වංචනිකයන් ගැන තොරතුරු තිබියදී පරීක්ෂණ පවත්වන්නේ නෑ
Posted on August 1st, 2018
උපුටාගැණීම මව්බිම
මෙම වසර අවසාන වීමට ප්‍රථම පළාත් සභා ඡන්දය අනිවාර්යයෙන්ම පැවැත්වීමට ආණ්ඩුවට සිදුවන බවත් කිසිදු අයුරකින් ඡන්දය නොපවත්වා සිටීමට ආණ්ඩුවට හැකියාවක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව පැවැසුවේ පෙරේදා (30දා) කොළඹදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ මාධ්‍ය හමුවකදීය.
නානායක්කාර මහතා මෙසේද පැවැසීය.
මම පසුගිය 20 වැනිදා ලියූ ලිපියක සාරාංශය ඉදිරිපත් කරන්නට කැමැතියි. මා එහි සඳහන් කළ පළමු වැනි කාරණය වුණේ වෝටර්ස් ඒජ් නඩුව පිළිබඳයි. එහි වරද භාරගත් කෙනෙක් විදියට උසාවිය තදබල දෝෂාරෝපණයක් කළේ සුමල් පෙරේරා මහතාටයි. නමුත් එම පරීක්ෂණ ඉදිරියට කෙරීගෙන ගියේ නැහැ. ඒ වගේම ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පිළිබඳව නඩුවත් මම එහි හඳුන්වා දී තිබෙනවා. මමයි ඒ නඩුව දැම්මේ. එහිදී උසාවියේ තීන්දු කරනවා හැරී ජයවර්ධන මහත්තයාව වංචනික ගනුදෙනුව පිළිබඳව වරදකරුවෙක් විදියට. ඔහුට ඒ වෙනුවෙන් රුපියල් මිලියන 6,000ක් ගෙවන්නත් කිව්වා. මෙම රක්‍ෂණ සංස්ථා සිද්ධියේදී හැටන් නැෂනල් බැංකුව ජිබේරා්ල්ටාවල හැදූ සමාගමකින් මේ ගනුදෙනුවට මුදල් ලබාගත් බව පැවැසෙනවා.
මේවා වැදගත් ඓතිහාසික සිද්ධීන්. මේ රටේ වංචනික ගනුදෙනුයි මේවා.
නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා ගිහිල්ලා තිබුණා රක්‍ෂණ සංස්ථාවට එතුමා එහි අනාගත වැඩපිළිවෙළ ගැන සාකච්ඡා කරලා තිබුණා. නමුත් මේ නඩුව ගැන එයාට දැනුමක් තිබුණේ නැහැ. එතුමා ඒ ගැන කතා කළේ නැහැ.
වංචනික පුද්ගලයන් පිළිබඳව මේ තරම් තොරතුරු තිබියදී ඒ ගැන පරීක්‍ෂණ පවත්වන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා. මේවා මහජනයාගේ මුදල්.
ගම්පෙරළිය හා එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා යටතේ බැංකුවලට ඉල්ලුම් පත්‍ර දාලා තිබෙනවා වගේම ව්‍යාපාර සැලසුම් පවා ඉදිරිපත් කරලා තිබෙනවා. බැංකු ඒවා අනුමත කරලත් තිබෙනවා. නමුත් ඒ අනුමත කරපු ණය යෝජනා මහ බැංකුව යවා තිබෙනවා. නමුත් මහ බැංකුවෙන් නිසි පිළිතුරක් ලැබී නැහැ. මෙය මට ලැබුණු තොරතුරක්. එය වැරැදියි නම් මා එය නිවැරැදි කරගන්නට සූදානම්.
වර්ජන ගණනාවක් පැවැත්වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ ආණ්ඩුවේ අර්බුදයයි ඉන් පෙනෙන්නට තිබෙන්නේ. ආණ්ඩුව මේවා වැළැක්වීමට කටයුතු කළ යුතුයි. මත්තල ගුවන්තොටුපළ ඉන්දියාවට දෙනවා කියලාමයි ඇමැතිතුමා කියන්නේ. නමුත් ඉන්දියාවේ ලෝක් සභාවේ කියන්නේ අපි ගුවන්තොටුපළ ඉල්ලලා නැහැ කියලයි. ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් සමඟ තමයි මේ කාර්යය කරන්න හදන්නේ. එයයි පෙනෙන්නට තිබෙන්නේ. ඊට අදාළ වෘත්තීය සමිති මේ නිසා තැතිගැන්මෙනුයි ඉන්නේ. මොකද ඔවුන්ගේ රැකියා අහිමි වෙයි කියලා. මොකද මේ දේ කටුනායකටත් වෙන්න පුළුවන්.
දුම්රිය වර්ජනයක් කරන්නත් දැන් සූදානම් වෙලා. මීට හේතු වෙලා තිබෙන්නේ කැබිනට් පත්‍රිකාවේ ඇති කරුණු ක්‍රියාවට නොනැඟීමයි. මෙය බරපතළ වරදක්. මිනිස්සු වැඩ වර්ජන කරනවා තමයි එවිට. මේවාට කවුද වගකියන්න ඕනේ. දැන් හැම කුණු ගොඩක්ම ජනාධිපතිවරයාට භාර ගන්න වෙලා. අද ආණ්ඩුවේ විශාල කලබලෑනියක් තිබෙනවා. මේ අවුල් නිසා රටට වෙන්නේ විපතක්.
ලංකාවේ ලොකුම සමාගමක් කියලා තියෙනවා ඔවුන්ගේ ලාභය ශීඝ්‍ර ලෙස පහත වැටිලා කියලා. හේතුව පාරිභෝගිකයන් අතේ සල්ලි නැතිකමයි. මෙයයි රටේ තත්ත්වය.