අෑවරයි දෑවරයි මත්තලත් අහවරයි
Posted on July 24th, 2018
ආචාර්ය නාලක ගොඩහේවා උපුටාගැණීම මව්බිම
වත්මන් ආණ්ඩුව බලයට ආ දා පටන්ම ජප කරන එකම මන්තරය විකිණීමය. සමහර විට වර්තමාන අගමැතිවරයා උදේට ඇඳෙන් බහින්නෙත් අද විකුණන්නේ කුමක්ද කියා සිතමින් විය යුතුය. මන්ද රටේ සෑම ප්‍රශ්නයකට විසඳුම ලෙස ඔහු දකින්නේ මොකක් හෝ විකිණීම බැවිනි.
පසුගිය දිනෙක ප්‍රවෘත්තිවලින් මුළු රටම අසා සිටියේ රටේ ආර්ථිකය 30% කින් කඩා වැටී ඇති බවත්, මුදල් සංසරණය දුර්වල වී ඇති බවත් අගමැතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආකාරයයි. මේ ප්‍රකාශය කරන්නේ ආසියාවේ දෙවැනියට වේගයෙන්ම වර්ධනය වෙමින් තිබූ ආර්ථිකය භාරගෙන වසර 3 1/2කට පසුවය. 2014 වන විට සෑම ආර්ථික දර්ශකයකින්ම වාගේ දකුණු ආසියාව තුළ පළමු හෝ දෙවැනි තැන ලංකාවට හිමිවී තිබිණි. රටේ දළ ආර්ථික සංවර්ධන වේගය 7%කට ආසන්න විය. අද 30%කින් කඩා වැටී ඇතැයි අගමැතිවරයාම කියන්නේ එවැනි ආර්ථිකයකි. මෙතෙක් පාවිච්චි නොකළ මඩු වලිගෙන් ගහන්නට ඕනෑ නම් ජනාධිපතිවරයාට මීට වඩා සුදුස්සකු සොයා ගැනීමට අසීරු වනු ඇත.
කට බොරු කීවත් දිව බොරු කියන්නේ නැහැ කියා පැරණි කියමනක් ඇත. ඒ අනුව යමින් දෝ ප්‍රමාද වී හා් තම ආණ්ඩුව විසින් රටේ ආර්ථිකය විනාශ කර ඇති තරම අගමැතිවරයා ප්‍රසිද්ධියේ පිළිගැනීම සතුටට කාරණයක් වුවත් එය භයානක ප්‍රවෘත්තියක් වන්නේ අගමැතිවරයා ප්‍රශ්නයට විසඳුම ලෙස ඉන් මොහොතකට පසු කියනා දේ නිසාය. “ඉතින් අපි මේකත් විකුණනවා” කියා ඔහු කියන ප්‍රවෘත්ති නරඹන්නන් හට දැකීමට ලැබිණි. මෙවර විකුණන්නේ කුමක්ද කියා පැහැදිලි නොවුණත් අගමැතිවරයාගේ දීර්ඝ විකිණීම් භාණ්ඩ ලැයිස්තුව තුළ කිසිදු ජාතික සම්පතක් සුරක්ෂිත නැති බව නම් ජනතාව දැනටම වටහාගෙන අවසන්ය.
ලංකාවට දෙවැනි ජාත්‍යන්තර ගුවන්තොටුපොළක අවශ්‍යතාව හඳුනාගත් ප්‍රථම ආණ්ඩුව මහින්ද රාජපක්ෂ ආණ්ඩුව නොවේ. හම්බන්තොට වරාය මෙන් මත්තල ගුවන් තොටුපොළද ආණ්ඩු ගණනාවක් විසින් කතාවට පමණක් සීමා කොට තිබූ සැලසුම් පසුගිය ආණ්ඩුව යටතේ ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයන්ය.
රටක් දියුණු කිරීමට නම් ආණ්ඩුවකට දැක්මක් හා සැලැස්මක් තිබිය යුතුය. තමුන්ගේ කියා දැක්මක් හා සැලැස්මක් නොමැතිව අනුන්ට ෙදාස් නඟමින් කාලය නාස්ති කිරීමට රජයක් අවශ්‍ය නැත. එදා මත්තල ගුවන්තොටුපොළ ඉදිවූයේ ලංකාව දකුණු ආසියාවේ ආසියා නාවික හා ගුවන් ගමන් කේන්ද්‍රස්ථානය බවට පත්කිරීමට පසුගිය ආණ්ඩුවේ තිබූ සැලැස්මේ එක් පියවරක් වශයෙනි. හම්බන්තොට ආශ්‍රිතව ජාත්‍යන්තර වරායක් හා කාර්මික නගරයක් ගොඩනැඟෙන විට ඒ ආසන්නයේ ගුවන්තොටුපොළක්ද ඉදිවිය යුතු බව වටහා ගන්නට මහා ව්‍යාපාර ඥානයක් අවශ්‍ය නැත. මත්තල ඒ සඳහා තෝරා ගැනුණේ ශක්‍යතා අධ්‍යයනයකින් පසුවය. වත්මන් ආණ්ඩුව ඒ ස්ථානය ගුවන්තොටුපොළකට නුසුදුසු යැයි කියනාවිට එය විශ්වාස කරනා අමන මිනිසුන්ගෙන් ජනතාව ඇසිය යුත්තේ ඒ තර්කය නිවැරදි නම් එම ගුවන්තොටුපොළම ඉන්දියාව භාරගන්නේ ඉන්දියාවට පිස්සු නිසාද කියායි. සත්‍යය නම් ඉන්දියාව මෙම ගුවන්තොටුපොළේ වටිනාකම හොඳින්ම දන්නා අතර වත්මන් ශ්‍රී ලංකා පාලකයන්ගේ නොහැකියාව හා අදූරදර්ශීකම ඔවුන්ට වාසනාව ගෙන ආ බවය. පෙර අපරදිග යා කරන සේද මාවතේ භූගෝලීය වශයෙන් සුදුසුම තැනක පිහිටා ඇති හම්බන්තොට වරාය අත්පත් කරගත් චීන්නුන්ද අද ඔවුන්ගේ වාසනාවට පින්දෙමින් ලංකාවේ අමන පාලකයන්ට සිනහසෙන බව නිසැකය.
හම්බන්තොට කාර්මික පුරය නිමවූ විට වසරක් පාසා ලක්ෂ සංඛ්‍යාත ගුවන් මගීන් හම්බන්තොටට පැමිණීම අපේක්ෂා කළ හැකි අතර, ව්‍යාපාර අවශ්‍යතා සඳහා පැමිණෙන්නන් මෙන්ම සංචාරකයන්ද ඒ අතර සිටිනු ඇත. කාර්මික නගරයේ කර්මාන්තශාලාවලට අවශ්‍ය අමුද්‍රව්‍ය මෙන්ම නිමි භාණ්ඩවලින්ද කොටසක් ගුවන් මඟින් ප්‍රවාහනය කෙරෙනු ඇත. එමෙන්ම ධාරිතාව සීමිත කටුනායක ගුවන්තොටුපොළ වෙනුවට යම් ගුවන් සමාගම් මත්තල හරහා තම ගමන් මාර්ග සැලසුම් කරනු ඇත. ඒ අනුව මත්තල ගුවන්තොටුපොළ නිසාම නව ගුවන් මාර්ග බිහිවනු ඇත. මත්තල ඉදිකළාට පසු එය භාවිත කරමින් දැනටමත් නව ගුවන් මාර්ග රැසක්ම ආරම්භ වී ඇති අතර ඒ නව ගුවන් මාර්ග සැලසුම් නිසා ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දුනීසියාව, සිංගප්පූරුව සහ මැලේසියාව වැනි රටවලින් යුරෝපයට සහ මැදපෙරදිගට පියාසර කරන සහ ආපසු පැමිණෙන යානාවලට ගමන් දුර කෙටි වන අතර පිරිවැය අඩුවේ. එසේම ඒ මඟින් හදිසියකදී භාවිත කිරීම සඳහා රැගෙන යායුතු ඉන්ධන බර ප්‍රමාණ අඩුවීම මඟින් ද පිරිවැය අඩුවේ. මෙම වාසිදායක තත්ත්වයන් ගුවන් සමාගම්වලට ලැබෙන්නේ ලෝක සිතියමේ මත්තල ගුවන්තොටුපොළ පිහිටා ඇති උපාය මාර්ගිකව වැදගත් ස්ථානය නිසාය. මත්තල තම ගුවන් ගමන් පථයේ සඳහන් කරන සෑම විදේශ ගුවන් යානයක්ම මත්තලට ගොඩනොබෑවද මත්තලට ආසන්නව පියාසර කළ පමණින් ශ්‍රී ලංකාවේ ගුවන් සීමාව භාවිත කිරීම සඳහා ගෙවනු ලබන ගාස්තු මත්තල ගුවන් තොටුපොළට ගෙවිය යුතුය.
සිංගප්පූරුව, මැලේසියාව, ඩුබායි වැනි රටවල් තම ගුවන් තොටුපොළවල සැලසුම් කළේ වසර ගණනාවක් ඉදිරියට සිතාය. වාසනාවකට මෙන් ගුවන්තොටුපොළ සාදා නිම කළ වසරේ සිට එය ලාභ ලැබිය යුතුයැයි තර්ක කරන අනුවණයන් ඒ රටවල සිටි බවක් නොපෙනේ. එසේ සිටියත් කිසිවකු ඔවුන්ට සවන් නොදුන් බව අද එම ව්‍යාපෘතීන් ලබා ඇති සාර්ථකත්වයෙන් පෙනී යයි.
මත්තල ගුවන්තොටුපොළ නිර්මාණය කර ඇත්තේ අනාගතයට සරිලන ආකාරයටය. ලෝකයේ විශාලතම ගුවන් යානා වුණත් ගොඩබෑමට හැකි ආකාරයට සැලසුම් කර ඇති මත්තල ගුවන්තොටුපොළේ දැනට නිමවී ඇති පළමු අදියරේ ධාරිතාව වසරකට මගීන් දසලක්ෂයක් වේ. මත්තල සැලසුම් කොට තිබෙන්නේ ඉදිරියේදී ඉල්ලුම් වැඩි වුවහොත් ගුවන්තොටුපොළ තව දුරටත් පුළුල් කොට ධාරිතාව මගීන් මිලියන 5 දක්වා වැඩි කළ හැකි ආකාරයටය. ජනාකීර්ණ ප්‍රදේශයක පිහිටා ඇති කටුනායක ගුවන්තොටුපොළ මෙසේ පුළුල් කිරීමට පහසුකම් නැත.
ඕනෑම ව්‍යාපාරයකට ව්‍යාපාරික සැලැස්මක් අවශ්‍ය වේ. මත්තල ගුවන්තොටුපොළ විවෘත කරනාවිටම එයට සැලැස්මක් තිබුණු අතර එම සැලැස්මට අනුව ගුවන් යානා සමාගම් කිහිපයක්ම මත්තල ගුවන්තොටුපොළ සමඟ ගිවිසුම් ගත වී තිබිණි. තවත් සමාගම් ගණනාවක් ඉදිරියේදී සාකච්ඡා කිරීම සඳහා හඳුනාගෙන තිබිණි. හම්බන්තොට කාර්මික නගරය කෙමෙන් ඉදිවන විට හා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වන විට ඉල්ලුමේ වැඩිවීමට සමාන්තරව එසේ තව තවත් ගුවන් යානා සමාගම් සමඟ ගිවිසුම්ගත වීම ව්‍යාපාර සැලැස්මේ අපේක්ෂාව විය. එහෙත් 2015 වූ දේශපාලන බල පෙරළියෙන් පසු මෙම ව්‍යාපාර සැලැස්ම කුණු කූඩයට විසිවූ අතර මත්තල වී ගබඩා කරමින් ආරම්භ කළ යහපාලන නරි නාටකය අවසන් වූයේ අලුතින් ව්‍යාපාර ගෙන එනවා වෙනුවට තිබුණු ගිවිසුමත් මත්තලට අහිමි කරමිනි. හම්බන්තොට වරායට කළාක් මෙන් මත්තල ගුවන්තොටුපොළ සම්බන්ධයෙන්ද රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අනුගමනය කළේ එකම ප්‍රතිපත්තියය. ඒ පළමුව ව්‍යාපාරය බිඳදමා දෙවැනුව එය විකිණීම සාධාරණීකරණය කිරීමය.
ආණ්ඩුව කියන ඕනෑම බොරුවක් විශ්වාස කිරීමට සැදී පැහැදී සිටින සමහරක් අය මත්තල ගුවන්තොටුපොළ රටට ඉතා බරක් වන තරමේ විශාල ආයෝජනයක් ලෙස සලකන්නේ හුදෙක්ම නොදන්නාකම නිසාය. මත්තල ගුවන්තොටුපොළ සාදන්නට ගිය මුළු වියදම රුපියල් බිලියන 30කට අඩුය. වත්මන් ආණ්ඩුව බලයට ආ පසු ගත් වැරදි තීරණ දෙකක් වන වරාය නගරය ඉදිකිරීම් අත්හිටුවීම හා ශ්‍රී ලංකන් ගුවන් සේවාව විසින් ඇණවුම් කොට තිබූ නව ගුවන් යානා අවලංගු කිරීම වෙනුවෙන් ගෙවන්නට වූ වන්දීන්හි එකතුව පමණක් රුපියල් බිලියන 40කි.
රටේ සම්පත් විකුණා ඒවා විදේශ සමාගම් විසින් දියුණු කළ විට ලංකාවට එය වාසිදායක බවට මිථ්‍යාවක් ජනගත කරන්නට අගමැති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආණ්ඩුව උත්සාහ කරයි. නමුත් මේ සමාගම්වලට විශාල බදු සහන දී ඇති බවත් ඒ නිසා තව පරම්පරාවකටවත් මේ ව්‍යාපාරවලින් ආදායමක් නොලැබෙන බව ඔවුහු හෙළි නොකරති. එපමණක් නොව දැනටමත් අස්සන් කොට ඇති සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම් හා අස්සන් කිරීමට නියමිත ඉන්දියා වෙළෙඳ ගිවිසුම සඳහා කළමනාකරුවාගේ සිට කම්කරුවා දක්වා පිටරටින් ගෙන ඒමට මේ සමාගම්වලට ඉඩ ලැබෙන නිසා ලංකාවේ තරුණ තරුණියන්ට මෙම සමාගම්වල රැකියා අවස්ථා උදාවේ යැයි සිතීම මිරිඟුවක් පසුපස දිවීමක් බවද ජනතාවට හෙළිකොට නැත. වත්මන් නායකයන්ගේ හැසිරීම් රටාව තේරුම් ගැනීමට පුළුවන් වනු ඇත්තේ දක්ෂ මානසික වෛද්‍යවරයකුට පමණකි. මන්ද දැන හෝ නොදැන ඔවුන් දිනපතා රටට කරනු ලබන ද්‍රෝහිකම් අපමණ බැවිනි.
පසුගිය දිනෙක නාවික හමුදා කඳවුරක වූ උත්සවයකදී අගමැතිවරයා අපූරු අනාවැකියක් කීවේය. ඒ නුදුරු අනාගතයේ දිනක ශ්‍රී ලංකාව ආශ්‍රිතව සබ්මැරීන් යුද්ධයක් ඇති විය හැකි බවත් එයට මුහුණදී හම්බන්තොට වරාය ආරක්ෂා කරන්නට වන්නේ ලංකාවේ නාවික හමුදාවට බවත්ය. එසේ නම් ඔහු මේ නොකියා කියන්නේ චීනයත් ඉන්දියාවත් අතර අනාගතයේ ඇති විය හැකි යුද්ධයක් ගැනය. මෙහිදී මතුවන ප්‍රශ්නය නම් අසල්වැසියන් සමඟ ආරවුල් ඇති කර නොගන්නා සාමකාමී රටක් වන ශ්‍රී ලංකාව ජාත්‍යන්තර යුද්ධයකට පවා මැදිවිය හැකි තරමේ අනතුරක හෙළුවේ කවුද යන්නයි. චීනයට හම්බන්තොට වරාය පවරා දී ඉන් සැතපුම් කිහිපයක් අෑතින් පිහිටි ගුවන්තොටුපොළ ඉන්දියාවට පවරා දීම ගැටුමකට තමන් විසින්ම මඟ පාදා දීමක් බව මුලින් වටහා ගන්නට තරම් මොළයක් මේ පාලකයන්ට නොතිබුණු බවත් වැඩේ වරද්දාගත්තාට පසුව තම අමන තීරණ නිසා අනාගතයේ රට මුහුණ පෑ හැකි අනතුර තරමක් දුරට හෝ වැටහී ඇති බවත් මින් පෙනී යයි.
ජාතික සංවර්ධන සැලසුම් අවුල් කරමින්, රටේ සම්පත් අනාගත පරපුරට අහිමි කරමින්, ජාතික ආරක්ෂාව අනතුරේ හෙළමින්, කලාපීය බලවතුන්ගේ ගැටුම්වලට මැදිවිය හැකි අනාගත යුදබිමක් බවට ලංකාව පත් කරමින් කරනු ලබන මත්තල විකිණීමේ තීරණය කෙතරම් විශාල පාවාදීමක්ද යන්න අනාගතය විසින් පෙන්වා දෙනු ඇත.