මේ විදියට ආණ්ඩුව වැට්ටුවොත් පිටරටක ජනතාවනම් නැඟී සිටිනවා
Posted on November 2nd, 2018
නව අගමැතිවරයෙක් පත්කිරීම නිසා ජනාධිපතිවරයාට විරුද්ධව ජනතාව පෙළ නොගැසුණු බවත්, ශාප නොකළ බවත්, කොළඹ හුනුපිටිය ගංගාරාමාධිපති ගලබොඩ ඥානිස්සර හිමියෝ පැවසූහ.
ඉන් සනාථ වන්නේ ජනතාව පසුගිය කාලයේ දුකෙන්, කනගාටුවෙන්, බියෙන් මිරිකී ජීවත් වූ බව යැයි වැඩිදුරටත් උන්වහන්සේ පැවැසූහ.
නව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇමැතිකම භාර ගැනීමෙන් පසුව ආගමික ආශීර්වාදය ලබා ගැනීම සඳහා ගංගාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ උන්වහන්සේ මේ බව පැවසූහ.
එහිදී ගලබොඩ ඥානිස්සර හිමියෝ මෙසේද පැවැසූහ.
ඡන්දය දීපු කෙනෙක් මේ වෙච්ච දේ ගැන ඇඬුවෙ නෑ. වැලපුණේ නෑ. පහන් පත්තු කළේ නෑ. ශාප කළේ නෑ. සද්දයකුත් නෑ. වෙන රටක නම්, රටේ බහුතරයක් පත්කරපු ආණ්ඩුවක් කවුරුහරි වැට්ටුවොත් හරි වට්ටන්න උත්සාහ කළොත් හරි රටේ ජනතාව නැඟී හිටිනවා. මං හිතන්නෙ කිසි කෙනෙක් නිදා ගත්තා හැර ඇහැරුණයි කියලා නම් මට තේරෙන්නෙ නෑ. එච්චරයි මම දන්නෙ. මාත් හොඳට බුදියගත්තා.
ජනාධිපතිතුමාගේ කතාව අහගෙන හිටපු රටවාසීන්ට රටේ නායකයා මොකක් කිව්වද ඒ කතාවේ අරුත මොකක්ද ඒක අවබෝධ කරගත යුතුයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ විනාශකාරී පුද්ගලයෝ, විනාශකාරී කටයුතුවලින් විනාශයට පත්වෙනවායි කියන එකයි.