බෞද්ධ ජනරජ ප්‍රවාදය – 16 වැනි කොටස- අධිකරණ බලයේ හිමිකම
Posted on May 4th, 2021
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ජනරජයක පරාමාධිපත්‍ය බලය හිමිවන්නේ ජනතාවට ය. එහෙයින් එය තුළ ක්‍රියාත්මක සියලු පාලන බලතල ජනතාවට හිමිවෙයි. දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙම කාරණය දක්වා කර ඇත්තේ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය, ජනතාවගේ විධායක බලය සහ ජනතාවගේ අධිකරණ බලය යනුවෙනි. තව ද, ජනතාවගේ ඡන්ද බලය තුළින් තෝරාගනු ලබන නියෝජිතයන් මාර්ගයෙන් සහ ජනමත විචාරණයක දී ජනතාව විසින් උක්ත පාලන බලතල ක්‍රියාත්මක කළ හැකි බව ද එයින් කියැවෙයි.
උක්ත බලතල තුනට අමතරව ජනතාවගේ උපදේශන බලය” ද පරමාධිපත්‍යය තුළට අයත් විය යුතු බව මෙම ප්‍රවාදයෙන් අපි යෝජනා කළෙමු. ඒ අනුව ජනතාවගේ උපදේශන බලය, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය, ජනතාවගේ විධායක බලය සහ ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට අදාළ නිරවුල් වැඩපිළිවෙළක් බෞද්ධ ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින් ප්‍රකාශ විය යුතු වෙයි.
ජනතාවගේ උපදේශන බලය, ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය සහ ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කිරීමට අදාළ නිශ්චිත වැඩපිළිවෙළක් මෙයට පෙර පළ කළ ලිපි තුළින් අපි ඉදිරිපත් කළෙමු. එහි දී, දැනට පවතින බහුපාක්‍ෂික මැතිවරණ ක්‍රමය ජනතාවගේ විධායක බලය ක්‍රියාත්මක කරන නියෝජිතයන් පත්කිරීමට පමණක් සීමා කළ යුතු බව අවධාරණය කෙරිණි. ඒ අනුව ජනරජයේ ජනාධිපති, විෂයානුබද්ධ අමාත්‍ය මණ්ඩලයෙන් සහ දිස්ත්‍රික් නායක මණ්ඩලයෙන් සමන්විත ජාතික විධායක සභාව, රාජ්‍ය මන්ත්‍රණ සභාව සහ කෝරළ සභා සභාපතිවරු පමණක් බහුපාක්‍ෂික ක්‍රමය අනුව තේරීපත් වන්නේ ය. එනමුදු, ජනතාවගේ උපදේශන බලය ක්‍රියාත්මක කරන උත්තරීතර උපදේශක සභාවෙහි සහ ජනතාවගේ ව්‍යවස්ථාදායක බලය ක්‍රියාත්මක කරන ජාතික ව්‍යවස්ථාදායක සභාවෙහි නියෝජිතයෝ නිර්පාක්‍ෂික ක්‍රමයකට තේරි පත්වෙති.
ඒ හා සමාන නිර්පාක්‍ෂික ක්‍රමවේදයක් ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කරන නියෝජිතයන් තෝරා පත්කර ගැනීම වෙනුවෙන් ද හඳුන්වාදිය හැකිය. දැනට ක්‍රියාත්මක දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ මෙම කාර්යය සඳහා නිර්දේශ වී ඇත්තේ ජනතාවගේ සහභාගීත්වය නිසි අයුරින් ප්‍රකාශ නොවන වැඩපිළිවෙළකි. ජනතාවගේ අධිකරණ බලය, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඇති කොට පිහිටුවන ලද හෝ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගන්නා ලද නැතහොත් වෙනත් යම් නීතියකින් ඇති කොට පිහිටුවන ලද අධිකරණ, විනිශ්චය අධිකාර සහ ආයතන මගින් පාර්ලිමේන්තුව විසින් ක‍්‍රියාත්මක කළ යුත්තේ ය” යනුවෙන් එහි සඳහන් කර තිබෙයි.
ජනතාවගේ අධිකරණ බලය ක්‍රියාත්මක කිරීමට අදාළව දෙවැනි ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව පිහිටුවනු ලබන අධිකරණ විනිශ්චය අධිකාර සහ ආයතන” සඳහා ජනතා නියෝජිතයන් පත්වන ආකාරය ඉතාමත් අපැහැදිළි ය. එහෙයින් එම ආයතනවලට පත්වන්නේ කොළඹ සහ නාගරික ප්‍රදේශවලින් සමාජ බලය තහවුරු කරගත් ඉංග්‍රීසි කතා කරන පැලැන්තියක් පමණක් බවට ද චෝදනාවක් වෙයි. ඉහළ අධිකරණවල තීන්දු ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ලබාදීමෙන් ද උක්ත චෝදනාවට පදනමක් සැපයෙයි.
බෞද්ධ ජනරජය තුළ මෙවැනි වියවුල් ඇතිවීම වැළැක්විය යුතුය. එය කළ හැක්කේ ජනතාවගේ අධිකරණ බලය නියෝජනය සඳහා නිශ්චිත සහ පැහැදිළි වූ ද, බෞද්ධ ප්‍රජාත්නත්‍රවාදයට අනුගත වූ ද වැඩපිළිවෙළක් හඳුන්වාදීම මගිනි. කෝරළ බුද්ධි මණ්ඩලයේ නීති අංශය මේ සඳහා ජනකා නියෝජිතයන් සම්බන්ධ කරගත හැකි මූලික ම ආයතනය වෙයි. කලින් ලිපිවලින් ද පැහැදිළි කළ ආකාරයට දැනට පවතින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මෙම ප්‍රවාදය තුළ කෝරළ නමින් හැඳින්වෙයි. ඒ ඒ කෝරළයට අනුබද්ධව කෝරළ බුද්ධි මණ්ඩල පිහිටුවන ආකාරය මෙයට පෙර ලිපියෙන් පැහැදිළි කළෙමු.
ඒ ඒ කෝරළයේ වාසය කරන ජනතාව අතරින් සුදුසුකම් ලත් නියෝජිතයන් පිරිසක් ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ ඇගැයීම් ක්‍රමයක් තුළින් කෝරළ බුද්ධි මණ්ඩලවලට තේරි පත්වෙති. ඒ අනුව ම, කෝරළ බුද්ධි මණ්ඩලයේ නීති අංශය සඳහා ද ජනතා නියෝජිතයන් තෝරා පත් කරගත හැකිය. කෝරළ සභාවේ නීති උපදේශක වශයෙන් කටයුතු කිරීම, කෝරළවාසී ජනතාවගේ නීති සාක්‍ෂරතාව ඉහළ නැංවීමට කටයුතු කිරීම, කෝරළයේ පවතින නීති ගැටලු සහ අවශ්‍යතා පිළිබඳව අධ්‍යයනය කර විසඳුම් යෝජනා කිරීම මෙම අංශයට තේරී පත්වන නියෝජිතයන් හට කළ හැකිය.
ජනතාවගේ අධිකරණ බලය නියෝජනය සඳහා පිහිටුවනු ලබන ද්විතීයක ආයතන පද්ධතිය දිස්ත්‍රික් අධිකරණ සභාවලින් සැකසෙයි. කෝරළ බුද්ධි මණ්ඩලවලට අනුයුක්ත නීති අංශවල කටයුතු කර අත්දැකීම් ලත් ප්‍රවීණ නීති විශාරදයන්ගෙන් දිස්ත්‍රික් අධිකරණ සභා සමන්විත වන්නේ ය. මෙම ප්‍රවාදය තුළ දිස්ත්‍රික්කයක් වශයෙන් හැඳින්වෙන්නේ කෝරළ පහළොවකට ආසන්න ප්‍රමාණයකින් ආවරණය වන භූමි ප්‍රදේශයකි. කෝරළ සහ දිස්ත්‍රික්ක මට්ටමේ විනිසුරු තනතුරු සහ ඒ හා සමාන වෙනත් තනතුරු හෙබවීමට දිස්ත්‍රික් අධිකරණ සභාවලට පත්වන්නෝ සුදුසුකම් ලබති.
දිස්ත්‍රික් අධිකරණ සභාවල සේවය කර අත්දැකීම් ලත් ප්‍රවීණ නීති විශාරදයෝ ජාතික අධිකරණ සභාව නියෝජනයට සුදුසුකම් ලබති. බෞද්ධ ජනරජය තුළ අධිකරණ බලයේ ජනතා නියෝජනය මෙලෙසින් පරිපූර්ණත්වයට පත්වෙයි.