මම නුසුදුසු ඇයි?
Posted on June 12th, 2019
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ජනාධිපතිවරණය මේ අවුරුද්ද ඉවරවෙන්න කලින් පැවැත්වීමේ විශාල ඉඩක් තියෙනවා. ඒත් මේ ජනාධිපතිවරණයට 2020 කියලා කියන්න අපේ සමහර අය පුරුදුවෙලා. ඒ අය එහෙම කරන්නේ මෝස්තරේට වෙන්න ඇති. මේ කියන්න යන්නේ ඒ මෝස්තර ගැන නම් නෙවෙයි.
මේ වතාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා නානාප්‍රකාර අය ඉස්සරහට එනවා. මෙහෙම කියන අය පස්සෙන් යන පිරිසකුත් ඉන්නවා. ඉතින් මේ සෙල්ලම මැද්දේ මටත් බැරි ද මමත් එනවා” කියලා කියන්න?
ඇත්තෙන් ම, බෑ!
ඇයි මට එහෙම කියන්න බැරි? ඇයි මම එහෙම කියන්නේ නැත්තේ? මම එහෙම කියන්නේ මට මේ රටේ ජනාධිපති වෙන්න කිසිම සුදුසුකමක් නැති හින්දා. රටක රජකම භාරගන්නවා කියලා කියන්නේ හිතෙන හිතෙන හැම කෙනෙක්ට ම කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වයස සහ පුරවැසිකමට අමතරව තවත් විශාල සුදුසුකම් ප්‍රමාණයක් ඒ වගේ කෙනෙක්ට ඕන වෙනවා.
ව්‍යවස්ථාවෙන් පනවපු මූලික සුදුසුකම් සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඕන ම කෙනෙක්ට (ගොනෙක්ට?) ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න පුළුවන් බව ඇත්ත. එහෙම ඉදිරිපත් වෙලා මොකක් හරි බලගතු රටක උදව්වකුත් ලබාගන්න පුළුවන් නම් ජනාධිපතිවරණයෙන් දිනන්න බැරිකමකුත් නෑ. ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැතුව, ඒකෙන් දිනන්නේ නැතුව රට පාලනය භාරගන්න බෑ. මේ කරුණු දෙක කාටත් අදාළයි. හැබැයි මේ දෙක ම සම්පූර්ණකරන්න පුළුවන් වෙච්ච පමණින් රටක් පාලනයකරන්න බෑ.
රටක් පාලනයකරන්න නම් තවත් සුදුසුකම් විශාල ප්‍රමාණයක් සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ අතරින් මූලික ම කාරණය තමයි පිරිස් බලය.
ජනාධිපතිවරණය වෙලාවේ ඡන්දපොළට ගිහිල්ලා කතිරය ගහන මිනිස්සු හැම වෙලාවේ ම තමන් එක්ක ඉන්නේ නෑ. එහෙම ඉන්න වෙලාවක් ඒ මිනිස්සුන්ට ඇත්තෙත් නෑ. ඒ හින්දා රටේ පාලනය භාරගන්න කෙනාට සෑහෙන ප්‍රමාණයක ස්ථාවර පිරිස් බලයක් තියෙන්න (අනුගාමික පිරිසක් ඉන්න) ඕන.
මේ හා සම්බන්ධ කතාවක් අපි පොඩි කාලයේ අහලා තියෙනවා.
එක්තරා රජ කෙනෙක් තමන්ගේ පුතා රජකමට පුරුදු පුහුණු කරමින් හිටියා. ඉතින් රජතුමා දවසක් තමන්ගේ පුතාට කිව්වා දැන් පුතා තරුණයි. දැනගන්න ඕන මූලික ශිල්ප ශාස්ත්‍රත් ඉගෙනගෙන ඉවරයි. ඒත් එහෙම වෙච්ච පමණින් රට පාලනය කරන්න බෑ. තමන්ව ආරක්‍ෂා කරගන්න පුළුවන් බලකොටු සෑහෙන ප්‍රමාණයක් රට පුරා ම හදාගන්න පුතාට පුළුවන් වෙන්න ඕන” කියලා.
මේක අහපු කුමාරයා පිය රජතුමාගේ උපදෙස් අනුව කටයුතුකරන්න තීරණය කළා. ඉතින් පිට පළාත්වලට ගිය කුමාරයා ඒ හැම තැනක ම බලකොටු හදන්න පටන්ගත්තා. ටික දවසකට පස්සේ තමන් පවරපු වැඩේ ප්‍රගතිය ගැන රජතුමා කුමාරයාගෙන් ඇහුවා. තමන් කරමින් ඉන්න වැඩ ගැන කුමාරයා රජතුමාට විස්තර කිව්වා.
ඒ විස්තර අහපු ගමන් ම රජතුමාට යකා නැග්ගා. යකෝ, මම උඹට කිව්වේ රට පුරා ම ඔය විදිහේ බලකොටු හදන්න කියලා නෙවෙයි. රට පුරා ම තමන් වෙනුවෙන් පණදෙන්න වුනත් සූදානම් මිනිස්සු ටිකක් හදාගන්න කියලා” රජතුමා බෙරිහන් දුන්නා. ඊට පස්සේ තමයි තමන් කළ යුතු දේ ගැන කුමාරයාට තේරුණේ.
රටක ජනාධිපතිකම කරනවා කියලා කියන්නේ තනියෙන් කරන්න පුළුවන් සෙල්ලමක් නෙවෙයි. ඒකට විශාල අනුගාමිකයන් පිරිසකගේ උදව්ව ඕන වෙනවා. රාජකාරි වැඩ ටික කරගන්න රාජ්‍ය පරිපාලන ක්‍රමයක් තියෙන බව ඇත්ත. ඒත් රටක් පාලනයකරනවා කියලා කියන්නේ ඒ ක්‍රමය හරහා විතරක් කරන වැඩක් නම් නෙවෙයි. අපි මහ සංකීර්ණ වැඩ පැත්තකින් තියමු. රටේ ඉන්න ප්‍රධාන පුද්ගලයොත් එක්ක දිනපතා සම්බන්ධකම් පවත්වන එක ගැන විතරක් හිතන්න. මන්ත්‍රීවරු ඉන්නවා. ඇමැතිවරු ඉන්නවා. ආගමික නායකයෝ ඉන්නවා. සමාජ නායකයෝ ඉන්නවා. ප්‍රාදේශීය නායකයෝ ඉන්නවා. මේ අයගෙන් යම් ප්‍රමාණයක් එක්ක දිනපතාම යම් යම් ආකාරවලට සම්බන්ධකම් පවත්වන්න රටේ නායකයාට සිද්දවෙනවා. අත් දෙකකින්, එක කටකින් විතරක් මේ දේවල් කරන්න බෑ.
දවසකට දුරකථන ඇමතුම් 20 ක් විතර ආවොත් මගේ ඔළුව නරක්වෙනවා. මේ මොන කරදරයක් ද කියලා හිතෙනවා. ඒත් රාජ්‍ය නායකයෙක්ට, දේශපාලනය කරන කෙනෙක්ට එහෙම හිතෙන්න බෑ. අවශ්‍ය අවශ්‍ය වෙලාවට හිනාව, තරහව වගේ හැඟීම් පාලනය කරගන්න පුළුවන්කමකුත් එහෙම කෙෙනක්ට තියෙන්න ඕන. සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක්ට වුනත් මේක අදාළයි.
ඉතින් ජනාධිපති ධූරය භාරගන්න කෙනෙක්ට රට පුරා ම පැතිරිච්ච තමන්ගේ ම පිරිස් බලයක් තියෙන්න (අනුගාමික පිරිසක් ඉන්න) ඕන. තමන් ළඟින් ම ඉන්න පිරිසකුත් ඒ කෙනාට ඕන. මේකට අපි කියන්නේ Inner Circle එකක් කියලා. හොඳ විශ්වාසවන්ත තමන්ගේ ම උපදේශකයෝ ටිකකුත් ඉන්න ඕන. මේ මානව සම්පත් නැති මිනිහෙක්ට රටේ ජනාධිපතිකම හරියට කරගෙන යන්න බෑ. එහෙම කෙනෙක්ට වෙන්නේ තුවක්කු කටවල් ගොඩක් මැද්දේ තනිවෙලා ඉන්න.
මට මේ විදිහේ පිරිිස් බලයක් නෑ. ඉතින් මේ මූලික සුදුසුකම සපුරගන්නේ නැතුව ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙනවා කියලා කියනවා නම් ඒක විහිළුවක්. වැරදිලා හරි එහෙම ඉදිරිපත් වෙලා ජනාධිපතිවරණයෙන් දිනුවොත් ඒක මාරාන්තික විහිළුවක්. රට ම අස්ථාවර කරලා විනාශ කරන විකාරයක්!
දැන් අපේ රටේ තියෙන ආර්ථික වාතාවරණය ඇතුළේ ආණ්ඩුවේ රස්සා දෙන්නම්, අරවා දෙන්නම්, මේවා දෙන්නම්” කියලා යම් කෙනෙක් කියනවා නම් ඒක අමූලික බොරුවක්. රට ඇතුළේ ආර්ථික ක්‍රියාකාරකම් පණගන්වලා, රැකියා ඇති කරන විදිහක් ගැන, ආර්ථික වශයෙන් තමන්ව ශක්තිමත් කරගැනීමේ අවස්ථාව ජනතාවට ම පවරන විදිහක් ගැන මේ වතාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන අය කියන්න ඕන. මේ අදහස ඉතාමත් හොඳින් ජනතාවට සන්නිවේදනය කරන්නත් ඒ අයට පුළුවන් වෙන්න ඕන.
මේ විදිහේ සන්නිවේදන හැකියාවක් මට නෑ. එහෙම සන්නිවේදනයක් කරන්න පුළුවන් යාන්ත්‍රණයකුත් මට නෑ. අඩුම ගණනේ තියෙන මාධ්‍ය හරහා ඒ වැඩේ කරවාගන්න පුළුවන්කමක්වත් මට නෑ. ඉතින් මේ ජනාධිපතිවරණ සෙල්ලමට ඉදිරිපත් වෙන්න අවශ්‍ය ඒ සුදුසුකමත් මට නැති බව හොඳට ම පැහැදිළියි. වෙන එකක් තියා ජනාධිපතිවරණයට එනවා කියලා ඉස්සරහට ඇවිල්ලා කියන සමහර කතා බොරු කියලා කියාගන්න පුළුවන් සන්නිවේදන හැකියාවක්වත් මට නෑ.
රොහාන් පල්ලේවත්ත කියලා මහත්තයෙක් ජනාධිපතිවරණයට ඉදිරිපත්වෙනවා කියලා කියනවා. තමන් ජනාධිපති වුනාම ජපානයෙන් අඩු පොලියට ණය අරගෙන වැඩි පොලී ණය ගෙවලා ණය බර 70% කින් අඩු කරනවා කියලා ඒ මහත්තයා කියනවා. ලෝකයේ වැඩියෙන් ම ණයවෙච්ච ආණ්ඩුව තියෙන්නේ ජපානයේ. 2017 අවුරුද්දේ අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ සංඛ්‍යාලෙඛනවල හැටියට දළ ජාතික නිෂ්පාදිතය වගේ සියයට 236 ක් ජපන් ආණ්ඩුව ණයවෙලා තියෙනවා. ජපානය තමයි ලෝකයේ තුන්වැනි දළ ජාතික නිෂ්පාදිතයට හිමිකම් කියන්නේ කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ. ඉතින් ජපානයෙන් ණය ඇරගෙන අපේ ණය ගෙවනවා කියන එක කරන්න පුළුවන් දෙයක් ද? ඒත් මේක බොරුවක් කියලා අපේ මිනිස්සුන්ට සන්නිවේදනය කරගැනීමේ හැකියාවක් මට නෑ. ඉතින් මම මේ සෙල්ලමට සුදුසු කෙනෙක් නෙවෙයි කියන එක ආයෙත් පැහැදිළිකරන්න ඕන ද?
මේ කරුණුත් එක්ක තමයි අපි ජනාධිපතිවරණ අපේක්‍ෂකයෝ ගැන හිතන්න ඕන. මුළු සමාජය ම අකර්මන්‍ය වෙලා, ආණ්ඩුවෙන් කන්න දෙන කල් බලාගෙන ඉන්න වෙලාවක බෝධිසත්ව ගුණෝපිත ජනාධිපති අපේක්‍ෂකයෝ ගැන අපිට හිත්නන බෑ. මේ තියෙන පිරිහිච්ච සමාජය ඇතුළෙන් ම තමයි ඒකට අවශ්‍ය නායකයෝ පහළවෙන්නේ. ඉතින් අපිට තෝරගන්න වෙන්නේ යම් යම් අඩුපාඩු තියෙන අය. හැබැයි මොන අඩුපාඩු තිබුණත් තමන්ට ම කියලා පිරිස් බලයක් නැති අය අපේ නායකයෝ විදිහට තෝරගන්න හොඳ නෑ. එහෙම කෙනෙක් ජනාධිපතිකමට තෝරාගත්තා ම සිද්දවෙන්නේ ඒ පුද්ගලයා බලය තියෙන අනිත් මිනිස්සුන්ගේ හිරකාරයෙක් බවට පත්වෙන එක.
රෝයල් කල්ලිය, පවුල් සමාගම වගේ මොන කතන්දර ගැන කිව්වත් මේ ඇත්ත අපි තේරුම්ගන්න ඕන. එහෙම නොවුනොත් සුන්දර සිහිනයක් දැකලා ඇහැරුනාට පස්සේ ආයෙත් බැණ බැණ ඉන්න අපිට සිද්දවෙයි.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති