ප්‍රජා -තන්ත්‍ර-වාදය නමැති නාස් ලණුවෙන් ගැලවෙමු! (තුන්‌‌වෙනි කොටස)
Posted on April 7th, 2020

චන්ද්‍රසිරි විජයවික්‍රම, LL.B.,Ph.D.

හෙළ ජාතික අභිමානේ
වැඩු විරුවන් සේ පොරණේ
දිනු මව්බිම සව්සිරියෙන් සරසව්
පිබිදෙව් පිබිදෙව් සැරසෙව්…//

වීර විකුම් පෑ පෙර දරුවෝ, දෙස රැස මුර කෙරුවෝ
ඒ ලෙය ඇති ඔබ සුරවිරුවෝ – නොමවව් ණයකරුවෝ
දැය දියුණට පැද යන නැවියා
ගොවියා බිම දෙවියා
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා
විපතෙහි සැපතෙහි නොසැලෙයි නොතැවෙයි අටලෝදම හුරු හෙළයා

හෙළ ජාතික අභිමානේ…/

මුහුදට ඈදෙන මහ ගංඟා – කුඹුරට යලි හරවා
ධාන්‍ය වගා කොට සිරිලක මේ – පෙරදිග කෙත කරවා
අරපිරිමැස්මට පුරුදු වෙලා බිඳලව් දුක සංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා
පැරකුම් යුගයක් නැවතත් අරඹව් නිජ භූමි තලේ ලංකා

හෙළ ජාතික අභිමානේ…/

(ගායනය: සී. ටී. ප්‍රනාන්‌දු)

කොරෝනා තන්ත්‍රවාදය (කැටැස්ට්‍රොෆික් තියරි ඔෆ් ප්ලෑනින්)

මෙම ලිපි මාලාවේ කලින් කොටස් දෙකෙන් පෙන්‌වා දීමට තැත් කලේ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයක් නැති බවත් ඇත්තේ ප්‍රජා-නාස්ලණු-වාදයක් බවත්‌ය. කොරෝනා සිද්‌ධියෙන් පෙනීයන්නේ, මේ යුද්‌ධය නම් කවදාවත් දිණන්න බෑ කියූ කල්ලි, සිංහල බෞද්‌ධ විරෝධී දේශපාලන පක්‍ෂ නායකයින් හා ආණ්ඩුවේ නොවන ඩොලර් සංවිධාන මුස්ලිම් මළමිනී පස්සේ යමින් සිටින බවය. බිමාල් රත්නායක නම් ජේවීපීකාරයා කියන්නේ මළමිනී මුස්ලිම් අයගේ යයි සඳහන් කිරීම ජාතිවාදය කියාය! මුස්ලිම් මිනී වලලන්න දියයුතුය කියන පෙත්සමට අත්සන් කල 164 දෙනා හා සංවිධාන 17, සුප්‍රකට මහාවංශ විරෝධී කල්ලියමය (කලම්බු ටෙලිග්‍රාෆ්, අප්‍රියෙල් 5). සජිත්ලා කාවින්ලා වෙනුවට දැන් හකීම්ලා අල්ලාගේ නීතියක් ගැන කතා කරයි. හලාල් දිනාගත් ඔවුන් දැන් වෛද්‍ය විද්‍යාව, චන්ද දේශපාලනයෙන් යටකරන්නට සිතයි. මෙහිදී ඉම්තියාස් බකීර් මාකර්, අලි සබ්‍රි පවා ඉන්නේ වැට උඩය. සමහර මුස්ලිම් පල්ලි හැසිරෙන ආකාරය අනුව සිතාගත හැක්කේ වැඩියෙන් ඔවුන් ඉන්නා ගම්, නගර වල මුස්ලිම් බලකොටු හදාගන්නා මනසක් ඔවුන්ට නොතිබේද යනුය. ඒ අස්සේ අතරමංවී ඉන්නා සුමන්තිරන්ලාගේ ආශාව පාර්ලිමේන්තුව යලි කැඳවීමය. හරියට මේ හොර ගුහාව කොරෝනාව නිසා දැන් මහෝෂධ පණ්ඩිතයන්ගෙන් පිරී ඉතිරී ගිය ආකරයක් යයි සිතාය.

දුගී බව තවත් වැඩි කරණ සංවර්‌ධන ව්‍යාපාර!

පාස්කු ප්‍රහාරයෙන් නිසි පාඩම් ඉගෙන නොගත්, සිංහල දේශපාලකයින් මෙවරවත්, ප්‍රඥාවෙන් නොහොත් සම්මා දිට්‌ඨි හා සම්මා සංකප්ප (නිවැරදි දැක්‌ම, නිවැරදි කල්පනාව) යෙන් ක්‍රියාකරතැයි කළු සුද්දන් නොවන ජනතාව ජනාධිපති ගෝඨාභය ගෙන් බලාපොරොත්තුවේ. කොරෝනාවෙන් උගත් පාඩම් වශයෙන් දේශීය කර්‌මාන්ත පුනරුදයක් ඇතිකිරීම දැනටමත් අරඹා ඇතැයි මීගමුවේ රෙක්ස් ඉන්ඩස්ට්‍රීස් ආයතනය විසින් දැඩි සත්කාර ඒකක ඇඳන් නිෂ්පාදනය කිරීමේ උත්සවයේදී (අප්‍රියෙල් 4) ඇමති විමල් වීරවංශ විසින් කල ප්‍රකාශයෙන් පෙනෙනුයේ මුළු රටේම මානසික වෙනසක් සිදුවෙමින් පැවතීම, කොරෝනාව ගෙනා වෙස්‌වළාගත් භාග්‍යයක් ලෙස පාලකයින්ට අවභොධව ඇති බව නොවේද? ගම් වල කෙල්ලන් පැක්ටරි වල ගාල් කර ශ්‍රමය සූරාකා සුද්දියන්ට ජංගිමස්සවා, සංචාරකයින්ට බීරපොවා හා ගණිකාවන් සපයා, රාත්‍රී සමාජ ශාලා දමා, ගම්වල දුප්පත් ස්ත්‍රීන් අරාබියේ වැඩකාරකමට යවා, ලුනුමිරිස් බෝතල් රට යවා, මිනිරන්, ඛනිජ වැලි ආදී සම්පත් අමු අමුවේ පිටරට පටවා රටක් සමෘධිමත් කල නොහැකිය. දුගී බව අඩුකිරීමට යයි ලෝක බැංකු ණය ලබාගෙන කරණ සංවර්‌ධන ව්‍යාපාරම දුප්පත් රටවල දුගීබවට හේතුවන අන්දම ප්‍රසිද්‌ධ ලාංකික භූගෝල විද්‍යඥයෙකුවූ ඇමෙරිකාවේ වසන ලක්‍ෂ්මන් යාපා විසින් විග්‍රහ කර ඇත.

මේවායින් සිදුවූයේ තිරසර සංවර්‌ධනයක් නොව තොග පිටින් සිංහල සමාජය පිරිහී යාමය. මේ ජේ. ආර්. විසින් රටට පැටවූ, ගෝලීය-ධනවාදී-වානිජ-ආර්‌ථික ක්‍රමයෙන් හොද්ද බොරකර ගත්තේ කුමණ පිරිස්ද? එසේම, මේ රට ගලවා ගැනීමේ ව්‍යායාමයේදී සිංහල, විශේෂයෙන් සිංහල බෞද්‌ධ චන්ද උඩ මිස, ඒ වෙනුවට සුළු ජන වර්‍ගවල නායකයින් පස්සේ හිඟමනේ යෑම, සිංහල බෞද්‌ධ චන්ද අඩුවීමට හේතුවන බව 2014 චන්දයේදි පැහැදිලි විය. මෙහිදී මතකයට එන්නේ ජනාධිපති මහින්දගේ පරාජයට හේතු දක්වමින්, දයාන් ජයතිලක, නාලක ගොඩහේවා හා රජිව විජේසිංහ ඒ දිනවල ලියූ ලිපිය.

ඇස් පාදන නස්පැත්ති

ප්‍රජා-තන්ත්‍ර-වාදය නම් කළු සුද්දන්ගේ බොරුව හරිමඟට ගැනීමට පොදු ලෝක සංසිද්‌ධියක් වන <යම් විනාශයක් සිදුවූ විට ඇස් පෑදීම නොහොත් නිසි සැලැස්මක් සැදීම> යන සංකල්පය යොදා ගැනීමට අවස්ථාවක් උදාවී ඇත. එහෙත් වෙන රටවල මෙන් නොව ලංකාවේ මේ සංකල්පය පවා කෙළෙසා ගන්නා බව මීතොටමුල්ල කුණු කන්ද අරුවක්කාලු හුණුගල් වලකට ගෙනයාමේ ව්‍යාපාරයෙන් පැහැදිලි විය. ඩිමාන්ඩ් මැනේජ්මන්ඩ් යන උපක්‍රමය කෙටිකාලීනව චන්ද මත යැපෙන උගත් හා නූගත් කියන දේශපාලකයින්ට අරහංය. සී ටී ප්‍රනාන්‌දු ගේ සිංදුව ඉදිරියේ එනවා යයි දුටු කොරෝනා වයිරසයට කල ස්‌තුති කිරීමක් සේය! නෝම් චොම්ස්කි නම් කියන්නේ, අනාගත විනාශ වැලැක්‌වීමට ක්‍රියාකිරීමෙන් ලාභ (වාසි) ලබාගත නොහැකි බවයි. මේ නිසා ඒ කරුමයට පව් ගෙවන්නේ යම් යම් ලෝකල් ජන කොට්ඨාශ විසින්‌ය. කොරෝනාව මේ සූරාකෑමේ විපාකය ලෝකයේ හැමෝටම සමසේ බෙදා දුන්නේය. ඒ නිසා දැන් කොරෝනා ප්‍රජාතන්ත්‍රවාදයක් අපට ඇත. මුහුණු පොත සල්ලි ඇති නැති ලෝකයේ හැම දෙනාටම සමාන වේදිකාවක් සදා දුන්නත්, බොහෝ අය එය වඳුරන්ට දුන් දැලි පිහියක් සේ අයුතු ලෙස භාවිතා කරනවා මෙන්, කොරෝනාවෙන් ඥානවන්ත ලෙස නිසි ප්‍රයෝජනයක් ගැනීමට ලෝක දේශපාලන සංස්ථාවලට දැන් අවකාශයක් ලැබී තිබේ.

බුදු දහම හා විනය

තවත් පෙන්වා දීමට සැදූ කරුණක් නම් රට හරිමඟට ගැනීමට ගතයුතු පියවරවල් බෞද්‌ධ රාජ්‍ය ප්‍රතිපත්ති වලට පටහැනි නොවන බවය. බෞද්‌ධ සූත්‍රවල, ජාතක කථාවල ඇති ප්‍රජාතන්ත්‍රවාදය, සමානාත්මතාවය, නීතියේ ආධිපත්‍යය වෙන ලබ්ධිවල නැත. 69 ලක්‍ෂයක් චන්දය දුන්නේ රටේ විනයක් (විනය හා ආරක්‍ෂාව කාරණා දෙකකි) ඇති කිරීම, අනිත් හැම දේටම වඩා අත්‍යාවශ්‍ය යයි දැන දැනම නොවේද? බෞද්‌ධ රාජ්‍ය පාලනයක් යටතේ, සමාජයේ විනය නැවත ගොඩනැඟීම නොකර, රට ගොඩ ගත නොහැකිය. ජේවීපී තුණ්ඩු නීති යටතේ 1971/88-89 කාලයේ තිබූ විනය (ලැජ්ජාව නොව භය) දැන් නැත්තේ ඇයි? දණ හිසෙන් පහලට වෙඩි තියන්න දන්නා පොලිස් භටයින් නැද්ද? ඇඳිරිනීතිය කඩකරණ අය මහ ඉලුප්පලම වැනි ගොවිපලකට හෝ ආමි කෑම්ප් වලට හෝ ගෙන ගොස් ටෙන්ට් වල දමා ආමි මුර ඇතිව වගා කිරීමට යොදවා ගත යූතු නොවේද? රාජෝ හරණන්, රාජෝ හරණන් පදය හා කිසා ගෝතමී හොයා ගිය අබ මිටත් මීට සමානය කියා මට සිතේ.

මිලිටන්ට් බුඩිසම්?

බොදු බල සේනාවේ ලංජනය වූ නාගයා මෙහිදී වැදගත්‌ය. මැහැළිය ගැරඬියා කියා ගත් දර පොල්ල නැවතුනේ නාගයා පෙනේ පිප්පූ විටය. මඩිහේ පඤ්ඤාසීහ නාහිමියන් ජේ. ආර් ට යැවූ සංදේශවත්, සෝම හාමුදුරුවන්ගේ බණමඩුවත් නොකල දෙයක් ඥානසාර හිමිඳුන් ඉටු කලේ මුළුරටම කලඹවමින්‌ය. අසරණවූ මහානායක හාමුදුරුවරුන් පවා කුමක් හෝ කරණ ලෙස උන්වහන්සේට කියනවා මා අසා ඇත. සිංහල බෞද්‌ධයින්ට හරිහමන් නායකයෙක් නැතැයි වේදිකාව වල කියමින් මිලිටන්ට් සමාජ (පටිසෝතගාමි) ව්‍යාපාරයක් ආරම්භවිය. මිලිටන්ට් යනු ගාන්‌ධි හා මාටින් ලූතර් කිං කල දේමය. දැඩි විනය, ප්‍රතිපත්තිය, අවංකකම (උජූච) හා අහිංසාව (පහරට පෙරළා පහර නොදීම) ඊට අයත්‌ය. රොනල්ඩ් රේගන් විසින් ගඩාෆිගේ කූඩාරමට බෝම්බ දැම්මේ ගඩාෆි දන්නා භාෂාව එය යයි කියමින්‌ය! ආණ්ඩුව මොනදේ කර හෝ කොරෝනාව ජය නොගත්තොත්, බොරු ප්‍රජා-තන්ත්‍ර කාරයින් කෝරෝනා තන්ත්‍රකාරයින් වීමට නොිවසිල්ලෙන් බලා සිටී. චන්දය මිස, විද්‍යාව-රට ගැන නොසිතීමේ ආනිශංස අවුරුදු 72 ක් පුරාම රට වැසියා භුක්ති වින්ඳේය. 1978 දී ඉන් ගැලවී උඩුගං බලා පීණූ මට, අවුරුදු තුනක් යද්දීම මගේ අරමුණට ලඟාවිය හැකිවූයේ සුදුස්සාට සුදුසු තැන දීමේ ඇමෙරිකන් සංස්කෘතිය නිසාය. ලංකාවේ අදටත් නැත්තේ මෙය නොවේද? මෙය නීතියේ බලයෙන් සමාජයේ ඇතිකල හැකි දෙයකි.

බෞද්‌ධ විප්ලවය

කලක් කතෝලික පාදිලිවරයෙක්‌ව සිටි නලින් ස්වාරිස්, ද බුද්‌ධාස් වේ ටු හියුමන් ලිබරේෂන්: අ සෝෂියෝ-හිස්ටොරිකල් ඇප්‍රෝච් (1999, 2011) යන ආචාර්ය උපාධි නිබන්‌ධනයේ බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාවලියේ සාමාජික විප්ලවීය අංශය ගැන පෙන්වන, සුත්‍රයකින් උපුටා ගත් එක් වාක්‍යයක් නම්, බ්‍රාහ්මණ කුලයේ අය ලොවට පහල වන්නේ වේදවල කියා ඇති පරිදි මහා බ්‍රහ්මයාගේ ශීර්‌ෂයෙන් නොව ස්ත්‍රියගේ යෝනියෙන්‌ බවය. පසුකලෙක බුදුන්ද එක් හින්‌දු අවතාරයක් කලත්, බලවත් හින්‌දු බ්‍රාහ්මණ ආධිපත්‍යය යටතේ බුදු දහම ඉන්‌දියාවෙන් අතුගෑවී ගියේය. බාබර් ගෙන් ඇරඹුණ මෝගල් මුස්ලිම් ආක්‍රමණිකයින්, දැන් ලංකාවේ මුහුදු මහා විහාරයේදී මෙන් ඉන්දියාවේ බෞද්‌ධ නටබුන් හෑමක් කලේය. ස්ත්‍රීන් මුදා හැරීමට ඒ කාලයේ සිදුකල විප්ලවය මෙන්, බෞද්‌ධ ජනාධිපති කෙනෙකුට, ලංකාවේ ඒකීය රටක්, එක නීතියක් හදන්නට නම් කාති උසාවි, ශාරියා, වහාබ් වාදය හා මුහුණ වැසීම, හෙල්මට් නොදැමීම, මළමිනී ගිනි නොතැබීම, හලාල්, බහු භාර්‌යාසේවනය යන මේ දුර්‌මත, පොදු සමාජයට තර්‌ජනයක් වන්නේ නම්, ඒවා නීතියෙන් පාලනය කළ යුතුමය. වෙනත් ජන කොටස් වලට හානිකර මානව අයිතිවාසිකමක්, යම් තනි ජන කොටසකට තිබිය නොහැක.

අතීතයේ සිදුකල අසාධාරණකම් නිවැරදි කිරීම

මේ සම්බන්‌ධයෙන් ඩී. එස්.-අයිවෝර් ජෙනිනිංස් 29(2) භාධකයට ප්‍රතිවිරුද්‌ධ මතයක් තම ආචාර්ය උපාධියේ දේවනේසන් නේසයියා (ඩිස්ක්‍රිමිනේෂන් විත් රීසන්?: ද පොලිසි ඔෆ් රිසවේෂන් ඉන් යූ.එස්.ඒ., ඉන්ඩියා ඇන්ඩ් මැලේසියා, 1997) විසින් විග්‍රහ කලේය. ඓතිහාසිකව වෙනස්කම් වලට, අසාධාරණයට, ලක්‌වූ ජන කොටස්‌ වලට යුක්තිය ඉෂ්ට කිරීම, එතෙක් වරප්‍රසාද භුක්ති විඳි ජනයාට කරණ හානියක්, ඔවුන්ගේ මානව අයිතිවාසිකම් උඳුරා ගැනීමක් නොවන බව නේසයියා පෙන්‌වා දුන්නේය. 29(2) වගන්තියෙන් කළු සුද්දන් කලේ 1815 ගිවිසුම අළුත් කිරීමය! සිංහල ජාතියට කල මේ හිරිහැර යුක්ති සහගත ලෙස නිවැරදි කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධීද? 1972 වනවිට මේ 29(2) ඒ වනවිට ඇතිකල මානසික තුවාලය උඩුදුවා අවසානය. 1956 අපේ ආණ්ඩුවට වූයේද එයමය. මෙවැනිම ආකාරයේ වෙනස්කම් කිරීම් වලට ලක්‌වූ රුවන්ඩාවේ මහජාතිය‌වූ හුතු ජනයා, සුද්දන් යටතේ එහි වරප්‍රසාදලත් ටුට්සි සුළු ජනයා ලක්‍ෂ 5-10 අතර සංඛ්‍යාවක් 1994 අප්‍රියෙල්-ජූලි මාස තුල සමූල ඝාතනය කරනලදී! ලංකාවේ 1983 ජූලි කොළඹ දෙමළ ජනයාට වූ විපත, බෞද්‌ධයින් කල දෙයක් නොව ජේ ආර් ගේ ආණ්ඩුවට සම්බ‌න්‌ධ තග්ස්ලා විසින් දෙමළ දේපල ගිනිතැබීමකි. ඉන් පසු එවැනි දේ සිදු නොවීමෙන්ම එය පිටිපසින් තිබූ රාජ්‍ය හස්තය එලිකරන්නේය.

ලංකාවේ තිබෙනවාය කියන ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසූ තුන්වන විධිය

කලින් කොටසේ සඳහන් කල, ලංකාවේ කළු සුද්දන් විසින් සුද්දන් ඔවුන්ට අටවාදී ගිය ප්‍රජාතන්ත්‍රවාදය කෙළෙසූ විධි දෙකට අමතරව (නීතියේ ආධිපත්‍යයේ මුල්ගල් ඉදිරීම, තමා කැමති නියෝජිතයෙකු තෝරාගැනිමේ අයිතිය විනාශ කිරිම), 1978 න් පසු සිදුකල තවත් විනාශයක් නම් බිම් මට්ටමේ සිවිල් සේවය ජතතා මර්‌ධනය සඳහා දේශපාලන ආයුධයක් කර ගැනීමය. මෙය දෙයාකාරයකින් සිදුවිය. කිසි විද්‍යාත්මක පදනමකින් තොරව ග්‍රාම සේවක වසම් සංක්‍යාව 4,000 සිටි 15,000 දක්වා වැඩිකර, ඒ තනතුරු සඳහා නූගත් දේශපාලන හෙංචයියලා දැමීමය. මේ නිසා එම තනතුර සඳහා තිබූ ගෞරවය කෙළෙසුන අතර, බල ප්‍රදේශය කුඩාවීම නිසා වැසියාට සිදුවිය හැකි අනිසි බලපෑම වැඩිවිය. ජන ජීවිතයට කෙළින්ම සම්බන්‌ධ වැදගත් තනතුරක්, බලයට පත්‌වෙන දේශපාලන පක්‍ෂයේ අතකොළුවක් කරගත හැකිවිය.

ගමේ ජනයා බලවත් කිරීම

ගම්මට්ටමින් ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැඟිය හැක්කේ රාජ්‍ය නිලධාරියාගේ අනිසි බලපෑමෙන් හා ගමේ පක්‍ෂ දේශපාලනයෙන් තොර ජන සභා/ජන මූල සභා මඟිනි. 1971 ජේවීපී කැරැල්ලට පසුව ඇතිකල ජනතා කොමිටි සංකල්පය (රට පුරා කොමිටි 9,000 ක්?) අසාර්‌ථක වූයේ එය පක්‍ෂ දේශපාලන ඉත්තන්ගෙන් පිරවීම නිසාය. මෙය සමානකල හැක්කේ ජනසතු කල තේ වතුවල පාලනයට වතු කොන්‌දොස්තරලා වෙනුවට බස් කොන්‌දොස්තරලා පත් කිරීමටය. කඳුකරයට දේශපාලන හරකුන් කල විනාශය ගැන ඛේදනීය වාර්‌තා කිහිපයක්‌ම විශ්‍රාමික සිවිල් නිලධාරී සිදත් ගුණසේකර විසින් ලංකාවෙබ් අඩවිය මඟින් ඉදිරිපත් කලේය. ලංකාවේ හදබිම්, මේ දේශපාලකයින් පටු චන්ද වාසිය බලා සදහටම විනාශකරමින් සිටී. ශ්‍රී පාද කන්දට අතතැබීමට භයවීම නිසා මහවැලි, කළණි, වලවේ හා කළු යන ගංඟා හතරේ ජල පෝෂක ප්‍රදේශ ඉඩම් මංකොල්ලයෙන් බේරුණේය. නැත්නම් මේ ගංඟා හතර නැති ලංකාව කාන්තාරයක් වන්නේය තවද, සුද්දා කැලෑ රැක ගැනීමේ අගය දැන සිටියේය. එහෙත් මෝඩ දේශපාලක කළු සුද්දන්ට අද මිස හෙටක් නැත. මේවා නිවැරදි කල හැක්කේ චන්දය නොව, නිසි බලය හරහා ස්‌වභාව ධ‌ර්‌මයට යුක්තිය ඉෂ්ට කිරීමෙනි.

ඕල්කොට් ප්‍රාතිහාර්යය

1840 ස් ගණන්වලදී, ජේම්ස් දි අල්විස් විසින් දශකයක, දෙකක කාලයක් තුල බුදු දහම ලංකාවෙන් මැකී යනවා යයි කිව්වත්, 1873 පානදුරා වාදයෙන් රටේ හාමුදුරුවරු මේ මතය පරාජය කලේය. එහෙත් 1880 දී, ලෝකයේ ප්‍රථම සුදු බෞද්‌ධයා යයි හැඳින්‌වෙන ඕල්කට්තුමා ලංකාවට ආවාට පසු ගුප්ත ලෙස මෙන් පන්සල් තිරයෙන් පිටුපසට ගියේ ඕල්කොට් බෞද්‌ධයින් නිසාද? මෙහිදී මතුවන ලොකු ප්‍රශ්ණයක් වන්නේ ආනන්ද විද්‍යාලයට ඕල්කොට් ගෙනා ලෙඩ්බෙටර්, විශ්‍රාම ගත් පසු ලන්ඩන් ගොස් ආපසු සිය පරණ පාදිලි වෘත්තියට බැසීමය. ඔහු රීස් ඩේවිඩ්ස් කෙනෙක් වූයේ නැත. සුමංගල නාහිමියන්ට නොතේරුණත්, ගුනානන්ද හා ධර්‌මපාල තරුණයාට ඕල්කොට් චරිතය වැඩිකල් නොගොස්ම වැටහුණාද? ඕල්කොට් බෞද්‌ධයින්, පසු කලෙක ධර්‌මපාලතුමා ලංකාවෙන් එලවා ගැනීමට හවුල් වුනාද? මේ මාතෘකාව ගැන පොතක් කොලට් සේනානායක හා නාරද කරුණාතිලක විසින් ලියා ඇත.

කළුකොඳයාවේ නාහිමියන් කල විප්ලවය

ධර්‌මපාලතුමාගෙන් ආභාෂය ලත් හාමුදුරුවරුන් අතරින් කැපී පෙනෙන්නේ කළුකොඳයාවේ ප්‍රඥාශේඛර නාහිමියන්‌ය. හිටගෙන බණ කියන, නිදාගෙන බණ කියන හාමුදුරුනමක් වශයෙන් ප්‍රචලිත මේ හිමිඳුන්ගෙන්, කළු සුද්දන් විසින් ධ‌ර්‍මපාලතුමාව ලංකාවෙන් එලවා ගැනීමෙන් පසු, ලංකාවට සිදුවූ සමාජ සේවය දන්නා අය අද සිටීද? උන්වහන්සේ විසින් 1933 සිට සැලැසුම් කර 1940 දී කෑගලු දිස්ත්‍රික්කයෙන් ඇරඹූ, ඉතාමත් සාර්‌ථකවූ. ග්‍රාම ප්‍රතිසංස්කරණ හා අපරාධ මර්‌දන ව්‍යාපාරය, සෙසු දිස්ත්‍රික් 20 ට ද ව්‍යාප්තකිරීම උන්වහන්සේගේ අරමුණ විය. එහෙත් ඩී. බී.ජයතිලක, ඩී. එස්. සේනානායක, බණ්ඩාරණායක යන ඩොනමෝර් ඇමතිවරු ඊට සහයෝගයක් දුන්නේ නැත. සූරියමල් විකුණමින් ලොරි වලින් මැලේරියා ප්‍රදේශවල බඩු බෙදු මාක්ස්වාදීන්ට මේ ව්‍යාපාරය නයාට අඳුකොළ සේ වෙන්නට ඇත. මේ කාලයේ ගම් පෙරළිය, දිවි නැඟුම කියමින් ගමට ආවඩන උදවිය මෙම කළුකොඳයාවේ මොඩලය, ජන සභා, ජන මූල සභා අදහසම නොවේදැයි සිතා බැලිය යුතුය (ප්‍රඥාශෙඛර ස්‌වයංලිඛිත චරිතාපදානය, 1970, පිටු 119, 371-76, 407).

මෙහිදී බොහෝ අය නොදන්නා කරුණක් ඊට සමානම පක්‍ෂ දේශපාලකයාගෙන් තොර මහජනයා මූලිකවූ ගැමි දිවිය නම් ව්‍යාපාරයක් 1999 දී පොලොන්නරුවෙන් අරඹා 2014 සැප්තැම්බර් වනවිට දිස්ත්‍රික් 11 ක ග්‍රාමීය සංවිධාන 1,844 වශයෙන් වර්‌ධනය වීමය. ඒ මඟින් යටිතල පහසුකම් යෝජනා 9,400 ක් යටතේ, නිශ්පාදක සමූහ 433 ක් පිහිටුවන ලද අතර ඒ හරහා ජීවන මට්ටම ඉහළ නංවීමේ ව්‍යපෘති 386,622 ඇති කරණ ලදී (ද අයිලන්ඩ්, 2014 ඔක්තෝබර් 14). එහෙත් මෙම ගැමි දිරිය දේශපාලකයින් විසින් කඩාකප්පල් කර දමන ලදී. දේශපාලකයාගේ ඇඟිලි ගැසීම් වලට ඉඩ තිබ්බොත්, ජනාධිපති ගෝඨාභයගේ ජනමූල සභාවලටද මේ ඉරණම අත්‌වීමේ අවදානමක් ඇත

පවතින ක්‍රමය උඩු යටිකුරු කිරීමේ යෝජනා

2019 නොවැම්බර් ජනාධිපති මැතිවරණයේදී පවතින ක්‍රමය නොහොත් ප්‍රජා-තන්ත්‍ර-වාදය හාස්‍යයට ලක්කල අය අතරින් කැපී පෙණුනේ නාගානන්ද කොඩිතුවක්කුය. විශ්‍රාමලත් ගණකාධිකාරී ගාමිණී විජේසිංහගේ අදහස් වලට හා රොහාන් පල්ලෙවත්තට අමතරව හදිසියේ කඩාවැදුන මහේෂ් සේනානායක ඇමෙරිකන් තානාපති කාර්‌යාලයේ අපේක්‍ෂකයා වූ බව ඔප්පු විය. ශ්‍රී සද්‌ධර්‍මය හා පන්සලේ ඓතිහාසික කාර්යභාරය පටලවා ගත්තා මිස නාගානන්දගේ පණිවුඩය කිරි ගහට ඇන්නා වැනිය. මේ පණිවුඩය පවතින තන්ත්‍රවාදය යටතේ ක්‍රියාවට නැංවිය හැකිද? මීට අමතරව, බ්‍රදර් චාල්ස් තෝමස් හා පිටිදූවේ සිරි සද්‌ධම්ම, කාගම සිරිනන්ද යන හිමිවරුන්ද තම තමන්ගේ දෘෂ්ටි කෝණයට අනුව රටේ වියයුතු විප්ලවීය වෙනස්කම් පෙන්වා දෙමින් සිටී.

තුන්වන බලවේගයක් යයි කියා එකතු කරගත් කළු සුද්දන් පිරිසක් සමඟ දියාරු ගමනක් ජේවීපී කාරයින් යෝජනා කරයි. නාගානන්ද මෙන්ම මොවුන්ද පන්සලට අකමැතිය. 1988/89 කාලයේ ඔවුන් හාමුදුරුවරු 724 ක් ඝාතනය කලේය (ධර්‌මන් වික්‍රමරත්න, ලංකාවෙබ්, 2015, අගෝස්තු 10). විලේගොඩ ආරියදේව හිමි, විමල් වීරවංශ හා අන්තිමේදී සෝමවංශ අමරසිංහ මෙම පිරිස යහමඟට ගැනීමට අසමත්‌ව වෙන්‌වී ගියේය. සමහර විට තාමත් ඉතිරිව ඇත්තේ සුනිල් හඳුන්නෙත්තිද කියා මට සිතේ.

විශේෂයෙන් කොටි ත්‍රස්තවාදය කාලයේ මායිම් ගම්මානවල සිටි හාමුදුරුවරුන් කල අසීමිත සේවය, හාමුදුරුවරුන් දේශපාලනයෙන් ඈත් කිරීමට කුමණ්ත්‍රනය කරණ කළුසුද්දන්ට මේ වනවිට අමතකවී ඇත. එක අතක තුවක්කුව තබා ගෙන දවල් දන් වැළදූ හාමුදුරුවරු, කොටින් පපුවට තුවක්කුව තැබුවාට භය නොවූ හාමුදුරුවරු (වව්නියාව මඩුකන්ඳ දළදා රජමහා විහාරයේ ආනන්‌ද හිමි (දිවයින ඉරිඳා සංග්‍රහය, අප්‍රියෙල් 5), (අදටත් මඩකලපුව මංගලාරාමයේ අම්පිටියේ සුමනරතන හිමියන්) එසේ කළේ තම දේපල රැකීමටද? ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන් වෙඩිතැබීම් වලට මුහුණ දුන්නේ කා වෙනුවෙන්ද? අතුරැලියේ රතන හා බොදු බල සේනාවේ ඥානසාර හාමුදුරුවරු පෙන්වා දෙන ප්‍රතිකර්‌ම, පවතින ක්‍රමය තුලින්ම නිහඬ විප්ලව ලෙස යම් යම් ශල්‍යකර්‌ම මඟින් ලඟාකර ගත හැකි ඒවාය.

මෙම ශල්‍ය කර්‌ම බොහොමයක්ම (උදාහරණයක් වශයෙන් වැව් පිළිසකර කර, වස විසෙන් තොර ගොවිතැන, සූර්ය බලය, හෙල-නිල වෙදකම) ජන මූල සභා මඟින් ක්‍රියාවට නැඟිය හැකිය. ඒවාට අවශ්‍ය විනය හා මඟ පෙන්‌වීමේ මිනිස් බලකාය මෙම දෙනම මූලිකව පිහිටුවා ගත් අපේ ජන බල පක්‍ෂ සංවිධානය හරහා රටේ පන්සල් (පල්ලි/කෝවිල්) යුදහමුදාව හා සිවිල් ආරක්‍ෂක බලකාය එකතුව සැපයීම ඒකාධිපතිවාදයක් නොවේ. එය යම්තමින් හෝ තිබෙනවා යයි කියන ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමේ මඟය. විනය පිටකය නැති ත්‍රිපිටකයක් නැතිවා වැනිය. ඒකීය රාජ්‍යයක්, එක නීතියක් යන අදහස් ක්‍රියාත්මක කල යුත්තේ ගම් මට්ටමේ සිටය. මෙහි විද්‍යාත්‌මක තේරුම නම් යම් රටක නීති පද්‌ධතිය ඒ රටේ භූගෝල විද්‍යාවට (ඉතිහාසය යනු අතීත භූගෝල විද්‍යාවය) අනුකූළ විය යුතුය යන සිද්‌ධාන්තය අනුගමනය කලයුතු බවය.

පොසොන් කියන්නේ ලංකාවට විශාලම ආක්‍රමණය සිදූවූ දවසටය!

ඉහත සඳහන් ප්‍රකාශය කරන්නේ රනිල් වික්‍රමසිංහ විසින් උපුල් ශාන්ත සන්නස්ගලටය. සන්නස්ගලගේ මේ වීඩියෝව (මාර්තු 6, 2020) ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය නමැති නරාවල වටහා ගැනීමට කැමති හැම දෙනා විසින්ම අනිවාර්‌යයෙන්ම බැලිය යුතුයයි මම සිතමි. අතේ පිරිත් නූල් බැඳගත් උපාසකයින් සාක්කුවේ පිහි ඇති අය නොවේදැයි ඉන් පෙනී යන්නේය.
https://www.youtube.com/watch?v=_u2dMEOH3Cs

(මතු සම්බන්‌ධයි)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress