මෙල්බර්න් අපේ ජනපති නාගා සහ තවත් රස කතා
Posted on October 26th, 2019
කැලුම් නිරංජන යුතුකම සංවාද කවය
–කතා කළ යුතු මාතෘකා කොතෙක් පැවතියත් මේ සටහන තබන්නට සිත් වූයේ පසුගියදා , ජනාධිපති ධූරයට තරඟ වදින්නේ යැයි කියන නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ මූලිකත්වයෙන් මෙල්බර්න් නුවරදී පැවැති රැස්වීමක ඡායාරූප කිහිපයක් මුහුණු පොතේ මිත්‍රයෙකු විසින් අපූරු සටහනක් සමග පළකර තිබෙනු දැකීමෙනි.
ඔහු එහි සඳහන් කර තිබුනේ “මේල්බර්න් අපේ ජනපති Naga”. එය අපූරු සටහනක් වන්නේ නාගානන්ද කොඩිතුවක්කු යනු ජනාධිපති වන්නට තබා 2015 සිද්ධාලේප වෙදමහත්තයා ලබා ගත් චන්ද ගණනවත් ලබා ගැනීමට හැකි විභවයක්, දැනට මෙරට බිම් මට්ටමේ පෙනෙන්නටවත් නැති ප්‍රායෝගික තත්වය යටතේය. එසේ තිබියදී “මෙල්බර්න් අපේ ජනපති නාගා” යැයි සිතන්නට හැකි මානසිකත්වයක් උගත් යැයි සම්මත පිරිස් අතලොස්සක් අතර හෝ ඇතිවන්නට හේතු වන්නට ඇත්තේ කුමක් ද? එය විමසා බලන්නට මත්තෙන් නාගානන්ද කොඩිතුවක්කු මහතා ඉදිරිපත් කරන මූලිකම අදහස, එනම් ජනාධිපතිවරණයෙන් ජයගත් විගසම බලාත්මක වන්නේ යැයි කියන ස්වයංජාත ව්‍යවස්ථාව පිළිබඳ මඳක් විමසා බලමු.
ස්වයං ජාත මනස්ගාත
නාගානන්ද කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානතම ප්‍රචාරක උපක්‍රමය වී ඇත්තේ ඔහුගේ ස්වයංජාත ව්‍යවස්ථාවයි. සරලව ගතහොත් එමගින් ඔහු ප්‍රකාශ කරන්නේ ඊලඟ ජනාධිපතිවරණයට ඔහු විසින් නිර්මාණය කර ඇති ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත සඳහා ජනවරමක් ලබා ගන්නා බවයි. ඒ හරහා දැනට බලාත්මක ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් බලරහිත වී පත්වී පැය 24ක් ඇතුලත ඔහුගේ ව්‍යවස්ථාව රටේ උත්තරීතර නීතිය බවට පත් වෙන බවයි. ඒ තුලින් දැනට පාර්ලිමේන්තුවේ සිටින නියෝජිතයන් 225 දෙනාම බලරහිත වී ශ්‍රේෂ්ඨාධිකරණය වැනි ආයතනයන් සඳහාද අලුතින්ම විනිසුරුවරුන් පත් වෙන බවයි.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයකින් තොරව වෙනස් කළ නොහැකි වගන්ති 12ක් අඩංගු වේ. එය ව්‍යවස්ථාවේ පාදමයි. ඒ පාදම මත සිට ඕනෑම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තුවේ 2/3 ක බහුතරයෙන් සම්මත කරගත හැකිය. වගන්ති 12 කින් යුතු පාදමේ කොටසක් හෝ සම්පූර්ණයෙන් ගලවා දැමීමට නම් පාර්ලිමේන්තුවේ 2/3 ක් සහ ජනමත විචාරණයක් අත්‍යවශ්‍ය වේ. මේ වගන්ති 12 ක ආවරණය ලබා ඇති අංශ වන්නේ රටේ නම , රට ඒකීය රාජ්‍යයක් යන බව, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමිවිය යුතුය යන්න, ජාතික කොඩිය , ජාතික ගීය ,පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිවරයාගේ ධූර කාලය වෙනස් කිරීම , ජනතා පරමාධිපත්‍යය ජනතාව සතුය යන අතිශක තීරණාත්මක කරුණුය. ව්‍යවස්ථාව තුල එවැනි ආවරණයක් යොදා ඇත්තේ හිතෙන හිතෙන කෙනෙකුට හිතෙන හිතෙන පරිදි මේ පාදම වෙනස් කිරීමට ඇති ඉඩ අහුරමිනි. ජේ ආර් ජයවර්ධන මහතාගේ 77 ව්‍යවස්ථාව පිළිබඳ කොතරම් විවේචන තිබුණත් මේ වගන්ති 12න් ලැබුණු ආවරණය නම් පැසසිය යුත්තකි.
නාගානන්ද මහතාට මේ කිසිවක් වැඩක් නැත. ඔහු විස්තර කරන ක්‍රියාවලියේ ඇති ඇති අප්‍රායෝගිකත්වය ව්යවස්ථා සම්පාදන නීතිය පිළිබඳ අග්‍රගණ්‍ය විශාරදයෙකු සේ සැලකෙන ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා “ව්‍යයව්ස්ථා සංශෝධන” ග්‍රන්ථයේ අඩංගු පහත වගන්ති කිහිපයෙන් පැහැදිලි විය යුතුය.
“වර්තමාන ව්‍යවස්ථාවට අනුව ජනතා පරමාධිපත්‍ය ජනතාව සතු වන බවත් අය අන්සතු කළ නොහැකි බවත් , පරමාධිපත්‍යට පාලන බලතල ,මූලික අයිතිවාසිකම් හා ජන්ද බලයද ඇතුළත් වන බවත් ,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වැනි වගන්තියේ දැක්වේ.
මේ වගන්තියේ ගැබ් වී ඇති අදහස නම් ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපත්‍ය සමස්ථ ශ්‍රී ලංකා ජනතාව සතු බවත් සමස්ථ ජනතාව සතු මේ පරමාධිපත්‍ය බලය අන්සතු කළ නොහැකි බවත්ය. පරමාධ්හිපත්‍යයේ කොටසක් වන පාලන බලය විධායක බලය ව්‍යවස්ථාදායක බලය හා අධිකරණ බලය යන තුන් වැදෑරුම් බලයන්ගෙන් සංයුක්ත වේ. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව , ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙතත් , ජනතාව වෙනුවෙන් සාදනු ලබන නීතික්‍රියාත්මක කිරීමේ විධායක බලය ජනාධිපති වෙතත් රාජ්‍යය බලය නිසි ලෙස ක්‍රියාවේ යෙදෙනවාදැයි පිරික්සීමේ බලය අධිකරණය මගින් පාර්ලිමේන්තුව වෙතත් පවරා ඇත.
ජනතාවගේ මේ පරමාධිපත්‍යය ක්‍රියාත්මක කළ යුතු ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තියේ විස්තර වේ. ජනතාව සතු ව්‍යවස්ථාදායක බලය සමස්ථ ජනතාව විසින් තෝරා පත් කරගත් මහජන මන්ත්‍රීන්ගෙන් සමන්විත පාර්ලිමේන්තුව විසින් ද , ජනතාව සතු විධායක බලය සමස්ථ ජනතාව විසින් ජනාධිපතිවරණයකදී තෝරා පත් කරගත් ජනාධිපතිවරයා විසින්ද ජනතාව සතු අධිකරණ බලය අධිකටණය හරහා පාර්ලිමේන්තුව විසින්ද ක්‍රියාත්මක කරනු ලැබිය යුතු බව ඒ 4 වැනි වගන්තියේ දැක්වේ.”
නාගනන්ද මහතා කියන්නේ ඔහුගේ යෝජිත ව්යවස්ථා කෙටුම්පතට අවශ්‍ය බලය ලැබෙන්නේ මේ පරමාධිපත්‍ය බලයෙන් කියාය. එය ඉදිරි ජනාධිපතිවරණයේදී ඔහුට ලැබෙනවා යැයි කියන ජනවරමෙන් තහවුරු වන බවයි. නමුත් ඔහු වර්තමාන ව්‍යවස්ථාවෙන් ගන්නේ ඒ පරමාධිපත්‍ය බලය කියන වචනය පමණි. අවම තරමේ පරමාධිපත්‍ය බලාත්මක වන් ආකාරය පැහදිලි කරන 4 වැනි වගන්තියද ඔහු අත හැර දමයි. ජනතාව වෙනුවෙන් නීති සෑදීමේ ව්‍යවස්ථාදායක බලය පාර්ලිමේන්තුව වෙත පවරා ඇත යනුවෙන් ජනතා පරමාධිපත්‍යය අර්ථ දැක්වෙන කොටස ඔහු අමතක කරන්නේ හිතාමතාය. අනිත් කාරණය නම් ජනාධිපතිවරණයකදී ලැබෙන චන්දය ව්‍යවස්ථාවකට අවශ්‍ය ජනමත විචාරණයක් ලෙස සැලකිය හැකිය යනුවෙන් නාගනන්ද මහතාට බලය ලැබෙන්නේ කොතනින් ද යන්නයි.
වැඩිහිටි මිනිසුන්ට මෙලෙස නොවැඩුණු ළපටි දරුවන් සේ ක්‍රියා කළ හැක්කේ එක්කෝ තමන් කියන ඕනෑම කෙප්පයක් විස්වාස කරන අන්ධයන් සරි පිරිසක් ඇතැයි යන අධි විස්වාසයකිනි. එසේත් නැත්නම් මානසික ව්‍යාධියකිනි. අපගේ විස්වාසය නම් නාගානන්ද මහතා ඔය දෙවැනි ගණයට අයත් නොවන බවයි.
සෙල්ලමේ සැබෑ අනතුර
නාගානන්ද කොඩිතුවක්කු මහතා මෙල්බර්වල මිස මෙරට ජනාධිපති වීම මෙන්ම මේ ස්වයං ජාත ව්‍යවස්ථාව සම්මත වීම කිසිදා නොවන හිතලුවක් නිසා එහි ඇති එක් එක් විස්තරාත්මක කරුණු ගැන විශ්ලේෂණය කිරීම නිකරුනේ කාලය අපතේ යැවීමකි. නමුත් මේ උත්සාහය නිසා නිර්මාණය වන අනතුරක් ගැන අපගේ අවධානය යොමු කළ යුතුය.
එනම් මේ “ජනතා පරමාධිපත්‍ය ජනතාවට” කියන පේළියේ විතරක් එල්ලී නාගානන්ද මහතා මෙන්ම අනෙකුත් අපේක්ෂකයනුත් තමන්ට හිතෙන හිතෙන ව්‍යවස්ථා සම්මත කරගැනීමට උත්සාහ කළහොත් ඇතිවන තත්වය කුමක් ද? මිනිසුන් චන්දය දෙන අවසාන නිර්ණායකය මැතිවරණයේදී ඉදිරිපත් කරන ව්‍යවස්ථා ලියවිල්ලම නොවේ. අනිවාර්‍යයෙන් දින්න්නට විභවයක් ඇති අපේක්ෂකයෙකු මෙලෙස තමන්ට හිතෙන ඕන බහුබූතයක් එකතු කර ව්‍යවස්ථාවක් හදා ජනාධිපති වුවහොත් ඇතිවන තත්වය කුමක් ද? එය පාර්ලිමේන්තුව හෝ ඉහළ අධිකරණය හෝ සන්නද්ධ හමුදා විසින් විසින් පිළි නොගන්නා අනිවර්‍යය තත්වය යටතේ රටේ නිර්මාණය වන අරාජිකත්වය හමුවේ රට පත් වන අනතුර ගැන මේ සෙල්ලම් ගෙවල් සාදන කිසිවකුටත් අවබෝධයක්, ගණන් බැලීමක් ඇත් ද? විසේෂයෙන් බෙදුම්වාදි ව්‍යවස්ථාවක් වෙනුවෙන් උදේ හවා කැපවෙන දේශපාලන කොටස් සහ රාජ්‍ය නොවන සංවිධාන ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වෙමින් ඇති වටපිටාවක , බෙදුම්වාදී ව්‍යවස්ථාවක් නොව අඩු තරමේ එයට මුල පුරනා වගන්ති දෙක තුනක්වත් ඇතුලත් කර සාදන ව්‍යවස්ථාවකට ඉදිරියේදී අනිවාර්යයෙන් දිනන අපේක්ෂකයකු ඔය කියනා ආකාරයට “වරමක්” ලබාගතහොත් ඇතිවන තත්වය කුමක් ද?
එබැවින් මේ නාගානන්ද විකෘති උත්සාහය ඒ අර්ථයෙන් ගෙන මතවාදීව පරාජය කිරීම අත්‍යවශ්‍ය කාරණයකි.
[2016 ජනවාරි 9 වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද මෙතරම් විකෘති නැතත්, හිතුවක්කාර උත්සාහයක් දැරීය. එනම් මුළු පාර්ලිමේන්තුවම ව්යවස්ථා දායක සභාවක් බවට පත් කර අප මුලින් සඳහන් කළ ව්‍යවස්ථාවේ පාදමේ සිට සම්පූර්ණ ගලවා දමන බෙදුම්වාදී ව්‍යවස්ථාව නිර්මාණය කිරීමට ගත් උත්සාහයයි. මුලින් ඒ උත්සාහය ගැනුනේ පාර්ලිමේන්තුවෙන් පිටත රැස්වන ව්‍යවස්ථාදායක සභාවක් හරහා බෙදුම්වාදී ව්‍යවස්ථාව නිර්මාණය කිරීමටයි. නමුත් එයට පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් නැගුණු විරෝධය හමුවේ පාර්ලිමේන්තුව තුළට ගැනිණ. නමුත් එහිද පත්කළ අනු කමිටු ආදිය හරහා ක්‍රියාත්මක වූයේ රනිල් වික්‍රමසිංහට අවශ්‍ය බෙදුම්වාදී ව්‍යවස්ථාව නිර්මාණය කිරීමයි. ඊට එරෙහි කිසිඳු සාධනීය විවේචනයක්,යෝජනාවක් සැලකීමකින් තොරවම බැහැර කෙරිණ. ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා මේ පිළිබඳ පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීන් බොහෝ කරුණු හෙළිදරව් කර තිබේ. ]
එමෙන්ම 225ම එපා යනුවෙන් නගන ව්‍යාජ අප්‍රායෝගිය ඝෝෂාව හමුවේ සැබෑ ආණ්ඩු විරෝධී බලය තනුක කිරීමට කරන උත්සාහයද ඒ සමගම පරාජය කර දැමිය යුතුය. 225 එපා නම් එය ඊලඟ මහ මැතිවරණයේදී කර ගත හැක. මේ 225 තෝරන මැතිවරණයක් නොවේ.
මේ රටේ ඉදිරි දශකය තීරණය කරන තීරණාත්මක මොහොතයි. ඒ මාවත වැටෙන්නේ කාලකණ්නිභාවයේ, දුගීභාවයේ, මරණ බයේ ,අසංස්කෘතික භාවයේ අක්ෂයේද එසේත් නැත්නම් සෞභාග්‍යයේ , ආරක්ෂිතභවේ සහ ස්වදේශවාදයේ අක්ෂය දිගේද යන කතිකාව මිස මේ මානසික දිළින්දන් සමග සෙල්ලම් ගෙවල් වල රස්තියාදු ගසමින් බලි බූත කිරීමට කාලය නොවේ.
මෙල්බර්න් ජනපති නාගා?
මෙතරම් අප්‍රායෝගික, මෙතරම් මනස්ගාත, මෙතරම් අපබ්‍රංස වැඩ පිළිවෙලකට මෙල්බර්න් වැනි ‘දියුණු’ සමාජයක සමාජ තීරුවක් සම්පූර්ණයෙන්ම වාගේ හසු වන්නට හේතුව කුමක් දැයි විමසා බැලීම වටී. මේ පිළිබඳ අප මිත්‍රයකු මුහුණු පොතේ තැබූ සටහනක මේ කොටස එම පැනයට ඉඟියක් ලැබේ යැයි සිතේ.
“වඩාත් යහපත් ජීවිතයක් ගත කිරීමේ අරමුණෙන් විදේශ ගතවුන මේ පිරිසෙන් බොහෝ දෙනෙකුට ලංකාව ගැන තියෙන්නෙ බොහොම උදාසීන හැඟීමක්. නමුත් ජ්‍යාතානුරාගය වගේ දේවල් වලට ජ්‍යාතන්තර වටිනාකමක් හිමිවේගෙන යන අද වගේ කාලයක “මගේ රට වෙනුවෙන් මම මොනවද කරල තියෙන්නෙ” වගේ හැඟීමක් ඔවුන් තුල ජනිත වනවා ඇති. “රට හදනවා” කියන ඕනම බොරු කාරයෙකුට ඩොලර් 50ක් නැත්නං 100ක් දීල ඔවුන් පුරවා ගන්න හදන්නෙ ඔවුන් තුල තියන ඒ හිඩැස. ඒ ඩොලර් 50 හෝ 100 තුලින් ඔවුන් ජනිත කරවගන්නෙ “මමත් මගේ රටේ දියුණුවට දායක වුනා” කියන හැඟීම. ඔස්ට්‍රේලියාවට වෙලා නිදහසේ ජීවත් වෙන්න ඒක අනිවාර්යයෙන්ම ඔවුන්ට ලොකු අස්වැසිල්ලක් වෙනවා ඇති. ”
ඊටත් අමතරව මේ නාගා රැල්ලට හසුවී නාගා ෆෑන්ස්ලා වී ඇති බොහෝ දෙනා පාහේ පසුගිය ජනාධිපතිවරණයේදී නීතියේ ආධිපත්‍ය, දූෂණ විරෝධය ආදී ආකර්ශනීය මාතෘකා වලට රැවටී හංස සංධානයට සහය පළ කළ පිරිසයි. පත් වී දින 30ක් යන්නට මත්තෙන් මහ දවල් මහ බැංකුව කඩන් කෑ , ආර්ථික සමාජ සහ ආරක්ෂක යන සියළු අංශවලින් රට තිබූ තැනිනුත් ගව් ගණනක් පසු පස්සට ඇද දැමූ , නිවාඩුවටවත් ලංකාවට ඒමට නොහැකි තත්වයට විනාස වී යාමට ඉඩ හැර , තම ඥාතීන් දෙමව්පියන් හිතවතුන් කොයි වෙලේ ත්‍රත්ස්වාදීන්ගේ බෝම්බයකට හසුව මහමග කෑලි වන්නේ දැයි මරණ බයෙන් සිටින තත්වය යටතේ තව දුරටත් රෙද්දක් ඇඳන් ඒ හංස සංධානය සහ එහි විසිරී ගිය කොටස්කරුවන්ට සහය දීමට මේ බොහෝ දෙනාට නොහැකි වී තිබේ.
2015 ජනවාරි 8 හංස සංධානයට සහය කළ කිසිවකුට තමන් ගත් ඒ තීරණය පිළිබඳ අවංකව සතුටු වන්නටවත් ඒ පිළිබඳ යමෙකු සමග ප්‍රසිද්ධියේ පැවසීමටවත් නොහැකි තරම් අවමානයක් ඒ හංස විල්පවයේ මහ මොළකරුවන් පත්වී දින කිහිපයක් යන්නට මත්තෙන්ම ඇති කළේය. කොටින්ම තමන්ට චන්දය දුන් සහ සහය දුන් කිසිව්කුට අභිමානයක් ඇතිවන ආකාරයට කටයුතු කරන්නට මේ පාලකයන් අසමත් වීය. එය හොඳින් පැහැදිලි වන්නේ 2005 මැතිවරණෙය්න් ජය ලැබූ රාජපක්ෂ ආණ්ඩුව කොටි ත්‍රස්තවාදය පරාජය කරන තෙක් ලැබූ අප්‍රමාණ ජන කැමැත්ත සහ විස්වාසය සමග සැසඳිමේදීය. එදා යාන්තමින් 50% ඉක්මවමින් ජනාධිපති වූ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වසර 5 කට පසු ලක්ෂ 18 ක පමණ වැඩි චන්දයෙනුත් 58% ක පමණ ප්‍රතිශතියකිනුත් යළි ජනපති වන්නේ ඒ තත්වය යටතේය. වත්මන් ආණ්ඩුව ගියේ එහි ප්‍රතිවිරුද්ධය දෙසටයි. ඔවුන්ගේ උස්ම නැගීම තිබුනේ 2015 ජනවාරිය. එතනින් එහා තිබුනේ විනාශයේ සහ කාලකන්ණිභාවයේ මාවතයි. එයට සහය් දුන් අයට පවා ඒ මාවතේ තවදුරටත් ගමන් කිරීම ඉතා කටුක අත්දැකීමක් විය. 2015 ජනවාරි පටන් මේ හංස විප්ලව කරුවන්ට සිදුවූයේ ප්‍රතිවිරුද්ධ පාර්ශවයෙන් එල්ලවන චෝදනා , අවමන් , උපහාස වලින් දේශපාලනිකව සමූහ දූෂණය වන්නටය. විසේෂයෙන් මොවුන් වැඩිපුරම සම්බන්ධවී සිටින සමාජ ජාලා තුල දී ඔවුන්ට එල්ලවූ පීඩනය සුළුපටු නොවේ. මේ ආතතියෙන් මිදීමට ද ඔවුන්ට අවශ්‍ය වී තිබිණ.
හංස සංධානයේම කොටස්කරුවෙකු වන ජවිපෙ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් වී ඇති තත්වයක් යටතේත් මේ උක්ත පිරිස උත්තේජනය කිරීමට එය ප්‍රමාණවත් නොවන්නේ සහ ඔවුන්ගේ සහය ඒ දෙසට යොමු නොවන්නේ පසුගිය අවුරුදු 4.5 පුරාම ආණ්ඩුව රැක්කේ (රණවිරු දඩයම් පනත , පළාත් සභා චන්දය කල් දැමීම ආදියට අත ඔසවමින් ) මේ රතු තොප්පිකරුවන් බව ඕනෑවටත් වඩා සමජයට නිරාවරණය වී ඇති බැවින් වන්නට පුළුවන. “නාගා මෙල්බර්න් ජානාධිපති” වන්නේ මේ තත්වය යටතේය. 225ම එපා යනුවෙන් උත්තේජනය කරන හුදු විරෝධාකල්පිත උත්සාහය තුල සැබෑවටම සිදු වන්නේ වත්මන් දූෂිත-අසමත් ආණ්ඩුව කෙරෙහි ඇති විරෝධය තනුක කිරීමකි. මහ බැංකුව කොල්ල කෑවාට, ආර්ථිය බින්දුවට වැට්ටුවාට, රටම යළිත් ත්‍රස්තවාදින්ගේ කෙළිමඩලක් කර අමු සොහොනක් කිරීමට වගකිවයුත්තේ 225 ම නොව. මේ අසමත් ආණ්ඩුවයි. 225ම එපා යනුවෙන් නගන අප්‍රායෝගික ව්‍යාජ ඝෝෂාවෙන් නොපෙනී යටපත්ව යන්නේ ඒ අසමත් කමයි. ඒ උත්සාහය මතවාදීව පරාජය කළ යුතුය. ආණ්ඩුවට එරෙහි බුර බුරා නැගෙන විරෝධය මේ සෙල්ලම් ගෙවල් අස්සේ සඟවා තනුක කිරීමට ඇති ඉඩ ඇහිරිය යුතුය. මේ කෙටි සටහනද ඒ වෙනුවෙනි. එසේ නැතිව නාගා මෙල්බර්න් වල මිස ලංකාවේ නම් ජනාධිපති වන්නේ තබා සිද්ධාලේප වෙද මහත්තයා වත් පසු කර යන්නේද නැත.මැතිවරණ ප්‍රතිඵල නිකුත් වෙද්දී ඒ බව තහවුරු වනු ඇත.
රජරට රැකියාව කරන වාරි ඉංජිනේරු මිත්‍රයෙකු පසුගියදා කාලයකට පසු මුණ ගැසී රටේ තොටේ තත්වය ගැන කතාබහකට වැටිණි. රටේ තොටේ දේශපාලනය ගැන උනන්දුවක් දක්වන මිත්‍රයාට “නාගානන්ද ට නම් සිද්ධාලේප හෙට්ටිගොඩ මහත්තයා ගනිපු චන්ද ගානවත් හම්බ වෙන්නේ නෑ” යනුවෙන් පැවසූ විට මුහුණු පොතේ ගිණුමක් නැති අපේ මිත්‍රයා නැගූ පහත පැනයෙන් මේ සටහන නිමා කරමි.
“කවුද බං නාගානන්ද කියන්නේ?”
-කැලුම් නිරංජන
යුතුකම සංවාද කවය