ජාතික වෙසක් උත්සව සමරු මුද්දර ත්‍රිත්වය අග්‍රාමාත්‍යතුමාට පිළිගන්වයි
Posted on May 12th, 2021

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාතික වෙසක් උත්සවය වෙනුවෙන් නිකුත් කළ සමරු මුද්දර ත්‍රිත්වය, මුල්දින කවරය සහ සිහිවටන පත්‍රිකාව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින්  අද (12) දින අරලියග මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වන ලදි.

මෙවර ජාතික වෙසක් උත්සවය උතුරු පළාතේ පිහිටි ඓතිහාසික නාගදීප රජ මහා විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතව තිබිණි.

ඒ අනුව මෙවර ජාතික වෙසක් උත්සවයේ සමරු මුද්දර සඳහා ඓතිහාසික වටිනාකමකින් යුතු උතුරු හා නැගෙනහිර පළාත් වල බෞද්ධ සිද්ධස්ථාන වල චිත්‍ර යොදාගෙන තිබේ.

වව්නියාව සපුමල්ගස්කඩ විහාරය, යාපනය කදුරුගොඩ විහාරය සහ වව්නියාව මඩුකන්ද දළදා විහාරයේ කේන්ද්‍ර කර ගනිමින් මුද්දර නිර්මාණ ශිල්පී පාලිත ගුණසිංහ මහතා මෙම සමරු මුද්දර නිර්මාණය කර තිබේ.

රුපියල් දහය, රුපියල් පහළොව  සහ රුපියල් හතළිස් පහ මුදල්  වටිනාකමින් යුතු මුද්දර තුනක් මෙහි දී නිකුත් විය.

මෙම අවස්ථාවට ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය  පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය, අමාත්‍ය ජී. එල්. පීරිස්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම, බුද්ධශාසන අමාත්‍යංශයේ  අධ්‍යක්ෂ චම්පිකා කනේරු, තැපැල්පති රංජිත් ආරියරත්න, නියොජ්‍ය තැපැල්පති රාජිත කේ.රණසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress