RANJANGATE SCANDAL – රන්ජන්ගේ හඬ පටවලින් අනාවරණ වන තොරතුරු ගැන විධිමත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව නීතිඥ සංගමය කියයි
Posted on January 18th, 2020
උපුටා ගැන්ම හිරු නිව්ස්
පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක හා විනිසුරුවරුන් 3 දෙනෙකු අතර ඇති වූ දුරකථන සංවාදවල හඬ පට වලින් අනාවරණ වන තොරතුරු සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා තරාතිරම නොබලා දඬුවම් ලබාදිය යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.
එම සංගමයේ ලේකම් නීතිඥ කෞෂල්‍ය නවරත්න පෙන්වා දෙන්නේ වැඩ තහනම් කිරීමෙන් ඔබ්බට ගොස් ඊට අදාළව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි.
රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විනිසුරුවරුන් තුන්දෙනෙකු හා පැවැත්වූ සංවාද සම්බන්ධයෙන් නීතීඥ සංගමය මීට පෙර අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ලිපියක් යොමුකර තිබුණා.
එම ලිපියේ ඇතුළත් කරුණු සහ අදාළ සිද්ධිය පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිලධාරින් පසුගිය 16 වනදා අගවිනිසුරුවරයා, අධිකරණ සේවා කොමිෂන් සභාවේ නියෝජිතයන් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවී තිබෙනවා.
මේ අතර, රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක බැලීම සඳහා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් අද දහවල් කොළඹ මැගසින් බන්ධනාගාරයට පැමිණියා.
ඔවුන් එහිදී රන්ජන් රාමනායකට ලබා දීම සඳහා සුවපහසු ඇතිරිල්ලක් රැගෙනවිත් තිබෙන ආකාරය දක්නට ලැබුණා.
කෙසේ වෙතත්, රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා හමුවීමෙන් පසු ඔවුන් සඳහන් කළේ සුවපහසු ඇද ඇතිරිල්ල ලබා දීමට නොහැකි වූ බවයි.
බන්ධනාගාරයේ ඉහළ නිලධාරියෙකුගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අයෙකුට එවැනි මෙට්ටයක් ලබාදීම සඳහා ඔහුගේ ඉල්ලීමෙන් පසු බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයෙකුගේ නිර්දේශය අත්‍යාවශ්‍ය වන බවයි.