බෞද්ධ ජනරජ ප්‍රවාදය – 52 වැනි කොටස- සංස්කෘතියෙන් නීතිය
Posted on January 10th, 2022
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
ශ්‍රී ලංකාවේ වර්තමාන නීති ක්‍රමය ප්‍රධාන වශයෙන් සැකැසී ඇත්තේ යටත්විජිත උරුමය ඇසුරිනි. 17 වැනි සහ 18 වැනි සියවස්වල නෙදර්ලන්තයේ (ඕලන්දයේ) ක්‍රියාත්මක වූ රෝමානු නීතිය ඇසුරින් අපගේ පොදු නීතිය සැකැසී තිබේ. එහෙත්, නෙදර්ලන්තය විසින් මෙම නීති ක්‍රමය බැහැර කර මේ වන විට වසර දෙසීයකට වැඩි කාලයක් ගත වී තිබේ. ඉංග්‍රීසි යටත්විජිත උරුමය මත අප රටෙහි අපරාධ නීතිය සැකැසී තිබේ. විවාහ, දික්කසාද සහ දේපොළ උරුමයට අදාළ කරුණු කීපයක් වෙනුවෙන් පමණක් උඩරට නීතිය භාවිත කෙරෙයි. මෙයට අමතරව, ලන්දේසී යටත්විජිත ස්වාමියාගේ මූලිකත්වයෙන් හඳුන්වා දුන් තේසවලාමේ නීතිය ද මෙ රට බලපැවැත්වෙයි. මුස්ලිම් නීතියට ද විශේෂ පිළිගැනීමක් ලබා දී තිබේ.
උඩරට නීතියට ලබා දී ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක් නොවේ. ඒ සම්බන්ධයෙන් ගැටලු ඇති වූ විට තීරකවනුයේ රෝම – ලන්දේසී නීතිය ය. තව ද, උඩරට නීතිය යනු සියලු සිංහලයන්ට අදාළවන්නක් නොවේ. 1952 උඩරට විවාහ හා දික්කසාද පනතට අනුව උඩරට ප්‍රදේශ ලෙස සැළැකෙනුයේ මධ්‍යම, උතුරු මැද, සබරගමුව සහ ඌව පළාත් පමණකි. උඩරට පදිංචි පහතරට පුද්ගලයන්ට උඩරට නීතිය අදාළ නොවන බව විලියම් එදිරිව රොබට්සන් නඩුවේ දී තීරණය කෙරිණි. පහතරට පුද්ගලයෙක් උඩරට පුද්ගලයකු සමග විවාහ වී උඩරට ප්‍රදේශයක පදිංචිව සිටිය ද ඔවුනට උඩරට නීතිය අදාළ නොවන බව විජේසිංහ එදිරිව විජේසිංහ නඩුවේ දී තීරණය කෙරිණි. උඩරට ප්‍රදේශවල වාසය කරන සංක්‍රමණික දෙමළ ජනතාවට උඩරට නීතිය අදාළ නොවන බව නාරයනි එදිරිව මුතුසාමි නඩුවේ දී තීරණය කෙරිණි.
මෙ රට ක්‍රියාත්මක දේශීය උරුමයක් ඇති එක ම නීතිය වන උඩරට නීතියට හිමි තැන උක්ත කරුණුවලින් පැහැදිළි වේ. එ මෙන් ම, මේ වන විට මෙ රට ක්‍රියාත්මක නීතිය ප්‍රධාන වශයෙන් ම ලන්දේසි සහ ඉංග්‍රීසි යටත්විජිත ස්වාමීන් තම අභිමතය සහ අවශ්‍යතා අනුව හඳුන්වාදුන් එකක් බව ද අපි සැවොම දනිමු.
නීතිය යනු සංස්කෘතික ඇගැයීම් මත පදනම් වී තීරණයවන්නකි. හොඳ – නරක, යෝග්‍ය – අයෝග්‍ය බව යන කාරණාවලට අදාළ සංස්කෘතික ඇගැයීම් මේ සඳහා උපස්තම්භක වෙයි. ඕනෑ ම නීති පද්ධතියක ප්‍රායෝගිකභාවය හඳුනාගත යුත්තේ මෙම මූලධර්මය මත පදනම්වීමෙනි. මෙ රටින් ඉතා ඈත පිහිටි බටහිර යුරෝපයේ ක්‍රිස්තියානි සංස්කෘතික ඇගැයීම් මත පදනම් වී සැකැසුණු නීති මෙ රට ක්‍රියාත්මක කිරීම එම මූලධර්මයට පටහැනි ය.
මෙ රට පවත්නේ සාමූහිකත්වයට මුල්තැන දෙන සංස්කෘතියකි. තව ද, යම් යම් පොදු කරුණු සම්බන්ධයෙන් පුද්ගලයින් අතර පවත්නා සමානත්වයක් අප පිළිගත්ත ද ගිහි – පැවිදි, වැඩිහිටි – බාල, ගුරු – සිසු ආදි වෙනස්කම්වලට ද අපි මුල් තැනක් දෙන්නෙමු. කාන්තාවන් සඳහා අපගේ සංස්කෘතිය තුළ පිරිනැමී තිබෙන විශේෂ ස්ථානයක් ද වෙයි. එහෙයින් මෙවැනි සංස්කෘතික අවශ්‍යතාවලට සහ ඇගැයීම්වලට ගැලැපෙන අයුරින් මෙ රට නීතිය ද ක්‍රියාත්මක විය යුතු වෙයි.
ගිහි – පැවිදි වෙනස අර්ථවත් වන ඇගැයීම් විශාල ප්‍රමාණයක් බෞද්ධ සංස්කෘතික පසුබිම තුළින් නිර්මාණය වී තිබේ. බෞද්ධ සංස්කෘතිය තුළ භික්‍ෂූන්වහන්සේලාට පිරිනැමෙන ප්‍රමුඛතාව නීතිය තුළින් ද පිළිබිඹු විය යුත්තේ එහෙයිනි. ශාසනික කරුණක් සම්බන්ධයෙන් විනිශ්චයක් ලබාදීමේ දී විවාදාධිකරණ, අනුවාදාධිකරණ, ආපත්තාධිකරණ සහ කිච්චාධිකරණ යනාදී බෞද්ධ අධිරකරණ ක්‍රමවලට ද මුල් තැනක් දිය යුතු ය. ශාසනික විෂයයට අදාළ පැවිදි චූදිතයකු සම්බන්ධයෙන් පොදු නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ අදාළ ගිහි – පැවිදි පාර්ශ්ව අතර ඇති කරගන්නා එකඟතාවකට යටත්ව ය.
වැඩිහිටියකු විසින් තම දරුවන්ට, ගුරුවරයකු විසින් තම ශිෂ්‍යයන්ට දඬුවම්කිරීම වැනි කරුණු සළකා බැලිය යුත්තේ එයට අදාළ ඇගැයීම් සහ ආචාර ධර්ම සීමා ඇතුළත ය. අදාළ ආචාර ධර්ම සීමා ඉක්මවා යෑම වැළැක්වීම, ඒ සඳහා අවශ්‍ය අධ්‍යාපනික වැඩපිළිවෙළ ප්‍රමාණවත් අයුරින් ක්‍රියාත්මක කිරීම, චූදිතයන්ගේ සමාජ ගෞරවයට හානියක් නොවන පරිද්දෙන් කටයුතුකිරීම, වැරැදිකරුවන් විශේෂිත ක්‍රම තුළින් පුනරුත්ථාපනය වැනි ක්‍රම ද මේ තුළට අන්තර්ග්‍රහණය කළ යුතු වේ.
ගෙදර බුදුන් වශයෙන් අම්මාට සැළැකීම, ජනගහනයෙන් බහුතරයක් කාන්තාවන් වීම, පවුලකට උපදින ගැහැණු දරුවන් සම්බන්ධයෙන් දක්වන සුබවාදී ආකල්පය, නිවෙස තුළ කාන්තාවට හිමි වී තිබෙන මූලිකත්වය වැනි කරුණු තුළින් ප්‍රකටවනුයේ කාන්තාවන් හට අපගේ සංස්කෘතිය තුළ පිරිනමා තිබෙන විශේෂ ස්ථානය ය. ජනරජය තුළ ක්‍රියාත්මක වන කිසිදු නීතියකින් මෙම ප්‍රමුඛතාව බැහැර කළ නො හැකි විය යුත්තේ ය.
නිදසුන් වශයෙන් උක්ත ඇගැයීම් කිහිපය පමණක් හුවා දැක්වුව ද අපට ගැලපෙන පරිපූර්ණ නීති පද්ධතියක් සම්පාදනය කරගැනීමේ දී සැළැකිය යුතු තවත් කරුණු පවතින බව අපි දනිමු. එ්වා සළකන තරමට නීතිය අර්ථවත් වේ.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති