ලංකා ඉතිහාසයේ දරුණුම ණය අර්බුදය ඇතිකළ වැඩබැරි ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය
Posted on January 9th, 2018
මාධ්‍ය නිවේදනය මහින්ද රාජපක්‍ෂ ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති
2018 ජනවාරි 9 වෙනිදා, ඊනියා යහපාලන ආණ්ඩුව බලයට පත්වී අවුරුදු තුනක් සම්පූර්ණ වේ. මේ කෙටි කාලය තුළ මොවුන් ලංකාවේ සෑම ක්‍ෂේත්‍රයක් පුරාම දිවයන දැවැන්ත අර්බුද ගණනාවක්ම නිර්මාණය කර ඇත. මේ මොහොතේ සාකච්ඡා වෙන ප්‍රධානම මාතෘකාව වන්නේ මහ බැංකු මංකොල්ලය හා එය යට ගැසීමට ආණ්ඩුවේ නායකයන් ගන්නා උත්සාහයයි. බැඳුම්කර කොමිසමේ සම්පූර්ණ වාර්තාව එළි දක්වන තුරු අපි බලා සිටිමු. මහ බැංකු මංකොල්ලය මේ ආණ්ඩුව විසින් කරන ලද එක් විනාශයක් පමණි. යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරය නිමිත්තෙන් ඔවුන් මේ රටට කර ඇති තවත් භයානක වින්නැහියක් ගැන ජනතාවගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමි.
මේ ආණ්ඩුව බලය හොබවා ඇති මාස 36 ක කෙටි කාලය ඇතුළත ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් විදෙස් විනිමය ණය වලින් පමණක් ලබාගෙන ඇත. මෙය, ගත වූ අවුරුදු තුන පුරාම නිකුත් කරන ලද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 7.2 ක මුදල, 2015 හා 2017 නිකුත් කරන ලද සවරින් බොන්ඩ් වලින් ලබාගත් ඇ.ඩො.බිලියන 3.6 ක මුදල, 2016 හා 2017 ජාත්‍යන්තර බැංකු ගණනාවක මැදිහත් වීමෙන් ලබාගත් ඇ.ඩො. බිලියන 1.7 ක සින්ඩිකේටඩ් ලෝන් මුදල, 2015 හා 2016 ඉන්දියාවෙන් ලබාගත් ඇ.ඩො.බිලියන 2.2 ක කරන්සි ස්වප් ණය, හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 2016 දී ලබාගත් ඇ.ඩො.බිලියන 1.5 ක ණය වශයෙන් වෙන්කොට පෙන්විය හැක. මෙවැනි කෙටි කාලයක් තුළ වෙනත් කිසිම ආණ්ඩුවක් මේ තරම් විශාල විදෙස් විනිමය ණය ප්‍රමාණයක් ලබාගෙන නැත.
ඇමරිකානු ඩොලර් බිලියන 14.6 ක් වැනි මුදල් කණ්දරාවකින් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාර පහක් හා හම්බන්තොට වරායවල් පහක් ඉදිකොට තවත් දක්‍ෂිණ අධිවේගී මාර්ග දෙකක් ඉදි කිරීමට මුදල් ඉතුරු කරගත හැකි වුවත්, යහපාලකයන් එම මුදලෙන් බෝක්කුවක්වත් ඉදිකර නැත. මා ඉහත සඳහන් කලේ, විදෙස් විනිමයෙන් ලබාගත් ණය පමණි. 2015 ජනවාරියේ සිට මේ දක්වා ආණ්ඩුව භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් ණය බිලියන 5,706 ක්ද ලබාගෙන ඇත.
මහා පරිමානයෙන් විදෙස් ණය ලබාගත්තද එයින් බෝක්කුවක්වත් ඉදිකර නැතැයි යන චෝදනාවෙන් බේරීමට, යහපාලන ආණ්ඩුවේ තුන්වෙනි සංවත්සරයට සමගාමීව මොරගහකන්ද ජලාශයත්, රාජගිරියේ ගුවන් පාලමත් විවෘත කිරීමට යොදාගත්තද, 2005 මහින්ද චින්තන වැඩ පිළිවෙලට අනුව යමින් මොරගහකන්ද ජලාශය ඉදිකිරීමට පටන්ගත්තේ මගේ ආණ්ඩුව සමයේය. එහි සැලසුම්, මුදල් වෙන් කිරීම, යනාදිය නිමකොට ඉදිකිරීම් ආරම්භ කරනු ලැබුවේ 2007 වසර සිටය. රාජගිරියේ ගුවන් පාලම සඳහාද සැලසුම් හා මුදල් වෙන් කිරීම සිදුකරනු ලැබුවේ මගේ ආණ්ඩුව කාලයේය. රාජගිරියේ ගුවන් පාලමත්, පොල්ගහවෙල හා ගනේමුල්ල ගුවන් පාලම් දෙකත්, ඉඳිකිරීමට ලන්සු කැඳවා කොන්ත්‍රාත්කරුවන් තේරීම ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණේ 2014 දෙසැම්බර් 4 වෙනිදා කැබිනට් රැස්වීමේදීය. මේ ආණ්ඩුව තම තුන්වෙනි සංවත්සරය සමරන්නේද අනුන්ගේ ව්‍යාපෘති වලට තමන්ගේ නම දාගැනීමෙන් බව මෙහිදී කිව යුතුය.
යහපාලකයන් බලයට පැමිණියේ, මගේ ආණ්ඩුව විසින් ඉඳි කරන ලද විදුලි බලාගාර, වරායවල්, ගුවන් තොටුපොලවල්, අධිවේගී මාර්ග යනාදිය සඳහා ගන්නා ලද ණය නිසා රටේ ණය අර්බුදයක් පවතින බව කියමිනි. නමුත් මේ විශාල ව්‍යාපෘති සඳහා සැබවින්ම වැය වූ මුලු මුදල වූයේ නොරොච්චෝලේ විදුලි බලාගාරයේ සියලුම අදියර සඳහා – ඇමරිකානු ඩොලර් මිලියන 1,350; කොට්ටාව සිට මාතර දක්වා දක්‍ෂිණ අධිවේගී මාර්ගය සඳහා – ඇ.ඩො. මිලියන 740; හම්බන්තොට වරායේ අදියර දෙක හා තෙල් ටැංකි සංකීර්ණයද සඳහා – ඇ.ඩො. මිලියන 1,300; කොළඹ – කටුණායක අධිවේගී මාර්ගය සඳහා – ඇ.ඩො. මිලියන 292; හා මත්තල ගුවන් තොටුපොල සඳහා – ඇ.ඩො මිලියන 209 වශයෙනි.
ඉහත සඳහන් සියලුම මහාපරිමාන ව්‍යාපෘති සදහා වැයවූ සමස්ත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 3,900 කටත් අඩුය. මගේ ආණ්ඩුව විසින් ලබාගත් ව්‍යාපෘති ණය ගෙවීම සඳහා යහපාලන ආණ්ඩුව ණය ගනිමින් සිටින බව කීම අමූලික බොරුවකි. යහපාලන ආණ්ඩුව මෙතෙක් ලබාගෙන ඇති ඩොලර් බිලියන 14.6 න්, මම ඉහත නම් කරන ලද සියලුම ව්‍යාපෘති සඳහා ගිය මුලු වියදම සිවු වතාවක් ගෙවා නිම කල හැක. යහපාලන ආණ්ඩුව ගන්නා ණය වලින් කරන්නේ මගේ ආණ්ඩුවේ ව්‍යාපෘති ණය ගෙවීම නොව ආණ්ඩුවේ එදිනෙදා වියදම් පියවා ගැනීමයි. 2015 ජනවාරියේ සිට, රජයේ මුදල් දේශපාලන අරමුණු ඉටු කර ගැනීමට පාවිච්චි කිරීම නිසා කිසිඳු සැලසුම් කිරීමකින් තොරව එක්වරම රජයේ වියදම් විශාල වශයෙන් වැඩිවිය. මේ අමතර වියදම පියවා ගැනීම සඳහා යහපාලන ආණ්ඩුව රුපියල් වලින් මෙන්ම විදෙස් විනිමයෙන්ද දිගට හරහට වානිජ ණය ලබාගැනීම නිසා වර්තමාන ණය අර්බුදය නිර්මාණය විය.
විදෙස් ණය ලබාගත යුත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මේ ණය ගෙවීම සඳහා විදෙස් විනිමය මිලදී ගැනීමට සිදුවන නිසා විනිමය අනුපාතයේ සුලු වෙනසකින්වුවද ණය බර විශාල වශයෙන් වෙනස් විය හැක. 2015 හා 2016 මහබැංකු වාර්තාවලට අනුව යහපාලන ආණ්ඩුව බලය ගැනීමෙන් පසු ඇති වූ ආර්ථික බිඳවැටීම නිසා රුපියල බාල්දු වීම හේතුවෙන් පමණක් ලංකාවේ ණය බරට තවත් රුපියල් බිලියන 478 ක් එකතු වී ඇත. බැඳුම්කර මඟඩිය හේතුවෙන් 2015 මුල සිට ලංකාවේ පොළී අනුපාතය 50% කින් පමණ වැඩිවීම නිසාද ආණ්ඩුවේ ණයබර තවත් වැඩි වූ බවද මෙහිදී අප මතක තබාගත යුතුය. මගේ ආණ්ඩුව විදෙස් ණය ලබා ගත්තේ ඉතාමත්ම ප්‍රවේසමෙනි. මුදල් අමාත්‍යංශයේ වාර්ථා වලට අනුව 2008 සිට 2014 දක්වා විදෙස් ණය වාරික හා පොලී ආපසු ගෙවීම් පහත සඳහන් ආකාරයට විය.
2008 – ඇ.ඩො. මිලියන 881
2009 – ඇ.ඩො. මිලියන 1,041
2010 – ඇ.ඩො. මිලියන 826
2011 – ඇ.ඩො. මිලියන 971
2012 – ඇ.ඩො. මිලියන 1,620
2013 – ඇ.ඩො. මිලියන 1,160
2014 – ඇ.ඩො. මිලියන 1,306
මේවා ගෙවා ගැනීමට නොහැකි තරම් විශාල ගණන් නොවන නිසා ආපසු ගෙවීම් පිළිබඳ කිසිඳු ප්‍රශ්ණයක් මගේ ආණ්ඩුවට තිබුණේ නැත. වර්ථමාන ණය අර්බුදය සහමුලින්ම යහපාලන ආණ්ඩුවේ නිර්මාණයකි. 2015 සිට ඉදිරියට අපට ගෙවීමට සිදුවන විදෙස් ණය හා පොළිය පහත දැක්වෙන ආකාරයට වෙයි.
2015 – ඇ.ඩො. මිලියන 1,828
2016 – ඇ.ඩො.මිලියන 1,604
2017 – ඇ.ඩො.මිලියන 2,132
2018 – ඇ.ඩො.මිලියන 2,891
2019 – ඇ.ඩො.මිලියන 4,217
2020 – ඇ.ඩො.මිලියන 3,699
2021 – ඇ.ඩො.මිලියන 3,344
2022 – ඇ.ඩො.මිලියන 3,743
2023 – ඇ.ඩො.මිලියන 2,120
2024 – ඇ.ඩො.මිලියන 2,067
2025 – ඇ.ඩො.මිලියන 4,155
2026 – ඇ.ඩො.මිලියන 2,758
2027 – ඇ.ඩො.මිලියන 3,448
ආණ්ඩු වෙනසට පෙර තිබූ තත්වයත් ඊට පසුව ඇති වූ තත්වයත් ඉහත දක්වන ලද සංඛ්‍යා දත්ත වලින් පැහැදිලි වනු ඇත. 2015 සිටම ණය ගෙවීම් වැඩිවන්නේ මාස කිහිපයකින් මෙන්ම අවුරුද්දකින් දෙකකින් ආපසු ගෙවීමට සිදුවෙන කෙටි කාලීන විදෙස් විනිමය වානිජ ණය විශාල වශයෙන් ලබාගැනීම නිසාය.
2015 දී ශ්‍රී ලංකාව අත්දුටුවේ ණය ගැනීමේ වියරුවකි. මහ බැංකුවේ නිල වාර්තා වලින් පෙන්වා දෙන පිරිදි යහපාලන ආණ්ඩුව බලයට පැමිණීමට පෙර ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කරනු ලැබුවේ වසරකට දෙවතාවක් පමණි. එලෙස සිදුකරන ලද නිකුත් කිරීම් වලින්ද 2010 – 2014 යන කාලපරිච්ඡේදය ඇතුලත වසරකට ඩොලර් මිලියන 350 ක් වත් මගේ ආණ්ඩුව ලබාගෙන නැත. ඒ මෑත ඉතිහාසයේ ආණ්ඩුවක් විසින් සිදුකරන ලද දැවැන්තම ඉදිකිරීම් වැඩසටහනක් ක්‍රියාත්මකව තිබියදී බවත් මතක තබා ගත යුතුය.
නමුත් 2015 වසරේදී කිසිඳු නව ඉදිකිරීම් ව්‍යාපෘතියක් ආරම්භ නොකර වුවද යහපාලන ආණ්ඩුව අවස්ථා 9 කදී ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. 2016 දී 6 වතාවකදීද 2017 දී සිව් වතාවකදී ද ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත්කොට ඇත. තත්වය මෙසේ තිබියදී 2018 වසර සඳහාද වත්මන් ආණ්ඩුව තවත් ඩොලර් මිලියන 5,000 ක විදෙස් විනිමය වානිජ ණය ගැනීමට කැබිනට් අනුමැතිය ලබාගෙන ඇත. පරිභෝජනයට පමණක් ලබාගෙන තිබෙන මේ ණය ගෙවීමට ආණ්ඩුව ජනතාවට දරාගත නොහැකි ආකාරයට වැට් බදු, වාහන බදු, භාණ්ඩ ආනයන බදු, දඩ මුදල්, රජයේ මුද්දර ගාස්තු යනාදිය වැඩි කර තිබෙන අතර, 2018 අප්‍රේල් මාසයේ සිට, මුලු ජනගහනයම ආදායම් බදු දැළ තුළට ගැනීමටද සැලසුම් කර ඇත.
රටේ ජනතාව මත බදු අය කිරීමෙන් පමණක් යහපාලන ආණ්ඩුව ලබාගෙන තිබෙන ණය කන්දරාව ගෙවීමට නොහැකි නිසා ඔවුන් රජයට අයත් හෝටල් ව්‍යාපෘති වල සිට, වරායවල්, අධිවේගී මාර්ග, විදුලි බලාගාර ඇතුලු සියලුම ජාතික සම්පත් විකුණා දැමීමේ ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී ඇත. හම්බන්තොට වරාය විකුණා දැමුවේ එය තැනීමට ගත් ණය ගෙවීමට නොහැකි නිසා යැයි ආණ්ඩුව කීවද, වරාය විකිණීමෙන් ලැබුණු මුදල් අදාල ණය ගෙවීමට නොව පරිභෝජනය සඳහා වැය කිරීමට මහා භාණ්ඩාගාරයට යොමු කර තිබීමෙන් ආණ්ඩුවේ සැබෑ අරමුණ පැහැදිලි වේ. හම්බන්තොට වරාය ඉදිකිරීමට ගනු ලැබුවේ සහනදායි පොළියට දිගුකාලීන ණය නිසා එය ගෙවා දැමීමට ආණ්ඩුවට කිසිදු හදිස්සියක් නැත.
නමුත් වත්මන් ආණ්ඩුව ගිනි පොළියට ගත් කෙටි කාලීන වානිජ ණය ජනතා දේපොල විකුණා ලබාගන්නා මුදල් වලින් හෝ ගෙවීමට පැහැදිලි හදිසියක් ඇත. ඒවා නොගෙව්වොත් සිදුවන්නේ ලංකාවට ලෝක මූල්‍ය වෙළඳපොලේ දොර වැසී යාමයි. අන්ත දූෂිත, වැඩබැරි ආණ්ඩුව රටේ මූල්‍ය කළමණාකරනයට කළ මේ විනාශයට විරෝධය පෑමට පෙබරවාරි 10 වෙනිදා ලැබෙන අවස්ථාව උපයෝගී කර ගන්නා මෙන් මම සියලුම ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටිමි.
මහින්ද රාජපක්‍ෂ
ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති