ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් නියම කළ ජනමතවිචාරණයක් අවලංගු කළ හැකිද?
Posted on February 7th, 2020
නීතීඥ අරුණ ලක්සිරි උණවටුන (2020.02.04)
http://neethiyalk.blogspot.com/2020/02/blog-post.html
ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය. පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය. පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම් සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය”. යනුවෙන් ජනමතවිචාරණයකින් මිස සංශෝධනය කළ හැකි ව්‍යවස්ථාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3වන ව්‍යවස්ථාව ලෙස ඇතුළත් කර ඇත. ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය එනම් ජනතාවගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක වීම සහ භුක්ති විදීම සිදු කරන ආකාරය 4වන ව්‍යවස්ථාවේ දැක්වේ. මෙම ලිපිය මගින් සළකා බලන්නේ ජනතාවගේ අධිකරණ බලයට අදාල ශ්‍රී ලංකා ජනරජයේ පරමාධිපතය ක්‍රියාත්මක වීම සහ භුක්ති විදීම සිදු කරන ආකාරය ඇසුරෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකට ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකින් නියම කළ ජනමතවිචාරණයක් අවලංගු කළ හැකිද? යන්න විමසා බැලීමයි.
4(ඇ) ව්‍යවස්ථාවේ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක වන ආකාරය දක්වා ඇති අතර නීතිය අනුව පාර්ලිමේන්තුව විසින් ම ක්‍රියාත්මක කළ හැකි පාර්ලිමේන්තුවේ සහ එහි මන්ත්‍රීවරයන්ගේ වරප්‍රසාද, පරිහාර හා බලතල සම්බන්ධයෙන් විනා ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක්‍රියාත්මක කළ යුත්තේ ය ලෙස දක්වා ඇත.
ඒ සමගම අවබෝධ කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) ව්‍යවස්ථාව මූලික අයිතිවාසිකම් සම්බන්ධව විධිවිධාන දක්වන බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 සහ 118 සහ 126 ව්‍යවස්ථා මගින් මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය ශ්‍රේෂ්ඨාධිකරණයට පවරා ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) ව්‍යවස්ථාව අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ප්‍රකාශ කොට පිළිගනු ලබන මූලික අයිතිවාසිකම් සියලු පාලන ආයතන විසින් ගරු කරනු ලැබිය යුත්තේ ය. ආරක්ෂා කරනු ලැබිය යුත්තේ ය. වර්ධනය කරනු ලැබිය යුත්තේ ය. තව ද, ඒ මූලික අයිතිවාසිකම් මෙහි මින් මතු විධිවිධාන සලස්වා ඇති ආකාරයට සහ ප්‍රමාණයට මිස සංක්ෂිප්ත කිරීම, සීමා කිරීම හෝ අහිමි කිරීම නොකළ යුත්තේ ය. ලෙස දක්වා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 ව්‍යවස්ථාවේ දැක්වෙන ආකාරයට මූලික අයිතිවාසිකමක් යම් විධායක හෝ පරිපාලනමය ක්‍රියාවක් මගින් උල්ලංඝනය කර තිබීම හෝ උල්ලංඝනය කිරීමට අත්‍යාසන්නව තිබීම හෝ සම්බන්ධයෙන් 126 වැනි ව්‍යවස්ථාවේ විධිවිධාන සලසා ඇති පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලීමක් කිරීමට ඒ තැනැත්තාට හිමිකම් ඇත්තේ ය. (126 ව්‍යවස්ථාම මගින්ද මේ බව දැක්වෙන අතර ලිපිය දීර්ඝවන හෙයින් 126 ව්‍යවස්ථාව මෙහි දක්වා නැත.)
ශ්‍රේෂ්ඨාධිකරණයට නඩු විභාග කිරීමට හෝ කියා සිටින කරණාවලට හෝ ජනාධිපතිවරයා විසින් සිදුකරන යොමු කිරීම්වලට ඇහුම්කන් දීමට අධිකරණ බලය ලැබෙන්නේ 118 ව්‍යවස්ථාව හෝ 129 ව්‍යවස්ථාව හෝ 134 ව්‍යවස්ථාව හෝ 136 ව්‍යවස්ථාව හෝ 157.අ.4 ව්‍යවස්ථාව ඇතුලු ව්‍යවස්ථා සහ වෙනත් නීති මගින් ය.
ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව/ Judgement සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය Determination සහ ශ්‍රේෂ්ඨාධිකරණ මතය/ Opinion අතර වෙනස
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2, 118 සහ 124 ව්‍යවස්ථා අධ්‍යයන කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව සහ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අතර වෙනස අධ්‍යයනය කිරීම පහසු කරවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 118 ව්‍යවස්ථාව මෙසේ ය.
ශ්‍රී ලංකා ජනරජයේ ශ්‍රේඨාධිකරණය ජනරජයේ උත්තරීතම සහ අවසානාත්මක ලේඛනෝපගත කිරීමේ ජ්‍යෙෂ්ඨ අධිකරණය වන අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, මෙහි පහත දැක්වෙන ආකාරයේ වූ අධිකරණ බලය ක්‍රියාත්මක කරන්නේ ය. එනම් :-
(අ) පනත් කෙටුම්පත්වල ව්‍යවස්ථානුකූලත්වය සම්බන්ධයෙන් වූ අධිකරණ බලය
(ආ) මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා වූ අධිකරණ බලය
(ඇ) අවසාන අභියාචනාධිකරණ බලය
(ඈ) උපදේශක අධිකරණ බලය
(ඉ) ඡන්ද පෙත්සම් සම්බන්ධයෙන් වූ අධිකරණ බලය
(ඊ) පාර්ලිමේන්තුවේ යම් වරප්‍රසාද කඩකිරීමක් සම්බන්ධයෙන් අධිකරණ බලය සහ
(උ) පාර්ලිමේන්තුව විසින් නීතියෙන් පවරනු ලබන හෝ නියම කරනු ලබන වෙනත් කාරණා සම්බන්ධයෙන් වූ අධිකරණ බලය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 124 ව්‍යවස්ථාවේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය සම්බන්ධ විධිවිධාන දැක්වේ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාවේ ආරම්භය මෙසේ ය.
යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කර ඇත්තා වූ අවස්ථාවක හෝ, යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තා වූ අවස්ථාවක හෝ යම්කිසි පනත් කෙටුම්පතක් 85 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයක් මගින් ජනතාව වෙත ඉදිරිපත් කරන අවස්ථාවක, ඒ පනත් කෙටුම්පත හෝ ඒ විධිවිධානය ජනතාව විසින් ජනමත විචාරණයක දී 85 වැනි ව්‍යවස්ථාවේ (3) වැනි අනුව්‍යවස්ථාවට අනුකූලව අනුමත කර ඇති බව ජනාධිපතිවරයා විසින් සහතික කරනු ලැබූ විට පමණක් ඒ පනත් කෙටුම්පත හෝ ඒ පනත් කෙටුම්පතෙහි එකී විධිවිධානය හෝ නීතිය බවට පත් වන්නේ ය. එසේ අනුමත කරනු ලැබූ සෑම පනත් කෙටුම්පතක ම මෙහි පහත දැක්වෙන ආකෘතියෙහි වූ සහතිකයක්, ජනාධිපතිවරයා විසින් ස්වකීය අත්සන ඇතිව සටහන් කළ යුත්තේ ය:-
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 80.2 ව්‍යවස්ථාවේ දැක්වෙන ජනමතවිචාරණය තීරණය කළ හැක්කේ කාටද?
- යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයක් මගින් ජනතාවගේ අනුමතය සඳහා ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මණ්ඩලය විසින් සහතික කිරීමෙන්
- යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් හෝ ජනමත විචාරණයදී ජනතාව විසින් අනුමත කිරීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමෙන්
- යම්කිසි පනත් කෙටුම්පතක් 85 වැනි ව්‍යවස්ථාවේ (2) වැනි අනුව්‍යවස්ථාව යටතේ ජනමත විචාරණයක් මගින් ජනතාව ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීමෙන්.
118 ව්‍යවස්ථාව සහ 80.2 ව්‍යවස්ථා සැළකීමේදී යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් සම්බන්ධ ව්‍යවස්ථානුකූලත්වය ශ්‍රේෂ්ඨාධිකරණ විසින් පරීක්ෂා කර පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් ජනමතවිචාරණයක් පැවැත්වීම අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කරනු ලබයි.
යම්කිසි පනත් කෙටුම්පතක් හෝ යම්කිසි පනත් කෙටුම්පතක යම්කිසි විධිවිධානයක් සම්බන්ධව පරීක්ෂා කර ශේෂ්ඨාධිකරණය ලබා දෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයකි. අනෙක් අවස්ථාවලදී නඩුව හෝ ඉල්ලීම විභාග කර ශේෂ්ඨාධිකරණය නඩු තීන්දුවක් ලබා දේ.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත උපදේශක අධිකරණ බලය සදහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 ව්‍යවස්ථාව යටතේ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය ලබා ගැනීම අවස්ථාවෝචිත වන ස්වභාවයේ සහ පොදු වැදගත්කමකින් යුත් යම් නීතිය හෝ සිද්ධිය පිළිබඳ ප්‍රශ්නයක් උද්ගත වී ඇති බව නැතහොත් උද්ගත වීමට ඉඩ ඇති බව ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයාට කවර අවස්ථාවක දී වුව ද පෙනී ගියහොත් ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඒ ප්‍රශ්නය සලකා බැලීම සඳහා යොමු කළ හැකි අතර ඒ අවස්ථාවේ දී ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිය මතය ලබා දේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ මතය යනු එකි නෙකට අනන්‍ය වූ ශේෂ්ඨාධිකරණයේ අධිකරණ බලය ක්‍රියාත්මක වීම්ය. මේ ආකාරයේ අනන්‍ය වූ බලයක් ඇති අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දු සහ ශ්‍රේෂ්ඨාධිකරණ මතය අතර ගැටීම් ඇති කරන්නේ නැත.
2002 ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය සහ 2018 ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව
2002 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල්(වි) එදිරිසූරිය (වි) යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි) ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය, 2018 නොවැම්බර් මස 09වැනි දින අංක 2096/70 දරන අතිවිශේෂ ගැසට් පත්‍රය මගින් පාර්ලිමේන්තුව විසුරුවීමට අදාලව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කරමින් 2018.12.13 දින ශ්‍රේෂ්ඨාධිකරණය මූලික අයිතිවාසිකම් නඩුවකින් නලීන් පෙරේරා (අ.වි) බුවනෙක අලුවිහාර (වි), සිසිර ආබෲ(වි) ප්‍රියන්ත ජයවර්ධන (වි), විජිත මලල්ගොඩ(වි), ප්‍රසන්න ජයවර්ධන (වි) සහ මෘදු ප්‍රනාන්දු (වි) විසින් ලබා දුන් තීන්දුවෙන් කිසිම වෙනස්කමකට ලක්වන්නේ යැයි හෝ විශේෂයෙන් පනත් කෙටුම්පත් සම්බන්ධව හෝ එහි යම් විධිවිධානයක් සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනමතවිචාරණයක් සදහා නියම කරන තීරණයක් කිසිම අවස්ථාක ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු තීන්දුවකින් අවලංගු කිරීමට හැකියාවක් ලැබෙන්නේ යැයි විධාන කරන්නේ නැත.
ඒ අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට සරත් නන්ද සිල්වා (අ.වි), වඩුගොඩුපිටිය (වි), බණ්ඩාරනායක (වි) ඉස්මයිල්(වි) එදිරිසූරිය (වි) යාපා (වි) ජේ. ඒ. එන් ද සිල්වා (වි) ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය මේ වන විටත් වලංගු නීතිය වන අතර එයට පටහැනිව 79 සහ 80.2 ව්‍යවස්ථා උල්ලංඝනය කරමින් ක්‍රියාත්මකවන 19වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 2/3 ඡන්දයෙන් සම්මත වී ඇති පනත් කෙටුම් පතක්ම වේ.
ජනාධිපතිවරයා විසින් මේ ව්‍යවස්ථා විරෝධි ක්‍රියාවලිය නිවැරදි කළ යුතු අතර ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අනුව 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත සහ එහි විධිවිධාන ජනමත විචාරණයකින් ජනතාව විසින් අනුමත කළ යුතු බවට ශේෂ්ඨාධිකරණ තීරණය මත පදනම් 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ පනත් කෙටුම්පත සම්බන්ධව ජනමතවිචාරණයක් කැදවීමට ක්‍රියා කළ යුතුය.