ශ්‍රී ලංකාව – පළාත් සභා වලට ඉඩම් සහ පොලිස්  බලතල ලබාදීම භයානකයි – එය සිදු නොවිය යුතුයි
Posted on January 27th, 2023

චානක බණ්ඩාරගේ

Vanguard Postහි පළ වුනු  ‘Sri Lanka – Giving Land and Police powers to the Provinces is dangerous – it should not happen’ නමැති ඉංග්‍රීසි ලිපියේ සිංහල අනුවාදය, එම මුල් ලේඛකයා විසින්ම.

උතුරු නැගෙනහිර පළාත් සභා වලට ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමේ ප්‍රවනතාවයක් පැන නැගී තිබෙන බව ශ්‍රී ලංකාවෙන් එන ප්‍රවෘති වලින් පෙනී යයි. ශ්‍රී ලංකා රජය TNA (දෙමළ ජාතික සංධානය) සහ අනෙකුත් දෙමළ දේශපාලනඥයන්ගේ පීඩනයකට ලක්ව සිටී; මේ නිසා, අවසාන දේශපාලන ‘විසඳුමේ’ මෙම බලතල දෙක සහ වෙනත් බලතල පළාත් සභා වලට ලබා දීම බොහෝ දුරට සිදුවිය හැක.

උතුරේ සහ නැඟෙනහිර ප්‍රදේශවල හමුදා සංඛ්‍යාව අඩු කරන ලෙසද  රජයට බලපෑම් එල්ල වී ඇති අතර, රජය මෙය නොසැලකිලිමත් ලෙස සිදු කළහොත් එය රටේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවට විශාල තර්ජනයක් වනු ඇත. මේ වන විටත් හමුදාව සිය උතුරේ ඉඩම් විශාල ප්‍රමාණයක් දෙමළ සිවිල් වැසියන්ට සහ උතුරු පළාත් සභාවට පවරා දී ඇත. කලින් යාපනයේ HSZ කලාපයේ තිබු හමුදා ඉඩම් අද නැත්තටම නැති තරම්ය.

දෙමළ ජාතික සංධානය වළි කන්නේ උතුර යුධ හමුදා කඳවුරු 2කට හෝ 3කට පමණක් සීමා කිරීමටයි. රජය මෙයට යටත්වේද? මෙය බොහෝ දුරට රඳා පවතින්නේ පාර්ලිමේන්තුවේ සිංහල දේශපාලන පක්ෂ තුන වන SJB, SLFP සහ JVP හැසිරෙන ආකාරයද  මතය.

යහපාලන සමයේදී (2015 – 2019) එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පුරසාරම් දොඩමින් හමුදාව සතුව තිබූ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක් දෙමළ ජනතාවට සහ උතුරු පළාත් සභාවට (ප්‍රශ්ණගත ඉඩම්වලින් 90%ක් පමණ) ලබා දුන් බව කීවේය. ඉඩම් නොමැතිව ගොඩනැගිලි හිමිකරගෙන පමණක් හමුදාවක් මෙහෙයුම් සිදු කරන්නේ කෙසේද? නමුත්, සිදුවී ඇත්තේ මෙයයි. හමුදාව විසින් වගා කරන ලද විශාල ගොවිබිම් එයට අත්හැරීමට සිදු විය.

පළාත්සභා වලට (විශේෂයෙන් උතුරු නැගෙනහිරට) ඉඩම් සහ පොලිස් බලතල ලබාදීම භයානක වන්නේ ඇයි?

මෙයින් අදහස් කරන්නේ ඉඩම් සහ පොලිස් සම්බන්ධව නීති සම්පාදනය කිරීමේ ප්‍රධාන බලය ඔවුන්ට හිමිවන බවයි. එවිට, මූලික වශයෙන්, පළාත් සභා ආණ්ඩුවලට ඔවුන් කැමති ඕනෑම ආකාරයකින් පළාත්  සභාව සතු ඉඩම් විකිණීමට, පැවරීමට, බදු දීමට, උකස් කිරීමට, පරිත්‍යාග කිරීමට සහ අත්පත් කර ගැනීමට හැකිය.

මධ්‍යම රජයට එය සතු ආවේනික ඉඩම් (රක්ෂිත භුමි, වනජීවී ඉඩම් පවා) අත්හැරීමට සහ මුහුදු වෙරළ ද නව පළාත් සභා බලතල නිසා අහිමි වුවහොත් අප පුදුම විය යුතු නැත (මේවා පළාත් සභා වල ඉඩම් බලතල වලට යටත් නොවේ).  මෙසේ කියන්නේ TNA ඉතා දක්ෂ සටනක් කරගෙන යන නිසාය. ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයෙන් ¾ පමණ ප්‍රමාණයක් උතුරු සහ නැගෙනහිර පළාත් සතුය.

එවකට ලොව භයානකම ත්‍රස්තවාදී සංවිධානය වූ LTTEය ඊලාම් ඉල්ලීම කියා සටන් කලේද මෙවැනි දේ දිනා ගැනීමටය  (මේවා වෙනම රාජ්‍යක අංගෝපාංගය). දැන් TNA විසින් LTTEයට කර ගත නොහැකි වූ දේ කෙසේ හෝ කර ගැනීමට බලයි. LTTEය ජීවමානව සිටිද්දී TNA පාර්ලිමෙන්තුවේ ඔවුනගේ ‘ප්‍රොක්සි’ ලෙස කටයුතු කළේය. ඉඩම් සහ පොලිස් බලතල ඉදිරි දේශපාලන පැකේජයේ කොටසක් නොවන්නේ නම් ඔවුන් රජය සමඟ කතා නොකරන බවට වැනි ඉඟි දෙමළ ජාතික සන්ධානය පළ කරයි.  

මෙම සිංහල ලිපියට නව ආදේශනයන් ඇල අකුරු වලින් –

උතුරේ සාමාන්‍ය දෙමළ ජනයා මෙවැනි දේ නොඉල්වයි. සම්බන්ධන්, සුමන්තිරන්, ශ්‍රී ධරන්, සිවාජිලිංගම්, රාසමානික්කම්,  විග්නේස්වරන්, පොන්නම්බලම් වැනි මහතුන් වෙනම දෙමළ රාජ්‍යක් ගැන දිගු කලක සිට සිහින මැවීමයි මෙවැනි අසාධාරණ දේ ඉල්ලීමට හේතුව වී තිබෙන්නේ. ඔවුන්ගේ මන දොළ පිරවීමට අප රට පාවා දිය යුතු නොවේ.

ශ්‍රී ලංකාව ඉතා කුඩා වන අතර එය දැනට දිනෙන් දින වර්ධනය වන ජනගහනයෙන් යුක්තය. ජන ව්‍යාප්තිය සඳහා දකුණේ ඉඩම් නැති තරම්ය. දකුණේ මිනිසුන් පර්චස් 2න් ද නිවාස තනා ජීවත් වෙති. හිස්  ඉඩම් ඇත්තේ උතුරේ සහ නැගෙනහිරය.

අනාගත රටේ සියළු මිනිස් වාස/ජන ප්‍රසාරණය සඳහා ඉඩම් ඇති හොඳම ප්‍රදේශ වන උතුර (වව්නියාවෙන් ඉහළ) සහ නැගෙනහිර සිංහලයාට තවමත් තහනම් බව පෙනේ. TNA ඒ ගැන සාකච්චා නොකරයි. සෑම සිංහල පක්ෂයක්ම මේ පිළිබඳව ගොළු වත රකී.

උතුරට සිංහල ආණ්ඩුකාරයන්ද පත් කල යුතුය.

ඉදිරියේ සිදු වීමට යන තත්ත්වය නිසා මධ්‍යම රජයට මෙම ප්‍රදේශවල සම්පූර්ණ වූ පාලනය අහිමි වූවහොත්, සිංහල ජනතාවට මෙම පළාත් දෙකේ ජීවත් වීමට කිසිසේත්ම හැකියාවක් නොමැති වනු ඇත.  මෙය රටේ සිංහල ජනගහනයට අතිශය අසාධාරණ වූ තත්ත්වයකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තියෙන් ප්‍රජාවට ‘ගමන් කිරීමේ නිදහස’ ලබා දී ඇත (එනම්, තමන් කැමති ඔනෑම ප්‍රදේශයක ජීවත් වීමේ අයිතිය).

මෙම බලතල දෙක ලබා දීමෙන් පසු විග්නේස්වරන් මහතා වැන්නන්ට උතුරු පළාතට දකුණේ වැසියන් (සිංහලයන්) ඉඩම් මිලදී ගැනීමට පමණක් නොව එම ප්‍රදේශවලට පැමිණීම ද නිත්‍යානුකූලව අවහිර කිරීමට උත්සහ දැරිය හැක. නාගදීපයට යාමට සිංහලයනට විසා ගැනීමට සිදුවන දවසක් ඒද?

ඉඩම් බලතල ලැබුණු පසු, උතුරු සහ නැගෙනහිර පළාත් සභා දෙකට අවශ්‍ය නම් මධ්‍යම රජය මඟ හැර ඉන්දියාවේ සිටින තම සගයන්ට ඉඩම් ලබා දිය හැකි වනු ඇත. වයිකෝ, නෙදුමරන්, සීමන් වැනි ශ්‍රී ලංකාවට සතුරුකම් කල අයට පළාත් දෙකේ මහ ඇමැතිවරුන්ගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවේ පැරා-මිලිටරි ගණයේ කඳවුරු පවා පිහිටුවීමට  පහසු වනු ඇත.

ඉඩම් බලතල ලැබීමෙන් පසු, උතුරේ මහ ඇමති තම ඉඩම් බලය පාවිච්චි කර තලේමන්නාරමේ සිට ධනුස්කොඩි දක්වා පාලමක් ඉදි කර දෙරට යා කලහොත්? අනාගත දෙමළ සිංහල සටනකදී තමිල්නාඩුවේ (ජනගහනය කෝටි 7 ) සිට ද්‍රවිඩයනට කැති පොලු රැගෙන පාලම දිගේ දකුණට දිව ආ පැමිණිය හැකි නොවේද? මනංකල්පිත අදහස්ද මේ ලොව  සැබෑ වී තිබේ. 

පොලිස් බලතල උතුරු හා නැගෙනහිර පළාත් ආන්ඩු වෙත පැවරීමෙන් පසු නීතිවිරෝධී සංක්‍රමණිකයන් බෝට්ටු වලින් ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට නිදහසේ යාත්‍රා කළ හැකි වනු ඇත. සමහරු ධීවර වේශයෙන් පැමිණිය හැක (දැනටත් එසේ සිදුවෙන බවට වාර්ථා පලවී තිබේ).

ශ්‍රී ලංකාවට දකුණු ඉන්දියාවෙන් දෙමළ ජනයා නීතිවිරෝධී ලෙස සංක්‍රමණය වීම පැරණි සංසිද්ධියක් පමණක් නොවේ, එය 20 වැනි සියවසේ දී 1964 සිරිමා – ශාස්ත්‍රී ගිවිසුම අත්සන් කරන තෙක් පුළුල් ලෙස සිදු විය. උතුරු හා නැගෙනහිර පළාත්වලට ලබා දීමට නියමිත නව බලතල යටතේ මෙම ක්‍රියාකාරකම්  වර්ධනය විය හැකිය.

පොලිස් තනතුරු – පළාතේ යෝජිත නව පොලිස් අධිපති තනතුරු පුරවනු ලබනු ඇත්තේ පළාත් ආණ්ඩුවල ප්‍රධාන  අමාත්‍ය විසින් වේ. LTTE කාලයේ පොලිස් හමුදාවක් උතුරේ විය.

දකුණේ දරුණු අපරාධයක් කර උතුරට පනින ද්‍රවිඩ සැකකරුවකු කොටු කර ගැනීමට උතුරේ පොලිස්පති දකුණට සහාය ලබා දේද?

කාලයත් සමඟ මෙම පොලිස් බලකායන් දෙකට – උතුරු සහ නැගෙනහිර, දෙමළ කතා කරන පුද්ගලයින් පමණක් සේවය කරනු ඇත, නැගෙනහිර පොලිසියේ දෙමළ කතා කරන මුස්ලිම් පොලිස් භටයන් වැඩිපුර සිටිනු ඇත (දෙමළ ජාතික සන්ධානය සමඟ දැන් මුස්ලිම් මන්ත්‍රී වරු ද මේ වැඩි බලතල ඉල්ලා සිටින බවක්  පෙනේ).

සිංහල ජනතාවට උතුරු, නැගෙනහිර පොලිස් සේවාවනට බැඳීමට ඉඩ නොදීමේ බලය මහ ඇමතිවරුන් සතුවනු ඇත. විග්නේෂ්වරන් හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා සිංහල ජනතාවට උතුරේ පදිංචි වීම වැලක්වීමට ගන්නා ලද දැඩි උත්සාහයන් අපට මතකය.  

මෙම බලතල දෙක ලබා දීමෙන් පසු, එම පළාත් දෙක නැවත ඒකාබද්ධ කිරීමටත්, පසුව එයට ශ්‍රී ලංකාවෙන් වෙන් වීමටත් අවස්ථාවක් උදා වනු ඇත (එය රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 1/3කි).  මන්ද, මේ නව බලතල සමඟ ඔවුනට තමන්ගේම කියා වෙනම රටකට හිමිකම් කීමේ මුලික අමුද්‍රව්‍ය සපිරෙන නිසාය. 2019 වසරේදී යහපාලන රජය උතුරට ජාත්‍යාන්තර ගුවන් තොටුපළක් ලබා දුනි.

වරක් උතුරේ හිටපු මහ ඇමතිව සිටී  වර්ධරාජා පෙරුමාල් මහතා උතුරේ වෙනම රාජ්‍යක් ප්‍රකාශ නොකළේද?

ජාත්‍යාන්තර නීතිය වඩා බලවත් මේ කාලයේ නව ජාතීන් නිරන්තරයෙන් නිර්මාණය වේ. කොසවෝ  යනු සම්පූර්ණයෙන්ම ජාත්‍යාන්තරය විසින් නිර්මාණය කරන ලද නව රාජ්‍යයකි. එය, එහි හිටපු ‘අයිතිකරු’ සර්බියාවේ දැඩි විරෝධය මැද නිර්මාණය කරන ලද්දකි. සර්බියාවට රුසියාවේ සහ චීනයේ සහය හිමි වූ නමුත්, කොසවෝ නව රාජ්‍යය බිහිවීම ඒ අයටද නැවත්වීමට නොහැකි විය. නව රටවල් නිර්මාණය කිරීමේ අනෙකුත් මෑත උදාහරණ වන්නේ – දකුණු සුඩානය, නැගෙනහිර ටිමෝරය සහ එරිත්‍රියාවයි.

South Ossetia, Abkhazia සහ Ingushetia යනු රුසියාව විසින් පමණක් පිළිගත් නව ජාතීන් වේ.

පැරණි සෝවියට් සංගමය බිඳවැටීමෙන් පසු තවත් නව ජාතීන් (රටවල්) ගණනාවක් (12) පිහිටුවන ලදී.

ඉන්දියාවේ දැවැන්ත පීඩනය යටතේ 1987 දී එවකට ජනාධිපතිව සිටි JR ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට පළාත් සභා ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දුන්නේය. මෙය ශ්‍රී ලංකාව තුළ කිව නොහැකි තරම් ගැටලු ඇති කර ඇති අතර ඒවා දිගටම පවතී. පළාත් සභා ශ්‍රී ලංකාව දුප්පත් කිරීමේ සහ උද්ධමනය ඉහල දමීමේ ක්‍රියාවලියේ ප්‍රබල පංගු කාරයෙකි.

පළාත් සභාවලට පෙර ජනතාවට ඉවසා සිටීමට සිදු වූයේ මධ්‍යම රජයේ දූෂණ පමණි. 1987 න් පසු දූෂණ පිළිකාවක් සේ පළාත් මට්ටම දක්වා ඉතා ඉක්මනින් ව්‍යාප්ත විය. රටේ නිලධාරී තන්ත්‍රය ඉතා විශාල ලෙස වැඩි විය. මේ පත්වූ බොහෝ නව නිලධාරින් (දේශපාලනඥයන් මෙන්ම) අන්ත දුෂීත වූ බව කීම අතිශෝක්තියක් නොවේ.

පළාත් සභා යනු රටට ඉසිලිය නොහැකි තේරුමක් නැති, අමතර බරකි. එය සුදු අලියෙකි.

1978 ට පෙර, 1972 දී සිරිමා බණ්ඩාරනායක මැතිණියගේ රජය විසින් සුළු වශයෙන් සංශෝධනය කරන ලද ‘සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව’ශ්‍රී ලංකාවට ඉතා මනා ලෙස ගැලපුණි.  1978 දක්වා ශ්‍රී ලංකාවේ ශක්තිමත් රජයන් බිහිවුයේ එහෙයිනි. ප්‍රමුඛ පක්ෂ දෙකේ අපේක්ෂකයන් පරදවා ස්වාධීන මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තු ගියහ. මෙය නියම ප්‍රජාතන්ත්‍රවාදයයි. ගැඹුරු සාක්කු ඇති දේශපාලනඥයන්ට, සල්ලි විසිකර ජය ගැනීම සඳහා ‘මනාප’ චන්ද ක්‍රමයක් අද සකසා ඇත.

එකළ, මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස් වුවහොත් හෝ මැරුණු විට රටේ අතුරු මැතිවරණ පැවැත්විණි,  මේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදය අහෝසි කළේ ජේ ආර් ජයවර්ධන මහතායි.

ශ්‍රී ලංකාව ඉතා කුඩා වන අතර මධ්‍යම රජයක් මඟින් එය මනා ලෙස පාලනය කල හැක. අද විධායක  ජනාධිපති කෙනෙක්ද සිටී. මෙයද ඉතා අනවශ්‍යය.

ශ්‍රී ලංකාවට නැවතත් සෝල්බරි පන්නයේ ව්‍යවස්ථාවකට යා හැකි නම්, එය රටට තිබෙන හොඳම විසඳුමයි.

එංගලන්තය, කැනඩාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල ඇත්තේ මෙවැනි ව්‍යවස්ථායි. ඒ රටවල ව්‍යවස්ථා සංශෝධන ගෙන එන්නේම නැත.

සබරගමුව, ඌව, වයඹ පළාත්වල මිලියනයකට වඩා අඩු ඡන්ද දායක පදනමක්ය ඇත්තේ. ඔවුනටම කියා  වෙනම උසාවි, අගවිනිසුරුවරයෙක්, පොලිස්පතිවරයෙක්, නීතිපතිවරයෙක්! ශ්‍රී ලංකාවට පිස්සු හැදීද?

ත්‍රිවිධ හමුදා රණවිරුවන් රටේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා උත්තරීතර කැපකිරීම් කළහ. ඉඩම් සහ පොලිස් බලතල දැන් පළාත් සභා දෙකට දීමෙන් සිදු වන්නේ ඒ අය කරන ලද  කැපකිරීම් වතුරේ යාමක් නේද?

ශ්‍රී ලංකාවේ ජනවාර්ගික ගැටලුවක් නොමැත.  2009 දී විසඳුණේ 30 අවුරුදු ත්‍රස්තවාදී ප්‍රශ්ණයකි. අද රටේ ප්‍රධාන ජාතීන් දෙක (සිංහල සහ දෙමළ) එක පවුලක ආදරණීය සහෝදර සහෝදරියන් මෙන් සමගියෙන්, සහයෝගීත්වයෙන්  ජීවත් වෙත්. මෙය තව තවත් දිරිමත් කළ යුතුය. ඉඩම් සහ පොලිස් බලතල ලබාදීමෙන් සිදුවන්නේ දෙපිරිස අතර සමගිය ගොඩ නැගීම නොව බෙදීමක් සිදුවීමකි.  දැන් කරමින් සිටින ආකාරයටම උතුරු හා නැඟෙනහිර පළාත් ඇතුළු සියලුම ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට උත්සාහ කිරීමයි රජය විසින් කළ යුතු වන්නේ.

ෆෙඩරල් ක්‍රමයක් මේ රටේ ඇති කිරීම සඳහා TNA සහ අනෙකුත් දෙමළ දේශපාලන පක්ෂවලින් රජයට දැවැන්ත පීඩනයක් එල්ල වන බව සත්‍යයකි. මෙම බලතල දෙක මෙන්ම නීති සම්පාදනය කිරීමේ අයිතිය - එනම් තමන්ගේම නීති නිර්මාණය කිරීම, අපරාධ නඩු පැවරීමේ අයිතිය, රෝහල් පාලනය,  මහාමාර්ග ඉදිකිරීම්, පාසැල්, පොදු ප්‍රවාහනය - මේ සියළු බලතල මුළුමනින්ම ඔවුන් අනිවාර්යයෙන්ම ඉල්වා සිටිනු ඇත. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනෙකුගෙන් යුත් මධ්‍යම  රජයට ඉතිරි වන්නේ ඉතා සුළු සැබෑ බලයකි – ආරක්ෂක, විදේශ කටයුතු සහ  ආගමන. පළාත් සභා සමඟ සමගාමී ලැයිස්තු බලයන් එසේම පවතිනු ඇත.

උතුරු නැගෙනහිර අන්තවාදී බෙදුම්කරුවන් තෘප්තිමත් කිරීමට ශ්‍රී ලංකාව තුළ ‘අළුත් රටවල්’ 9ක් අප නිර්මාණය කළ යුතුද?

මේ අසාධාරණ ඉල්ලීම්වලට යට නොවීමට රටේ නායකයන්ට ධෛර්යය, බුද්ධිය ලැබේවායි ප්‍රාර්ථනා  කරමු. විරුද්ධ පක්ෂ (SJB, SLFP සහ JVP) ජාතියේ ඒකීයත්වය තහවුරු කිරීමට උත්සාහ කළ යුතුය. අවාසනාවකට මෙන්, මෙම පාර්ශ්ව තුනද ඉඩම් හා පොලිස් බලතල ලබාදීමට පක්ෂව සිටින බව පෙනේ. මෙයට හේතුව ඔවුන්ගේ හුදු දේශපාලන වාසීයි.  

ඊනියා සිංහල දේශපාලන පක්ෂ සියල්ලම සිතන්නේ තමන්ට උතුරු/නැගෙනහිර සුළු ජාතික ඡන්ද දිනාගත හැකි බවයි; නමුත් එය කිසිදා සිදු නොවන්නකි. ඒ ජනයා සැමදා ඡන්දය දෙන්නේ තමන්ගේ දෙමළ, මුස්ලිම් දේශපාලන පක්ෂවලටය.

සිංහල දේශපාලන පක්ෂ ජාත්‍යාන්තරය (බටහිර) සතුටු කිරීම අවැසි කරුණක් ලෙස සලකයි. මෙය අනවශ්‍ය වූ විශ්වාසයකි. ඊශ්‍රාලය හැසිරෙන ආකාරය මේ අය අධ්‍යනය කල යුතුයි; එයින් පාඩම් ඉගෙන ගත හැකිය. වැරදි කලත්, නොකලත් ඊශ්‍රාලයට බටහිර කිසිදා නොබනී.

දේශප්‍රේමී සිංහලයන් කිහිප දෙනෙකු හැරුණු කොට උතුරට ඉඩම් හා පොලිස් බලතල ලබාදීමේ යෝජනාවට එරෙහිව රට තුළ බලවත් විරෝධයක් නැගීමට තරම් පිරිසක් ඉදිරිපත් වී නොමැත. සිංහල බහුතරයට මෙය ප්‍රශ්නයක් නොවේ. ඔවුන්ට වැදගත් වන්නේ ඔවුන්ගේ එදිනෙදා ජීවිතය, තමනට/තම පවුලට පමණක් ආවේනික ප්‍රශ්ණය.  මෙය දේශපාලනඥයෝ හොඳින් දනිති. 1987 දී, මේ දුර්වලතාවයෙන් ප්‍රයෝජනය ගත් JR ජයවර්ධන මහතා ශ්‍රී ලංකාවට අතිශයින් අහිතකර 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කර එය සම්මත කර ගත්තේය.

ශ්‍රී ලංකාව එහි දෙමළ සුළුතරය හොඳින් බලා ගනී (මෙය සත්‍යයකි). අතීතය පසෙකලා, අද සිංහලයන් මුහුණ නොදෙන, වත්මන් දෙමළ ජනතාව පමණක් මුහුණ දෙන නිශ්චිත ගැටලු කවරේ දැයි  ද්‍රවිඩ දේශපාලන නායකයන්ගෙන් ඉල්ලා සිටින විට ඔවුහු නිරුත්තර වේ.

සිංහලයන් ඔවුන් පමණක් මුහුණ දෙන ගැටලු රාශියකට මුහුණ දී සිටිති. ඒවාට සවන් දී, ඒ ප්‍රශ්ණ විසඳීමට කිසිවෙක් නැත. කලින් කීවාක් මෙන් සිංහල යයි කියා ගන්නා දේශපාලන පක්ෂවලට සිංහල ප්‍රශ්ණ ප්‍රශ්ණ නොවේ.

උදා: සියළුම ශ්‍රී ලංකා සහ ඉන්දීය රජයන් උඩරට දෙමළ ජනතාවට ඉමහත් සේ උදව්, උපකාර කරයි. මෙය හොඳ දෙයකි. එහෙත්, උඩරට සිංහලයන්ගේ තත්ත්වය ගැන කිසිවෙක් කථා නොකරයි. ඒ අයද තේ වතුවල වැඩ කිරීමට කැමතිය, නමුත් ඔවුන්ට මෙම අවස්ථාව/අයිතිය අහිමිය. උඩරට තේ වතු වටා ඇති සිංහල ගම්මානවල ජීවත් වන ‘ළහිරුලා ‘ සහ ‘දමයන්තිලා’ දිනකට වේල් 2කින් වත් තම පවුල පෝෂණය කිරීමට ඉමහත් වෙහෙසක් දරත්. වතු කම්කරුවන් මෙන් නොව ඔවුනට ස්ථිර පඩියක් හෝ නිවහනක් නොමැත. කටු මැටි, ටකරං ගෙවල් වල ජීවත්වන උඩරට ළහිරුලා, දමයන්තිලාගේ බොහෝය. ඔවුහු කිසිවෙකුටත්  නොපෙනේ.

බ්‍රිතාන්‍යයන් තේ වතු ගොඩනැගුවේ ලහිරුලාගේ සහ  දමයන්තිලාගේ මුතුන් මිත්තන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගෙන බව සැමට අමතකය.  තේ (සහ රබර්) වතුවල වැඩ කිරීම සඳහා බ්‍රිතාන්‍යයන් දකුණු ඉන්දියාවෙන් දෙමළ ශ්‍රමිකයන් ආනයනය කළහ. නමුත් උඩරට දෙමළ වෘත්තීය සමිති අද සිංහලයන් තේ වතුවල වැඩ කරනවාට විරුද්ධය. මෙය අසාධාරණය. මෙය, උඩරට වෙසෙන දහස් සංඛ්‍යාත වූ ළහිරුලා සහ දමයන්තිලාගේ මූලික අයිතිවාසිකමක් කඩ කිරීමකි.

සිංහලයන් මුහුණ දෙන ප්‍රධානතම අසාධාරණයක් වනුයේ ශ්‍රී ලංකාවෙන් 1/3 ක් වන උතුරු නැගෙනහිර ප්‍රදේශ වල ඔවුනට ජීවත් වීමට ඇති නොහැකියාවයි. දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ දේශපාලන පක්ෂ සිංහලයන් උතුරේ සහ නැගෙනහිර ජීවත් වීමට යාමට බාධා පමුණුවත්.

දෙමළ ජාතිකයෙකුට කිලිනොච්චියෙන් පිටවී තංගල්ලේ පදිංචි වීම ඉතා පහසුය. මුස්ලිම් ජාතිකයෙකුට අක්කරෙයිපත්තුව අතහැර ගම්පහ ප්‍රදේශයේ පදිංචි විය හැකිය. නමුත් තංගල්ලේ හෝ ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන සිංහලයෙකුට කිලිනොච්චියේ හෝ අක්කරෙයිපත්තුවේ පදිංචි වීය නොහැකිය.

වත්මන් ශ්‍රී ලංකාවේ මෙය කිසිදා නොවිය යුත්තකි. නමුත් එය එසේ සිදුවේ.   

මේ ගැන සුමන්තිරන් සහ ශානක්‍යන් මහතුන්ගේ උත්තරය කුමක්ද?

ශ්‍රී ලංකාව තුළ ෆෙඩරල් ක්‍රමයක් ඇති කිරීම ප්‍රායෝගික නොවේ. ශ්‍රී ලංකාව ඉන්දියාව නොවේ. ෆෙඩරල් ක්‍රමයක් ඉන්දියාවේ ක්‍රියාත්මක කළ හැකිය – එහි ජනගහනය බිලියන 1.4කි. ශ්‍රී ලංකාවේ ජනගහනය මිලියන 22කි. සැමදාම ශ්‍රී ලංකාව තිබුනේ ඒකිය රාජ්‍යයක් ලෙසිනි. දැන් ඒ තත්ත්වය නැති වීමට යන හැඩය.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ( 9 උපලේඛනයේ) සමගාමී ලැයිස්තුවට ඉඩම් සහ පොලිස්  බලතල ඇතුළත් බව සත්‍යයකි. නමුත් ඒවා මුලාරම්භයේ සිටම යටපත් කර තිබුනි. ඒ සඳහා ඉන්දියාවේ එකඟතාවයද විය. දැන් කඩිනමින් (වසර 35කට පසු) මේ යටපත් කිරීම ඉවත් කිරීමට කිසිම හේතුවක් නැත. ඉන්දියාව අද මේ ගැන අපට දැඩි බලපෑම් නොකරයි. මෝදී මහතා ශ්‍රී ලංකාවේ හොඳ මිතුරෙකි. එසේ බලපෑම් කලත්, ඔවුනට නිවැරදි ලෙස කරුණු පැහැදිලි කිරීමට රජය දක්ෂ විය යුතුය.

දෙමළ ජාතික සන්ධානය ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාව 13 වැනි සංශෝධනය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවයි. LTTEය සමඟ රට කඩන ව්‍යාපාරයේ මේ අය අනියම් අයුරින් සිටීයහ. අදත් විදේශගත වූ විට රටට වින කරන වැඩද  මේ අය කරති; ශ්‍රී ලංකාව ගැන බොරු වැරදි  ගොතා කියත්. ජෙනිවා ගොස් අපට බොරු යුධ අපරාධ චෝදනා නගත්. බටහිරට ගොස් අපට ආධාර නොදෙන ලෙස ඉල්ලා සිටිත්.  රටේ ස්වෛය්රීත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට වින කරන වැඩය මොවුන් සැමදා මෙන් කර ඇත්තේ. . මේ ලියුම්කරු මොවුන්ගේ බොරු ප්‍රසිද්ධියේ විදෙස් රටවල දී  පෙන්වා දී ඇත. බොරු අසුවී, ඔවුන් ප්‍රසිද්ධියේ සමාව ගත් අවස්ථාවක් ඇත.

මෙවැනි අයගේ අසාධාරණ ඉල්ලීම් වලට අප සවන් දිය යුතුද?

ඔවුන්ගේ රට කඩන ඉල්ලීමට එකඟ නොවීමට සියළු දකුණේ දේශපාලන පක්ෂ එකඟතාවයට පැමිණිය යුතුයි. පුද්ගලික දේශපාලන වාසියට වඩා මවු රට වැදගත් වේ.

දෙමළ ජාතික සන්ධානයට සහ අනෙකුත් දෙමළ මන්ත්‍රීවරුන්ට රජය පැවසිය යුතු දෙය නම් ශ්‍රී ලංකාවේ උතුරේ දෙමළ සුළුතරය ඉතා සතුටින් එහි ජීවත් වෙන අතර ඔවුන් ආර්ථික වශයෙන් වේගයෙන් ප්‍රගතියක් ලබමින් සිටින බවයි. TNA ඉල්ලා සිටින ෆෙඩරල් ක්‍රමය කිසිසේත් මේ රටට යෝග්‍ය නොවේ. TNA ඉල්ලීම අප්‍රායෝගිකය, වියදම් අධිකය, නිෂ්ඵලය, අසාධාරණය, භයානකය.

සම්පූර්ණ 13 හෝ ඉන් එහා ගොස් 13+ ලබා දීමට දැන් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවීම ආණ්ඩුවේ  වරදකි.  වසර 75 කට පෙර නිදහස ලබා ගැනීමෙන් පසු රට මුහුණ දී ඇති දරුණුතම ආර්ථික අර්බුදයේ ප්‍රතිපලය  ලෙස රට රක්තපාත වෙමින් පවතී. ශ්‍රී ලංකාව තුල දැවැන්ත දේශපාලන, පරිපාලන හා ව්‍යූහාත්මක වෙනස්කම් ඇති කිරීමට අද කාලය නොවේ.

නැති ජනවාර්ගික ප්‍රශ්නයක් ඇති කර, ජාතීන් අතර අසමගිය ඇති කරනවා වෙනුවට, කල යුත්තේ ශ්‍රී ලංකාවේ දුක්ඛිත ආර්ථික තත්ත්වය නිවැරදි කිරීම සඳහා සියලුම පක්ෂ, දෙමළ දේශපාලන පක්ෂ ද, රජය සමඟ එක්ව කටයුතු කිරීමයි.

ශ්‍රී ලංකාවට එල්ල වී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දැන් සිය නිවැරැදි ස්ථාවරය ප්‍රකාශ කර ඇත. එනම්, ඊනියා යුධ අපරාධ පිළිබඳ සෑම විශ්වසනීය චෝදනාවක්ම තමන් වෙත ඉදිරිපත් කරන ලෙසත්, ඉන්පසු ඒ සියල්ල විමර්ශනය කර වරදක් කළ බව පෙනෙන අයට විරුද්ධව නඩු පවරන බවත්ය. යුද්ධය අවසාන සමයේ ඊනියා ම්ලේච්ඡ ක්‍රියා සිදු වුයේ නම් ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කිරීම චෝදනා ඉදිරිපත් කරණ අයට භාරය. සැක සහිත ‘විශේෂඥ’, පුවත්පත් වාර්තා සහ ව්‍යාජ රූපවාහිනී වාර්තා චිත්‍රපට මත පදනම්ව ශ්‍රී ලංකාවට පරීක්ෂණ ආරම්භ  කළ නොහැක. නිසි පැමිණිලි පළමුව ශ්‍රී ලංකා පොලිසියට සහ/හෝ වෙනත් අදාළ ශ්‍රී ලංකා රජයේ ආයතන වෙත පාර්ශ්වයන් විසින් ඉදිරිපත් කළ යුතුය. මෙය සිදුවී නැත.

සමස්ථයක් වශයෙන්, ශ්‍රී ලංකාව ස්වාධීන ස්වෛරී රටකි; ඉතා බරපතල මානව හිමිකම් කඩකිරීම් සිදුවී නොමැති නම්, ඇයගේ කටයුතුවලට මැදිහත් වීමට වෙනත් ජාතීන්ට අයිතියක් නැත. එසේ ඇත්නම්, ඒවා ශ්‍රී ලංකා රජය විසින් විමර්ශනය කළ යුතුය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව විසින් එල්ල කරන ලද බරපතල චෝදනා බොහෝමයක්ම ගොතන ලද ඒවාය. ඒවා ගැන සවිස්තරාත්මක විග්‍රහයන් මේ ලේඛකයා විසින් සපයා ඇත.

ධනවත් බටහිර රටවල ඉතා බරපතළ මානව හිමිකම් කඩවීම් සිදුවී ඇති බවත්, තවමත් සිදුවන බවත් අප අමතක කළ යුතු නැත. ඔවුන්ගේ කටයුතු අන් අය විසින් විමර්ශනය කරනවාට ඔවුන් විරුද්ධය. නමුත් ඔවුන් කුඩා ශ්‍රී ලංකාව තෝරා ගෙන එයට දිගටම පහර දේ. ශ්‍රී ලංකාව ගෝලීය භූ දේශපාලනයේ තදබල පාපන්දුවක් බවට පත්ව ඇත .

මෙම ලේඛකයා සිංහල සම්භවය ඇති, ශ්‍රී ලාංකික පුරවැසියෙකි. ඔහු ජාත්‍යාන්තර නීතීඥයෙකි. ඔහු City First Solicitors හි  Canberra සහ Sydney නගරවල ශාඛාවන්හි ප්‍රධාන බැරිස්ටර් වරයා විය. ඔහු ශ්‍රී ලංකා ආධාරක  කණ්ඩායමේ (ලෝක ව්‍යාප්ත) සභාපතිවරයා වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress