අග්‍රාමාත්‍යතුමා යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරයි
Posted on March 21st, 2022
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය
යාපනය මඩ්ඩුවිල්හි ඉදිකළ “යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් අද (20) පෙරවරුවේ විවෘත විය.
ගොවි ජනතාවට සිය නිෂ්පාදන සඳහා සාධාරණ මිලක් ලබා ගැනීම හා පාරිභෝගික ජනතාවට සහන මිලට එළවළු,පළතුරු මිලදී ගැනීමේ පහසුකම් සැලසීම සඳහා මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය ඉදිකර තිබේ.
රජය ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 200කි. යාපනය මඩ්ඩුවිල් ප්‍රදේශයට පැමිණි අග්‍රාමාත්‍යතුමා ප්‍රදේශයේ ජනතාව විසින් මහත් හරසරින් පිළිගත් අතර යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරමින් අග්‍රාමාත්‍යතුමා එහි සමරු ඵලකය නිරාවරණය කළේය.
කාබනික පොහොර නිෂ්පාදන, ප්‍රවර්ධන හා සැපයුම් නියාමන සහ වී හා ධාන්‍ය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළූණු හා අර්තාපල් වගා ප්‍රවර්ධන, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණික කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පිහිටවූ මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය සඳහා බදුල්ල ආර්ථික මධ්‍යස්ථානය හා යාපනය වෙළඳපොළෙන් අත්‍යවශ්‍ය එළවළු හා පළතුරු ලබා දීමට නියමිතය.
වෙළෙඳ කුටි විස්සකින් සමන්විත මෙම විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කිරීමෙන් පසු අග්‍රාමාත්‍යතුමා, එහි වෙළෙඳ ප්‍රජාව සමඟ ද සුහඳ කතාබහක නිරත විය.
යාපනය විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය විවෘත කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ සම්පූර්ණ කතාව මෙසේය.
යාපනයේ ජනතාව අමතන්න ලැබීම ගැන මම ඉතාම සතුටු වෙනවා. යාපනේ ගෙවුණ යුග තුනක් මම ඇස් දෙකින් දැකලා තියෙනවා.
මට මතකයි 1970 යුගයේ යාපනේ තිබුණ හැටි. ඒ කාලේ යාපනේ ජනතාවයි, කොළඹයි අතරේ ලොකු සම්බන්ධයක් තිබුණා. යාපනේ නගරේ සිංහල මුදලාලිලා හිටියා. කොළඹ විතරක් නෙවෙයි ලංකාවේ එහා කෙළවරේ මාතර මුදලාලිලා යාපනේ නගරේ බේකරි පවත්වාගෙන ගියා.
ඒ කාලේ මැතිනිය යාපනේ ආවහම යාපනේ ගොවියෝ මිරිස්වලින් පාවඩයක් වාගේ දාලා එතුමිය පිළිගත්තා. ඒත් එතුමිය ගොවියන්ට ගෞරව කරන නිසා ඒ මිරිස් අතුරපු මාගල් උඩින් ගියේ නෑ. තවත් වතාවක් මැතිනිය යාපනේ ආව වෙලාවේ යාපනේ කාන්තාවෝ එතුමියව පිළිගත්තේ ඉතා ඉහළින්.
මෙහේ හිටපු දෙමළ මන්ත්‍රීවරු ඒ කාලේ වැඩිපුර හිටියේ කොළඹ. ඒකනම් අදත් එහෙමයි. කෝච්චියෙන් තමයි යාපනේ කොළඹ ආවේ ගියේ.
කොළඹ වැඩ කරන රජයේ සේවකයෝ සිකුරාදා හවස කෝච්චියේ නැගලා එළිවෙන්න යාපනේට එනවා. ඒ එක යුගයක්. ඒ යුගයේ අපිටත් යාපනය මහ දුරක් නෙවෙයි. හරි සමීප බවක් දැනුනෙ.
ඒ යුගය එක පාරටම 1980 න් පස්සේ අතුරුදහන් වුණා. යාපනේට එන කෝච්චි පාර කැඩුවා. දකුණේ ඉඳන් උතුරටත් උතුරේ ඉඳන් දකුණටත් යන්න එන්න තිබුණු යාල් දේවිය නතර වුණා. යාල් දේවිය කියන්නේ උතුර දකුණ යා කළ සංස්කෘතික පාලමක් ලෙසයි මා දකින්නේ.
උතුරේ ජනතාවගේ නිදහස අහිමි වෙන්න පටන් ගත්තා. උතුරේ ගොවියාට කුඹුරට යන්න බැරි වුණා. ධීවරයින්ට මුහුදු යන්න බැරි වුණා. උතුර බංකරයක් වුණා.
තමන්ට අයිති ඉඩමේ නිදහසේ ජීවත් වීමේ අයිතිය අහිමි වුණා. ගේ දොර කොයි මොහොතක හෝ අත් ඇරලා යන්න වෙයි කියන තත්ත්වය උදා වුණා.
උතුරේ ජනතාවට සරණාගතයො ලෙස තැන් තැන් වලට යන්න සිද්ද වුණා. මුල් කාලෙ ඉන්දියාවටත් ගියා.යුරෝපා රටවල්වලටත් ගියා. ජීවත් වෙන්න උපන් බිමක් තිබුණත් එහි නිදහසේ ජීවත් වෙන්න බැරි වුණ නිසා නන්නාදුනන පළාත්වල, රටවල්වල සරණාගතයින් ලෙස ජීවත් වෙන්න සිදු වුණා.
අවු. 30 ක් ඒ අඳුරු යුගය තිබුණා. උතුරේ ජනතාවගේ ජීවත් වීමේ අයිතියත් සංවර්ධනයත් ඒ අඳුරු යුගය උතුරේ ජනතාවට අහිමි කළා. 2019 මැයි 19 වෙනිදා ඒ අඳුරු යුගය අවසන් කරන්නට අපිට හැකි වුණා. එදායින් පස්සේ උතුරේ ජනතාවගේ අහිමි වූ ජීවිත හැර අන් සියල්ල ලබා දීමට අපි කටයුතු කළා.
යුද්දෙ ඉවර වෙනකොට අද උතුරේ දකින්න තියෙන කිසි දෙයක් දකින්න තිබුණේ නෑ. තිබුණේ වෙඩි වැදුණ ගොඩනැගිලි, කැඩුන පාරවල්, ගේදොර අහිමි ජනතාව. නමුත් අවුරුද්දක් දෙකක් ඇතුළත මේ සේරම යළි අපි ලබා දුන්නා. පාරවල් හැදුවා, වතුර දුන්නා, ලක්ෂ ගණනක් බිම් බෝම්බ ගැලෙව්වා. විදුලිය දුන්නේ විදුලි වේගයෙන් කීවොත් වඩා නිවැරදියි. පාසල්, රෝහල්, වසර දෙක තුනක් තුළ හැදුවා.
එදා කතාවක් තිබුණෙ උතුරේ ජනතාව කට ඇරියේ කන්නයි, දත් මදින්නයි විතරයි කියලා. අපි ඒ ජනතාවට නිදහස උදා කළා. වසර ගණනාවකට පස්සේ කෝච්චි පාර හැදුවා.
යාල්දේවියෙන් උතුර දකුණ යා කළා. උතුරේ ආයෙත් පළාත් සභාව පිහිටෙව්වා.
නමුත් ඒ යුගයට 2015 දී අතරමැද බාධාවක් ආවා. 2015 න් පස්සේ අපි කරගෙන ආව වැඩ නතර කළා. සංහිඳියාව කියලා ව්‍යාපෘතියක් ආවා.
අපි හදිසි නීති ඉවත් කරලා පිහිටවපු පළාත් සභාව යහ පාලනයෙන් විසිරෙව්වා. යහපාලන කාලේ එක පාරක්, එක විදුලි යෝජනා ක්‍රමයක් යාපනේට ලැබුණේ නෑ. රටටම ලැබුණෙත් නෑ.
අලුතින් එක විදුලි බලාගාරයක් හැදුවා නම් යාපනේ ජනතාවට අද කළුවරේ ඉන්න වෙන්නේ නෑ.
හැබැයි අර සංහිඳියාව කියන ව්‍යාපෘතියට බිලියන ගණනක් වියදම් කළා.
සාමය ගැන කියන සිංදුවකට බිලියන ගණනක් වියදම් කළා. යාපනේ ජනතාවට වතුර පයිප්පයක් දුන්නේ නෑ.
අපි කරගෙන ආ වැඩ 2015 දී නතර කළා. ඒක අපි ආයෙත් ආරම්භ කරන්න ඕනෑ. කොරෝනා වසංගතය නො එන්න අපි ඒ ගමන 2019 දී ආරම්භ කරලා. නැවත අපි 2019 දී මේ රට භාර ගත්තට පස්සේ යහපාලනයෙන් ආපස්සට ගිය රට ගොඩ නඟන්න සැලසුම් කළා.
ඒත් අනපේක්ෂිතව කොවිඩ් වසංගතය ආවා. ඒ වෙලාවෙ ජනතාව, වගකියන රජයක් හැටියට අපිට හිතුණේ අපේ ජනතාව ආරක්ෂා කර ගන්නයි. අපි ඒක කළා.
දකුණේ ජනතාව වාගේම උතුරේ ජනතාවත් වසංගතයෙන් ආරක්ෂා කර ගන්න අපිට පුළුවන් වුණා.
2015 න් පසුව නතර කළ තමුන්නාන්සේලාගේ පළාත්වල සංවර්ධන කටයුතු වගේම ජන ජීවිතය ගොඩනඟන කටයුතුත් අපි ආරම්භ කරන බව ප්‍රකාශ කරනවා. ඔබ සැමට සුභ අනාගතයක්! යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පළාත් ප්‍රධාන ලේකම් සමන් දර්ශන පාඩිකෝරාළ, යාපනය දිස්ත්‍රික් ලේකම් කනපතිපිල්ලේ මහේසන්, චාවකච්චේරිය ප්‍රාදේශිය ලේකම් එන්.ඌෂා මහත්ම මහත්මීහු ඇතුළු ප්‍රදේශවාසී ජනතාව එක්ව සිටියහ.