බොරදියේ මාළු බෑම!
Posted on May 10th, 2022
වාගිස ප්‍රනාන්දු.
ඉන්දීය භාරතීය ජනතා පක්ෂය නියෝජනය කරන තමිල්නාඩුවේ උපත ලද සුබ්‍රමනියම් ස්වාමි දෙමළ බෙදුම්වාදයට තදින්ම විරුද්ධවූ අයෙකි. අපේ රට දෙමළ කොටි ත්‍රස්තවාදය හා සටන් කරද්දී ඉන්දීය පාර්ලිමෙන්තුව තුල හා ඉන් පිටත අපේ රට වෙනුවෙන් පෙනී සිටි එකම ඉන්දීය මහජන නියෝජිතයාවූයේ සුබ්‍රමනියම් ස්වාමි පමණයි. ඇතැම් අවස්ථාවන්හීදී කොටි ත්රස්තවාදයේ ඉලක්කයක් බවට පත්වූ අවස්ථාද නැත්තේ නොවේ.
නමුත් එදා අපේ රට වෙනුවෙන් සිටි එකම ඉන්දීය මහජන නියෝජිතයා, අද පීල්ල මාරු කර ඇති සැටියක් පෙනේ. ඊයේ ඇතිවූ කලහකාරී සිද්ධීන් පාදක කරගෙන එය ඉන්දීය විරෝධයක් දක්වා වර්ධනය වේයැයි උපකල්පනය කරමින් ඉන්දියාවේ ජාතික ආරක්ෂාව පතා ලංකාවට ඉන්දීය හමුදා එවිය යුතු බවට ඔහු දැන් යෝජනා කරයි.
රාජපක්ෂවරුන් රට පාලනය කරන අවස්ථාවන්හීදී රට ඉන්දියාවට වඩා බෙහෙවින්ම චීනය පැත්තට නැඹුරුවූ බව සත්‍යයකි. එසේ වීමට අපට විවිධ සාධාරණ හේතුද තිබේ. දෙමල කොටි ත්‍රස්තවාදය පැවැති වකවානුවේදී ඇතැම් විට ඉන්දියාව අපේ රටට යුධමය ආධාර දීමට අදිමදි කල අවස්ථාවන්හීදී අපේ ගැලවුම්කරුවන් වූයේ චීනය සහ පකිස්ථානයයි. ඉන්දීය සාගර කලාපයේ තමන්ට හිමි ස්ථානය රැක ගැනීම සදහා නිතර වෙහෙසවන ඉන්දියාවට පකිස්ථානයේ මෙන්ම චීනයේ මැදිහත්වීම් ලංකාවට ලැබීම නොරුස්නා බව පැහැදිළි කරුනකි. ඒවාගේම සේද මාවත හරහා චීනය විසින් ලෝකයේ භූමිය අත්පත් කරගනිමින් සිදුකරන ආක්‍රමණය කලාපයේ බලවතාවන ඉන්දියාවටද, ලෝක බලවතාවන ඇමරිකාවටද හිසරදයකි.
සෑම විටම බළලුන් ලවා කොස් ඇට බෑවීමට ප්‍රසිද්ධ ඇමරිකාව, යුක්රේනය බලයෙන් රුසියාව සමග යුද්ධයකට තල්ලු කර රුසියාවට එරෙහිව තහංචි පණවමින් රුසියානු ආර්ථිකය විනාශ කිරීමට උත්සාහ කරනවා සේම ඉන්දියාව හරහා ලංකාව ඕනෑවටත් වඩා චීනයට නැඹුරුවීම වැළැක්වීම සදහා කටයුතු නොකරනු ඇතැයි විශ්වාස කල නොහැක. රටේ ආර්ථික අර්බුදය පිපිරී ගිය අවස්ථාවේ සිටම ලංකාවට විවිධ ආකාරයෙන් මුල්‍යමය හා මුල්‍යමය නොවන ප්‍රතිපාදන ලබාදෙමින් සිටින ඉන්දියාව ඒ හරහා ලංකාව චීනයට ඇති නැඹුරුව අවම කර තමන් දෙසට වැඩියෙන් නැඹුරු කරගැනීමට උත්සාහ නොකරනු ඇතැයිද විශ්වාස කල නොහැක.
එළෙසින්ම ලංකාවේ Big Brother යන අන්වර්ථ නාමයෙන් හදුන්වන ඉන්දියාව අපේ රටට ලබාදී ඇති සහ ලබාදීමට පොරොන්දු වී ඇති ණය සහ ණය පහසුකම් හරහා අපේ රටේ ආර්ථිකය හැසිරවීමට යම් උත්සාහයක් තිබෙන බවටද ආරංචි නැත්තේ නොවේ. ඉන්දියාව මෑතක සිට ලංකාවේ ඉන්ධන වෙළදපොලේ ප්‍රමුඛතම මිළ තීරකයා වී ඇත. ඊට අමතරව බොරදියේ මාළු බෑමට සමත් ඉන්දියාව මෙවන විටත් අපට ලබාදුන් ණය සහ ණය පහසුකම් හරහා සාම්පූර්, මන්නාරම සහ ත්‍රිකුණාමලයේ සැළකිය යුතු භූමි ප්‍රමාණයක ඉන්දීය ජාතික කොඩිය එසැවීමට අවශ්‍ය කරන පසුබිම දැනටමත් මැනවින් සකස් කරගෙන සිටින අතර අවසානයේදී ඉන්දීය මහ බැංකුව හරහා අපේ රටේ ආර්ථිකය සහ ලංකාවේ මුදල් ඒකකය වන රුපියල හැසිරවීමටද ඇත්තේ සුළුපටු ඉඩකඩක් නොවේ.
එවන් තත්වයක් තුල සුබ්‍රමනියම් විසින් කිසිවෙකුත් නොහිතූ ආකාරයෙන් පීලි මාරු කිරීම ඔහුගේම අවශ්‍යතාවයම නොවුනත් බොහොවිට තමන්ගේ දේශපාලන බල අධිකාරියේ උවමනාව මත සිදුවූවක් විය හැක. එමනිසා සුබ්‍රමනියම් විසින් ඊයේ රටේ සිදුවුනු කළහකාරී හැසිරීම් ඉන්දීය විරෝධයක් දක්වා වර්ධනය වේ යැයි අනුමාන කරමින් ඉන්දීය ජාතික ආරක්ෂාව පතා ඉන්දියානු හමුදා ලංකාවට එවීමට යෝජනා කිරීමද , හුදු අහම්බයක් නොව ඉන්දියාව විසින් ලංකාව ගිල ගැනීමේ ඉහත ව්‍යාපෘතියේම කොටසක් විය හැක.