අය-වැය 2022 සඳහා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබාගැනීම අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන්
Posted on August 11th, 2021
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
අය-වැය 2022 සම්පාදනය කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් වන පළමු සාකච්ඡාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සංවිධානය කළ මෙම හමුවේ දී ග්‍රාමීය, ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් මට්ටමින් ඉටුකළ යුතු කාර්යයන්, ජාතික මට්ටමින් අවධානය යොමුකළ යුතු කාර්යයන් සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම යන අංශ සඳහා පසුපෙළ මන්ත්‍රී යෝජනා ලබා ගැනීම සිදුවිය.
දේශීය කාබනික කෘෂිකර්මාන්තය නගා සිටුවීම, අපනයන නිෂ්පාදනය ඉහළ දැමීම, කර්මාන්ත සහ සේවා අංශය වෙත ග්‍රාමීය ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනීම සහ සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීම, සංචාරක ක්ෂේත්‍රය නගාසීටුවීම, ධීවර ක්ෂේත්‍රය පුළුල් සංවර්ධනයකට ලක් කිරීම, මල් සහ විසිතුරු පත්‍ර වගාකරුවන් නගාසිටුවීම, සත්ත්ව නිෂ්පාදන අංශය වර්ධනය කිරීම ඇතුළු විවිධ ක්ෂේත්‍ර නියෝජනය වන පරිදි පසුපෙළ මන්ත්‍රීවරු මෙහි දී යෝජනා ඉදිරිපත් කළහ.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපතිවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස එවකට රටේ විවිධ අංශ නියෝජනය වන පරිදි ඊට අදාළ පිරිස් වෙතින් අය-වැය යෝජනා සකස් කිරීමේ දී අදහස් ලබා ගැනීමට කටයුතු කළ බවත් එය ඉතා සාර්ථක ප්‍රගතියක් පෙන් වූ බැවින් මෙවර අයවැය සම්පාදනයේදීත් හැකි උපරිමයෙන් විවිධ අංශ නියෝජනය වන පරිදි යෝජනා ලබා ගැනීමට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කළේය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති සහ අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස්, මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම්, ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ මහා මාර්ග අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් සහභාගි වී සිටියහ.