ඉන්දියානු  සාගර සම්පත්වලින් ආර්ථික ප්‍රතිලාභ  ලබාගැනීමට ශ්‍රී ලංකාව  සහ ඉන්දියාව එක්ව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Posted on February 8th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරයා මේ බව  සඳහන් කළේ 2023.02.08 දින  කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී ඉන්දියානු අලෙවි නියෝජිතවරුන් පන්සියය පනස්  දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැති tata steel සහ tata tiscon ගනුදෙනුකරුවන්ගේ වාර්ෂික සමුළුවේ සමාරම්භක අවස්ථාවට එක්වෙමිනි.
 ඉන්දියානු සාගරය හරහා වැටී ඇති ගෝලීය මුහුදු වෙළෙඳ මාර්ග ඔස්සේ යුරෝපය උතුරු ඇමරිකාව සහ අග්නිදිග ආසියාව වෙත බොරතෙල් මෙන්ම වෙළඳ භාණ්ඩ ප්‍රවාහනය කරන අතර එමගින් තවත් බොහෝ ආර්ථික ප්‍රතිලාභ අත්වන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
 පෘථිවියෙන් 7% ක ප්‍රමාණයක් ආවරණය කෙරෙන ඉන්දියානු සාගරය ලෝකයේ තෙවන විශාලතම සාගරය  බැවින් ඉන්දියානු සාගර කලාපීය මිත්‍ර රටවල් දෙකක් වශයෙන් එහි ප්‍රතිලාභ රටවල් දෙක විසින්ම ලබා ගත යුතු බව   අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
 රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්ව සහ ඒකාබද්ධ ව්‍යාපෘතීන් පිළිබඳව සොයා බලන ලෙසත්  භූ කම්පන මෙන්ම අනෙකුත් ස්වභාවික ආපදාවලදී ඔරොත්තු දිය හැකි වානේ ආකෘතීන් නිපදවන ලෙසත් අග්‍රාමාත්‍යවරයා tata steel සමාගමෙන් ඉල්ලා සිටියේය.
 මෙම අවස්ථාවට සහභාගි වූ ඉන්දියානු මහා කොමසාරිස්   ගෝපාල් බාග්ලේ මහතා ශ්‍රී ලංකාවේ ඉන්දියානු ආයෝජන තවදුරටත් ක්‍රියාත්මක වන අතර   තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කර්මාන්ත, සංචාරක, භාණ්ඩ ප්‍රවාහන බලශක්ති සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි ආයෝජන සිදු කිරීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කළේය.
අග්‍රාමාත්‍යවරයාගේ පියා වන  පිලිප් ගුණවර්ධන මහතා කෘතවේදීව සිහිපත් කළ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ 1940 දී ඉන්දියාවේ නිදහස වෙනුවෙන් එතුමා සටන් කළා පමණක් නොව බ්‍රිතාන්‍යයන් විසින් සිරගත කරන ලද බවද සඳහන් කළේය. “ඉන්දියාව සහ ශ්‍රී ලංකාව බැඳී සිටින්නේ ශිෂ්ටාචාරය සහ උරුමයන්, සාරධර්ම, විවිධත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය අතින් පමණක් නොව අපගේ අභිලාෂයන් සහ යටත්විජිතවාදයට එරෙහිව එම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට අප උත්සාහ කළ ආකාරයේ සමාන භාවය නිසායැයි”, ඔහු අවධාරණය කළේය.
tata steel long products limited හී කළමනාකාර අධ්‍යක්ෂ ashish anupa මහතා, TATA TISCON  කළමනාකාර අධ්‍යක්ෂ සී. බාස්කර්, මෙම අවස්ථාවට සහභාගී වූහ.
 
 
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress