බැඳුම්කර කොමිසමට අපහාස කළ රවිට නඩු දාන්න
Posted on January 8th, 2018
ඩබ්ලිව්. කේ. ප්‍රසාද් මංජු උපුටාගැණීම මව්බිම
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුතුව ගැන සොයා බැලූ විශේෂ ජනාධිපති කොමිසමට ප්‍රසිද්ධියේ අපහාස කිරීම සම්බන්ධයෙන් හිටපු මුදල් ඇමැති…රවි කරුණානායක මහතාට එරෙහිව අපහාස නඩුවක් පවරන ලෙස ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් තීරණය කර තිබේ.
පසුගිය 6 වැනිදා උතුරු කොළඹ ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රවි කරුණානායක මහතා කොමිසම් වාර්තාවේ තිබෙන්නේ ව්‍යාජ කරුණු බව සඳහන් කරමින් ජනාධිපති කොමිසමට ප්‍රසිද්ධියේ අපහාස සිදු කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේයෂ්ඨ කැබිනට් අමාත්‍යවරයෙක් ‘මව්බිම’ට ප්‍රකාශ කළේය.
තමා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම විසින් නිර්දේශිත කරුණු ව්‍යාජ ඒවා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් රවි කරුණානායක මන්ත්‍රිවරයා සිදු කර තිබෙන්නේ ස්වාධීන ජනාධිපති කොමිසමකට අපහාස කිරීමක් බවත් එම කැබිනට් අමාත්‍යවරයා පෙන්වා දෙයි.
මෙම අපහාස කිරීම ගැන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් පිරිසක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවද එම අමාත්‍යවරයා සඳහන් කෙළේය.
මීට පෙර කොබ්බෑකඩුව මහතාගේ ඝාතනය ගැන සොයා බැලූ කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදෙමින් කොමිසම නොමඟ යැවූ කාන්තාවකට සිරදඬුවම් ලැබුණු බවත් එම සිද්ධිය සිහිපත් කරගන්නා ලෙසට රවි කරුණානායක මහතාගෙන් ඉල්ලා සිටීමට කැමැති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එම ජේයෂ්ඨ කැබිනට් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.