‘මහ බැංකුවේ මුදල් කොල්ලය’ මෙගා ටෙලි නාට්‍යයක් වෙලා
Posted on June 4th, 2018
ඉෂාරා සිල්වා උපුටාගැණීම මව්බිම
අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ලබාගත් බව කියන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 118 දෙනාගේ නම් වහාම හෙළි කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.
ඒ මහතා සඳහන් කර සිටින්නේ මෙම සිදුවීම හේතුවෙන් සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කෙරෙහි තිබෙන විශ්වාසය කඩ වී තිබෙන බවයි.
ඊයේ (03දා) පුංචි බොරැල්ල, වජිරාශ්රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක් වෙමින් මන්ත්‍රිවරයා වැඩිදුරටත් මෙසේද කීය.
”මහ බැංකුවේ ඇති වූ මුදල් කොල්ලය, භාණ්ඩාගාර බැඳුම්කර මෙගා ටෙලි නාට්‍යයක් ලෙස කොටස් වශයෙන් විකාශය වීමට පටන් ගෙන තිබෙනවා. මෙය බැඳුම්කර නාට්‍යයක් ලෙස ගලාගෙන යෑම තුළ පැරැණි මොළකරුවෝ සහ පැරැණි නළුවෝ තාවකාලිකව ඉවත් වෙනවා. අලුත් මොළකරුවෝ, අලුත් නළුවෝ සහ අලුත් කොටස් මේ නාට්‍යයට එක් වෙනවා. මෙහි ප්‍රධාන මොළකරුවෙක් වන සිංගප්පූරුවට පැනගොස් සිටින අර්ජුන මහේන්ද්‍රන් මහතා මේ නාට්‍ය කොටසෙන් ඉවත් වෙලා පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ නියම් හා අනියම් ආකාරයෙන් ලාභ ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්, ඇමැතිවරුන්, නගරාධිපතිවරුන්, වෙනත් මහජන නියෝජිතයන් සිය ගණනකගේ නම් එළියට එමින් පවතිනවා. මේ මහජන නියෝජිතයන් සහ මේ මහ බැංකු මුදල් කොල්ලයේ මහ හොරු සියලුදෙනා දෙවැනි අදියර ක්‍රියාත්මක කිරීම ආරම්භ කරලා තිබෙන්නේ.
දෙවැනි අදියර තමයි රට ඇතුළේ සමස්ත බැංකු ක්‍රමය, මුදල් ක්‍රමය පාලනය කරන ශ්‍රී ලංකා මහ බැංකුව පිළිබඳ විශ්වසනීයභාවය නැති කරලා දැවැන්ත මූල්‍ය අර්බුදයක් රට ඇතුළේ නිර්මාණය කිරීමෙන් පසුව බංකොලොත් වෙන දේපළ සහ බංකොලොත් වෙන මිනිසුන්ගේ ආර්ථිකයන් සූරාගෙන කෑම සඳහා ඔවුන් විසින්ම ඇති කළ සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම ක්‍රියාත්මක කරනවා සිංගප්පූරුවේ ඉඳන්. මේ මහ මුදල් මංකොල්ලයේත් නිදහස් වෙළෙඳ ගිවිසුමෙත් ප්‍රධාන මොළකරුවෝ තමයි අර්ජුන මහේන්ද්‍රන් ප්රමුඛ ජාවාරම්කරුවන් කණ්ඩායම. ඔවුන් විසින් ජනාධිපතිවරයාව, පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලය නොමඟ යවලා දැනට අත්පත් කර තිබෙන මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමේ කාර්යය මේ දිනවල සිදු කරනවා.
1964 අංක 28 දරන ඉඩම් අත්පත් කර ගැනීමේ පනත යටතේ ඔවුන්ට රිසි සේ අනාගතයේදී මේ මහ පොළොව හිමි කර දීම සඳහා විවිධ ව්‍යාපෘති යටතේ ඉඩම් අත්පත් කරදීම මේ වනවිට ආරම්භ කරලා තිබෙනවා. සාමාන්‍ය ලෙස ගමක වාසය කරන මිනිසුන්ගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරු විසින් නිවේදන නිකුත් කර තිබෙනවා. එම නිවේදනයේ සඳහන් වෙනවා ”මෙම පනතින් සංශෝධිත පරිදි ඉඩම් අත්පත් කර ගැනීමේ පනතේ දෙවැනි වගන්තියේ පළමු උප වගන්තිය යටතේ ගරු ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැතිවරයා විසින් මට කර තිබෙන නියමය පරිදි පහත සඳහන් ප්‍රදේශවල පිහිටි ඉඩම මහජන කාර්යාල සඳහා වුවමනා වී තිබෙන බව එකී වගන්තියේ උප වගන්තිය ප්‍රකාරව මහජනයාට දැනුම් දෙමි” යනුවෙන්. ඒ වගේම සඳහන් වෙනවා ඉහත සඳහන් ප්‍රදේශවල ඕනෑම වෙලාවක මිනිසුන් ප්‍රමාණයද භාණ්ඩ උපකරණද, රථ වාහනද, සතුන්ද රැගෙන එම ඉඩම මැනීමට, යටි පස හැරීමට, මායිම් සීමා ලකුණු කිරීම අගල් කැපීමටද හැකියාව තිබෙන බව.
ඒ කියන්නේ ස්වජාතිකයන්ගේ ඉඩමක් කිසිදු දැනුම් දීමකින් තොරව සියලුදෙනා රැගෙන ඉඩම් මැනීමට අවසර තිබෙන බවයි. මේ ඉඩම් මැනලා ලැහැස්ති කරන්නේ කාට දෙන්නද? සිංගප්පූරු ව්‍යාපෘතිය යටතේ තාක්ෂණික නගර හදන්න. එහෙම තමයි මේ ඉඩම් වෙන් වන්නේ. එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව සහ අනෙක් විජාතිකයෝ ස්වදේශිකයන් සතු ඉඩම් රිසි සේ ලබා ගැනීමට අවශ්‍ය යටිතලය සකස් කිරීම තමයි මේ සිදු කරන්නේ. භූමියේ සැබෑ උරුමකරුවන්ට අයිති මහ පොළොව පවා පාවා දීලා තිබෙන්නේ මේ පනත හරහා. මීට එරෙහිව අරගල කරන්න අවශ්‍ය කාලය දැන් එළැඹිලා තිබෙන්නේ.
මේ නිසා දැන් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 225 දෙනා කෙරෙහිම තිබෙන විශ්වාසය කඩ වෙලා තිබෙන්නේ. පසුගිය සිකුරාදා දින කථානායකවරයාට ලිපියක් ඉදිරිපත් කළා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද සම්බන්ධයෙන්. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ භාරකරු හැටියට කථානායකවරයා වහාම මේ පාර්ලිමේන්තු මන්ත්‍රි වරුන් 118 දෙනාගේ නම් හෙළි කළ යුතුයි. අපි නම් පියවි ලෝකයේදී හෝ සිහින ලෝකයේදී මූල්‍ය ක්ෂේත්රයේ මුදුන් මල්කඩ කොල්ලකෑ අයගෙන් මුදල් ලබාගෙන නැහැ. නමුත් දැන් ජනතාව හිතන්නේ අපිත් හොරු කියලා. මොකද සෙක්කුව ළඟ ඉඳලා චොකලට් කෑවත් හිතන්නේ පුන්නක්කු කනවා කියලානේ.”