ටී.එන්.ඒ. එකට ආණ්ඩුව දුන් පොරොන්දු වහා හෙළි කරන්න
Posted on October 17th, 2018

උදයන්ති මුණසිංහ උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුව, දෙමළ ජාතික සන්ධානයට ඉටු කිරීමට පොරොන්දු වූ දේවල් මොනවාදැයි වහාම රටට හෙළිකළ යුතු බව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ.

දුන් පොරොන්දු ඉටු නොකළහොත් ඉදිරි අය-වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරන බවට උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් සිදු කළේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවත් උන්වහන්සේ සඳහන් කළහ.

බොදුබල සේනා සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (16දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව පැවැසූහ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුදත්ත හිමි, මේ වෙනකොට රටේ ඉදිරි වර්ෂය සඳහා අය-වැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා තියෙනවා. මේ අය-වැය අන්තර්ගතය පිළිබඳව කිසිදු වග විභාගයකින් තොරව තමන්ගේ පටු දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට, විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානය වෙනුවෙන් කොන්දේසි විරහිතව ඍජුවම පෙනී සිටින දෙමළ ජාතික සන්ධානයේ ඒ ප්‍රකාශ එක්ක අපිට ප්‍රශ්න කිහිපයක් ඇතිවෙලා තියෙනවා.

උතුරු පළාත් මහ ඇමැති විග්නේශ්වරන් සහ දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක සුමන්තිරන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළා. ටී.එන්.ඒ. එකෙන් වෙන්වෙලා ඉන්න විග්නේශ්වරන් මහත්තයාගේ ඉල්ලීමක් ඉටු කරන්න ටී.එන්.ඒ. මන්ත්‍රිවරයෙක් වුණු සුමන්තිරන් මේ ප්‍රකාශය කරන්නේ ඇයි කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඔවුන් ප්‍රකාශ කළා මේ අය-වැයට අනිවාර්යයෙන්ම විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරනවා, ඔවුන්ට පොරොන්දු වුණු දේවල් ඉටු නොකළොත් කියලා.

අපි ආණ්ඩුවට කියනවා වහාම රටට හෙළිදරව් කරන්න කියලා, දෙමළ ජාතික සන්ධානයට ඉටු කරන්නම් කියලා පොරොන්දු වුණේ මොනවාද කියලා.

ඒ පොරොන්දු පත්‍රිකාවේ තියෙන්නේ දෙමළ නිජබිම් සංකල්පය පිළිගන්නවාද? ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගේනවාද? එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් නිදහස් කරන්නද? අපි අහනවා මේ රටේ තැනින් තැන බෝම්බ පුපුරවලා මේ රටේ අහිංසක නිරායුධ ජනතාව ඝාතනය කරපු එල්.ටී.ටී.ඊ. සැකකරුවන් නිදහස් කරනවාද කියලා වහාම රටට ආණ්ඩුව හෙළිදරව් කළ යුතුයි.

ඒ වගේම උතුර සහ නැඟෙනහිර පළාතේ තිබෙන පුරාවස්තු, විහාරස්ථාන සහ සිංහල ගම්මාන ඉවත් කරන්නත් අද දෙමළ ජාතික සන්ධානය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. අපි ආණ්ඩුවෙන් අහනවා දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීම මත මේ දේවල් ඉවත් කරනවාද කියලා. රටට දැවැන්ත විදියට බලපාන මේ දේවල්වලට ආණ්ඩුව මොකද කරන්නේ කියලා වහාම රටට හෙළිදරව් කළ යුතුයි.

මේවා සුළුකොට තැකිය යුතු කාරණා නෙවෙයි.

අපිට ලැබුණු තොරතුරු අනුව මීට මාස කිහිපයකට කලින් අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව පාර්ලිමේන්තුවට ආපු විශ්වාසභංග යෝජනාවට විපක්‍ෂව ඡන්දය භාවිත කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානයට යම් පොරොන්දු මල්ලක් ලබාදීලා තියෙනවා. දෙමළ ජාතික සන්ධානය දැන් කියන්නේ ඒ පොරොන්දු මල්ලේ තිබෙන පොරොන්දු ඉටු කිරීමද කියලා අපි අහනවා.

අපි අහනවා මේ රට බෙදන්න හදන සිවාජිලිංගම්ලාට ඇයි නීතිය ක්‍රියාත්මක නොවෙන්නේ. ඒ වගේම රණවිරුවන්ගේ කැපකිරීම හෑල්ලුවට ලක් කරන විග්නේශ්වරන්ට විරුද්ධව ඇයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ. මේ රටේ පුරාවස්තු විනාශ කරන ශ්‍රී ධරන් මන්ත්‍රිවරයාට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්තේ ඇයි කියලා අපි අහනවා.

එල්.ටී.ටී.ඊ.ය නැවත ඕන කියපු විජයකලාට පැය දෙකෙන් ඇප දෙනවා.

නීතිය විජයකලාටත් පොදු නොවන්නේ ඇයි කියලා අපි අහනවා. මේ හැම නාට්‍යයක්ම නිෂ්පාදනය කරන්නේ පොලිස්පතිතුමා ප්‍රමුඛ පොලිස් දෙපාර්තමේන්තුව. නාට්‍යය අධ්‍යක්‍ෂණය කරනවා අරලිය ගහ මන්දිරයේ. ඊට පස්සේ නාට්‍ය විකාශන කරනවා ජනාධිපති ලේකම් කාර්යාලය. ඒකට අවශ්‍ය පසුබිම නිර්මාණය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුව. මේක තමයි ඇත්ත. නැතිනම් මේ රටේ ජනාධිපතිවරයාව ඝාතනය කරන්න කුමන්ත්‍රණය කරපු අය එළියේ ඉන්නේ කොහොමද? මේවා ඔක්කොම නාට්‍ය විතරයි.

ඒ වගේම තමයි අපේ ඥානසාර හාමුදුරුවන්ට සිදුවුණේ දැඩි අසාධාරණයක්. නොකරපු වරදවල් කිහිපයක් එකතු කරලා උන්වහන්සේට දඬුවම් ලබා දුන්නා. උන්වහන්සේගේ මෑණියන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරලා තියෙනවා උන්වහන්සේව නිදහස් කරලා දෙන්න කියලා. මේ මෑණියන්ගේ ඉල්ලීම ජනාධිපතිතුමා ඉටුකරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

ඡායාරූප: අනුරුද්ධ මැදවත්තේගෙදර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress