දළ පූට්ටුවා මැරුවේ මහ රැජින ද?
Posted on January 19th, 2018
වරුණ චන්ද්‍රකීර්ති
එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා කියලා කියන්නේ එක්සත් රාජධානිය, කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය කියන රටවල් හතරේ රැජින. ඊට අමතර ව, තමන් නිදහස් කියලා කියාගන්නා බහමාස්, ජැමෙයිකාව,පැපුවා නිව්ගිනියාව වගේ රටවල් දොළහකුත් ඇය ව තමන් ගේ රැජින විදිහට පිළිගන්නවා. සිංහලෙන් අපි ඇය ව හඳුන්වන්නේ මහ රැජින කියලා. මේ විදිහට මහ කියලා විශේෂණයකින් ඇය ව හඳුන්වන්නේ ඇයි කියන කාරණය හිතාගන්න අමාරුයි. ඒකට උත්තරේ මොකක් වුනත්, මේ ලිපිය ලියන්නේ එලිසබෙත් රැජින ගැන කියන්න නෙවෙයි. මේ හදන්නේ දළ පූට්ටුවා ගේ මරණයට සම්බන්ධ කරුණු කාරණා කීපයක් ගැන කියන්න.
දළ පූට්ටුවා ගැන කියද්දි මේ ලේඛකයාට මතක්වුනේ පනාමුරේ ඇත් රාජා. සමහරු කියන විදිහට ඒ ඇතෙක් නෙවෙයි. කෙණෙරක් – ඒ කියන්නේ, ඇත් රැජිනක්. ඒ කතාව අමතක කරලා අපිට පුරුදු විදිහට ඒකාට ඇත් රජෙක් කියමුකෝ. මොකෙක් වුනත් ඒ රජෙක්නේ. ඇත්තෙන් ම පනාමුරේ ඇත් රාජා තියා මොන ඇත් රජෙක්වත් අනුන් ගේ රටවල් අල්ලන්න ගිහිල්ලා නෑ. ඉතින් ඒ ඇතා ගේ රජකම වලංගුවෙන්න ඇත්තේ පනාමුරේ පැත්තේ හිටිය අලි ඇත්තුන්ට විතරයි. පනාමුරේ තියෙන්නේ සබරගමුවේනේ. හරියට ම කියනවා නම් රත්නපුරේ දිස්ත්‍රික්කයේ. දැන් රත්නපුරේ ඉන්නේ ඡන්ද ඉල්ලන අලිත් ඡන්ද දෙන අලිත් විතරයි.
පනාමුරේ ඇත් ගාල පවත්වාගෙන ගියෙත් අලියාගෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක්. ඒ තමයි නිදහස් වුනා කියපු ලංකාවේ පළමු කතානායක තනතුරට පත්වෙච්ච ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොළමුරේ. මේ ශ්‍රීමත් පට්ටම එතුමාට හම්බවෙලා තියෙන්නේ අපිට නිදහස ලැබුණා කියපු දවසෙනුත් අවුරුද්දකට විතර පස්සේ. එතුමාට ඒක දීලා තියෙන්නේ ඇල්බට් ෆ්‍රෙඩ්රික් ආතර් ජෝර්ජ් රජ්ජුරුවෝ. ඒ කියන්නේ එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මහ රැජින ගේ තාත්තා.
1896 අවුරුද්දේ පටන්ගත්ත පනාමුරේ ඇත්ගාල දොළොස් වතාවක් ම පවත්වලා තියෙනවා. ඉතින් තමන්ට එංගලන්තේ මහ රජ්ජුරුවන්ගෙන් නයිට් පට්ටමක් ලැබිච්ච 1949 අවුරුද්දෙත් ඇත්ගාල අටවන්න ඕන කියලා අපේ කතානායක මොලමුරේ මහත්තයා තීරණය කරලා තියෙනවා. ඒ ගාලෙන් අලි 26 දෙනෙක් අල්ලා ගත්තත් 27 වැනියා බොහොම මුරණ්ඩු විදිහට හැසිරෙන්න පටන්ගත්තා. මොන සෙල්ලම් දැම්මාත් ඌව දමනය කරගන්න බැරිවුනා. ඉතින් අපේ කතානායකතුමාට උවමනා වුනා ඌව එක වෙඩි පාරකින් පරලොව යවන්න. ඒත් රත්නපුර පොලීසියේ අය ඒ හපන්කම කරන්න එකඟවෙලා නෑ. අන්තිමට ඒ වැඩේට යොදාගෙන තියෙන්නේ ඒ කාලයේ අපේ රටේ හිටිය දක්‍ෂ ම වෙඩික්කාරයා. ඒ තමයි නාවික කොමදෝරු සෑම් කදිරගාමර් මහත්තයා. ඉතින් එතුමා කතානායකතුමා ගේ ඉල්ලීම කියපු විදිහට ම ඉෂ්ඨකරලා දුන්නා.
පනාමුරේ ඇත්රාජා පරලොව ගියා. ඒ, 1950 අවුරුද්දේ අගෝස්තු 9 වැනි දා. ඊට මාස 5 කට පස්සේ කතානායක පුටුවේ ඉඳගෙන ඉඳිද්දී ම මොලමුරේ මහත්තයාට පපුවේ අමාරුවක් හැදිලා සිහිය නැතිවුනා. ඊට පහුවදා එතුමාත් පරලොව ගියා. ඒ වෙද්දි ලෙඩ ඇඳට වැටිලා හිටිය හයවැනි ජෝර්ජ් රජතුමා ඊට අවුරුද්දකට පස්සේ පරලොව ගියා. ඉතින් ඊට පස්සේ! එලිසබෙත් ඇලක්සැන්ඩ්‍රා ඔටුණු පැළැන්දා. ඒ එක්ක ම ඇය නිදහස් ලංකාවේ රැජින බවටත් පත්වුනා. ඉතින් මේ විදිහට නිදහස් ශ්‍රී ලංකාවේත් රැජින බවට පත්වෙන්න පුළුවන් වෙච්ච හින්දා වෙන්න ඇති අපි එතුමියට මහ රැජින කියලා කියන්නේ. අපි ඒ කතාව පැත්තකින් තියලා අලි කතාව ආයෙත් පටන්ගනිමු.
පනාමුරේ කතාවෙන් අපිට මතක්කරලා දෙන කාරණයක් තියෙනවා. ඒක තමයි අපේ රටේ අලි හිටිය ප්‍රදේශ ගැන. රත්නපුරෙත් අලි හිටියා. අපේ රටේ මධ්‍යම කඳුකරයේත් යහමින් අලි හිටියා. 1830 අවුරුද්ද වෙද්දි අලි දඩයම ආණ්ඩුවෙන් තෑගි ලබාගන්න පුළුවන් කටයුත්තක් බවට පත්කෙරුණා. සෙල්ලමට දඩයම් කරන අය එංගලන්තේ ඉඳලා ලංකාවට එන්න පටන්ගත්තා. ඒ විදිහට අපේ රටට ආපු නම් දරාපු දඩයක්කාරයෙක් තමයි ශ්‍රීමත් සැමුවෙල් බේකර්. එතුමා නමින් අපි දිය ඇල්ලකුත් නම් කරලා තියෙනවානේ.
බේකර් මහත්තයා අලි දඩයම පුරුදු පුහුණු වුනෙත් අපේ රටේ දී. තමන් කරපු හපන්කම් ගැන කරුණු ඇතුළත් කරලා එතුමා පොත් පත් පවා ලියලා තියෙනවා. “රයිෆලය සහ ලංකාවේ කළ දඩයම්” කියන පොතේ එතුමා මෙහෙම කියනවා.
“කලබල වෙන්නේ නැතුව වම් පැත්තේ ඉන්න අලියා ගේ නළල මැද්දට ම වෙඩි තියන්න කියලා මම වෝර්ට්ලීට කෙඳිරුවා. මොහොතයි ගතවුනේ. මගෙත් වෝර්ට්ලීගෙත් වෙඩිවලින් නායක අලි දෙන්නා ම බිම වැටුණා. සිද්ද වෙච්ච දේ අනිත් අලි තේරුම්ගන්න කලින් අපි උන් දිහාවට දුවගෙන ගියා. ඒ එක්කම වී. බේකර් ගේ වෙඩි පහරකින් තවත් අලියෙක් බිම වැටුණා. වෙඩි බෙහෙත් දුම හින්දා අපිට යාර දෙකකට වඩා ඉස්සරහ පෙනුනේ නෑ. ඒ දුම මැද්දෙන් අලියෙක් අපේ දිහාවට කඩාගෙන ආවා. වී. බේකර් ඌට වෙඩි තිබ්බත් ඒක වැරැදුණා. ඒත් මගේ තුවක්කුවේ වම් පැත්තේ කාණුවේ තිබුණු වෙඩිල්ලෙන් ඌව බිම දාගන්න මට පුළුවන් වුනා. අනිත් රයිෆලය අතට ගත්ත මම දුම අතරින් දුවගෙන ගිහිල්ලා අන්තිම අලියාවත් දඩයම් කරගත්තා. ඉතින් පළමුවැනි වෙඩිල්ල තියපු වෙලාවේ ඉඳලා ගතවෙච්ච තත්පර තිහක කාලය ඇතුළත අලි පස් දෙනෙක් මරාදාන්න අපිට පුළුවන් වුනා. මුල් උණ්ඩයෙන් ම තමන් ගේ පළමුවැනි අලි දඩයම කරලා වෝර්ට්ලි නියමෙට වැඩ පෙන්නුවා. අපි ආපහු අශ්වයෝ ඉන්න තැනට එද්දි උදේ ආහාරය සූදානම් කරලායි තිබුණේ.”
මේවා මහ පරණ කතානේ කියලා කාට හරි කියන්න පුළුවන්. ඒත් අදටත් ලෝකයේ නීත්‍යානුකූල ඇත් දළ වෙළෙඳාමේ ඉස්සරහින් ම ඉන්නේ එක්සත් රාජධානිය. 1970 විතර වෙද්දි ජපානය ආර්ථික වශයෙන් ශක්තිමත් වෙලා ඉස්සරහට එද්දි ඒ රටෙන් ඇත් දළවලට විශාල ඉල්ලුමක් ඇතිවෙන්න පටන්ගත්තා. මේ ඉල්ලුම සැපයුනේ සිංගප්පූරුව සහ හොං කොං හරහා. ලෝක ඇත් දළ ඉල්ලුමෙන් සියයට 40 කට ම වගකිව්වේ ජපන්නු. තවත් සියයට 40 ක ප්‍රමාණයක් යුරෝපයේත් ඇමෙරිකානු ජනපද සංගමයේත් අලෙවිවුනා. ජපානය ඇතුළු අසල්වැසියන්ට කැටයම් කරපු ඇත් දළ විකුණන වැඩේට චීන්නුත් අත දැම්මා. ඒත් මේ වෙද්දි ඇත් දළ වෙළෙඳාම විතරක් නෙවෙයි ඇත් දළ කැටයම් කිරීමත් චීනයේ මුළුමනින් ම තහනම් කරලා.
ඇත් දළ වෙළෙඳාම නවත්තන්න ඕන කියන සද්දේ සැරෙන් සැරේට එංගලන්තෙන් මතුවෙනවා. මේ වැඩේට මුල්වෙන බවට පොරොන්දුවක් ඩේවිඩ් කැමරන් විසින් කොන්සවේටිව් පක්‍ෂයේ මැතිවරණ ප්‍රකාශනයටත් ඇතුළත් කරලා තිබුණා. ඒ, 2015 ඡන්දෙට කලින්. ඒත් ගිය 2017 අවුරුද්දේ ඡන්දෙට කලින් ඒ පොරොන්දුව මැතිවරණ ප්‍රකාශනයෙන් අයින්කරන්න තෙරේසා මේ කටයුතු කළා. ඉතින් එංගලන්තේ තමයි අදටත් මේ ලෝකයේ කස්ටමර්ස්ලාට ඇත් දළ විකුණන ප්‍රධාන ම සැපයුම්කරුවා.
ඉංග්‍රීසි කතාකරන ටයි කෝට් පළඳින අයත් හොඳ හොඳ හොරකම් කරන බව අපි තේරුම්ගන්නේ සෑහෙන්න කල්ගතවුනාට පස්සේ. ඉතින් මහ රැජින ගේ කට්ටිය මේ අපරාධයට සම්බන්ධවෙලා ඉන්න බව අපි තාමත් දන්නේ නෑ. මේ දේවල් ගැන රොයිටර්ලා සද්ද කරන්නෙත් නෑ. අපි මේවා ගැන හොයන්නෙත් නෑ. ඉතින් මේ ඉංග්‍රීසි කතාකරන ටයි කෝට් පැළැඳගත්ත මහත්තුරු දවල් රෑ නැතුව ශිෂ්ටකම් ගැන අපිට කියලා දෙනවා. අපේ පෙරහැරවල්වල අලි ගෙනියන එක ගැනත් ආඩපාලි කියනවා. පෙරහැරේ අලි වෙනුවට අශ්වයෝ ගෙනිච්චා නම් වැරැද්දක් නැතුව ඇති.
ඒත් අපේ රටේ හිටපු අලින්ට වෙඩි තියන එක සෙල්ලමක් කරගත්තෙ අපි නෙවෙයි. ඇත්තෙන් ම යාල අභයභූමිය පවත්වා ගෙන යන කැලෑ ප්‍රදේශය පවා මේ අය වෙන් කරගෙන හිටියේ සෙල්ලමට දඩයම් කරන භූමියක් විදිහට. ශ්‍රී ලංකා වනසත්ව හා ස්වභාව ආරක්‍ෂක සංගමය කියන එකේ මුල් නම තමයිදඩයම් ආරක්‍ෂක සංගමය. යාල කැලේ පාලනය වුනේ ඒ සංගමය යටතේ. ලංකාවේ පදිංචි දඩයම් ක්‍රීඩකයන්ට විතරයි ඒ කැලේ ඇතුළේ තුවක්කු සෙල්ලම්කරන්න අවසර තිබුණේ. මේ සෙල්ලම වෙනස්වෙලා යාල අභය භූමියක් බවට පත්වුනේ 1938 අවුරුද්දේ කෘෂිකර්ම ඇමැතිතුමා විදිහට ඩී. එස්. සේනානායක මහත්තයා නීතියක් හඳුන්වලා දුන්නට පස්සේ.
ඇත්තෙන් ම යාල, විල්පත්තුව කියලා කියන්නේ ඉස්සර අපේ මිනිස්සු පදිංචිවෙලා හිටපු ප්‍රදේශ. ගම්, වැව්,කුඹුරු, පන්සල් ඒ භූමියේ පැතිරිලා තිබුණා. අලි ඇත්තු වැඩියෙන් ම ගැවසුණේ රට මැද්දේ කඳුකර පළාත්වල. රත්නපුරේ පවා අලි හිටියේ ඒ හින්දා. සමන් දෙවියන් ගේ වාහනයත් සුදු ඇතෙක්නේ. කෑම,වතුර ඕන පදම් තිබුණු හින්දා කඳුකරයේ කැලෑවලට වෙලා ඉන්න එක අලි ඇත්තුන්ට අමාරු වැඩක් වුනේ නෑ. ඉතින් කෑම හොයාගෙන ගම්වලට කඩාපනින අලි ඒ කාලයේ ඉන්න නැතුව ඇති. කඳුකරයේ හොඳින් කැලෑබිම් තිබුණු හින්දාත් ඒ පැත්තට නිතර නිතර වැස්ස වැටිච්ච හින්දත් රටේ පහත් තැනිතලා බිම්වලට ගලාගෙන එන වතුරේ අඩුවක් තියෙන්න විදිහකුත් නෑ. ඉතින් මිනිස්සු ජීවත්වුනේ, වැව් හදාගත්තේ පහත් තැනිතලා බිම්වල.
ඒත් කෝපි වගාවත් තේ වගාවත් පටන්ගත්තාට පස්සේ මහ රැජින ගේ සීයලාට සිද්දවුනා කඳුකරය අලි මුක්ත කලාපයක් බවට පත්කිරීමේ භාරදූර කාර්යය කරට ගන්න. එංගලන්තෙට වෙලා නරි මර මරා හිටපු සුදු මහත්තුරුන්ට අලුත් සෙල්ලමක් පටන්ගන්නත් සිද්දවුනා. ඉතින් ඒ අය අලි මයිලක්වත් ඉතිරි නොකර කඳුකරය සුද්ද කරලා පරණ අඳුරු යුගයේ දුකකින් අපි ව මුදවාගත්තා. පණ බේරගත්ත අලි දැන් කරක්ගහන්නේ පහත් තැනිතලා බිම්වල. දළපූට්ටුවා කියන්නෙත් උන්ගෙන් එකෙක්. ඒත් අපේ අයට පුළුවන් වුනා ද දන්නේ නෑ ඌව එක වෙඩිල්ලෙන් බිම දාන්න.
වරුණ චන්ද්‍රකීර්ති
January 18th, 2018 at 3:43 pm
Thanks.
මේ ඊයෙ පෙරේදා අමෙරිකාව ඇත් දල වාරම ඉවත් කලා. අප්‍රිකාවේ අලිදඩයම ආයිත් පටන් ගනීවි.
අද උඩරට අලි කොහොම උනත් උඩරට ඉන්දියානු පරපෝසිතයන්ගෙ කියල තමයි මෝඩි සින්හල රටට ඇවිල්ල ඒ අයට කිව්වෙ.
ඊට ඉස්සර අලි වියලි කලාපයේ සිට තෙත් කලාපයටත් ආපසුත් ගියේ කඳුකරය හරහා.