බෞද්ධ ජනරජ ප්‍රවාදය – 44 වැනි කොටස - නැවැතී ඉදිරියට
Posted on November 15th, 2021
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
කඩු පළිහ රැගෙන දුනුහිය කරපියා තමන්වහන්සේ පසුපස ලුහුබැඳ ආ අංගුලිමාල සොරදෙටුවා සිට මහණ, සිට මහණැ” යැයි කී කල්හි අඟුල්මල, මම සිටියෙමි, තෝ ද සිටැ”යි භාග්‍යවතුන්වහන්සේ වදාළ බැව් අපි සැවොම දනිමු. ඉදිරියට යා හැක්කේ නැවැතුණු අයට ය. ලෝකෝත්තර අරමුණු කරා යෑමට මෙන් ම ලෞකික වූ සමාජ – ආර්ථික අරමුණු කරා යෑමට ද මෙය අදාළ වෙයි. කලබලකාරී, නොහික්මුණු මනසකින් වැඩ ගත නො හැකි ය. එහෙයින් තම මිනිසුන් හට නැවැතීමේ අගය කියා දී ඔවුන් ඒ සඳහා පුහුණුකරවීම බෞද්ධ ජනරජයේ වගකීමක් වෙයි.
වර්තමානයේ ඇති වී තිබෙන්නේ නො නැවැතී දුවන ලෝකයකි. සැම කෙනෙක් ම නො නැවැතී දුවති. තමන් යන්නේ කොහි ද, තමන් යන ගමනේ අරමුණ කුමක්ද යනාදී මූලික කරුණු කිසිවක් විමසාබැලීමේ විවේකයක් කිසිවකු තුළ නොවේ. මහා මාර්ග පුළුල්වීමත්, රථ වාහන බහුලවීමත් යනාදී කරුණු නිසා මෙම නො නවතින ගමනට පෙළැඹවීමක් ද උසිගැන්වීමක් ද ලැබී තිබෙයි.
කුඩා කාලයේ දී ම දරුවන් මෙම දිවිල්ලට පුරුදු කෙරෙති. දරුවන්ගෙන් අතිමහත් බහුතරයක් පාසල් යන්නේ තම නිවසින් දුර තැනකට ය. එහෙයින්, උදෑසනින් මහමගට බැස පාසල් ගොස්, එතැනින් උපකාර පන්තිවලට ද ගොස් රෑ බෝ වී නිවසට පැමිණීම දරුවන්ගේ දෛනික කාර්යයක් බවට පත් වී තිබේ. මෙය වැරැදි පිළිවෙතකි.
උක්ත වරද නිවැරැදිකරවීම ජනරජයේ වගකීමක් වෙයි. නිවස අසළ පාසලට යෑමේ අවස්ථාව සියලු දරුවන් හට සළසාදීමෙන් මෙය කළ හැක්කේ ය. මහා මාර්ග සහ වාහන නඩත්තුවට, ඉන්ධන ආනයනයට වැයවන පමණ ඉක්ම වූ පිරිවැය සහ මාර්ග තදබදය නිසා ඇතිවෙන අලාභය වළක්වා එම අරමුදල් පාසල් සංවර්ධනයට යොමුකිරීම මේ සඳහා වන පිළියමයි. පාසල්වල අධ්‍යාපන පහසුකම් වැඩිකර, ක්‍රීඩා පිට්ටනි, ගුරු නිවාස යනාදිය ඉදිකිරීම මෙයට අයත්වෙයි. ඒ අනුව, වයස අවුරුදු දාහතරක් පහළොවක් වන තුරු සෑම දරුවකු ම නිවස අසළ පාසලට යෑම අනිවාර්යය කළ හැක්කේ ය.
නිවස අසළ පාසලට යන දරුවා තම වටපිටාව මනාව දැනගනියි. තමන්ගේ සමාජය හොඳින් තේරුම්ගත්, සංස්කෘතියෙන් හික්මුණු මිනිසකු බවට ඔහු පත්වෙයි. තව ද, පරිසරයට ඇළුම්කරන, ඒ හා බැඳුණු, එ මෙන් ම, අදාළ ගැටලු හඳුනන මිනිසකු ද ඒ ඔස්සේ බිහිකරයි. පොතපත ඔස්සේ ලබන පන්ති කාමර අධ්‍යාපනයට අවශ්‍ය කාලය ද මේ ඔස්සේ ඉතිරි කරගත හැක්කේ ය. ක්‍රීඩාකිරීමට සහ වෙනත් සමාජ ක්‍රියාකාරකම්වල නිරතවීමට අවශ්‍ය කාලය ද මේ ඔස්සේ දරුවන් හට ලැබෙන්නේ ය. නිිවුණු සිත් ඇති දරුවා විවිධ වූ නිර්මාණාත්මක කාර්යයන්ට ද යොමුවනු ඇත්තේ ය. එහෙයින් මේ හරහා බිහිවන්නේ බොහෝ පැතිවලින් පිරුණු, හැකියාවන්ගෙන් අනූන උසස් මිනිසුන්ගෙන් සමන්විත සාරවත් සමාජයකි.
ද්විතීයික අධ්‍යාපනය ලබන කාලයේ දී දරුවන් විෂයය අනුව වර්ග කෙරෙන බැවින් තම නිවස අසළ පාසල තුළ අදාළ සියලු පහසුකම් සැපැයීම කළ නො හැක්කේ ය. එහෙත්, මෙම කාර්යය කෝරළ මට්ටමින් ඔබ්බට ගෙන යා යුතු නැත. (මෙම ප්‍රවාදයෙහි කෝරළ වශයෙන් හඳුන්වන්නේ දැනට පවත්නා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ය. මූලික ලිපිවලින් මේ පිළිබඳ කරුණු දක්වා තිබේ). කෝරළයක් තුළ ගමන උපරිම වශයෙන් කිලෝ මීටර් විස්සක පරාසයකට සීමාවෙයි. එහෙයින් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැළැසීම අපහසු කටයුත්තක් නොවේ.
වෛද්‍ය විද්‍යාල, තාක්‍ෂණික විද්‍යාල සහ විශේෂ පර්යේෂණ කටයුතුවලට අදාළ අධ්‍යාපන ආයතන හැරුණු විට විශ්වවිද්‍යාල මට්ටමේ අනෙකුත් ආයතනවලින් ලබාදෙන්නේ ද එක්තරා ආකාරයක පන්ති කාමර අධ්‍යාපනයකි. ගණිතය සහ මානව ශාස්ත්‍ර විෂයයන් ඉගැන්වීම මේ සඳහා උදාහරණ වේ. මංගත ක්‍රම ඔස්සේ ද, පොතපත මාර්ගයෙන් ද, ප්‍රාදේශීය මධ්‍යස්ථාන හරහා ද මෙම අධ්‍යාපන සේවා ලබාදිය හැක්කේ ය. පුස්තකාල සේවා සැපැයීම වැනි කටයුතු පමණක් මෙහි දී විශේෂිත වේ. මෙම කරුණු පිළිබඳව මනා විමර්ශනයක් කර අදාළ අධ්‍යාපන සේවා ලබාදීමේ විකල්ප ක්‍රම, විභාග සහ ඇගැයීම් සඳහා විධිමත් ක්‍රම හඳුන්වාදීම ද ජනරජයේ වගකීමක් වෙයි.
ස්ව-අධ්‍යයනයෙන් දැනුම වර්ධනය කරගන්නා අය ඇගැයීමේ වාර්ෂික හෝ වෙනත් කාලීන විභාග ක්‍රමයක් හඳුන්වාදීම ද මේ සඳහා යොදාගත හැකි විකල්පයකි. එක් එක් විෂයයට වෙන වෙන ම ප්‍රවීණතා සහතික ලබාගැනීම පොදුවේ ලබාගන්නා උපාධි සහතිකයකට වඩා ප්‍රයෝජනවත් ය. වෙන වෙන ම ඇගැයීම් ලබාගන්නා අයගේ සහතික සමස්තයක් වශයෙන් සළකා බලා ඒ අයට උපාධි පිරිනැමීමේ ක්‍රමයක් හඳුන්වාදීම ද කළ හැක්කේ ය.
ජනරජය විසින් කළයුත්තේ දැනුමින් පිරිපුන් මිනිසුන් බිහිකිරීමේ ක්‍රම හඳුන්වාදීම විනා නඩත්තු කළ නොහැකි සුදු අලි” පවත්වාගෙන යෑම නොවේ. පවත්නා සම්පත් මනා ලෙස කළමනාකරණයෙන් ජනරජයට අවැසි, උසස් මානව සම්පතක් බිහිකර ගත හැක්කේ ය.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති