සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (3වෙනි කොටස)
Posted on December 16th, 2022

චානක බණ්ඩාරගේ

සන්හිඳියාව යටතේ දකුණේ සිංහලයන් විශාල ලෙසින් උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කළ යුතු වුවත් එවැනි අවස්ථා බොහෝ අඩු විය. පැවති ආණ්ඩු ඒවාට අනුබල නොදුණි. යුද ජයග්‍රහණයෙන් පසු 2009/2010 වසරවල දිනකට සාමන්‍යයක් ලෙස සිංහලයින් රැගත් බස් 4/5 පමණවත් දකුණෙන් උතුරට ගියහ. ඔවුන් බොහෝ විට නැවතුනේ යාපනයේ නාග විහාරයේය. සමහරු නාවට්කුලිය සිංහල ගම්මානයේ (යාපනයට කිලෝ මීටර් 8ක් මෙපිටින්) නැවතුනහ.

ඒ දිනවල සිංහලයන්ට උතුරේ බලන්නට බොහෝ දේ තිබුණේය. ප්‍රභාකරන්ගේ  මාලිගා, පිහිනුම් තටාක, සුසෙයිගේ මාලිගා, LTTE සබ්මැරින, LTTE විශාල කාලතුවක්කු වැනි ආයුධ/ගුවන්යානා, තමිල් චෙල්වම් ඝාතනය වුණු ස්ථානය ආදිය එයින් කීපයකි. සන්හිඳියාව නාමයෙන් මේ සියල්ල ඉවත් කෙරිණ. මේ ස්ථාන යුද හමුදා භාරය යටතේ මේ රටේ ජනතාවට බැලීමට සැලැස්විය යුතුව තිබුණි. LTTE යනු මොන තරම් කෲර, ම්ලේච්ඡ ත්‍රස්තවාදී සංවිධානයක්ද යන්න අනාගත දරුවනට පෙන්වීමට ඒවා භාවිත කළ හැකිව තිබුණි. උතුරේ ද්‍රවිඩයන්ද ඒවායින් පාඩම් උගෙන ගත හැකිව තිබුණි. විශේෂයෙන්ම, LTTE කෲරත්වය  පිළිබඳව.

හිට්ලර්ගේ කෲරත්වය පෙන්වීම සඳහා ජර්මනයේ හිට්ලර් කෞතුකාගාරයක් (බර්ලීන්), නාට්සි යුධ උපකරණ කෞතුකාගාරයක් (මියුනික්) ඉදිකර ඇත. Auschwitz නාට්සි වධකාගාරය සුරක්ෂිත කර ඇත.  මේවා නැරඹීමට එන අය නිසා ජර්මන් රජය කෝටි ගණන් අදායම් උපයයි.  1945දී රුසියන් හමුදා විසින් හිට්ලර්ගේ බර්ලින් බංකරය විනාශ කර දැමීම ගැන ජර්මනිය අදත් ඔවුනට දොස් පවරයි.

යාපනය නගරයේ සිටි හමුදා භටයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉවත් කෙරුණි. ඔවුන් හමුදා බල ඇණි තුළ කොටු කෙරිණි. 2013 පමණ වනවිට සිංහල කථා කරන පොලිස් නිලධාරීන්ද උතුරෙන් බොහෝ සෙයින් අඩු කර දමන ලදී. යුද්ධය අවසන් වූ පසු A9 පාර පුරා සෑම නගරයකම හමුදා ආපනශාලා/හෝටල විය. අද ඒ එකක් වත් නොමැත. යහපාලන රජයේ  ජනාධිපතිවරයා හමුදා කඳවුරු ගොඩනැගිලිවලට පමණක් මෙන් සීමා කරමින්, විවිධ හේතු දක්වමින්, ඒවාට අයත්ව තිබූ විශාල ඉඩම්/ගොවිපළවල් හමුදාවට අහිමි කළේය. සමහර හමුදා ඉඩම් උතුරු පළාත් සභාවට පවරා ගැනුණි. හමුදාව අයත් කරගෙන තිබූ පුද්ගලික අය සතු යයි කියන ලද ඉඩම් වලින් 90%කටත් වැඩි ප්‍රමාණයක් තමා හමුදාවට අහිමි කළ බව කියා ඔහු පාරම් බෑවේය (මෙම ක්‍රියාදාමය පටන් ගත්තේ ඊට පෙර පැවති රජය විසිනි). ඉඩම් නොමැතිව ගොඩනැගිලි වලින් පමණක් හමුදා කඳවුරු පවත්වා ගෙන යා හැකිද?

2019 ජනාධිපතිවරණයෙන් ද්‍රවිඩ චන්ද අපේක්ෂාවෙන් එකී චන්දයට දින කිහිපයකට පෙර ගුවන් හමුදාව යටතේ සැමදා තිබු පළාලි ගුවන් තොටුපල ජාත්‍යාන්තර ගුවන් තොටුපලක් බවට එවකට තිබු රජය විසින් කඩිමුඩියේ ප්‍රකාශයට පත් කරන ලදී. එවකට සිටි විෂය භාර ඇමතිවරයා තමා හොඳ සිංහල බෞද්ධයෙක් යයි කියා ගනී.

මෙය රට පාවා දුන් වැනි වැඩකි. මේවායේ අයහපත් ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවන්නේ අනාගත පරපුරයන්ටය. ඉදිරියේදී, අවශ්‍ය නම් තමිල්නාඩුවේ පමණක් නොව ලොව ඕනෑම රටක සිට දෙමළ අන්තවාදීන්, හිටපු දරුණු LTTE ත්‍රස්තවාදීන්, ලංකාවට ඒමට නොහැකිව සිටින අදත් රට බෙදීමේ කාර්යයේ තදින්ම නියැලී සිටින උග්‍ර දෙමළ ඩයස්පෝරා, තමිල්නාඩුවේ වයිකෝ වැන්නන්  සහිත ගුවන් යානා වලට   කොළඹ මඟ හැර කෙලින්ම යාපනයට පැමිණිය හැක. මෙය Channel 4, ඩෙිවිඩ්  කැමරන් වැන්නන්ට පියාපත් දීමකි.

ජාත්‍යාන්තර ගුවන් තොටුපලක් තිබීම ජාත්‍යාන්තර නිතීය යටතේ ඉදිරියේදී වෙනම දෙමළ රාජ්‍යක් ඉල්ලා සිටීමට ඉතාම හොඳ සුදුසු කමකි.

ශ්‍රී ලංකාව ඒකීය රාජයක් නම් මෙවැනි දේ කරන්නේ ඇයි?

උතුරේ, නැගෙනහිර ඇතැම් හමුදා කඳවුරු සුද්දා විසින් ඔවුන්ගේ කාලයේ තනන ලද ඒවාය. ඒ, ඒවා රටේ භෞමික අඛණ්ඩඩතාවයට අත්‍යාවශ්‍යය ඒවා නිසාය.

දකුණේ සිංහලයෝ උතුර බලන්න පැමිණිම උතුරේ සමාන්‍ය දෙමළ ජනයා සහ සිංහලයා අතර යම් මිත්‍රත්වයක් ගොඩ නැගීමේ සාධකයක් බවට විය. එයින් උතුරේ/යාපනයේ ආර්ථිකය දියුණු විය.

ජාතිවාදී අදහස් දරන සම්බන්ධන්, සුමන්තිරන්, සීවාජිලිංගම්, විග්නේසේවරන්, පොන්නම්බලම් වැන්නන් මෙවැනි දේට විරුද්ධ වන බව  ප්‍රසිද්ධ කරුණකි. රජයන් ඔවුන්ගේ වදන් වලට පමනක් අනුකුලතාවය දැක්විම, ඔවුනට අනියත ලෙස බිය විම ප්‍රබල වරදන්ය.

ජාත්‍යාන්තර වශයෙන් දෙමළ බෙදුම්වාදීන් සහ ඔවුන්ගේ බටහිර අනුගාමිකයන් සිංහලයනට/ශ්‍රී ලංකාවට විරුද්ධව ගෙන යන වැඩපිළිවෙලනට දැඩිව සහ දැනෙන ලෙස (ථලදායි) ප්‍රති-ප්‍රහාර එල්ල කිරීමට බොහෝ රජයන් සමත් වී නැත. ජිනිවා ඇතුළු ජාත්‍යාන්තරයේ අප නන්නත්තාර වී ඇත්තේ එහෙයිනි.

2020 කොරෝනාවට පෙර මෙම බස් සංඛ්‍යාව සතියකට බස් 4/5 වැනි ප්‍රමාණයක් පමණ දක්වා අඩු වී තිබුණි. අද සිංහලයන්ට උතුරේ ආසාවෙන් බලන්න තිබෙන ස්ථාන අල්පයි. 

එලිෆන්ට්පාස්හි හසලක වීරයාගේ ස්මාරකය (මෙයද ඉවත්කළ යුතුයයි මහා ඝෝෂාවක් ඇතැම් සිංහලයෝ නැගුහ). නාවට්කුලි සිංහල ගම සහ පන්සල (එහි දර්ශනීය නව කොත් වහන්සේ), නාග විහාරය, නාගධීපය, දඹකොළ පටුන, කොටුව, පුස්ථකාලය, නල්ලුර් කෝවිල, කීරමලේ උණුවතුර  ලිං ආදී. අද සිටින සිංහල දරුවන්ගෙන් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් කිසිදා උතුරු නැගෙනහිර ප්‍රදේශවලට නොගොස් ඇති බවයි මෙම ලියුම්කරුගේ විශ්වාසය. ඉදිරියේ දී වුවද පාසැල් නිවාඩු සමයන්හි තම දරුවන්ට උතුර, නැගෙනහිර පෙන්වන්න දෙමාපියන් රැගෙන යනු ඇතැයි කියා සිතීිමට අපහසුය.

කොටින්ම මේ රටේ ඇත්තේ පළාත් 9ක් නොව 7ක් යයි සිතන තරමට සිංහලයෝ උතුර, නැගෙනහිර පිළිබඳව ආශාවන් අත්හැර ඇත්තා සේය. එම පළාත් දෙක පිළිබඳව ඔවුන් තුල ආධ්‍යාත්මික වූ බැඳීමක්/ඇල්මක් නොමැත. ඔවුන්ගේ සම්පුර්ණ අවධානය යොමු වී ඇත්තේ තමන් ජීවත්වෙන පළාත් 7 පිළිබඳවය. උතුර, නැගෙනහිර (මෙය මේ රටේ 1/3 ක භුමි කොටසකි, මුහුදු තීරයෙන් 2/3ක් පමණ වේ) ඉඩම්/දේපල තමන්ට කිසිදා ලබා ගැනීමට නොහැකි දේ ලෙස ඔවුන් සලකත්. මැලේසියාවේ, ඕස්ත්‍රේලියාවේ පුරවැසියන් එම රටවල ඕනෑම ප්‍රදේශයක වාසය කිරීමේ නිදහස භුක්ති විඳී. සීඩ්නි වල පදිංචි ඔනෑම ඕස්ත්‍රේලියානුවෙක් ‘හෙට සිට මම උතුරේ ඩාර්වින් වල පදිංචියට යනවා’ කියා තීරණය කල හොත් එම තීරණය ක්‍රියාත්මක කිරීමේ නිදහස ඔහුට ඇත. ඔහුට ඒ පිළිබඳව එම රටේ උතුරේ මහ ඇමතිගෙන් අවසර ලබා ගත යුතු නැත. ඩාර්වින්වල කිසිම බලධාරියෙක් ඔහුට එසේ පැමිණ ජීවත්වීම ගැන තහංචි දමන්නේ නැත. කොළඹ පදිංචි සිංහලයෙක් ‘හෙට සිට මම යාපනයේ පදිංචියට යනවා’ කියා තීරණය කළහොත්?.  එවැන්නක් සිදුවීමේ වාතාවරණය මේ රටේ නැත.

තේසවලාමේ නිසා සිංහලයන්ට උතුරේ ඉඩම් මිලදී ගත නොහැකිය යන බොරු තර්කයක් TNA පවසයි.  උතුරේ තේසවලාමේ නිතීයට අයත් වනුයේ සීමිත ඉඩම් කාණ්ඩයක් පමණි. එකී ඉඩම් වුවද නිවැරදි නිතීමය ක්‍රමවේදයක් එකී ඉඩම් හිමියන් විසින් අනුගමනය කිරීමෙන් පසු තේසවලාමේ පැවරීමකට ලක් නොවුනහොත්, ඒවා ඉන් පසු සිංහලයනට වුවද මිලදී ගත හැක (තේසවලාමේ පිළිබඳව ඇති වැරදි අර්ථකථනයන්  ගැන වැඩි තොරතුරු මීළඟ ලිපියක).

සන්හිඳියා කාලය තුල (2010 -2019) සහ ඊට පෙර සිට පවා ද්‍රවිඩ ආධිපත්‍යය දරන රුපවාහිනී සමාගම් (අද වැඩිහරියක් ඇත්තේ මෙවායි) සිංහල රුපවාහිනී ප්‍රවෘත්ති ප්‍රකාශයන් සහ වෙනත් වැදගත් වැඩසටහන් භාෂා 3න්ම විකාශනය කිරීමේ ක්‍රමයක් ආරම්භ කරන ලදී (විශේෂයෙන්ම ‘breaking news’, ක්‍රීකට් ක්‍රීඩා ප්‍රචාර ආදී). අදද මෙය එලෙසින්ම ක්‍රියාත්මක වේ. මෙය සිංහලයාට හිසරදයකි. රුපවාහිනිය රස විදිමට බාධාවකි. ඔවුන්ගේ පරාසය තුලට වෙනත් භාෂාවන් බලෙන් රිංගා දැමිමකි. නමුත් ඔවුහු මෙය ඉවසති. මෙය බලවත් අසාධාරණයක් වන්නේ දෙමළ නාලිකාවල සිංහල භාෂාවෙන් විවිධ ප්‍රවෘත්ති, ‘breaking news’, සිංහල ක්‍රිකට් ක්‍රිඩා විචාර නොකරන නිසාය.

කලින් සිංහලයෝ සිංහල රුපවාහිනි නාලිකා වලින් ඉන්දියන් චිත්‍රපටි නැරඹුවේ නම් ඒවා හින්දි ඒවාය. නමුත් දැන් සිංහල උප ශිර්ෂ (subtitles) යොදා දෙමළ චිත්‍රපටි, දෙමළ ටෙලි ඩ්‍රාමා සිංහල නාලිකාවල ප්‍රධාන කාලයන්හි (prime time) වල විකාශනය වේ. එනම්, සිංහලයෝ දිවා සහ රාත්‍රී ආහාර ගැනීමෙන් පසු විවේකිව ඉන්නා කාලවල. මේ වෑයම ඉතා සාර්ථක බව පෙනෙන්නේ සිංහලයෝ දැන් මෙවැනි දෙමළ වැඩ සටහන් වලට ඉතාමත් ඇබ්බැහි වී ඇති නිසාය. මේ දෙමළ චිත්‍රපටි, දෙමළ ටෙලි ඩ්‍රාමා වලින් ශ්‍රී ලාංකික සමාජයට සේවයක් වුවාද නැද්ද යන්න වෙනම ප්‍රශ්නයකි. නමුත් මෙය, සිංහලයන්ට දෙමළ සංස්කෘතිය ආරෝපණය කිරිමට ගන්නා ලද උත්සාහයකි. එය සාර්ථක වී ඇත.

මේ බොහොමයක් දෙමළ චිත්‍රපටි, දෙමළ ටෙලි ඩ්‍රාමා පෙන්වනුයේ දකුණු ඉන්දියාවේ විදි සටන්, දන හිසින් උඩට සරම් නවා රාශිගතවු පිරිමින්ගේ විදි නැටුම්, සිංහලයන්ට නුපුරුදු විවිධාකාර අපරාධ (මරා, සුට්කේස් තුල රැගෙන යන මළමිනී වැනි), මිනිමැරුම්, නොමනා ලිංගික සබඳතා සහ පවුල් ආරවුල් වැනි වූ කථාය. නාභිය නිරාවරණයව සාරි ඇඳම දකුණු ඉන්දියාවේ සාමාන්‍ය දෙයකි; ශීලාචාරයයි කිව නොහැකි මේ දෙය අද ශ්‍රී ලංකාවේද සාමාන්‍ය දෙයක් වී ඇත. සන්හිඳියාව වෙනුවෙන් එකදු සිංහල චිත්‍රපටියක්/ටෙලි ඩ්‍රාමාවක් සිංහල උප ශීර්ෂ යොදා දෙමළ නාලිකාවක විකාශනය වීද? මෙම ලියුම්කරුට ඒ සම්බන්ධව ලැබුණු පිළිතුර නම් නැත යන්නය.

යුද්ධයෙන් පසු ‘ශ්‍රී ලාංකික’ අනන්‍යතාවය ප්‍රගුණ කිරිමට රජයන් අති විශාල මුදල් සම්භාරයක් වැය කළහ. නමුත් කලින් සඳහන් කලාක් මෙන් සන්හිඳියා ක්‍රියාමාර්ගයේ ප්‍රධාන ඉලක්කය වූයේ සිංහල මහ ජාතියය. සිංහලයා වෙනස් විය යුතු බවට උදේ හවස මතක් කිරීම්/ඉල්ලීම් සිංහල මාධ්‍ය මඟින් සිදු කෙරිණි. එසේනම්, ඔවුන් මෙතෙක් කල් කල දේ වැරදිද කියා රජයන් ගෙන් ඇසිය යුතුය.

සන්හිඳියාව සංකල්පය මන්ත්‍රයක් මෙන් උදේ හවස ජන මාධ්‍ය හරහා සිංහලයෙන් ජප කිරිම සිදු විය. පොදු ප්‍රවාහන පහසුකම් (බස්, දුම්රිය), මධ්‍යම බස් නැවතුම් පොළවල්, දුම්රිය ස්ථාන, රජයේ රෝහල්, පාසැල්, තැපැල් ස්ථානවල සන්හිඳියා පණිවුඩය තදින්ම ප්‍රචාරය කෙරිණි (දෙමළ සහ ඉංග්‍රීසි භාෂා වලින් සන්හිඳියාව ප්‍රවර්ධනය නොකලාය කියා කියනවා නොවේ).

සන්හිඳියාව කසාය ඉතා පහසුවෙන් සිංහලයන්ගේ උගුරෙන් පහලට රජයන් බැස්සවුහ. පාසැල් ළමුන්ගේ ඇට මිදුළු වලට පවා එය ඇතුල් විය. 1990න් පමණ පසු උපන් බොහෝ  ළමුන්/තරුණයින් නිදහසින් පසු සිංහලයින් අහිංසක ද්‍රවිඩයනට වධ හිංසා දුන්, ද්‍රවිඩයන් සමුල ඝාතනය කල ජාතියක් බවට සිතයි. LTTEය ත්‍රස්තවාදීන් නොව නිදහස උදෙසා වූ සටන්කාමින් (freedom fighters) ලෙස සිතන බොහෝ සිංහල දරුවන්/තරුණයන් ඇත. 1983 ජුලි වලදී අහිංසක දෙමළ ජාතිකයන් හිංසා වලින් බේරාගත්තේද සිංහලයන් බව ඔවුන් නොදනී; මන්ද ඒවා ඔවුනට උගන්වා නැති හෙයිනි.

2019 අවසන් වූ යහපාලන රජයේ සන්හිඳියාව භාර ඇමතිවරයාට තිබුනේ අසීමිත වූ බලයකි. සන්හිඳියාව ක්‍රියාත්මක කිරිමටය කියා ඔහු අන් අමාත්‍යංශවල වැඩ වලටද ඇඟලි ගැසුවේය.

සන්හිඳියාව නිසා සිංහල බෞද්ධ සංස්කෘතියේ කිසියම් මොට විමක් සිදු වුවත්, පොදුවේ ගත්කල, කිසිම ජාති භේදයක් නොමැති දරුවන් සන්හිඳියාව නිසා දකුණෙන් බිහිවුණි. එය ධනාත්මක දෙයකි. නමුත් සන්හිඳියාව දකුණේ ව්‍යාප්ත කිරිමට රජයන් දැරු වෑයම සුළු ජාතින් වැඩි වශයෙන් ජීවත්වෙන ප්‍රදේශවලද (වැඩියෙන් උතුරු පළාතේ) සිදු නොකිරිම වරදකි. දකුණේ සිංහලයන් ද්‍රවිඩ, මුස්ලිමානුවන්ට දක්වන දැඩි ආදරය, කරුණාව ඔවුනට උතුරේදී හෝ නැගෙනහිරදී නොලැබෙන්නේ නම් සන්හිඳියා යාන්ත්‍රණය හරි හැටි ක්‍රියාත්මක වී නොමැති බව, එය එක් පැත්තකට පමණක් ක්‍රියාත්මක වී ඇති බව ඕනෑම කෙනෙක් පිළිගත යුතුය.

මතු සම්බන්ධයි …

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress