහෙත් ඒ අභිලාශ, සිංහල ජනයාගේ එකම අභිලාශය වන ටැමිල් නාඩුවට ඊලම් හරහා ලංකාව අල්ලා ගන්නට මග පාදා නොදිය යුතුය යන්න හා නොගැටෙන ආකාරයට දිය හැකි බෞද්ද්ධ මධ්‍යම ප්‍රතිපදා (රීසනබල්) විසඳුමක්, ඊලම් දමනයක් ඇත. 2009 මැයි 19 දාට පසුදා යුද්ධ ආඥාවක් මඟින් අහෝසි කලයුතුව තිබූ ලංකාවේ පලාත් නවයේ බෙදුම එසේ සිදුනොවූයේ රට ගැන, සිංහල ජාතිය ගැන, බෞද්ධ ශාසනය ගැන, හරි හමං කැක්කුමක් නොමැති කළු සුද්දන් පිරිසක්, ධර්‌මපාලතුමාට පසුව මෑතකදී ගංගොඩවිල සෝම හාමුදුරුවන් විසින්ද ඉතා පැහැදිලිව පෙන්වාදුන් ආකාරයේ, විනාශකාරී බලවේග වලට ගොදුරුවී සිටිය නිසාය. ප්‍රභාකරන් දෙමළ කැප්පෙට්ටිපොල යයි කියන විග්නේශ්වරන් වැනි කෙනෙකුට හෙමින් හෙමින් ඊලම කරා යාමට ඉඩ දුන් හසළක වීරයාට ද්‍රොහීවූ පුද්ගලයින් නිසාය. දැන් සිදුවී තිබෙන්නේ නියපොත්තෙන් කැඩිය හැකිව තිබූ දෙය පොරොවෙන් කැපීමටය. ත්‍රිකුණාමළයට කෙළ හලමින් සිටින රටවල් පෑනෙන් පරදවා මෙය කල හැකි දෙමළ ජනයාට ගම් මට්ටමින්ම බලය පවරා දෙන බව පෙන්වා දීමෙන් ය. මෙය කරන්නේ කෙසේද? බෞද්ධ ක්‍රමයට රටක් ශීලාචාරීකරණය කිරීමට යාමේදී බෞධ නොවන අයව රේල් පීල්ල උඩ තබා ගන්නේ කෙසේද?
ඊලම් දමනය
1. ගතයුතු ප්‍රථම පියවර (භූමි ඒකක සඳහා අතීතයේදී මෙන් ස්වාභාවික මායිම් යොදා ගැනීම)
ලංකාවේ පහලම සිවිල් රාජ්‍ය පරිපාලන ඒකකය වන ග්‍රාම සේවක වසම් දැනට බොහෝ සෙයින් පවතින කෘතිම මායිම් වෙනුවට පරිසර-ස්වභාවික (ගංඟා නිම්න හා භූගත ජලය) මායිම් අනුව පිහිටුවීම (උදාහරණයක් වශයෙන් ගිනිගත්‌හේන පොලිසියේ වහලේ එක පැත්තකට වැටෙන වැහි වතුර කැළණි ගඟටත්, අනිත් පැත්තට වැටෙන වතුර මහවැලි ගඟටත් ගලා යයි. මේ නිසා එම දියබෙත්‌ම වසම් දෙකක ස්වභාවික මායිමය).
1987 දී ජේ ආර් ජයවර්‍ධන මහතා විසින් පත්කල ඉඩම් කොමිසමේ වාර්‌තාව (1990 අංක 3 දරණ සැසි වාර්‍තාව) මඟින් මෙම යෝජනාව ගෙනා බව දන්නා දේශපාලකයෙක්, නිලධාරියෙක්, නඩුකාරයෙක් හෝ විශ්ව විද්‍යාලකාරයෙක් හෝ එන් ජී ඕ කාරයෙක් අද රටේ ඉන්නවාද යන්න සිතනවිට ඇතිවන්නේ කණගාටුවකට වඩා කේන්තියකි.
ගම-වැව-දාගැබ යන පැරණි සිංහලේ සමාජ-ආර්ථික-පරිසර ත්‍රිත්‌වය ගඟක්, ඇලක්, දොළක්, උල්පතක්, වැවක් කේන්ද්‍ර කරගත් ඒකකයකි. මේ මඟින් 4,000 සිට 14,000 දක්වා ප්‍රේමදාස යුගයේදී වැඩිකල මෙම වසම් සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් අඩුවනු ඇත. මෙසේ පරිසරයට අනුකූල වනසේ සිවිල් ඒකක සැදීමෙන් පරිසරය හා ආශ්‍රිත ප්‍රශ්න වලට නිසි අවධානයක් ලැබේ. මෙසේ ගංඟා ද්‍රොණි අනුව පහල සිවිල් ඒකක නිර්‌ණය කිරීම කුඩා රටක් වන නිව්සීලන්තයේ නිතියය.
2. දෙවන පියවර
මෙම අළුත් වසම් එකතු කර දැන් තිබෙන දිස්ත්‍රික් හෝ පලාත් වලට සමාන වන විශාල ඒකක සදා ගත හැකිය. ඊට අමතරව චන්ද කොට්ට්ඨාශ ඇතුළු මැතිවරන ඒකකත්, වෙනත් පොලිස්, සෞඛ්‍ය, අධ්‍යාපන යනාදී පරිපාලන ඒකකත් මෙම වසම් එකතුකර සැදූ මායිම් අනුව පිහිටු විය හැකිය. යම් වසමක් කෘතිම කෑලිවලට නොකැඩීම මෙහිදී අනුගමනය කල යුතු මූලික රීතියය. මේ අනුව මේ සියළු අනෙකුත් ඒකක ස්වාභාවික මායිම් සහිත ඒකක වේ. මීට හේතුව ලංකාවේ ඇති ගංඟා ද්‍රොණි 103 අනුව රටේ මුළු භූමියම ගංඟා ද්‍රොණි අනුව බෙදිය හැකි වීමය. ගහක අතු මෙන් ඒවා උස් තැනක සිට පහලට ගලා ගොස් ක්‍රමයෙන් විශාලවී ලොකු ගඟක්ව මුහුදට වැටේ (දැනට පවතින ක්‍රමය අනුව යම් දිස්ත්‍රික්කයක හෝ පලාතක මායිම ස්වාභාවික මායිමක් නොවන නිසා එසේ ඒවායේ මායිම් වලට අසුවන ග්‍රාම සේවා වසම් වලටද ස්වාභාවික මායිම් නැත). උතුරට දකුණෙන් පොල් රා ගේන්නට එපා, උතුරට මොරගහකන්‌ද වැවේ ජලය ඕනෑ කියා දැන් එන්නේ ඉදිරියට ගංඟා ජලය බෙදා ඉල්ලා ඇතිවන ජල යුද්ධ වල සංඥා ය. දැනටමත් මෙවැනි ජල යුද්ධ ටැමිල්නාඩ් හා එහි අසල්වැසි ජනපද තුන (කේරළ, කර්‌නාටක හා ආන්ද්‍ර ප්‍රදේශ්) අතර නිතරම හටගනී. නියං කාලයට ඊලම් ප්‍රදේශයට කඳු රටින් ආරම්භවී එන ගංඟා ජලය ඉල්ලා මානව අයිතියක් කඩකලා කියා යූ එන් ඕ එකේ නඩු කියනු ඇත.
3. තුන්වන පියවර (ජනයාට බලය මාරු කිරීම)
මෙම ග්‍රාම සේවක වසම් වල භූමි ප්‍රමාණය හෝ ජනගහනය අනුව සලකා බලා තනි වසමක් හෝ වසම් දෙකක් හෝ තුනක් එකතු කර ඒවා ජන සභා ලෙස හඳුනා ගැනීම. ජනගහනය ගැන සැලකීමේදී පදිංචි මුළු මිනිස් සංඛ්‍යාව මිස ඔවුන්ගේ ජාතිය, වර්‍ගය, කුලය, භාෂාව හෝ ආගම නොසැලකිය යුතුය. මෙම ජන සභා වලට ග්‍රාම රාජ්‍ය සංකල්පය හෝ ඉන්දියාවේ පංචයාත් රාජ්‍ය මෙන් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයට බලපානා කරුණු සම්බන්‌ධයෙන් තීරණ ගැනීමට හා ක්‍රියා කිරීමට බලය ගුණාත්මක ලෙස (මීනින්ෆුල්) පවරා දිය යුතුය.
දකුණු පලාත්‌වල මුස්ලිම් ජනයා එකට කැටි ගැසී සිටින කුඩා භූමි ප්‍රදේශ ඇතත්, දෙමළ ජනයා දකුණේ ඉන්නේ විසිරී ගොස් ය. ලංකාවේ සිංහල ජාතිය හා අනිත් ජනවර්‌ග එකට ජීවත්‌වන්නේ හරියට බිත්තරයක් එකට කලවම් කලාවගේය කියන්නේ මේ නිසාය. ඒ මිශ්‍රණය නැවත වෙන්කර ගත නොහැකිය. මේ අනුව ස්වාභාවික මායිම් අනුව සැදූ ජන සභා ප්‍රදේශ, සිංහල, දෙමළ හෝ මුස්ලිම් ජනයා සම සමව සිටිනා (කොළඹ නගරය මෙන්) හෝ බෙහෙවින් අසමානව සිටිනා (මාතර-සිංහල, යාපනය-දෙමළ, අකුරණ-මුස්ලිම්) ඒකක විය හැකිය. ඒ අනුව යම් ජන සභාවක සුළු ජන කොටස යන වචනය දෙමළ හෝ මුස්ලිම් ජන කොටස් වලට පමණක් සීමා නොවේ. මඩකලපුවේ සිංහලයා ඉතාමත් සුළු ජාතියකි.
සංහිඳියා කඩුව හා නාගයා
දහස් ගණන් ජන සභා වල ජනයා තමන්ගේ එදිනෙදා පුද්ගලික උවමනාකම් සපුරා ගන්නා ගමන් යම් අති බහුතර ජන කොටස් වලට යම් පොදු අභිලාශ සඳහාද මේ මඟින් අවකාශයක් ලැබේ. එහෙත් දැන් පවතින 13-ඒ උතුරු හා නැඟෙනහිර පලාත් සභා මෙන් සිංහල ජාතියට අවදානමක් කිරීමට මේ ජන සභා වලට ඉඩක් නැත. හේතුව ජන සභා මායිම් භාෂාව හෝ වර්‍ගය අනුව පිහිටුවා නොතිබීමත්, යම් ජන සභාවක් එය තුල සිටින සුළු ජන කොටසට හානිකරන අන්‌දමේ තීරණ ගත්තොත්, ඒ සුළු ජන කොටස අති බහුතරයක් වන වෙනත් ජන සභාවක් ඊට විරුද්ධව (එකට එක කර) එහි සිටින සුළු ජන කොටසට හානිකරවන තීරණයක් ගන්නට පෙළඹීමට ඉඩ තිබෙන නිසාත් ය. මෙය අයුතු හැසිරීමක් (නීති පැනවීමක්) ලෙස නීති මඟින් තහනම් කරණවාට වඩා වෙනස් අන්‌දමට බලතුලනය කිරීමකි. මඩකලපුවේ මුස්ලිම් අය අධික ජන සභාවක් අළුතින් පන්සල් හැදීම තහනම් කරන්නට නීතියක් පාස් කොලොත් ඒ වෙනුවට හෝමාගම ජන සභාවක් මුස්ලිම් පල්ලි හැදීම තහනම් කරන නීතියක් පාස් කරන්නට ඉඩ ඇත. මේ නිසා හෝමාගම මුස්ලිම් ජනයා මඩකලපුවේ මුස්ලිම් ජනයාට මේ අනතුර දන්වා එය වලක්වනු ඇත. දැන් තිබෙන ක්‍රමය අනුව සංහිඳියාව පවත්‌වාගෙන යන්නේ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බැගින් උතුරේ හා නැඟෙනහිර බුදු පිළිම වලට රෑ දාවල් මුර දමා නොවේද? දකුණේ බෞද්ධයින් චිරානුගත අන්‍යාගමික රූප වලට හෝ පල්ලි වලට තාර ගන මනසික මට්ටමකට වැටී නැත. උතුරු නැඟෙනහිර දෙමළ-මුස්ලිම් ජන කොටස් උසිගන්වන දේශපාලකයින්ට සංහිඳියා කඩුව මිස නවගුණවැල නොතේරේ. ඔවුන්ට මෙත්තා-කරුණා-මුදිතා-උපේක්ඛා ද අණ්ඩර දෙමළය. මේ නිසා වෛරයෙන් වෛරය නොසන්සිඳේ යයි මතුරනවා වෙනුවට බෝධිසත්‌ව නාගයා ලිප්බොක්කෙන් දර පොල්ලක් අතට ගත් මැහැලියට කලා මෙන් පෙනේ පිප්පීමක් අවශ්‍යය.
4. හතරවන පියවර (ජන සභා ක්‍රියාත්මක කිරීම)
මෙම ජන සභා පක්‍ෂ දේශපාලනයෙන් තොරව චන්දයෙන් තෝරා ගන්නා නියොජිතයින් දස දෙනෙකුගෙන් සමන්විත විය හැකිය. මහජනයාගේ එදිනෙදා ජීවිතයේ අවශ්‍යතා විශාල කොටසක් මේ ජන සභා මඟින් සපයා ගත හැකිය. පිරිසිදු ජලය, කුණු කසල කළමනාකරණය, ඩෙංගු මර්‍ධනය, පරිසර දූෂණය අවම කිරීම, මොන්ටොසෝරි, ප්‍රාථමික අධ්‍යාපනය, මූලික සෞඛ්‍ය සේවා, පාරවල්, මූලික රාජ්‍ය සේවා, මූලික සමාජ සේවා, ගොවි ජන සේවා යනාදිය මේ යටතට පත්කල හැකිය. උතුරු වසන්තය හා නැඟෙනහිර නවෝදය අසාර්‌ථක වුනේ මෙසේ නොකල නිසාය. මධ්‍යම ආණ්ඩුව මගින් කලයුතු සේවා හා ජාතික මට්ටමෙන් ගතයුතු තීරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රමය හරහා සිදුවෙනු ඇත. සෑම ජන සභාවකම පර්‍යේෂණ ඒකකයක් පිහිටුවිය යුතු අතර එම ඒකකයේ නිලධාරීන් පත් කිරීම හා විනය පාලනය මධ්‍යම පර්‍යේෂණ ආයතනයක් මඟින් මිස ජන සභාව හරහා නොවිය යුතුය. ජන සභා සම්බන්ධ දත්ත, වාර්‍තා ප්‍රමිතීකරණය කර පරිගණක මඟින් වෙබ් අඩවියකින් බලාගත හැකිවිය යුතුය. මේ අනුව හම්බන්තොට ඉන්නා අයෙකුට යාපනේ හෝ අම්පාරේ තොරතුරු විවෘත විය යුතුය. මේ සම්බන්‌ධයෙන් සවිස්තර සලැස්මක් මේ ලිපියේ සඳහන් කල නොහැකිය. මෙවැනි පරිගණක ගතකල දත්‌ත දැනටමත් ග්‍රාම සේවක වසම් මට්ටමෙන් රජයේ වෙබ් අඩවිවල දමා තිබෙනු මා දැක ඇත.
5. පස්වන පියවර (තිරසර සංවර්‍ධනය)
තිරසර සංවර්‍ධනය යනු-ආර්ථික සංවර්‍ධනය-සමාජීය අභිවෘධිය-පරිසර සංරක්‍ෂණය යන පාද තුනක් සහිත ත්‍රිකෝණය ය. එහෙත් ඊලම් හිසරදය සමඟ තිරසර ප්‍රගතියක් බලාපොරොත්තුවීම වෙස්ට් බෑන්ක් එකේ යුදෙව් ජනාවාස හදමින් ඊශ්‍රාලය පලස්තීනය සමඟ සාමයක් හොයනවා වැනිය. ලෝකය සුවපත් කරන්නට, ශීලාචාර කරන්නට මඟ පෙන්වන්නට යුනෙස්කෝවේ බෞද්ධ නියෝජිතයාවන තම්පාවෙල ධම්මරතන හිමියන් (ප්‍රංශ ජාතිකයෙක්ද සමඟ) ලියූ පොතේ කියනදේ ලංකාවේ ක්‍රියාත්‌මක කරන්නට නම් නැඟෙනහිර කෘතිම පලාතේ දෙමළ නිජ භූමියක් තිබේ යන චෙල්වනායගම් මහතා ගෙතූ මිථ්‍යා කතාව ශුන්‍ය කල යුතුය. එය කල හැක්කේ නැඟෙනහිර පලාතත් අනිත් පලාතුත් ස්වාභාවික මායිම් සහිත ඒකක ලෙස පරිසර විද්‍යාත්මකව හඳුන්වා ගැනීමෙනි. ඊලම් දමනය කියන්නේ එයටය.
මෙය භූමි ප්‍රමාණය වශයෙන් දැන් තිබෙන දිස්ත්‍රික් 25 මට්ටමින් හෝ පලාත් නවය මට්ටමෙන් හෝ ගංඟාද්‍රොණි මායිම් අනුව කල හැකිය. සෑම ප්‍රදේශයකටම සාගර මුහුණතක් ලැබෙන හා බිමේ ප්‍රමාණයෙන් බොහෝ සෙයින් එක සමානවන ආකාරයට ගංඟා ද්‍රොණි හතකට බෙදු කලාප සිතියම මෙහි පහතින් ඇත. යාල් පානම් කලාපය, රජරට කලාපයෙන්ද ජලය ලබාගන්නට යන (මොරගහකන්‌ද-කළු ගංඟා ව්‍යාපෘතිය), අතිබහුතර දෙමළ ජනාශ්‍රිත කලාපයක්වේ. එහෙත් එය එසේ වෙන්කර ඇත්තේ භාෂාව පදනම් කරගෙන නොවේ. දිගු කාලයේදී බුදු පිලිම අරහං කරවන මනසක් ඊලම්වාදීන් විසින් අහිංසක දෙමළ ජනයාට පැටවීමට සැදීම ශුන්‍ය වන්නේ එවිටය. මුස්ලිම් ශාරියා වාදයද ගම් මට්ටමින් ලොප් කල හැක්කේද එවිටය. ඒ සමඟ සිංහල හා දෙමළ භාෂා පාසැල්වල උගැන්වීමද ජන සභා මට්ටමෙන් සිදුවනු ඇත. මෙයද ඊලම්වාදය කොට උඩ යැවීමට හේතුවන්නේය.
චන්ද කොට්‌ඨාශ අනුව පක්‍ෂ දේශපාලනය උඩ පත්‌වන පාර්ලිමේන්තුවකුත්, පක්‍ෂ දේශපාලනයෙන් තොරව චන්දයෙන් පත්‌වන සම්මුතිවාදී ජන සභා ක්‍රමයකුත් යන විධි දෙක මඟින් දේශපාලනය පවුල් ජීවිකාව කරගෙන ජීවත්‌වන පිරිසක් විසින් ජන සභා ක්‍රමය අඩාල කරන්නට දරන උත්සාහයට රීසනබල් (මධ්‍යම ප්‍රතිපදාව) විසඳුමක් ලැබේ. රටේ ජන සභා ගංඟා ද්‍රොණි හතක් වශයෙන් ගොනුකර (හෝ දිස්ත්‍රික් 25 ක් වශයෙන් ගොනුකර) සිය දෙනෙකුගෙන් යුත් ජාතික ජන සභා මණ්ඩලයක් (සෙනේට් සභාවක්) පිහිටුවා එය පාර්ලිමේන්තුවට අතිරේක නීති සම්පාදන ඒකකයක් කල හැකිය. මේ මඟින් ජාතික මට්ටමින් බලතුලනයක් ඇතිවේ. මේ මඟින් පක්‍ෂ දේශපාලනයද ශීලාචාර වනවා නිසැකය.
බුද්ධාගමේ මුල් ගලක් වන මධ්‍යම ප්‍රතිපදාවත්, නූතන නීති විද්‍යාවේ එන රීසනබල්නස් ඩොක්ට්‍රින් එකත්, භූගෝල විද්‍යාවේ එන පෘථිවි තලය මත තිබෙන වෙන්කර හඳුනාගත හැකි භූමි ප්‍රදේශය (රීජන්ස්) නමැති සංකල්පයත් එකම ලෝක සිද්ධාංතයක් දෙස පැති තුනකින් බැලීමක් බව වටහා ගැනීම සම්මා දිට්ටි හා සම්මා සංකප්ප ද වේ. එවිට සම්මා වායාමයක් සඳහා ඉඩක් ලැබේ. ජන සභා සංකල්පය ත්‍රිකෝණයක මැද නම් එහි එක පැත්තක් මධ්‍යම ප්‍රතිපදාවය. ඒ කියන්නේ අන්තවාදී නොවීමය. ඌරු මස් කන, හරක් මස් කන, කුකුල් මස් කන, මාළු කන හා එළවලු පමණක් කන මිනිසුන් යම් ජන සභාවක් තුල සිටිය හැකිය. මේ නිසා එහි මිනිසුන් යම් යම් එකඟතාවලට (කම්ප්‍රොම්‍යිස්) පැමිණිය යුතුය. ත්‍රිකෝණයේ දෙවන පැත්ත ලෙස නීති විද්‍යාවේ (ජුරිස්ප්‍රැඩන්ස්) රීසනබල්නස් න්‍යාය (සාධාරණකම) ඇත. මෙයද බුද්‌ධාගමේ මධ්‍යම ප්‍රතිපදාවය. ඕනෑම ගැටුමක් අන්තිමේදී උසාවියකින් විසඳන්නේ මේ රීතිය අනුව යමින් ය. ජන සභාවක් ගත් යම් ක්‍රියාවක්, තීරණයක් සාධාරණද යන්න තීරණය වන්නේ නොයෙක් භූගෝල විද්‍යාත්මක කරුණු මතය. ත්‍රිකෝණයේ තුන්වන පැත්ත වන්නේ භූමි ප්‍රදේශයය (රීජනල් කන්සෙප්ට්). ලෝකයේ හෝ රටක භූමිය නොයෙක් නිර්‍ණායක අනුව එකිනෙකට වෙනස් භූමි ප්‍රදේශ වේ. මෙය පස, ජලය, ගස්, දේශගුණය හෝ ඒවායේ එකතුවෙන් (ලංකාවේ කෘෂි-පරිසර කලාප 46 ක් හඳුනාගෙන ඇත්තේ මෙසේය) හෝ සිදුවන දෙයකි. වියලි කලාපය, තෙත් කලාපය, තැනිතලා, කඳුකර, හුනුගල් පස, කබොක් පස, ලඳු කැලෑ, අර්‌තාපල්, ගෝවා වැවෙන ප්‍රදේශ, වටු කුරුළු බිත්තර එකතු කරගතහැකි ප්‍රදේශ යනාදී වශයෙන් විව්ධ ප්‍රදේශ ඇත. වැසි ජලය ලැබෙන ආකාරය අනුව මේ භූමි ප්‍රදේශ අවුරුදුපතා හෝ චක්‍රාකාරව අවුරුදු ගණනකට වරක් හෝ වෙනස්වීම් වලටද ලක්වේ. ගංවතුර, නායයාම්, නියං වලට ලක්‌වෙන ප්‍රදේශ ඇත. මින් පෙනීයන්නේ ජන සභා ලෙස කුඩා භූමි ප්‍රදේශ වශයෙන් මිස මෙග ප්‍රොජෙක්ට් ලංකාව වගේ කුඩා රටකට නුසුදුසු බව නොවේද? මෙග ප්‍රොජෙක්ට් වලට වන්‌දි ගෙවන්නේ තාවකාලික දේශපාලකයා නොව අසරණ රටවැසියාය.
පහතින් පෙන්වන සිතියම් තුන දෙස බලන්න. පුරාණ ලඬකාව යන සිතියම ගත්තේ වල්පොල ශ්‍රී රාහුල හාමුදුරුවන් විසින් 1955 දී ඉංග්‍රීසියෙන් ලියා සිංහලට පෙරලූ ලක්දිව බුදුසමයේ ඉතිහාසය නම් පොතෙනි. ඒ සිතියම පිළියෙල කර දී ඇත්තේ සී ඩබ්ලිව් නිකලස් නම් ඉතිහාසඥයා විසිනි. සිංහල ජනයාගේ ඉතිහාසය දකුණු පලාත් හතට සීමා කිරීමට සිතීම කෙතරම් අසාධාරණද යන්න ඉන් පෙනී යයි. 1977 සංඛ්‍යා ලේඛන අනුව දෙමළ හා මුස්ලිම් ජනයා සියේට 1-10 දක්වා සිටින මැතිවරන කොට්ට්ඨාශ මට්ටමේ සිතියම ඊලඟ සිතියමය. මෙවැනි දත්ත 1977 න් පසුව ප්‍රසිද්ධ කර නැත. මෙවැනි කලවම්කල බිත්තරයක සුළු ජනවර්‌ග වලට සංහිඳියාවෙන් ජීවත්‌වීමට සුදුසුම විධිය ජන සභා ක්‍රමය නොවේද? භූගෝල විද්‍යා මහාචාර්‍ය මද්දුමබණ්ඩාර විසින් නිර්‍මාණය කල තුන්වන සිතියමෙන් පෙන්වන්නේ පරිසර සාධක අනුව මායිම් සදාගත් ජන සභා ක්‍රමය යටතේ ඉදිරියට ගොස් දිවයින බෙදිය හැකි භාෂාව නොව ස්වභාව ධර්‍මය මත පදනම්වූ රටකි. 13 ඒ අහෝසිකර ඒ වෙනුවට ගත හැකි සංහිඳියා පියවරය. මෙය වනාහි ලෝකයේ ඊලම් දමනය නම් වේ.
February 28th, 2017 at 1:53 am
බිරිතානියෝ සින්හලයන්ගෙ රට කිව්ව එක ඉන්දියානු පොලොවෙ උන් කියාපු සිරිලන්කාව උනා.
සිහලයිනි තේරුම් ගන්න, එකතුවන්න ඉන්දියානු අදිරදයට හා ඉන්දියානු පරපෝසිතයන්ට එරෙහිව නැගී සිටින්න.