මහ බැංකු ලොක්කන් අර්බුදය උත්සන්න කළ හැටි
Posted on November 29th, 2022
වෛද්‍ය වසන්ත බණ්ඩාර Lanka Lead News
මහ බැංකුවේ හිටපු සහ නව ප‍්‍රධානීන් මෙන්ම ඔවුන්ට එරෙහිව නඩු පවරන විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ද එකම කරුණක් පිළිබදව විවිධ පරස්පර මත පලකරති. ඔවුන්ගේ ප‍්‍රකාශවල සම්ප‍්‍රයුක්තය වන්නේ නව මහ බැංකු අධිපතිවරයාට පෙර ධුරය දැරූ අධිපතිවරයා විසින් රුපියල අවප‍්‍රමාණය වීමට ඉඩ නොදී පවත්වා ගැනීම නිසා සහ ඒ සඳහා ඩොලර් සංචිත වෙළෙදපොළට නිකුත් කිරීම නිසා ඩොලර් සංචිත සිඳී ගිය බවය. එසේනම් එහි ප‍්‍රතිවිරුද්ධ මතය වන්නේ එසේ නොකළා නම් විදේශ විනිමය අර්බුදයක් ඇති වන්නේ නැත. වෙනත් වචනවලින් කියන්නේ නම් රුපියල් පා කිරීමේ තීන්දුව ගනු ලැබූ මාර්තු 7 වැනිදාට මාස තුනකට පෙර එසේ කළා නම් අර්බුදයක් ඇති නොවන බවය.
එම මූලධර්මය මත පිහිටා අදාල තීන්දුවට එරෙහි වූ බවට මූල්‍ය මණ්ඩලයේ පත්කළ සාමාජිකයන් දෙදෙනකු චෝදනාවෙන් නිදහස් කර එක් අයෙකු පමණක්ව ගඋත්තරකරු කරමින් ඉහත සඳහන් කළ ආකාරයට නඩු පැවරීමක් සිදු විය. නමුත් අධිකරණය විසින් ඔවුන් දෙදෙනා ද වගඋත්තරකරුවන් කළ යුතු බවට නියෝග කරනු ලැබීය.
ඊට අමතරව එසේ නඩු පැවරූ පුද්ගලයින් අධිකරණයද නොමඟ යැවීමට උත්සාහ කරන බවක් ද දැක ගත හැක. රුපියල් අවප‍්‍රමාණය කිරීමට ඉඩ නොදීම නිසා අර්බුදය ඇති වූ බවට ඔවුන් විසින් චෝදනා එල්ල කළ ද රුපියල සම්පූර්ණයෙන්ම නිදහස් කිරීම හෙවත් පා කිරීම නිසා අර්බුදය උත්සන්න වූ බව සැඟවීමට උත්සාහ කරන බව පැහැදිලිව පෙනේ.
ඊට අමතරව එසේ පා කිරීම සඳහා ගනු ලැබූ තීන්දුව සියලූ තොරතුරු සැලකිල්ලට ගනිමින් සාක්ෂි සහිතව සහ තර්කානුකූලව ගනු ලැබූවක් නොවන බවට පැහැදිලි සාක්ෂි තිබියදී ඒ බව සැඟවීමට ඔවුන් උත්සාහ කර ඇත. වගඋත්තරකරුවන්ගේ දියුරුම් ප‍්‍රකාශ අනුව ඒ බව තහවුරු වේ. මූල්‍ය මණ්ඩලයේ සාමාජිකයන් 5 දෙනාම සහභාගී වූ
2022 මාර්තු 3 දින රැස්වූ මූල්‍ය මණ්ඩල රැස්වීමේ දී තීන්දු කර ඇත්තේ කළු වෙළෙදපොළ පාලනය කිරීමෙන් තොරව රුපියල සම්පූර්ණයෙන්ම පාලනයෙන් නිදහස් කිරීම හෙවත් පා කිරීම ඉතා අනතුරුදායක තීන්දුවක් බව ය.
ඒ අනුව පළමුව රුපියල් 10 කින් අවප‍්‍රමාණය කර වෙළෙදපොළ තත්වය නිරීක්ෂණය කරමින් ඉදිරි පියවර ගත යුතු බවට එම රැස්වීමේදී තීන්දු කර ඇත. නමුත් හදිසියේම පැය 4ක දැනුම්දීම මත මාර්තු 7 දින මූල්‍ය මණ්ඩලය නැවත කැඳවා ඇත. ඉන් පසුව සාමාජිකයන් තුන් දෙනෙකු පමණක් සහභාගි වූ රැස්වීමක දී 3වැනිදා ගනු ලැබූ තීන්දුවට සම්පූර්ණයෙන්ම ප‍්‍රතිවිරුද්ධ තීන්දුවක් ගෙන රුපියල නිදහස් කිරීම හෙවත් පා කිරීමට තීන්දුවක් ගෙන ඇත. නමුත් එසේ පළමුව ගත් තීන්දුව වෙනස් කිරීම සඳහා කිසිදු තර්කානුකූල සාක්ෂියක් ඉදිරිපත් වී නැත. එනම් යම් විද්වත් කමිටුවක නිර්දේශ හෝ වෙළෙදපොළ තත්ත්වයන් පිළිබඳ පුරෝකතන සහිත තාක්ෂණික වාර්තාවක් හෝ ඉදිරිපත් වී නැත. පාර්ලිමේන්තුවේ දී ‘‘කෝප්’’ කමිටුව විසින් ප‍්‍රශ්න කිරීමේදී ද එවැනි කිසිවක් ඉදිරිපත් කර නැත. අදාල මූල්‍ය මණ්ඩල රැස්වීමට සහභාගි වී ඇත්තේ එවකට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා, ආචාර්ය රාණි ජයමහ සහ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත් මහත්මින් තිදෙනා පමණි. ඉන් පසුව සමාජ මාධ්‍ය මගින් හෙළිදරව් වූ තොරතුරු අනුව අදාළ හදිසි රැස්වීම් සඳහා මහ බැංකු අධිපතිවරයා කැඳවා ඇත්තේ ඔහු එංගලන්තය බලා ගුවන් ගතව සිටියදී කටාර් ගුවන්තොටුපොළෙන් හරවා ආපසු කැඳවීම මගිනි.
ඒ අනුව එම තීන්දු යම් බාහිර පාර්ශ්වයක බලපෑම මත ගනු ලැබූ බවට එල්ල වන චෝදනා යම් පමණකට සාධාරණීකරණය වේ. එවැනි බලපෑමක් කිරීමේ උවමනා සහ උනන්දුව සහිත පාර්ශව පිළිබඳව අධ්‍යනය කිරීමේදී යම් කෙටි ලැයිස්තුවක් සකස් කළ හැක. එහි ඉහළින්ම සිටිය හැක්කේ ආණ්ඩුව අභ්‍යන්තරයේ සිටිමින් ආණ්ඩු පෙරළියකට පාර කැපීමේ උවමනාව සහිත ආර්ථික ඝාතක දේශපාලන නායකයින් සහ මහ බැංකුවේ, මහ භාණ්ඩාගාරයේ හෝ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ය.
දෙවනුව එම ලැයිස්තුවට අයත් විය හැක්කේ ඉන්දියානු ඔත්තු සේවාවන් ය. ශ‍්‍රී ලංකාවේ ආර්ථිකය වට්ටවා රාජ්‍යය අසරණ කිරීමෙන් පසුව ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ වීම හැර වෙනත් විකල්පයක් නොමැති බව තහවුරු කිරීමේ උවමනාවක් ඔවුන්ට තිබේ. ඒ බව ඉන්දියානු විදේශ ප‍්‍රතිපත්තිය ගැඹුරින් හදාරන දේශපාලන විචාරකයෝ ඉතා හොඳින් දනිති. එය 1932දී සර්ධාර් පනික්කාර් විද්වතා විසින් ඉදිරිපත් කළ මහාභාරත න්‍යායේ ම දිගුවකි. එනම් ඉන්දියාවේ අසල්වැසි කුඩා රාජ්‍යයන් සියල්ල ආර්ථික වශයෙන් ඒකාබද්ධ කිරීම මගින් අර්ධ යටත් විජිත බවට පත් කිරීමය. ඒ සඳහා වත්මන් ආපදා තත්ත්වය කදිම අවස්ථාවක් බව ආපදා අධිරාජ්‍යවාදී න්‍යාය අනුව පැහැදිලි වේ.
පසුගිය දිනවල ඉන්දියාවේ ශ‍්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය තුළ ශ‍්‍රී ලංකාවට ඉන්දියාවේ ආර්ථිකය සමග ඒකාබද්ධ වීම හැර වෙනත් විකල්පයක් නැති බවය. අර්ධ යටත්විජිත බිහි කරනු ලබන්නේ වෙළෙදපොළ ආයෝජන, ආර්ථික සහ ආරක්ෂක ගිවිසුම් මගිනි. දැනටමත් ශ‍්‍රී ලංකාව
නිදහස් වෙළෙඳ ගිවිසුමක් සහ ආරක්ෂක ගිවිසුම් ත‍්‍රිත්වයක් අත්සන් කර ඇත. ආයෝජනද අතුලත් විස්තීරණ ගිවිසුමක් වන එට්කා ගිවිසුම අත්සන් කිරීම සඳහා බලපෑම් එල්ල වන බව සහ ආණ්ඩුව ඊට කැමැත්තෙන් යටත් වන ලක්ෂණ පෙන්නුම් කරන බව රහසක් නොවේ.
ආර්ථික ඒකාබද්ධකරණයේදී මහබැංකු දෙක අතර ඉන්දියානු රුපියල ශ‍්‍රී ලංකාවේ භාවිතා කිරීම සඳහා එකගතා ගිවිසුම් මෙන්ම රේගු ඒකාබද්ධ කිරීම සහ බදු ප‍්‍රතිපත්ති එකාබද්ද කිරීම සඳහා ගිවිසුම් අත්සන් කළ යුතු වේ. කෙසේ වෙතත් එසේ ශ‍්‍රී ලංකාව දණ ගැස්සවීමේ උවමනාව සහිත බලවේග අතර ලෝකයම ‘‘ජෑම්’’ කර ‘‘රීසෙට්’’ කළ යුතු බව කියන ලෝක ආර්ථික සංසදයේ නියෝජිතයින් මෙන්ම එම ක‍්‍රියාවලියේම මූලික පියවරක් වන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුවේ යටත් කිරීමේ උවමනාව සහිත ඒජන්තයින් සිටිය හැක.
ලෝකයේ බොහෝ රටවල මහබැංකු ක‍්‍රියාකරන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒජන්සි ආයතන ලෙස බවට ප‍්‍රසිද්ධ කියමනක් ද ඇත. ප‍්‍රායෝගිකව රුපියල් පා කිරීම මගින් කළු වෙළෙදපොළට වැඩි වාසියක් අත් වන බව ද රහසක් නොවේ. ඒ නිසා හවාලේ සහ උන්ඩියල් කරුවන්ට සහ ඔවුන්ගේ පඩි ලයිස්තුවේ සිටින නිලධාරීන්ට ද එම වුවමනාව තිබෙන බව පිළිගත හැක.
ඩොලර් සංචිත බින්දුවට සිදී ගොස් ඇති තත්ත්වයක් තුළ ක‍්‍රමයෙන් අවප‍්‍රමාණය කිරීමේ ප‍්‍රතිඵල හැදෑරීමකින් තොරව සහ කළු වෙළෙදපොළ පාලනය කිරීමට කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගැනීමෙන් තොරව මුදල් ඒකකයේ අගය සම්පූර්ණයෙන්ම වෙළෙඳපළ විසින් තීරණය කිරීමට ඉඩ දුන් රටක් ලෝකයේ සොයාගත නොහැක. මෙම ක‍්‍රියාමාර්ග ගැනීමට පෙර 2018 දී සම්මත කළ කළු වෙළෙඳපළ දිරිමත් කෙරෙන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමෙන් තොරව විනිමය අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවට කිසිදු විද්වතෙකු හෝ මහ බැංකු නිලධාරියෙකු අදහස් දක්වන්නේ නැත. එය පුදුම සහගත තත්වයකි.
රුපියල අවප‍්‍රමාණය කිරීම නිසා සහ මුදල් අච්චු ගැසීම නිසා ඉහළ යන උද්ධමනය පාලනය කිරීම සඳහා ඇති එකම විසදුම ප‍්‍රතිපත්ති පොලී අනුපාත වැඩිකිරීම බව පවසති. එම තීන්දුව මගින් දැන් දේශීය කර්මාන්ත පද්ධතිය බරපතළ අර්බුදයට ලක් වී ඇති අතර එම තත්වය පෙරළා විනිමය අර්බුදය උග‍්‍ර කිරීමට ද හේතුවක් බව ඉතා පැහැදිලිය.
ඒ ආකාරයට කළු වෙළෙඳපළ දිරිමත් කෙරෙන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමෙන් තොරව සහ සංචිත සිදී ගොස් ඇති අවස්ථාවක රුපියල පා කිරීම යනු දැනුම්වත්ව සිදුකල ආර්ථික ඝාතක කුමන්ත‍්‍රණයක් බව ඉතිහාසය විසින් ඔප්පු කරන බවට කිසිදු සැකයක් නැත. ඊට පෙර දීර්ඝකාලීනව භාණ්ඩාගාරය තුළ සහ පසුව ජනාධිපති කාර්යාලය තුළ ක‍්‍රියාත්මක වූ ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ආර්ථික ඝාතක නිලධාරියෙකු විසින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට ගිල්ල වූ ආර්ථික ඝාතක ලණුවක් නිසා රජය ට රුපියල් බිලියන 600කට අධික බදු ආදායමක් අහිමි විය. ඒ සියලූ තත්වයන් ආර්ථික අර්බුදය උත්සන්න කිරීමට හේතු වූ බව ඉතා පැහැදිලිය.
නමුත් විදේශ විනිමය අර්බුදයට කෙටි කාලීනව විශාල දායකත්වයක් ලබාදුන් මහ බැංකුව මගින් සිදුකළ මහා වංචාව හෙළිදරව් කිරීමට කිසිවකු ඉදිරිපත් වූයේ නැත.
බැංකුවේ ලොක්කන් එවැන්නක් සිදු නොවූ බව පෙන්වීමට බලවත් උත්සාහයක් ගන්නා බවද දැකගත හැක. එම වංචාව මගින් කොල්ල කන ලද මහජන මුදල් ප‍්‍රමාණය කුප‍්‍රකට බැඳුම්කර වංචාවට වඩා වැඩි බව මහජනයා දන්නේ නැත. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මූලික වශයෙන් මුහුණ දීමට සිදු වූ විදේශ විනිමය අර්බුදයට ප‍්‍රධාන වශයෙන් හේතු වූයේ එම වංචාව බව එතුමාට උපදෙස් දුන් ආර්ථික ඝාතකයන් හෙළිදරව් කර නැත. ඊට හේතුව එම වංචාව සිදු වන අවස්ථාවේ දී මහ බැංකු අධිපති ලෙස ක‍්‍රියා කළ පුද්ගලයා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගේ උපදේශකයකු බවට පත් වීම විය හැක. එම පුද්ගලයා මහබැංකු අධිපතිව සිටියදී සහ වර්තමාන මහ බැංකු අධිපතිවරයා නියෝජ්‍ය අධිපතිවරයෙකු සිටිය දී නිකුත් කරන ලද ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රමාණය බිලියන 10කි. 2015 සිට 2019 දක්වා නිකුත් කරන ලද සමස්ත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රමාණය ඩොලර් බිලියන 12 කි. එම බැඳුම්කර 5.7% සිට 7.8% දක්වා ඉතා ඉහළ පොලියකට නිකුත් කළ ද එම පොලී අනුපාත තීරණය කිරීමේදී විනිවිද භාවයකින් කටයුතු කර නැති බව මහ බැංකුවේ හිටපු නිලධාරීන් විසින්ම හෙළිදරව් කර ඇත. ඒ පිළිබඳව එවකට විගණකාධිපතිවරයා විසින් කිසිදු විගණනයක් සිදු නොකිරීම ද විශේෂ තත්වයකි.
එසේ ඉහළ පොලියට බැඳුම්කර නිකුත්කිරීම මගින් අවම වශයෙන් 1%ක කොමිස් මුදලක් ලබාගත හැකි බව ක්ෂ්ත‍්‍රයේ විද්වතුන් පවසති. එම වංචාව බැඳුම්කර වංචාවට වඩා බරපතළ බවට චෝදනා එල්ල වන්නේ ඒ නිසාය. එම ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර යොදාගනිමින් කිසිදු සංවර්ධන ව්‍යාපෘතියක් ක‍්‍රියාත්මක කර නැති අතර සමස්ත විදේශ විනිමය ප‍්‍රමාණය යොදාගෙන ඇත්තේ එදිනෙදා වියදම් පියවීම හෙවත් ගෙවුම් ශේෂ හිඟය පියවීම සඳහා ය. එසේ නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කර ප‍්‍රමාණය සමස්ත වාණිජ ණය ප‍්‍රමාණයෙන් 80% කි.
ඒ අනුව දැන් අර්බුදය විසඳීම හෙවත් ලෙඬේ සුවපත් කිරීම සඳහා කැඳවා ඇත්තේ අර්බුදය නිර්මාණය කිරීමට දායක වූ බලවතුන් බව සැඟවීමට නොහැක. එනම් ලෙඩා භාරදී ඇත්තේ ලෙඬේ උත්සන්න කළ වෙදුන්ට ම බව ඉතා පැහැදිලිය. ඒ ආකාරයට කෙටි කාලීනව එනම් වසර 5 කට අඩු කාලයකදී ආපසු ගෙවිය යුතු ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර නිකුත් කිරීමේදී ඒවා ආපසු ගෙවීමේ විභවයක් නොමැති බව එවකට අගමැති අද ජනාධිපති සහ එවකට මහ බැංකු අධිපති පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශක මෙන්ම එවකට නියෝජ්‍ය මහ බැංකු අධිපති, අද මහ බැංකු අධිපති නොදැන සිටියා යැයි පිළිගත හැකිද? ඔවුන් සාමාන්‍ය පෙළ අංක ගණිතය සමත් වූවන් යැයි පිළිගන්නේ නම් එසේ පිළිගත නොහැක.
ඒ ආකාරයට කෙටිකාලීනව අර්බුදය නිර්මාණය කළ පිරිස් තමා දායක වූ ආර්ථික ඝාතක ක‍්‍රියාවලිය සැඟවීමට උත්සාහ කරන අතර වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මගින් තවදුරටත් මහජනයා නොමඟ යැවීමට සමත් වී ඇත. ඔවුන්ගේ පට්ටපල් බොරු වලට අනුව ගෝඨාභය රාජපක්ෂ පාලනය තුළ විදේශ විනිමය අර්බුදය උත්සන්න වන්නේ රුපියල අවප‍්‍රමාණය වීමට ඉඩ නොදී අල්ලා ගෙන සිටීම සඳහා වෙළෙඳපළට ඩොලර් නිකුත් කිරීම නිසාය. නමුත් මහ බැංකු වාර්තා වලට අනුව සත්‍යය ඊට හාත්පසින් ම වෙනස් වේ. ඉහත සඳහන් කළ ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හෙවත් වාණිජ ණය වල පොලිය ගෙවීම සඳහා 2020 ජනවාරි සිට 2002 මාර්තු දක්වා වැය කළ විදේශ සංචිත ප‍්‍රමාණය ඩොලර් බිලියන 2.1 කි. නමුත් රුපියලේ අගය ඩොලරයට එරෙහිව 203 මට්ටමේ පවත්වාගෙන යාම සඳහා වැය කර ඇත්තේ ඩොලර් බිලියන 0.6 කි. ඒ අනුව සත්‍ය තත්ත්වය මහජනයාට වසන් කිරීම සඳහා ගොතන ලද බොරු සහ පට්ට බොරු මහ බැංකු වාර්තා මගින් හෙළිදරව් වේ.
ඒ අනුව අධිකරණය හමුවට පැමිණිලි කළ පිරිස් මෙම මහා පින්තූරය මහජනයා විසින් වටහා ගැනීම වැළැක්වීම සඳහා කටයුතු කරනවාද යන සැකය මතුවේ. එසේ වුවත් වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප‍්‍රකාශ අනුව අධිකරණයේ දී සත්‍යය එළිදරව් වනු ඇති බවට විශ්වාස කළ හැක.
කෙසේ වෙතත් මහබැංකු ලොක්කන් සහ ඔවුන්ගේ අනුගාමිකයන් විසින් මහජනයාට වසන් කරන තොරතුරු හෝ ඔවුන් විසින් ඉදිරිපත් කරන බොරු සහ පට්ට බොරු තර්ක වලින් ඔබ්බට අර්බුදයට මුල් වූ සාදක හේතු වන බව ඉතා පැහැදිලිය. ඊට අමතරව කෙටි කාලීනව ඔවුන් විසින් අර්බුදය උත්සන්න කළ ද අර්බුදය නිර්මාණය කරනු ලබන්නේ ඔවුන් විසින් නොවේ.
බංග්ලාදේශය සතුව ඩොලර් බිලියන 50ක සංචිත තිබියදී අප රටේ ඩොලර් බිලියන 0.2 ක් සඳහා එරටින් හුවමාරුවක් ලබා ගැනීමට සිදුවන්නේ කුමක් නිසා ද? ඊට හේතුව දීර්ඝ කාලීනව එනම් මූලික වශයෙන් 1977 සිට අප විසින් නඩත්තු කළ ආර්ථික මොඩලය බව ජාතියක් ලෙස අප වටහා නොගනී නම් ඊට විසඳුම් සෙවීම දුෂ්කර ව්‍යායාමයක් වනු ඇත. දීර්ඝ කාලීනව රටේ වෙළෙඳ හිගය වර්ධනය වූයේ එම මොඩලය තුළ ආනයන දිරිමත් කරමින් දේශීය නිෂ්පාදන පද්ධතිය කඩා වැටීමට සැලැස්වීම නිසාය. ඒ පිළිබඳ අවබෝධය රික්තකයක් තුළ ඇති වන දෙයක් නොවේ. අර්බුදයේ මූල හේතුව වටහා ගැනීම වැලැක්වීම එනම් ආර්ථික මොඩලයේ අවුල මහජනයා විසින් වටහා ගැනීම වැලැක්වීම සඳහා විවිධ පාර්ශව විසින් තර්ක ඉදිරිපත් කරන ආකාරය දැක ගත හැක. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ උපදේශකයින් ලෙස කටයුතු කර ඇති මහ බැංකු අධිපතිවරයා සහ භාණ්ඩාගාර ලේකම්වරයා සියළු ප‍්‍රශ්නවලට විසඳුම මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉටු කිරීම බව මහජනයාට ඒත්තු ගන්වති. එනම් පවතින මොඩලය තවදුරටත් පවත්වාගෙන යා යුතු බවට ඔවුහු තර්ක ඉදිරිපත් කරති. නමුත් ලබන වසරේදී ඩොලර් බිලියන 4.5ක ණය වාරික සහ පොලිය ගෙවීමට තිබියදී වසර 4කදී කොටස් වශයෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9කින් අර්බුදය විසදීමට කතාකිරීම මගින් දැනුම්වත් පිරිස් අතර ඔවුන් විහිළුකාරයින් බවට පත්වී ඇත.
ඊට අමතරව පසුගිය අපේ‍්‍රල් මාසයේදී ඔවුන් විසින් රට බංකොලොත්වී ඇති බවට සහ ණය ආපසු ගෙවීමට නොහැකි බවට ඒකපාර්ශවීයව ප‍්‍රකාශයක් සිදුකිරීම මගින් අර්බුදය තවදුරටත් උග‍්‍ර වී ඇත. එම ප‍්‍රකාශයෙන් පසුව චීනයේ එක්සිං බැංකුවට ගෙවිය යුතු වූ ඩොලර් මිලියන 78ක පොලී වාරික නොගෙවීම සහ ඇමෙරිකාවේ හැමිල්ටන් රිසෙව් බැංකුවට ගෙවිය යුතු ණය නොගෙවීම පිළිබඳ නඩු පැවරීම නිසා සමස්ත ණය ප‍්‍රතිව්‍යුහගත කිරීම සහ නව ණය ලබාගැනීම දුෂ්කර වී ඇත.
ඉහත සඳහන් කළ ආකාරයට යම් පාර්ශවවලට අනුව වත්මන් අර්බුදය ආරම්භ වන්නේ නිදහසෙන් පසුවය. ඊට අනුව එක පැත්තකින් නිදහසට පෙර යටත් විජිතයක් ලෙස අප දියුණු ආර්ථික මොඩලයක කොටස්කරුවන්ය. අනෙක් පැත්තෙන් ගත් විට නිදහසින් පසුව අප ජාතියක් ලෙස ජාතික රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ගනු ලැබූ උපායමාර්ගික ක‍්‍රියාමාර්ග ඒ මඟින් අවතක්සේරු වේ. තවත් පාර්ශවලට අනුව අර්බුද නිර්මාණය වන්නේ රාජපක්ෂලාගේ හොරකම් නිසාය. එම න්‍යායට අනුව ජාත්‍යන්තර සංවිධාන වල සහය ලබා ගනිමින් එසේ හොරකම් කළ මුදල් ආපසු ලබා ගන්නේ නම් ආර්ථික අර්බුදය ජය ගත හැක. එසේ හොරකම දිරිමත් කෙරෙන්නේ විදේශ ණය මත යැපෙමින් ප‍්‍රමුඛතා පටලවාගත් නාගරික ඉදිකිරිම් මගින් ආර්ථික වර්ධනවේගය පෙන්වන ආර්ථික මොඩලය නිසාය. නමුත් න්‍යායාචාර්යවරු සිතාමතා හෝ නොදැනුවත්ව හොරකම් දිරිමත් කෙරෙන ආර්ථික මොඩලයේ දුර්වලතාවය අවතක්සේරු කරති. ඒ සියල්ල මගින් සිදුවන්නේ ආර්ථික අර්බුදය සහ ඒ තුළින් පැනනැගුනු දේශපාලන අර්බුදය ජය ගැනීම සඳහා ආර්ථික මොඩලය වෙනස් කළ යුතුය යන මූලික න්‍යායාත්මක ප‍්‍රවේශය අවතක්සේරු වීම ය. රම ක‍්‍රියාවලිය තුළ අර්බුදය නිර්මාණය කළ පිරිස්වලට එනම් ලෙඬේ උත්සන්න කළ වෙදුන්ට ලෙඩා බාරදීම නිසා ජාතියක් ලෙස අප සමස්ථය පටලවාගෙන ඇති බව පිළිගැනීමට සිදුවේ.
වෛද්‍ය වසන්ත බණ්ඩාර
ලේකම්
දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය