“රටම වවමු – එක්ව දිනමු !” ආහාර නිෂ්පාදන වැඩසටහන
Posted on May 18th, 2022

Mr. D R Kanchana The Secretary Agriculture Graduate’s Association of the Sri Lanka Agriculture Service

මෙරට තුළ ඇති වී ඇති ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලාංකිකයන් ලෙස අප  ආහාර සුරක්ෂිතතාව” පිළිබඳව වෙනදාට වඩා වැඩි වශයෙන් කතා බහ කරන කාලයක් නිර්මාණය වී ඇත. එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයට (FAO) අනුව, සියළුම මිනිසුන්ට ඔවුන්ගේ ආහාර අවශ්‍යතාවයන් සපුරාලීමට ප්‍රමාණවත් පරිදි සෑම අවස්ථාවකදීම, ආරක්ෂිත සහ පෝෂ්‍යදායී ආහාර, භෞතික, සමාජීය සහ ආර්ථිකමය වශයෙන් සුලබව පැවතීම” ආහාර සුරක්ෂිතතාවයයි.  ඒ අනුව  ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සංකල්පය මූලික ආහාර නිෂ්පාදනයෙන් ඔබ්බට ගිය ප්‍රමාණවත් ආහාර සැපයුමක් පැවතීම බව පැහැදිලිය. 

කොවිඩ්-19 වසංගතය තුළ තීව්‍ර වූ ආර්ථික හා සමාජීය තත්වයන් මෙන්ම මෑත කාලයේ මෙරට තුල ක්‍රියාත්මක කරන ලද වැරදි කෘෂිකාර්මික ප්‍රතිපත්ති හේතුවෙන් රටේ ආහාර සුරක්ෂිතතාව දැඩි ලෙස අර්බුදයට ලක් වී ඇත. මේ හේතුවෙන්, උග්‍ර ආහාර අර්බුදයකට අප රට ගමන් කරමින් තිබේ. 

ආහාර සඳහා දිගු පෝලිම්, සලාක ක්‍රම හඳුන්වා දීම, විවිධ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිසිසේත් ලබා ගැනීමට නොහැකි වීම, අධික ලෙස ඉහළ මිලකට ආහාර ද්‍රව්‍ය  අලෙවි වීම ආදී සිදුවීම් වලට නුදුරේදීම අප හට මුහුණ දීමට සිදු වනු ඇත. මේ තත්වය හමුවේ මෙරට තුල ආහාර සුරක්ෂිතතාවය රැකගැනීම වෙනුවෙන් කටයුතු කිරීම අප සැමගේ යුතුකම සහ වගකීම වෙන බව කිවයුතුය.   

ආහාර අර්බුදය සාර්ථකව ජය ගැනීම සඳහා අවශ්‍ය බොහොමයක් සම්පත් අප සතුව ඇති බැවින් ජනතාවට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම තුලින් හැකි සෑම බිම් අඟලක්ම එදිනෙදා අවශ්‍ය වන ආහාර බෝග වලින් වගා කිරීමටත් සුලබ ආහාර නිසි ලෙස සුරැකීමටත් තමන් සතු ආහාර වල නාස්තිය නැති කිරීමටත් ජනතාව තුලින් පෙළඔවීමක් ඇති කළ යුතුය. 

තම ආහාර අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් නිවස තුලින් සපයා ගැනීම මගින් ආහාර සුරක්ෂිතතාව යම්තාක් දුරකට තහවුරු කරගත හැකි වනු ඇත. මේ සඳහා පිලියමක් ලෙස ආහාර නිෂ්පාදනය මෙන්ම ආහාර සැකසීම සහ නාස්තිය අවම කිරීම පිලිබඳ සමාජ මතයක් ගොඩනැගීම මූලික අරමුණ කරගත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වෘත්තීය සංගම් එකමුතුව රටම වවමු –  එක්ව දිනමු” යන්න තේමාව කරගත් ආහාර නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනක් රටතුල ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

2022.05.18 දින ආරම්භ කරන මෙම ප්‍රවර්ධන වැඩසටහන සමාජ මාධ්‍ය ජාල, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිතය. මෙම ප්‍රවර්ධන වැඩසටහනට සමගාමීව සියළුම දෙනාගේ ශ්‍රම දායකත්වයෙන් 2022.05.25 දින හරිත කාර්යාල පරිසරයක්” නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් රට පුරා පිහිටි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් සියළුම කාර්යාල පරිශ්‍රවල  වගාකළ හැකි බිම් වගා කිරීමට නියමිතය.

වර්තමානයේ රට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙස රටට මුහුණ පෑමට සිදුව ඇති ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා අප සැවොම පෙළගැසෙමු. රටම වවමු – එක්ව දිනමු” ආහාර නිෂ්පාදන ප්‍රවර්ධන වැඩසටහනත් සමග අත්වැල් බැඳගන්නා ලෙස ඔබසැමට ආරාධනා කරමු. 

හරින් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා පෙළගැසෙමු !

ශ්‍රී ලංකා කෘෂිකාර්මික සේවයේ කෘෂිකර්ම උපාධිධාරීන්ගේ සංගමය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ විද්‍යාඥයින්ගේ සංගමය

ශ්‍රී ලංකා කෘෂිකර්ම සේවයේ නිලධාරීන්ගේ දීප ව්‍යාප්ත සංගමය  

කෘෂිකර්ම පර්යේෂණ සහකාර සහ පර්යේෂණ නිලධාරීන්ගේ සංගමය 

රජයේ විද්‍යා හා කෘෂිකර්ම සංවර්ධන නිලධාරී සංගමය 

වැඩසටහන් සහකාර (කෘෂිකර්ම) නිලධාරීන්ගේ සංගමය 

කෘෂිකර්ම තාක්ෂණික සහායක සංගමය

කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂිකර්ම මෙහෙයුම් නිලධාරීන්ගේ සංගමය 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress