සිංගප්පූරු ගිවිසුමේ නැති වුණාට කන්ද උඩරට ගිවිසුමෙත් සිංහල පිටපතක් තිබුණා
Posted on August 22nd, 2018

හර්ෂනී අර්සකුලරත්න උපුටාගැනීම මව්බිම

මහා පාවාදීමක් සේ සැලැකෙන කන්ද උඩරට ගිවිසුමේ පවා සිංහල පරිවර්තන පිටපතක් තිබූ බවත් ඊටත් වඩා මහා පාවාදීමක් වූ ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුමේ සිංහල පිටපතක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවැසුවේ ඊයේ (21දා) බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය මෙහෙයවූ මාධ්‍ය හමුවක් අමතමිනි.
පිටු දහස් ගණනක් සහිත ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළෙඳ ගිවිසුම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් එළිදක්වා තිබීම මෙරට ව්‍යවසායකයන්ට මෙන්ම සිංහල, දෙමළ බසින් සිය ජීවනෝපාය ගෙනයන සියලු වෘත්තිකයන්ට සිදු කළ බරපතළ අසාධාරණයක් බවද ඔහු පැවැසීය.

මන්ත්‍රිවරයා එහිදී මෙසේද පැවැසීය.
මේ ගිවිසුම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ රාජ්‍ය භාෂාවේ මූලධර්ම අමු අමුවේ උල්ලංඝනය කරමින් සැකසූවක්. මම විශේෂයෙන්ම කථානායකට පැහැදිලි චෝදනාවක් එල්ල කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22,23 වගන්තිවල තියෙනවා ඉංග්‍රීසි භාෂාවේ පරිවර්තනයක් සහිතව සිංහල සහ දෙමළ භාෂා දෙකෙන් රජයේ වාර්තා, ලිපි ලේඛන හා පොත්පත් පවත්වාගෙන යා යුතු අතර නීති පැනවීම කළ යුතුයි කියලා.

රටේ නීති සම්පාදනය වන ව්‍යවස්ථාදායකයේ භාෂාවන් වන සිංහල හා දෙමළ භාෂාවන් නැතිව ඉංග්‍රීසියෙන් විතරක් ගිවිසුම කෙටුම්පත් කරලා සමස්ත ලංකාවේ අනාගත පරපුරත් එක්කම බිල්ලට දීම සම්බන්ධයෙන් කථානායකතුමත් මූලිකවම වගඋත්තරකරුවෙක් බවට පත්වෙනවා.

මොකද කියනවා නම් එතුමා මීට පෙර පූර්වාදර්ශයක් දීලා තියෙනවා භාෂාත්මක ගැටලුවක් උද්ගත වූ අවස්ථාවක. ඒ තමයි බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ විවාදය වන අවස්ථාවේදී සුමන්තිරන් මන්ත්‍රිවරයා විරෝධය ප්‍රකාශ කළා. එය ද්‍රවිඩ බසට පරිවර්තනය නොවීම සහ සිංහල බසින් නොවීම සම්බන්ධව.
කථානායකතුමා බැඳුම්කර විවාදය වහා නතර කළා. අද වෙනකම් බැඳුම්කර විවාදය නැහැ. ඒක තමයි කථානායකතුමා සුමන්තිරන් මන්ත්‍රිවරයා මතු කරපු ප්‍රශ්නයට දක්වපු ප්‍රතිචාරය.

මේ ගිවිසුම පිළිබඳ පාර්ලිමේන්තු විවාදයකුත් පැවැත්වූවා. විවාදය පැවැත්වෙන අවස්ථාවෙවත් කථානායකතුමාට නියෝගයක් කරන්න තිබුණා අවම වශයෙන් මන්ත්‍රිවරුන්ට විවාදයට සහභාගි වීම සඳහා මෙය සිංහල හා දෙමළ භාෂාවලින් දිය යුතුයි කියලා. ඒ නිසා කථානායකතුමා ඔහුගේ වගකීම පැහැර හැරලා තියෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22,23 වගන්තිවලට අනුවත් සිංහල භාෂාවෙන් මෙවැනි ගිවිසුම් පැවැතිය යුතු බව සඳහන් වෙනවා. දැන් මෙවැනි ඉංග්‍රීසි කෙටුම්පතක ගැටලුවක් ඇතිවුණාම මොකක්ද කරන්නේ. එතකොට කරන්න වෙන්නේ සිංගප්පූරු බේරුම්කරණයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් විතරයි. මේක කරගන්න වෙන්නේ.

රටේ මූල්‍ය බලය සතුවෙන්නේ පාර්ලිමේන්තුවටයි. දැනට අය කරමින් තිබෙන තීරු බදු ආදායමේ විශාල පළුවක් මේ ගිවිසුම හරහා නැති වෙනවා. සිංගප්පූරුවෙන් ආනයනය කරන භාණ්ඩ රැසකට දැනට තීරුබදු පනවල තියෙනවා. නමුත් සඟවාගෙන සිටි 2069/02 ගැසට් එක හරහාත් ඊට පසුව නිකුත් කළ භාණ්ඩ 182 ගැසට් එකකින් භාණ්ඩ වර්ග හාරදහසක තීරුබදු මුළුමනින් ඉවත් වෙනවා.

ජාත්‍යන්තර වෙළෙඳ නමුත් උපාය මාර්ගික හා අමාත්‍යාංශයේ ලේකම්තුමිය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියකින් නියෝග කරනවා මැයි 1දා සිට මේ ගිවිසුම ක්‍රියාත්මක කරන්න කියලා. ඒකත් ඉංග්‍රීසියෙන් තියෙන්නෙ. එතුමියට අයිතියක් නැහැ කියලා මම පැහැදිලිව කියනවා. ඇයට පවරා ඇති බලයට පිටින් අතිරේක බලයක් ක්‍රියාත්මක කරන්න.

ඊට හේතුව මෙවැනි සිද්ධියක් පිළිබඳ ශේ‍ර්ෂ්ඨාධිකරණයෙන් අප මීට පෙර පූර්වාදර්ශ ලබාගත් අය. ඒ අනුවයි අප එහෙම කියන්නේ.

පළාත් සභාවෙ පුටු නෙමෙයි ප්‍රශ්නෙ. රටක් පාවල දෙද්දි පළාත් සභාවෙ පුටු ප්‍රශ්නයක් ගැන කියවනවා. මේක පුදුම රටක්. හොරු ඉන්නවා නම් හොරු සේරම අල්ලලා හිරේ දාන එකනෙ කරන්න තියෙන්නෙ. මේක එහෙම නෙවෙයිනෙ මුළු රටක් පාවලා දෙන ගිවිසුමක් හොරෙන් ගහලා ගැසට් එකත් හොරෙන් ගහගෙන ඇවිත් කරන පාවාදීමක් මේ.

කථානායකතුමාට අපේ රටේ විශාල පිළිගැනීමක් තිබුණා. හොඳ ප්‍රතිරූපයක් තිබුණා. අපෙත් ගෞරවයක් තිබුණා. මොන දේ වුණත් එතුමා රට පැත්තෙ රටේ අනාගතය පැත්තෙ හිට ගනියි.

රටට අහිතකර දෙයක් වෙන්න දෙන එකක් නැහැ කියලා.

නමුත් ඒ විශ්වාසය බිඳ වැටෙන දේවල් කිහිප වතාවකදීම වුණත් රාජ්‍ය මූල්‍ය සම්බන්ධව ප්‍රධාන වශයෙන් දෙවතාවක්ම ඒ විදියට සිද්ධ වුණා.

එක් අවස්ථාවකදී හිටපු මුදල් ඇමැති රවි කරුණානායක අය වැය යෝජනා මඟින් ලිඛිතව අධ්‍යාපන අමාත්‍යාංශයේ රුපියල් බිලියන 125ක අතිරේක පුනරාවර්ථන වියදමක් දරන බවට මහපොළොව නුහුලන බොරු වියදමක් ලබා දුන්නා.

තියෙන්නේ ඩීල් විපක්ෂයකුයි හීලෑ විපක්ෂයකුයි නෙ. ඒකාබද්ධ විපක්ෂය මේ ගැන කතථනායකට පැමිණිලි කළා. මේ ගැන පරීක්ෂණයක් කළා. අපි රවිට විශ්වාසභංගයක් ගෙනාවා. නමුත් අවසානයේ අය වැය සම්මත වුණු නිසා මේක අදත් න්‍යාය පත්‍රයේ තියෙනවා ඉදිරිපත් නොකොට.

අද විපක්ෂයේ භූමිකාවක් නැතිවයි අද අපි රට වෙනුවෙන් මේ කාර්ය භාරය ඉෂ්ට කරන්නේ. ඒ නිසා කාලෙන් කාලෙට විවිධ මාතෘකා එළියට ගෙනත් ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම යටපත් කරන්න දරන වෑයම පරාජය කළ යුතුයි.

මෙහිදී අදහස් දැක්වූ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ.

මේ ගිවිසුම සම්බන්ධ විවාදයේද් පාර්ලිමේන්තු මන්ත්‍රිවරු බහුතරයකගේම පැහැදීමක් නැති බව අපට පෙනුණා. කල් තැබීමේ විවාදයක් පවා පැවැත්වුණා. මලික් ඇමැතිව ආරක්ෂා කරන්න ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරු එදා සභාගැබට ආවෙ නෑ.

කෙසේ වුවත් මේ ගැසට් නිවේදනයේ අනු අංක 136 සහ ගිවිසුම් ප්‍රකාර එම්.එස්. කේතය 23099030 කියැවෙනවා. කුකුලන් සඳහා වන ආහාර ආනයන බද්ධ සම්පූර්ණ නිදහස් කරලා තියෙනවා.

සිංගප්පූරු ගිවිසුම හරහා වෙන්නේ හිටපු ජනාධිපතිතුමාගේ ආණ්ඩුව නඟාසිටුවපු බඩඉරිඟු ගොවියා නැත්තටම නැතිවෙන එකයි. තීරු බදු රහිතව කුකුළු කෑම ආනයනය කිරීමට අවශ්‍ය වැඩකටයුතු වෙද්දී ඒ ගොවියෝ සේරම හාන්සි වෙන එකයි වෙන්නේ.

එක පැත්තකින් වී ගොවියාව උපක්‍රමශීලීව වී ගොවිතැනින් අෑත් කළා. දැන් බඩඉරිඟු වගාවෙනුත් ජනතාව අෑත් කරන්නයි කටයුතු කරන්නේ.

හර්ෂනී අර්සකුලරත්න

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress