බෞද්ධ ජනරජ ප්‍රවාදය – 34 වැනි කොටස – ‍කතන්දර අධ්‍යාපනය
Posted on September 6th, 2021

ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

විවිධ වූ වියුක්ත න්‍යායන්ගේ උපකාරයෙන් අනුමාන දැනුමක් ගොඩ නඟාගැනීම වෙනුවට අත්දැකීම් මත පදනම් වූ ප්‍රත්‍යක්‍ෂය ඇසුරින් ලෝකය තේරුම්ගැනීමේ හැකියාවක් බෞද්ධ අපට හිමි වී තිබේ. එහෙයින් අපගේ සමාජ – ආර්ථික අවශ්‍යතා සාධනය උදෙසා මෙම හැකියාව භාවිතයට ගැනීම වඩාත් ප්‍රතිඵලදායක වේ. මෙයින් කියැවෙන්නේ න්‍යායික කරුණු දැනගැනීමේ අවශ්‍යතාවක් නැති බවක් නොවේ. එම කාර්යයෙහි නිපුණ අයවළුන් විසින් තමන්ට හැකි උපරිමයෙන් න්‍යායික කරුණු අධ්‍යයන කළ යුතු අතර නව න්‍යාය හඳුන්වාදීමට ද කටයුතු කළ යුතු වේ. එසේ වුව ද, බෞද්ධ ජනරජයෙහි වසන සෑම අයකුගේ ම කාලය සහ ශක්තිය ඒ වෙනුවෙන් කැපකිරීම නිරර්ථක කාර්යයකි.

දරුවන්ගේ නිපුණතා හඳුනාගෙන ඒ අයගෙන් පිරිසක් න්‍යායික කරුණු ගවේෂණය ඉලක්ක කරගත් අධ්‍යාපන වැඩපිළිවෙළකට ද අනෙකුත් පිරිස ඒ ඒ අයගේ නිපුණතා සහ අවශ්‍යතා අනුව සැලසුම් කෙරුණු ප්‍රත්‍යක්‍ෂ මූලික අධ්‍යාපන වැඩපිළිවෙළකට ද යොමු කළ යුතු වේ.

සංස්කෘතිය සහ අධ්‍යාපනය යනු එකිනෙකින් වෙන් කළ නො හැකි පරාමිතීන් දෙකකි. එ මෙන් ම ඒවා එකිනෙක මත රඳා පවතියි. ඕනෑ ම රටක අධ්‍යාපනයට එහි සංස්කෘතිය විසින් මගපෙන්විය යුත්තේ ය. එහෙයින් න්‍යායික කරුණු අධ්‍යයනය සඳහා තෝරාගනු ලබන ශිෂ්‍යයන් හට ඉගැන්වීමේ දී ද ඒ වෙනුවෙන් යොදාගත හැකි සංස්කෘතික සාධක නො සළකා එය කළ නො හැක්කේ ය. ප්‍රත්‍යක්‍ෂ මූලික අධ්‍යාපනය සඳහා තෝරාගනු ලබන ශිෂ්‍යයන් හට ඉගැන්වීමේ දී සංස්කෘතික මගපෙන්වීමේ වැදගත්කම තවත් ඉහළ යයි.

කතන්දර මාදිලිය යනු කුඩා දරුවන්ට මෙන් ම වැඩිහිටියන්ට ද ඉගැන්වීමේ දී යොදා ගත හැකි ඉතාමත් ඵලදායක අධ්‍යාපනික වැඩපිළිවෙළකි. බුදුදහම තුළ ද මෙම මාදිලිය නිරත්නරයෙන් ම යොදා ගැනෙයි. ජාතක කතා සාහිත්‍යය තුළ මෙය ඉතා ප්‍රකට අයුරින් දැකගත හැකි ය. බොහෝ සූත්‍ර ධර්ම දේශනා තුළ ඒවාට පදනම් වූ නිධාන කතා සාහිත්‍යයක් ද වෙයි. බුද්ධ චරිතය සහ මහා ශ්‍රාවක චරිත තුළින් ද අපි බොහෝ දෑ උගනිමු. බිම්බිසාර, පසේනදී කොසොල්, අශෝක වැනි රජවරුන්ගේ කතාවලින් ද අනාථපිණ්ඩික සිටුතුමා, විශාකා දේවිය වැනි අයගේ කතාවලින් ද අපි බොහෝ දෑ උගනිමු. මිලින්ද ප්‍රශ්නය වැනි ග්‍රන්ථ තුළ ඉතා ගැඹුරු ධර්ම කරුණු ඉදිරිපත් කර ඇත්තේ ද කතන්දර ස්වරූපයෙනි. අටුවා සාහිත්‍යය ද කතන්දරවලින් පිරුණු එකකි. මහාවංසය ද එවැන්නකි.

මෙම කතන්දර පදනම් කරගෙන කාව්‍ය, ගීත සහ නාට්‍ය නිර්මාණ ද බිහි වී තිබේ. අදාළ කරුණු සන්නිවේදනය ඒ මඟින් තවත් පහසු කර තිබේ. මෙම නිර්මාණ ඔස්සේ විවිධ වූ ධර්ම කරුණු අපි නිරන්තරයෙන් ම සේවනය කරමු. තව ද අපගේ ස්වාමීන්වහන්සේලා ධර්ම දේශනා පවත්වන විට ද මාතෘකා කරගන්නා සූත්‍ර පාඨවලට අදාළ නිධාන කතා ඇසුරින් ඒවා පැහැදිළි කර දෙති. මෙකී සියලු කරුණු හේතුවෙන් අපට හිමි වී ඇත්තේ කතන්දර ඇසීමට කැමැති, ඒ සඳහා යොමුවුණු මනසකි. එහෙයින් අධ්‍යාපනය සඳහා කතන්දර මාදිලිය යොදාගැනීම ඉතාමත් ප්‍රායෝගික උපක්‍රමයක් වනු නිසැක ය.

කුඩා කාලයේ දී සුරංගනා කතා, වීර කතා අසා ලොකු මහත් වන ළමයි ඒ ඇසුරින් නියම කරගත් ඉලක්ක අනුව වැඩ කරති. ඔවුන්ගේ චරිත වර්ධනයට ද ඒවා උපකාරී වෙයි. මෙම මාදිලියෙන් වෙනත් සංස්කෘතීන් ද වැඩගෙන තිබේ. 1719 දී පළ කෙරුණු රොබින්සන් කෲසෝ”, 1726 දී පළ කෙරුණු ගලිවර්ගේ චාරිකා” වැනි පොත්වලින් කියැවුණු කතන්දර අසා ලොකු මහත් වූ දරුවන් බ්‍රිතාන්‍යයේ නාවික බලය දායක වුණු බව පැහැදිළි ය. 17 වැනි සියවසේ මැද භාගයේ සිට ඕලන්ද නාවික බලය සමගත් එයින් පසුව ප්‍රංශ නාවික බලය සමගත් තරග කළ බ්‍රිතාන්‍ය නාවික බලය එම ක්‍ෂේත්‍රයෙහි ප්‍රබලයා බවට පත්වූයේ 18 වැනි සියවසේ මැද භාගයේ දී ය. රොබින්සන් කෲසෝ”, ගලිවර්ගේ චාරිකා” වැනි කතන්දර කියවා ලොකු මහත් වූ ළමයි ඒ වනවිට බ්‍රිතාන්‍ය නාවික හමුදාවට උර දී සිටියහ.

කතන්දර ඔස්සේ දැනුම සන්නිවේදනය සංස්කෘතික පුරුද්දක් බවට පත් කරගත් අපට මෙම කාර්යය ඉතාමත් පහසුවෙන් කළ හැක්කේ ය. ආර්ථික හපන්කම් කළ පුද්ගලයන්ගේ චරිත කතා, සමාජ – ආර්ථික ජයග්‍රහණ අත්පත් කරගත් රටවල අත්දැකීම්, යම් යම් අය විසින් කළ වැරැදි නිසා ඇති වූ විනාශ සහ බිඳවැටීම් මෙම ක්‍රමයෙන් සන්නිවේදනය කළ හැකි ය. කුඩා දරුවන්ගේ මනස් තුළ දැවැන්ත ඉලක්ක නිර්මාණයට ද මෙම ක්‍රමය යොදාගත හැකි ය. මෙවැනි කතන්දර හඳුන්වාදීම ආරම්භ කෙරුණු විට ඒ ආශ්‍රයෙන් කාව්‍ය, ගීත, නාට්‍ය, ටෙලි නාට්‍ය, චිත්‍රපට වැනි වෙනත් නිර්මාණ ද බිහිවනු ඇත්තේ ය.

කතන්දර මාදිලිය යනු අත්දැකීම් බෙදාහදා ගැනීමේ ප්‍රශස්ත ම ක්‍රමවේදය වේ.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress