ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාරයා  66න් පක්ෂයේ, ඉදිරි ගමන අවසන් කරයිද?
Posted on September 2nd, 2017

චන්ද්‍රසේන පණ්ඩිතගේ 

අතිගරු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක චරිතය මුල සිට අගටත්, අගසිට මුලටත්, පියවරින් පියවර හැදෑරීම, තුලින් ලැබෙන දැනුමේ අගය ඉතා ඉහලය. . ජනතාවට සේවය කිරීමට රාජ්‍ය බලය තමා අතට එනතෙක් බලාසිටින නායකයෙකු නොවූ එතුමා ඉතා වැඩි කාලයක් ජනතාවගේ ශුභ සිදධීන් සඳහා අදාල වන ව්‍යාපෘතීන් ගනනාවක්ම නිර්මාණය කලේ ඉංග්‍රීසි පාලන සමය තුල එම පාලන රාමුවට බද්ධව බව ඉතිහාසය අපට පෙන්වා දෙයි

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක නම්වූ සුර නිර්මාණයට ඉටු කිරීමට පැවරී තිබුණේ, ඉහල අධ්‍යාපනයක් ලබාගෙන සමාජ පදනමක් ගොඩනංවා ගැනීම හා ඒ සමාජබලවේගය උපයෝගී කරගෙන, සිංහල ජාතියටත් බෞද්ධ සංස්කෘතියටත් රටටත් බලපාන විනාශකාරී තත්වයන් නිමා කොට සියලුම ජන කොටස් වලට ජීවත්වීමට හිතකර රටක් නිර්මාණය කිරීමේ කාර්යය ඉටුකිරීමටය..

ඒ කටයුත්ත ඉටුකිරීම සදහා ඇවැසි සෑම දෙයක්ම එතුමාට ලබාදී තිබුණ අතර, එතුමා ඒ හැම දෙයක්ම මනාව කළමනාකරමින් දේශපාලන පිටියටද අවතීර්ණ විය. මෙතුමා, තමා සිටින්නේ කොතනද? ඒ සීමාව තුල තමාට කලභැකි දේවල් මොනවාදැයි මනාව හඳුනාගනිමින්, ඒ ඒ කාර්‍යයන් නිම කරමින්, ඉදිරියටම ගමන් කල පුද්ගලයෙක් විය. රටේ ගැටළු යනු මේ රටේ ජීවත්වෙන ජනතාවගේ ගැටළු බව එතුමා මැනවින් දැන සිටියහ. ඒ නිසා ජනතාවගේ ගැටළු ජනතාවටම විසඳාගත හැකි පාලන ක්‍රමයක් නිර්මාණය කිරීමටද වෙහෙසුනහ. පවතින යටත් විජිත පාලනරාමුව තුල, ජනතාවට ඔවුන්ගේ කාර්‍යයන් විසඳා ගැනීමේ පහසුම ක්‍රමය ගම්සභා හා පලාත් පාලන ආයතන ගොඩනංවා ඒවායේ පාලනය ඒ ඒ ගම්වල ජනතාවට පවරාදීම බවද අවබෝධ කරගෙන සිටියහ.මෙතුමා, මේ කටයුත්තේදී ඉතා උද්‍යෝගීමත්ව, දිවා රෑ වෙහෙස නොබලා කටයුතු කල අයෙකි. මේ අනුව වර්‍ෂ 1925 දෙසැම්බර් මස 16 වෙනිදා, ආතර් වී දියෙස් හා ඩී. එච්. එස්. නානායක්කාර යන මහත්වරුන්ගේ පුරෝගාමිත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පවත්වන ලද, “සමස්ත ලංකා ගම්සභා සම්මේලනය”ටද බද්ධ වෙමින් වර්‍ෂ 1929 වර්‍ෂයේදී එම සංවිධානයේ සභාපති ධුරය හොඹවමින් ග්‍රාමීය සංවර්ධනයට නවතම ජවයක් ලබාදුන්නේය.

වර්‍ෂ 1931දී හා වර්‍ෂ 1936දී එතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවට වේයන්ගොඩ ආසනය වෙනුවෙන් නිතරගයෙන් පතවූ අතර, සෞඛ්‍ය හා පලාත් පාලන ඇමතිවරයා ලෙස කටයුතු කලේද එතුමාය. මේ කාලය තුලදී, ලංකාවේ පලාත්පාලන කටයුතුවල මහා පෙරලියක් සිදුකරමින්, මෙරට ගම්වාසීන්ගේ, සුභ සිද්ධිය සඳහා කල මෙහෙවර අමරණීය වේ.
ඒ තුලින් රැකී රක්‍ෂා නොමැති අයට රැකී රක්‍ෂා ලබාදීමේ ක්‍රමවේදයක්ද ඇතිකල අතර, ඊට අමතරව, මාතෘදාරක අභිවෘදි කටයුතු, ග්‍රාමීය ආයුර්වේද බෙහෙත්ශාලා පිහිටුවා ජනතාවගේ සෞඛ්‍ය තත්වය නගා සිටවීම, වැනි කටයුතු සිදුකරමින් අනාගත නිදහස් ලංකාවේ පාලනයන් සිදුකරන ආකාරය සම්බන්ධව ජනතාව පුරුදු පුහුණු කරමින් ජන විඤ්ඤාණය ඉහල තලයකට ඔසවා තබන්නට එතුමාට හැකි විය.

සමස්ත ලංකා ගම්සභා සම්මේලනයට වසර 25ක් පිරෙන අවස්ථාවේදී, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා එම සම්මේලනයේ, සභාපතිවරයාද වූ අතරම රටේ සෞඛ්‍ය ඇමතිවරයා හා පලාත් පාලන ඇමතිවරයාද විය. එම සම්මේලනය අමතා බණ්ඩාරනායක මහතා මෙසේ සිය අදහස් පලකරන ලදී.

“පුරවැසියෙකු වශයෙනුත්, ගම්සභා සාමාජිකයෙකු වශයෙනුත්, ගම්සභාපතිවරයෙකු වශයෙනුත්, රාජ්‍ය මන්ත්‍රණසභාවේ මන්ත්‍රීවරයෙකු වශයෙනුත්, පලාත්පාලන ඇමති වශයෙනුත්, අවුරුදු කීපයක්ම මේ සම්මේලනයට මැදිහත්ව ක්‍රියාකරන්නට ලැබීම, විශාල ආඩම්භරයකි. සම්මේලනයේ කටයුතු වලට මැදිහත්වෙන්නට යෙදුන මේ දීර්ඝ කාලය තුල අපේ ස්වතන්ත්‍රක්‍රමය ප්‍රදේශාණ්ඩුක්‍රමයේ වැඩි දියුණුව සඳහා යම් ආධාරයක් කිරීමට මට පුළුවන් වී තිබේනම් එය මාගේ රට වෙනුවෙන් කරන ලද, ඉතාමත් වැදගත් සේවයක් ලෙස සලකමි.මම  මේ සේවය අවංක ලෙසත් හිතවත් ලෙසත් හැකිතරම් හොඳටත් ඉටුකිරීමට ඉදිරිපත්වීමි.”

ඉහත සටහන් කරන ලද්දේ,  බණ්ඩාරනායක මහතා, සිය ජීවිතයේ මහත් වෙහෙසක් දරා, යටත්විජිත පාලකයින්ගේ යකඩ සපත්තුවට පෑගී සිටි ජනතාවට සිය ගම්වල දෙෙනික කටයුතු නිදහසේ කරගෙන යෑමට මං විවර කරදීමට පලාත්පාලන ක්‍රමය හඳුන්වාදීමට හැකිවීම නිසා ඇතිවූ සතුට විසින් මුදාහල උදාන වාක්‍ය පෙලයි. එතුමාට වර්තමානයේ, වසර 66ක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවත්සර සභාවට පැමිණෙන්නට හැකියාවක් ඇත්නම්, අද දකින්නට ඇත්තේ කුමක්ද?

වර්තමාන ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය හොබවමින් කටයුතු කරන අතරම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ, නිර්මාතෘ එස්. ඩබ්ලිව්. ආර්. ඩි. බණ්ඩාරනායක මහාතාගේ අපේක්ෂාවන් සියල්ලක්ම ඉතා පහත අන්දමින් කෙළෙසමින් සිටින තත්වයක් තුලදීම,පක්ෂයේ, 66 වෙනි උපන්දිනය සැමරීම අප දකිමු.. 1951 සැප්තැම්බර් මස 2වෙනිදා, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය බිහිවෙන මොහොතේදී, ගම්පහ දිස්ත්‍රික්කයේම තවත් තැනක මවකට දරු උපතක් සදහා සුදානම් වීමේ තත්වයක් ආරම්භව තිබිණි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපතට පසුදා එනම්,1951 සැප්තැම්බර් මස 3 වෙනදා මෛත්‍රීපාල සිරිසේන ළදරුවා උපත ලදී, ඒ ළදරුවාගේ හා උපත ලද මේ මහා බලවත් පක්ෂයේ අනාගත සම්බන්ධතාවය කුමක්දැයි කිසිවෙකුට වටහා ගැනීමට අද අපට හැකිව ඇත. මේ උපත ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ විපතේ ආරම්බය වන අතර, අද මේ සිදුවෙමින් පවතින්නේ ඒ කර්තව්‍යයි.

1. බණ්ඩාරනායක මහතා මහත් අභිමානයෙන් ගොඩනංවා ජනතාවට දායාදය කල පළාත්පාලන මැතිවරණ සියල්ලක්ම නොපවත්වා තම බලය පාමින්, අනම් මනම් කියමින්, සිටින තත්වයක් තුල පවත්වන මේ සම්මේලනය දිවංගත බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට කරනු ලබන අවමානයකි.

2.එදා බණ්ඩාරනායක මහතා ජනසතු කරන ලද ආයතනද පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයන් ගොඩනංවන ලද සියලුම රාජ්‍ය දේපල විකුණා කන යහපාලනය මේ සමුළුව බණ්ඩාරනායක නාමයට මහා නිගාවක් ඩි ඇත.

3. එදා අමධ්‍යප ව්යාපාරයම් බණ්ඩාරනායක මහතා සමග බද්ධව සිටියේ, මෙරට ජනතාව මතින් මුදා ගැනීම සදහා වුවද, අද පවතින මේ රජය කොකේන් නම් වූ මත ද්‍රව්‍ය පවා සතොස වැනි රාජ්‍ය ආයතන වලට බඩු ගෙන්වන කොන්ටෙනර් තුලින් ගෙන්වීම සිදු කරන තත්වයක් තුලදී, පත්වන මේ 66 වෙනි සංවත්සරය. බණ්ඩාරනායක මහතාට සිදු කරන මහා නිගාවකි.

මේ සංවත්සරය පවත්වන මේ මොහොතේ මෙරට ජනතාව වශයෙන් අප මේ යෝජනා වලියන් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වෙත ඉදිරිපත් කරමු.

1. වහාම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකමක් වූ ජන්දය දීමේ හිමිකමට බාධා නොකොට  වහාම පැවැත්විය යුතු මැතිවරණ සියල්ලක්ම පවත්වන ලෙස අප ඉල්ලා සිටිමු.

2. වහාම රාජ්‍ය දේපල හිතුවක්කාර ආකාරයට පරිහරණය කිරීම හා විකුණා දැමීම නවතා දමන ලෙස අප බල කරමු.

3. රණවිරුවන් දඩයම් කිරීම යහපාලන රජයේ දෛනික ක්‍රියාවක් බවට පත්ව ඇති බැවින් රණවිරු දඩයම වහාම නවතා දමන ලෙස අප මේ රජයට බල කරමු.

4. බණ්ඩාරනායක මහතා ලද විශේෂිත වරමකින් ලබාගත් ත්‍රිකුණාමල තෙල් ටැංකි පද්ධතිය කිසිදු විදේශීය බලවතෙකුට පැවරීම නොකරන ලෙස අප බලකර කියා සිටිමු.

5. මේ වකවානුව තුලදී අල්ලාගත් සියලුම මත් ද්‍රව්‍ය සියල්ලක්ම විනාශ කිරීමටත්, ඒවා හා සම්බන්ධ සියලු දෙනාටමත් එරෙහිව කටයුතු කිරීමට පියවර ගන්න මෙන් ජනතාව බල කොට කියා සිටි.

දුෂිතයින්ට විනාශයත් මෙරට යුක්ති ගරුක ජනතාවට විමුක්තියත් අපි අපේක්ෂා කරමු.
මෙරට දේශප්‍රේමී ජනතාවට ජයවේවා! පතමු.

One Response to “ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මාරයා  66න් පක්ෂයේ, ඉදිරි ගමන අවසන් කරයිද?”

  1. Christie Says:

    අද ගම්වල ගැහැනුන් සිටින්නේ මැද පෙරදිගය.

    බන්ඩගෙ කෙරුවාවට තවත් පිදේනි ඕනිනම් පොඩි එකීගෙන් අහන්න.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress