ශ්‍රී ලංකා ඉතිහාසය විකෘති කිරීම් (2වන කොටස)
Posted on November 13th, 2022

චානක බණ්ඩාරගේ

මෙහි පළමු ලිපියේ සඳහන් මහාචාර්ය වරයා සිංහලයාගේ සම්භවය දකුණු ඉන්දියාව බව (එනම් සිංහලයා පැවතෙන්නේ ද්‍රවිඩයන්ගෙන් වැනි මතයක්) ඔහුගේ ‘නොනවතින ඉතිහාසය’ යු ටියුබ් නාළිකා වැඩසටහන් වලින් ඉතා සියුම් සහ සැඟවනු ලෙස පෙන්වා දීමට උත්සහ දරා ඇති බවක් පෙනේ.

මෙතුමා පල කරන සමහරක් කරුණු මෙරට ඉතිහාසයේ කිසිදාක පිළිනොගත් ඒවායි. ඔහු විසින්ම සොයා ගන්නා ලද ඒවා බව පෙනී යයි. නමුත්, ඒ කිසිවක් මේ ලියුම්කරු දන්නා පරිදී, බාහිර ලොව ඉතිහාසඥයින්, පුරාවිද්‍යාද්‍යාඥයින් පිළිගෙන නැත.

මෙම නාලිකාව ශ්‍රී ලංකාවේ ආදී ඉතිහාසය පිළිබඳව වැඩ සටහන් සිය ගණනක් සිදු කර ඇති අතර මෙම ලියුම්කරු සවන් දී ඇත්තේ ඉන් අතලොස්සකට පමණි. මේ විග්‍රහය එසේ සවන් දෙන ලද වැඩසටහන් කිහිපය ගැන පමණි. මහාචාර්යවරයා ඒවායේ මෙසේ කියයි: (ඇල අකුරු වලින් (italics) දක්වා ඇති සටහන් මෙම ලියුම්කරුගේ ඒවාය.

  • විජය කියා රජ කෙනෙක් සිටී බවට කිසිම සඳහනක් නැහැ (මහාචාර්යතුමා කොතෙක් උත්සහ කලත් විජය තම්බපන්නියේ – වර්තමාන පුත්තලම/විල්පත්තු ආශ්‍රිත ප්‍රදේශ වල, රජ වූ බව ලෝක ඉතිහාසයේ ලියවී හමාරය).
  • සිංහල ජාතිය විජය කුමරු පැමිණීමෙන් පසු ඇරභීය යන්න පිලි ගත නොහැක.
  • පණ්ඩුවස්දේවගෙන් පසුවද ශ්‍රී ලංකාවේ ඉතිහාසය පටන් ගත්තේ?.
  • පණ්ඩුකාභය නියම හෙළයෙක් නොවෙයි (මහාවංශයට අනුව මොහු විජයගෙන් පසු ‘සිංහලේ’ 4වෙනි රජුය – විජය, පන්ඬුවස්දේව, අභය රජවරුන්ගෙන් පසු. (විජයගෙන් පසු මහ සෙනෙවි උපතිස්ස ද උපතිස්ස නුවර වසරක් පමණ පාලනය කළේය).
  • පණ්ඩුකාභය රජුට දෙමළ සම්භවයක් ඇත (එසේ විය නොහැකියි; පණ්ඩුවස්දේව ශ්‍රී  ලංකාවේ (සිංහලයන්ගේ) 2 වන රජුයි – විජයට ඔහුගේ 2වෙනි විවාහයෙන් දරුවන් නොසිටී නිසා පණ්ඩුවස්දේව දඹදිව සිංහපුර සිට පැමිණ රජකම භාර ගතී. පණ්ඩුවස්දේව යනු විජයගේ නිවුන් සොහොයුරු සුමිත්තගේ පුත්‍රයායි. පණ්ඩුවස්දේව විවාහ වූයේ භද්ධකච්චායනා කුමරිය සමඟයි. පණ්ඩුකාභය යනු මේ දෙපලගේ පුත් දියණිය චිත්‍රා සහ දීඝ ගාමිණි කුමරුගේ පුත්‍රයාය. එනම්, පණ්ඩුකාභයට විජය ඥාති මුත්තා වේ (සීයා වූ පණ්ඩුවස්දේවගේ මාමා). අනුරාධපුර රාජධානිය ඉදිකළ පණ්ඩුකාභය වසර 107ක් ආයු වැළඳීය; වසර 70ක් සාර්ථකව රට පාලනය කළේය).
  • කුවේණි ඉන්දියාවෙන් ආව කාන්තාවක් (මේවා සාක්ෂි සහිතව මෙම මහාචාර්යවරයා පෙන්වා දී නොමැත).
  • කුවේණි පාන්ඩ්ව දුහිතෘවක්.

(දෙමළ ඊලාම් වාදීන් ද  සිංහල ඉතිහාසය අවුල් කිරීමට, ඔවුනට සිංහලයාට වඩා ‘අයිතියක්’ මේ රටේ ඇති බව පෙන්වීමට කුවේණිය ද්‍රවිඩ කාන්තාවක් යයි කියති. දේවානම් පියතිස්ස (පණ්ඩුකාභයගේ මුනුබුරා) ‘පියතිස්සම්’ වශයෙන් හුවා දක්වති). 

  • මහාවංශය ලියුවේ ඉන්දියාවට ඕන විදියටද?
  • මහාවංශය ලියු හාමුදුරුවෝ ඉන්දියානුවෙක්ද?
  • මහාවංශයේ තියෙන ඒවාට වඩා වෙනත් දේවල් එළියේ තියෙනවා.
  • වසභ රජු ආවේ උතුරෙන්; ඔහු රට බෙදුවා .
  • වසභ රජු දකුණු ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට පැමිණි රජෙක්. 
  • වසභ රජු පළවී වරයෙක් – මුලතිව් වරාය හරහා අම්පාරට ආවා.
  • නාගයෝ තමා යාපනයේ හිටියේ.
  • නාගවරුන් ලංකාවට ආවේ දකුණු ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයෙන්.
  • නාගවරු යනු දෙමළ අයයි.
  • නාගයෝ දකුනෙත් හිටියා. 
  • නාගවරු අන් අයට වඩා දක්ෂයි; ඉතාම අගය කල යුතු පිරිසක්.
  • නිට්ටෑවෝ ආවේ මලබාර් කෝරලෙන් (දෙමළ).
  • වාකාරේ ඉන්න වැදී ජනතාව නිට්ටෑවන් ගෙන් පැමිණෙන්නන් (තමන් ද්‍රවිඩ බව පැවැසීම ශ්‍රී ලංකාවේ වැද්දන් විශේෂයෙන්ම බින්තැන්නේ – තරයේ ප්‍රතික්ෂේප කරත්. ඔවුන් සෑම විටම පෙන්වන්නේ සිංහල, බෞද්ධ ගති ලක්ෂණය).
  • ධාතුසේනට ප්‍රථම ශ්‍රී ලංකාවේ සිටී රජවරුන් 4 දෙනාම ද්‍රවිඩ රජවරුන්.
  • තොප්පිගල, කුඩුම්බිගල දෙමල ප්‍රදේශ බව.
  • ධාතුසේන රජු ද්‍රවිඩයේ පාන්ඩ්යයන් නැසූ බව.
  • පරාක්‍රමබාහු ඔහුගේ සෙන්පතියෙක් යවා පාන්ඩ්ය රජුගේ පුතුව (වීර පාන්ඩ්ය) රජකර එම සෙන්පතියාව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත් බව.
  • පරාක්‍රමබාහු දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩයන් මෙරටට ගෙනවිත් ඔවුන් ලවා රුවන්වැලි මහා සෑය සැදවූ (ප්‍රතිසංස්කරණය?) බව.
  • පරාක්‍රමබාහුගේ බාල නැගෙණිය ජීවත් වුයේ දකුණු ඉන්දියාවේ කාලිංග දේශයේ බව.
  • සීගිරිය ගැන,  මහාවංශය ගැන මහානාම හාමුදුරුවෝ කියපු කථාව සංචාරකයන්ට කියලා වැඩක් නැහැ. සීගිරිය ගැන අපි කථාවක් හදන්න ඕන.
  • සීගිරියේ වතුර මල ගැන කථාවක් අපි හදන්න ඕන
  • ශ්‍රී ලංකාවට වසර ලක්ෂ ගණනක ප්‍රාග් ඓතිහාසයක් උරුමයි.
  • දකුණු ආසියාවේ පැරණිතම ප්‍රාග් ඓය්තිහාසික රට ශ්‍රී ලංකාවයි (ඒ කියන්නේ ලොව පැරණිතම මිනිස් ශිෂ්ඨාචාරයක්  ඇති ඉන්දු -වැළි ශිෂ්ඨාචාරයටත් වඩා අප පරණයි?).
  • එසේ කියා තවත් වැඩ සටහනක ඔහු මෙසේ කියයි – ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් වෙන් වුනේ මීට වසර 7,000 ට පෙරයි.
  • පාළි කියා භාෂාවක් නැහැ (එසේනම් බුදු හාමුදුරුවන් දේශනා කලේ සිංහලෙන්ද?).
  • ශ්‍රී ලංකාවට බුදු දහම ඉන්දියාවෙන් බලෙන් එව්වාය කියනවා.
  • මිහිඳු හාමුදුරුවෝ එන්න කලින් ශ්‍රී ලංකාවේ බුද්ධාගම පැවතුනා  (මේ ප්‍රකාශය සඳහා කිසිම පුරාවිද්‍යාත්මක හෝ වෙනත් සාක්ෂියක් නොමැත. එදා මහින්දාගමනයෙන් අනතුරුව මුළු ශ්‍රී ලංකාවම බෞද්ධ විය. ශ්‍රී ලංකාවේ ඇත්තේ සිංහල බෞද්ධ අත්තිවාරමකි. මෙතුමාගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේය යනුවෙන් කෑ ගසන බොහෝ සිංහල දේශපාලනඥ්යනට සහ අනෙක් අයට උඩ ගෙඩි දීමකි).
  • බුදු දහම ශ්‍රී ලංකාවට ඒමට පෙර (මෙතුමා අදහස් කරනු ඇත්තේ මහින්දාගමනයට පෙර විය යුතුයි) සිටි ජනතාව චෛය්ත්ය ඉදි කළා (මේ පිළිබඳව සාක්ෂි මෙතුමා දී නැත).
  • අනුරාධපුර, පොළොන්නරු යුගවල එම ප්‍රදේශවල හිංදු කෝවිල් තිබු බව (මේ පිළිබඳව පිළිගත් සාක්ෂි නොමැත. මෙයද, ශ්‍රී ලංකාව ‘සිංහල බෞද්ධ’ රටක් නොවේය යන මතයට පහර ගැසීමකි. අපේ පන්සල් තුලට හින්දු කෝවිල් ඒමට පටන් ගත්තේ බොහෝ පසු කාලයේ, ශ්‍රී ලංකාවට පැමිණි අවසන් නායක්කර් රජවරු නිසාය).
  • දෙමළ බෞද්ධයෝ හිටියා (මෙයින් ඔවුන් කීමට තැත් කරන්නේ අද උතුරේ සහ නැගෙනහිර දක්නට ලැබෙන බොහෝ  බෞද්ධ නටඹුන් මෙම ඊනියා ‘දෙමළ බෞද්ධයන්’ විසින් කරවන ලද ඒවා බව නොවේද? මේවා මහින්දාගමනයෙන් පසු දේවානම් පියතිස්ස සහ ඉන් පසු ආ රජවරුන් විසින් සිදු කරන ලද ඒවා බව ප්‍රත්‍යක්ෂ වී හමාරය).
  • ලංකා ඉතිහාසයේ දෙමළ භාෂාව උඩටම ආපු කාලයන් තියෙනවා.
  • අශෝක රජු චෝල, පාන්ඩ්ය, කේරල දේශවලටද බුදු දහම යැව්වා.
  • පාන්ඩ්යයන් අවුරුදු 6,000ක් විතර පරණයි…… මේ ජනතාව ලංකාවට තල්ලුවෙලා ආවා.
  • තමන්ද සම්බන්ධව සකස් කරන ලද නව පුරාවිද්‍යා ජාතික ප්‍රතිපත්තියක් දැන් ඇති බවත් එහි  මෙසේ ඇති බවත් මෙම මහාචාර්ය වරයා උජාරුවෙන් මෙසේ කියයි:

‘නව ප්‍රතිපත්තිය යටතේ විදේශිකයන් මෙහි කරන පුරා විද්‍යා ගවේෂණ අපේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යාම නිසා ඒවායේ කර්තෘත්වය ඇත්තේ විදේශිකයාට නොවේ.  විදේශිකයා ශ්‍රී ලංකාවේ පිළිගත් පුරාවිද්‍යාඥයයෙක් යටතේ වැඩ කල යුතුයි. විදේශිකයා ඔහුගේ මුදල් රැගෙන පුරාවිද්‍යා කටයුතු සඳහා මෙරටට පැමිණිය යුතුයි. අපෙන් අවසර ලබා ගත යුතුයි. අපේ ශිෂ්‍යයන් පුහුණු කල යුතුයි. ඔහු යන විට ඔහුගේ සියළු තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට දී යා යුතුයි.’

මෙවැනි පුරාවිද්‍යා ප්‍රතිපත්තියක් තිබෙන තාක් එකදු ලොව පිළිගත් විදේශ පුරාවිද්‍යාඥයයෙක් ගවේෂණ කටයුතු සඳහා මෙරටට පැමිනේද? මෙම ලියුම්කරු දන්නා පරිදි විදේශිකයන්ට මේ රටේ පුරා විද්‍යා ගවේෂණ සඳහා අවසර ඉල්ලීමේ අධීක්ෂණයන්හිද මෙම මහාචාර්යතුමා සම්බන්ධය (මෙම දැන ගැනීම සමහර විට වැරදි විය හැක). මේ ජාතික ප්‍රතිපත්තිය සකසා ඇත්තේ ඔවුන්ගේ මෙරටට ඒම නැවත්වීමට නොවේද? ඔවුන් පැමිණ මේ අයගේ ‘බොරු සොයාගැනීම්’ හෙලිකරනු ඇතැයි යන බිය නිසාද?

එක් සමාජ නාලිකා වැඩසටහනක ‘ හෝමෝසපියන් වරු ගොඩ බැස්සා යාලේ’ යයි මෙම මහාචාර්යවරයාගේ ප්‍රකාශය – මෙයින් මෙතුමා උත්සහකර ඇත්තේ විජයාගමනය පරාජය කිරීමයි. මීට අවුරුදු ලක්ෂ 3ට පෙර අප්‍රිකාවෙන් නුතන මානවයා බිහි විය. ඔහු හඳුන්වන්නේ හෝමෝ සපියෙන් නමිනි. මේ අයට කියා අවේනික වූ ජාතියක් නැත.

ශ්‍රී ලංකා ශිෂ්ඨාචාරය ආරම්භ වුයේ (විජයගෙන් නොව) හෝමෝ සපියන් වරුන් ගෙන් බව පාසැල් ඉතිහාස පෙළ පොත් වල දැන් දැක්වේ. මේ හෝමෝ සපියෙන්ට නමක්, ජාතියක්, ආගමක්, සංස්කෘතියක්, සභ්‍යත්වයක් නැත.

මෙම මහාචාර්යතුමා පාසැල් ඉතිහාසය පෙළ පොත් සම්පාදනය සඳහා වූ  සංස්කාරක මණ්ඩලයේ ප්‍රබල සාමාජිකයෙකි. මෙතුමා එක් විද්‍යුත් මාද්‍ය වැඩසටහනක සඳහන් කලේ මෙම හෝමෝසපියන් වෙනස පෙළ පොත්වල සිදු කිරීමට ලැබීම අප ලද ජයග්‍රහණයක් බවය.

අද පාසැල් ශිෂ්‍යයන් පමණක් නොව ඉතිහාසය උගන්වන ගුරුවරුන් පවා පවසන්නේ ශ්‍රී ලංකාවේ ආරම්භකයා හෝමෝ සපියන් බවයි. අපේ කාලයේ ඉගැන්වුයේ මේ ආරම්භකයා විජය බවයි  එය වසර දෙදහසකට කිට්ටු  කාලයක් මේ රටේ තිබු පිළිගැනීමයි – සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ සියළු දෙනාම  පොදුවේ ඒ බව අවිවාදයෙන් පිළිගත්හ.  19 වන ශත වර්ෂයයේ සිට 2000 පමණ දක්වා නිකුත් වූ සෑම ලංකා ඉතිහාසය පොතකම/ලේඛනයකම දැක්වුයේ මෙයයි.

මෙය අපේ රට බාර ගැනීමට සිටින අපේ අනාගත පරම්පරාව නොමඟ යැවීමකි.  

නැවතත්, හෝමෝ සපියන් යනු ජන කාණ්ඩයක් නොවේ. පොදුවේ වර්තමාන ලෝකයේ ජීවත්වන සියලුම මිනිසුන් හෝමෝ සපියන් වරුන් වේ (ඉන්දියන්, පකිස්තාන්, ඇමරිකන්, සිම්බාබ්වේ, ලාඕස්, සෞදි, ඕස්ත්‍රේලියානු, ශ්‍රී ලාංකික, බ්‍රසිල්, පිලිපීන ආදී).

ඉදින්, මේ අයගෙන් ශ්‍රී ලංකාව ගොඩ නැගුනා යයි කියා අප දරුවනට උගන්වන ඉතිහාසය අමුලීක බොරු නොවන්නේද?

තමන්ගේ රටේ ආරම්භකයා හෝමෝ සපියන්වරු යනුවෙන් පාසැල් සිසුනට ඉතිහාසය උගන්වන ලෝකයේ වෙනත් කිසිම රටක් තිබිය නොහැක.

බුදු රජාණන් වහන්සේ උපන්නේ දඹදිව නොව ශ්‍රී ලංකාවේ යයි පවසන පිරිසක් මෑතක සිට බිහිවී සිටී. මේ අය අතර සංඝයාවහන්සේලා ද සිටිති.

ඉවක් බවක් නොමැතිව මොවුන් කරන මෙම හිතුවක්කාරී ප්‍රකාශ නිසා මේ රටේ වත්මන් බුදු දහමට සහ එය ඉදිරියේදී ආරක්ෂා කිරීමට සිටින අනාගත පරම්පාරාවට සිදුකරන්නේ කියා නිම කල නොහැකි හානියකි. මන්ද, ඉතා පිරිසිඳු, අව්‍යාජ වන අපේ සිංහල බෞද්ධ ඉතිහාසය බොරුවක් ද යන ප්‍රශ්නාර්ථය අප සිසුන්ගේ මනසේ ධාරණය කිරීමට දරන උත්සහයක් ලෙස මෙය මෙම ලියුම්කරු දකී. දැනට වසර කිහියක සිට එය ඉතා සාර්ථකව සිදු වෙමින් පවතී. මේ නිසා සිංහලත්වය, බෞද්ධකම පිළිබඳව සිසු දරුවන්ගේ තිබෙන ආදරය, ගෞරවය, විශ්වාසය ගිලිහී යයි.

මතු සම්බන්ධයි ………

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress