නුවර පුපුරා ගියේ අන්තවාදයේ කාල බෝම්බයයි
Posted on March 18th, 2018
තරංග රත්නවීර උපුටා ගැන්ම දිවයින
සිංහල, මුස්‌ලිම් කෝලාහල මහනුවරට පමණක් සීමා වූවක් නොවේ. 1915 වර්ෂයේ මරක්‌කල කෝලාහලයේ සිට කාලෙන් කාලයට සිංහල, මුස්‌ලිම් ගැටුම් ඇති විය. එම ආරවුල් ගිනි ජාලාවන් බවට පත් කරනු ලැබුවේ සිංහල, මුස්‌ලිම් අන්තවාදී පිරිස් සහ බඩගෝස්‌තරවාදී දේශපාලනඥයන් විසිනි.
ත්‍රස්‌තවාදී යුද්ධයේ අවසානයත් සමඟ මුස්‌ලිම් අන්තවාදය ප්‍රබලව ඉස්‌මතු වූයේ නැගෙනහිර පළාතෙනි. එහෙයින් මුස්‌ලිම් අන්තවාදයේ අමන ක්‍රියාකාරකම් ගැන හරි හැටි දන්නේ ඒ ප්‍රදේශවල ජීවත් වන සිංහලයන්ය. සුළුතරයක් වූ නැගෙනහිර සිංහල සමාජය පාගාගෙන සිටින මුස්‌ලිම් අන්තවාදය ගැන කතා කිරීමට සුදුසුම කෙනා අරිසිමලේ ආරණය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ හාමුදුරුවෝ යෑයි මට හැඟුණි. උන්වහන්සේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති වහන්සේ පමණක් නොව උතුර, නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිසාවේ ප්‍රධාන සංඝ නායක හාමුදුරුවෝය. එහෙයින් නැගෙනහිර මුස්‌ලිම් අන්තවාදීන්ගේ ක්‍රියාකාරිත්වය ගැන අපි උන්වහන්සේ සමඟ සාකච්ඡා කළෙමු. මේ උන්වහන්සේ මුස්‌ලිම් අන්තවාදය දකින හැටිය.
“යුද්ධයෙන් පසු මම නැගෙනහිරට වැඩම කරනකොට මේ ප්‍රදේශවල සිංහල, දෙමළ, මුස්‌ලිම් මිනිස්‌සු බොහෝම සමගියෙන් ජීවත් වුණා. මුස්‌ලිම්, දෙමළ මිනිස්‌සු අපිටත් හොඳට ගරු කළා. මේ ප්‍රදේශවල පුරාවිද්‍යා නටබුන් පාදක කරගෙන වෙහෙර, විහාර, කුටි සෙනසුන් ඉදිකරන විට මුස්‌ලිම් මිනිස්‌සු හරි, හරියට අපිට උදව් වුණා. අපිට දානය පිළිගැන්නුවේ මුස්‌ලිම්, දෙමළ මිනිස්‌සු. නැගෙනහිර ප්‍රදේශවල විශාල බෞද්ධ පරිසරයක් නිර්මාණය කරන්න පුළුවන් වුණේ අන්‍ය ආගමිකයන්ගේ උදව් උපකාර ලැබුණු නිසයි. ඒත් මේ වන විට එම ප්‍රදේශවල ජාතීන් අතර තිබූ එකමුතුකම නැති වෙලා ගිහින්. විවිධ අන්තවාදී සංවිධාන ඒ මිනිසුන්ගේ එකමුතුකම බේද භින්න කරලා. ජාතිවාදය වපුරලා. මුල් කාලයේදී ‘අපේ සාදු’ කියලා කතා කරපු මුස්‌ලිම් මිනිස්‌සු දැන් මූණට මුලිච්චි වුණත් අහක බලාගන්න තත්ත්වයට පත් වුණා. අන්තිමේ අපිට දානය දීපු මිනිස්‌සුම අපේ ආරණ්‍ය සේනාසනය බලහත්කාරයෙන් අල්ල ගත්තා. අරිසිමලේ ආරණ්‍ය සේනාසන දානශාලාවේ අදටත් මුස්‌ලිම් මිනිස්‌සු බලහත්කාරයෙන් පදිංචි වෙලා ඉන්නවා. ආරණ්‍ය සේනාසන භූමියට හොර ඔප්පු හදලා. ඒ වගේම පහුගිය කාලේ යාංඔය රජමහා විහාරයේ චෛත්‍යය සම්පූර්ණයෙන්ම ඩෝසර් කරලා විනාශ කළා. ඒ විනාශය ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට, මහ දිසාපතිවරුන්ට අපි දැනුම් දුන්නා. ඒත් අපරාධය කරපු කිසිම කෙනෙකුට නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. ඊට පස්‌සේ එක පෙළට බුදුපිළිම හත, අටක් කඩා බිඳ දැම්මා. තවත් බුදුපිළිමවලට කළු තෙල් ගහලා තිබුණා. මේ අපරාධ ගැන හොයන්න හමුදාව, පොලිසිය දෙකම දැම්මා. ඒත් ඒ අපරාධ කරපු කිසිම කෙනෙක්‌ව නීතිය ඉදිරියට ගෙනාවේ නෑ…”
‘නැගෙනහිර අපේ… මේ බිමේ පන්සල් පිළිම තියෙන්න බෑ. මේ අපිට අයිති ඉඩම්…’ එහෙම කියලා තමයි මුස්‌ලිම් මිනිස්‌සු නැගෙනහිර පින්බිම් කඩා බිඳ දමා ඩෝසර් කළේ. සී සෑවේ. පුරාවිද්‍යා නටබුන් ගොඩවල් ඩොසර් කරලා හෝටල් හැදුවේ. ඒ ඉදිකිරීම් කරනකොට අපි පොලිසියට දැනුම් දුන්නා. අදාළ ආයතනවලට දැනුවත් කළා. දේශපාලන බල අධිකාරිය දැනුවත් කළා. ඒ කිසිම තැනකින් ක්‍රියාත්මක වුණේ නෑ. නැගෙනහිර සියලු පරිපාලන ආයතන ක්‍රියාත්මක වුණේ මුස්‌ලිම් දේශපාලනඥයන් කියන විදිහට. රක්‍ෂිත, පුරාවිද්‍යා ඉඩම්වලට මුස්‌ලිම් මිනිසුන්ගේ නම්වලට බලපත්‍ර සකස් වුණා. අක්‌කර හත්සීයක් තිබුණු මුහුදු මහා විහාර භූමිය අක්‌කර දෙකකට සීමා වුණා. මහා වනාන්තර අමු, අමුවේ විනාශ කර ගම්මාන ඉදි කළා. වගා කරන්න පටන් ගත්තා. ඒ වගේම එම ප්‍රදේශවල වැඩ සිටින භික්‍ෂූන් වහන්සේලා සිංහල අන්තවාදීන්, ඔවුන්ගේ භූමිය බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින බවට මුස්‌ලිම් ප්‍රජාව අතර මතයක් පැතුරුවා. සංඝයා වහන්සේලාට බෞද්ධ සිද්ධස්‌ථාන පරිහරණය කරන්න ඉඩ දුන්නේ නෑ. සමහර ආරණ්‍ය සේනාසනවල වැඩ සිටින සංඝයා වහන්සේලාට දන් ගෙනයැම පවා තහනම් කළා. අලුතින් පන්සල් හදන්න දුන්නේ නෑ. අදටත් නැගෙනහිර ප්‍රදේශවල බෞද්ධ කොඩියක් උස්‌සන්න දෙන්නේ නෑ. බෞද්ධ භූමියක බෝධීන් වහන්සේ නමක් රෝපණය කරන්න ඉඩ දෙන්නේ නෑ. පිළිමයක් තියන්න දෙන්නේ නෑ. තියෙන බෞද්ධ සිද්ධස්‌ථානත් ඉවත් කරගන්න කියනවා. කෑම්ප්වල බුදු පිළිම පාරට පේනවට තල් වැටවල් ගහලා වැහුවා. එම ප්‍රදේශවලින් ඉවත් වෙන ලෙස භික්‍ෂූන් වහන්සේලාට තර්ජනය කළා. ඒ තර්ජන, ගර්ජනවලට අපි බය වුණේ නෑ. ඒත් අපිට ජීවිත අවධානම තවමත් තියෙනවා. ඒ අපි අන්තවාදයට එරෙහිව ක්‍රියාත්මක වෙන නිසයි. මේ දේවල් ගැන අපි කොච්චර බලධාරීන්ට කිව්වත් තේරුම් ගත්තේ නෑ. සිංහල දේශපාලනඥයන් මුස්‌ලිම් මනාපයට ගිජු වුණා. එම ප්‍රදේශවල රාජකාරි කරන සිංහල නිලධාරීන් මැදපෙරදිග සල්ලි කුට්‌ටිවලට වහ වැටිලා අඳ ගොළු ගානට වැටුණා. අපේ රටේ අපි කල්ලතෝනි ගානට වැටුණා…”
“ඉඩම් කොල්ලය විඳ දරාගන්න පුළුවන්. ඒත් අපේ උරුමය තලා පෙළා කුඩු පට්‌ටම් කරන වේදනාව දරාගන්න අමාරුයි. බෞද්ධ වෙහෙර, විහාරවලට කරන විනාශය සිංහල හදවත්වලට තදින් වැදුණා. ඒත් සිංහල මිනිස්‌සු නිකරුණේ ගහා මරාගන්න යන මිනිස්‌සු නෙමෙයි. හොඳ ඉවසීමක් සහිත සමකාමී මිනිස්‌සු. දකුණේ මිනිස්‌සු කෝවිලකට, පල්ලියකට ගිහිල්ලා නිකමට අගෞරව කරන්නේ නෑ. ඒක තමයි අපේ හැදියාව. ඒත් දිගින් දිගටම කෙණහිලිකම් කරනකොට සිල් බිඳෙනවා. ඒත් බුද්ධ පුත්‍රයන් විදිහට අපි නුවර, අලුත්ගම සිද්ධි වගේ කෝලාහල බලාපොරොත්තු වෙන්නේ නෑ. බුද්ධ ධර්මයේ කියෑවෙන්නෙත් අන්‍ය ආගමිකයන්ට මෛත්‍රිය කරන්න කියලා. ඒ වගේම රටේ සෑම මුස්‌ලිම් මිනිහෙක්‌ම වැරැදි නෑ. සෑම දෙමළ මනුස්‌සයෙක්‌ම වැරැදිත් නෑ. ඒ ජාතීන්ව කුපිත කරවන්නේ ඔවුන් අතර සිටින අන්තවාදී කණ්‌ඩායම්. අපි ක්‍රියාත්මක වෙන්න ඕනා ඒ අන්තවාදය පරද්දන්න. ඒ වගේම ඇන කොටාගෙන ගහ මරාගෙන ප්‍රශ්න විසඳන්න බැරි බව අපි තේරුම් ගන්න ඕනා…” අරිසිමලේ නායක හාමුදුරුවන්ගේ දේශනය අවසානය. නැගෙනහිර අන්තවාදීන්ගේ කාලකණ්‌ණි ක්‍රියාකාරකම් ගැන උන්වහන්සේ හොඳින් පැහැදිළි කළහ. එහෙයින් රට තුළ ක්‍රියාත්මක ගෝත්‍රික අන්තවාදීන් ගැන කියන්නට තවත් වචන නාස්‌ති කර ඵලක් නැත. මේ හොඳටම ප්‍රමාණවත්ය.
ඒත් මේ අපේ වෑයම රට තුළ ජාතිවාදය වැපිරීම නොවේ. ජාතිවාදයේ ගිනි ජාලා නිර්මාණය වීමට පාදක වූ පසුබිම් කතාව බලධාරීන්ට මතක් කරදීමකි. මිශ්‍ර ජන සමාජයකදී රටේ නීතිය සෑම ජනකොටසකටම පොදු විය යුතුය. දකුණේ කැලෑවකින් දර ඇහිඳින ගුණපාලටත්, උතුරේ නඩරාජාටත්, නැගෙනහිර කැලෑ විනාශ කරන, ඉඩම් මංකොල්ලකන අන්වර්ලාටත් එක ලෙස නීතිය ක්‍රියාත්මක විය යුතුය. එසේ නොවන්නට හෙට උපදින ජාතිවාදී කෝලාහල මීට වඩා බිහිසුණු වන බව අප සිහි තබාගත යුතුය.