අකිල ආපසු පාසල් යා යුත්තේ ඇයි?
Posted on July 1st, 2018
කතු වැකිය උපුටා ගැන්ම දිවයින
දේශප්‍රේමය ගැන කතා කරන ගෝඨාභය රාජපක්ෂ හැබෑවටම රටට ආදරය කරන්නේ නම් ඇමරිකානු පුරවැසි භාවයෙන් ඉවත් වන ලෙසට අධ්‍යාපන ඇමැති අකිල විරාඡ් කාරියවසම් අභියෝග කර තිබේ. දේශප්‍රේමය සහ ගෝඨාභයගේ පුරවැසිභාවය අතර ඇත්තේ කවර සම්බන්ධයක්ද යන්න අපට නොවැටහේ. ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ මෙන්ම ශ්‍රී ලංකාවේද පුරවැසියෙකි. එසේම ශ්‍රී ලංකාවට මහත් සේ ආදරය කළ දේශප්‍රේමියෙකු වූ එස්. මහින්ද නමැති බෞද්ධ භික්ෂුව ශ්‍රී ලංකාවේ පුරවැසියකු නොව තිබ්බතයේ පුරවැසියෙකි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමඟ සටන් කරමින් කන්ද උඩරට ආරක්ෂා කරගෙන සිටි රාජසිංහලාගෙන් වැඩි පිරිස ලංකාවේ පුරවැස්සන් නොව ඉන්දියාවේ දෙමළ මිනිස්සුය. ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, දේශප්‍රේමිත්වය වෙනුවෙන් පෙනී සිටිමින් මෙහි පැමිණි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමඟ ගැටුණු මාක් ඇන්ටනි බ්‍රෙස්ගර්ඩ්ල් (1912-1998) නමැති ඇංගලෝ ඔස්ටේ්රලියානු මාක්ස්වාදී සුද්දා ලංකාවේ පුරවැසියකු නොවේ. ඕල්කොට්තුමා මේ රටේ පුරවැසියෙක්ද? එසේ නම් දේශප්‍රේමිත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා ගෝඨාභය රාජපක්ෂ විසින් මුලින්ම කළ යුත්තේ ඇමරිකන් පුරවැසි භාවයෙන් ඉවත් වීමද? මාක් ඇන්ටනි බ්‍රෙස්ගර්ඩ්ල් වැනි චරිත ගැන අකිල විරාඡ් කාරියවසම් වැනි අය තුළ දැනුමක් නැති බව අපි විශ්වාස කරමු. එහෙත් කුරුණෑගල සිංහල පාසලෙන් උගත් ඔහුට එස්. මහින්ද හිමියන් ගැන දැනුමක් තිබිය යුතුමය. මේ රටේ අධ්‍යාපනයට ගසා ඇති හෙණයට බලපාන එක් හේතුවක් වන්නේ ඉහත සඳහන් නොදැනීම ම විය යුතුය. ජනපතිලා සහ අගමැතිලා විසින් රාජ්‍ය නායකයන් සහ රාජ්‍ය නිලධරයන් ඉදිරියෙහි කළ යුතු අභියෝග කනිටු දේශපාලනඥයන් විසින් කරන ලද කල්හි ආණ්ඩු හෑල්ලුවට පත්වෙයි. ඔවැනි ගොං කතා කී අය පසුගිය ආණ්ඩුව තුළ විශාල වශයෙන් සිටියහ. එම ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වීමට පටන් ගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ආණ්ඩුව පැරැදින. ගෝඨාභයගේ මළඉලව් ඇමරිකන් පුරවැසිකම පැත්තකින් තබා මේ රටේ අධ්‍යාපනය බේරා ගැනීමට දායක වන ලෙස අපි අධ්‍යාපන ඇමැතිගෙන් ඉල්ලමු. ඒ අතරට එය ඔහුට කිසි ලෙසකත් කළ නොහැකි බවද දන්නෙමු.
මේ රටේ අධ්‍යාපනය පූසා ගහෙන් බහින්නාක් මෙන් බිමටම පහත් වෙමින් පවතී. උසස් අධ්‍යාපනය ගැන පමණක් යම් තරමකින් බලාපොරොත්තුවක් තැබිය හැකි අතර එයට හේතුව එය මේ මොහොතේදී උගතකු වූ විජයදාස රාජපක්ෂ අත පැවැතීමය. එහෙත් එතැනින් පහළ තිබෙන අධ්‍යාපනයට වැලේ වැල් නැති අතර අවශ්‍ය වැල් අඹරා ගැනීම සඳහා වනාන්තරද නැත. මෙරට අධ්‍යාපනයේ මස්තකප්රාප්තිය තව දින 3 කින් (4) සිදුවන බවට අපි අපේ මුල් පුවතින් හෙළිකර ඇත්තෙමු. ඒ, සියලු පාසල් වැඩ වැරීමය. අපගේ ප්‍රාර්ථනය ජාතියේ දරුවන්ට මහත් සේ හිරිහැරදායක වූ මෙවැනි වර්ජන නොපැවැත්වේවා යන්නය. එහෙත් 1970 න් පසු මේ රටේ පොදුජන ප්‍රාර්ථනා, නිෂ්ක්‍රීය සිතුවිලි පමණි. මිනිසුන් සිතන කිසිවක් සිදු වීමට දේශපාලනඥයෝ ඉඩ නොතබති. රටේ කරුමයට මෙවැනි අධ්‍යාපන වර්ජනයක් සාර්ථක වුවහොත් බිම ඇනෙන්නේ අකිල කාරියවසම්ගේ පස්ස නොව ජාතියේ පස්ස පැත්තය. අකිල විරාඡ් කාරියවසම් ඇමැතිතුමා යළි මුල පටන්ම කුරුණෑගල ඉස්කෝලේ ගොස් හෝ මේ ඇත්ත උගත යුතුය.