උතුරේ ඉඩම් මිලදී ගැනීමට සිංහලයා දැන් තදින් යොමු විය යුතුයි; තේසවලාමේ – ඉඩම් පිලිබඳ වූ නිතීය, තදබල  බාධාවක් නොවේ  
Posted on February 13th, 2023

චානක බණ්ඩාරගේ

මුලින්ම, අම්පිටියේ සුමනරතන හිමි ඝාතන තැත ගැන වදනක්  –

අම්පිටියේ සුමනරතන හිමි මරා දැමීමේ වෑයමින් උන්වහන්සේ බේරුනේ අප ජාතියේ පිනටය. උන්වහන්සේ බොහෝ පිං කර ඇත. නුලෙන් මෙවර බේරුනේ ඒ නිසාය.

මෙම මහා ඝාතන තැත ගැන රටේ දේශපාලනඥයෝ මුනිවත රකිති. කිසිවෙක් එය හෙලා දැකීමක් වත් කර නැත.  මාධ්‍යයද, සමාජ මාද්‍යය ඇතුළු, එය ප්‍රධාන පුවතක් සේ වාර්ථා නොකරයි. අප රට වැටී තිබෙන තත්ත්වය කුමක්ද?

උන්වහන්සේ මිය ගියා නම් මේ රටේ නැවත ජාතිවාදී ගින්නක් හට ගැනීමට පවා ඉඩ තිබුණි.

ඝාතකයන් නැවත මේ දේ කිරීමට අර අඳිනු ඇත. එහි කිසි සැකයක් නැත. විශේෂයෙන්ම, උන්වහන්සේ මඩකලපුවේ වැඩ වාසය කරන නිසා.

කරුණා, පිල්ලියාන් වැන්නන් ඉන්නේද එහිය.

අම්පිටියේ සුමනරතන හිමි නැගෙනහිර පළාතේ සිදු වූ ගෝනගල, අරන්තලාව දරුණු සිංහල ජීවිත ඝාතන ගැන නිතර කථා කරති.  

ඉහත දෙදෙනා මේ ඝාතනවලට සම්බන්ධ යයි දන්නෝ දනිති.

මේ දෙදෙනාට යහමින් රජයේ රැකවරණ, සියළු පහසුකම් සැපයේ.

නමුත්, අම්පිටියේ සුමනරතන හිමිගේ සියළු ආරක්ෂාව පසු ගිය කාලයේ ඉවත් කර තිබුණි.

ලබන වර, ඝාතකයන් විසින් මේ වටිනා භික්ෂුව මරා දැමුවහොත් එහි වගකීම රජය භාර ගත යුතුයි.

අම්පිටියේ සුමනරතන හිමිට පැය 24 පුරා උපරිම හමුදා සහ පොලිස් ආරක්ෂාව ලබා දීමට රජය බැඳී සිටී.

අම්පිටියේ සුමනරතන හිමිට තව බොහෝ කාලයක් සිංහල ජාතියට සේවය කිරීමේ හැකියාව ලැබේවා!

තේසවලාමේ

බොහෝ සිංහලයන් විශ්වාස කරන්නේ තේසවලාමේ  නීතිය නිසා උතුරේ දේපළ මිලදී ගැනීමට හෝ බදු දීමට ඔවුනට නොහැකි බවයි. මෙය ඔවුන් තුල ඇති  වැරදි මතයකි.

තේසවලාමේ  ආඥාපනත  (1947 අංක 59)මගින් ප්‍රතිලාභ ලබන පුද්ගලයන් සිටින්නේ පන්ති දෙකක් පමණි. ඔවුන්ට පමණක් පූර්වයෙන් නිදහස් කිරීමේ අයිතිය (right of pre-emption) නිතීයෙන් ලබා දී ඇත:

  • දේපලක සම-හිමිකරුවන් වන පුද්ගලයින්

මෙයින් අදහස් කරන්නේ විෂය ඉඩම නොබෙදුනු  – පුද්ගලයන් දෙදෙනෙකුට හෝ වැඩි දෙනෙකුට හවුල් විය යුතු එකක් බවයි.

දේපල විකිණීමේදී වෙනත් කිසිවෙකුට පෙර එය වෙළඳපල මිලට අනෙකුත් සම හිමිකරුට/කරුවන්ට පිරිනැමිය යුතුවේ.

උතුර ඇතුළු ශ්‍රී  ලංකාවේ ඉඩම්වලින් වැඩි ප්‍රමාණයක්  තනි අයිතිය (sole ownership) යටතේ පවතීන අතර මෙම ආඥාපනත ඒවාට  අදාළ නොවේ.

  • නීත්‍යානුකූල අන්තිම කැමැත්තක් නොසාදා අයිතිකරු මිය යාමේදී මියගිය පුද්ගලයාගේ උරුමක්කාරයින්ට (ඊළඟ ඥාතීන්ට – heirs)  එම දේපල  මිලයට ගැනීමේ  අයිතිය ඇත

උදා: දකුණේ සිංහලයන් ඇතුළු අනෙක් අයට විෂය ඉඩම මිලදී ගත හැක්කේ උරුමක්කාරයින්ට වෙළඳපොල මිලට මිලදී ගැනීම සඳහා වන  යෝජනාව අසාර්ථක වුවහොත් පමණි.

මෙම යෝජනාව උරුමක්කාරයනට ඉදිරිපත් කිරීම ඉතාම තාක්ෂණශීලීව කල යුත්තකි. එසේ නොකළහොත් මුළු ක්‍රියාදාමයම බිඳ වැටේ. එවිට සිංහලයන් ඇතුළු ඕනෑම කෙනෙකුට ඉඩම මිලදී ගැනීමට හැකි වනු ඇත.

තේසවලාමේ   ඉතිහාසය

17 වන ශතවර්ෂයේ අග සහ 18 වන ශතවර්ෂයේ මුල් භාගයේදී දකුණු ඉන්දියාවේ කොරමැන්ඩල් (තේසවලාමේ) වෙරළ තීරයේ සිට දෙමළ ජාතිකයන් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට සංක්‍රමණය වූ අතර අලුතින් පිහිටුවන ලද දුම්කොළ වතු වල වැඩ කිරීමට ඔවුන් ගෙන්වන ලද්දේ පෘතුගීසින්ගේ අවසාන කාලයේ සහ ප්‍රධාන වශයෙන් ලන්දේසීන් විසිනි. උතුරේ දෙමළ ජනගහනය මේ නිසා සීග්‍රයෙන් ව්‍යාප්ත විය (එළාර, මාඝ, චෝල යුගයේ පැමිණි ද්‍රවිඩ ආක්‍රමණිකයන් ආපසු දකුණු ඉන්දියාවටම පලවා හැරීමට එකළ සිටී සිංහල රජවරුන් සමත් වුහ).

තේසවලාමේ නිතීය ලන්දේසීන් ගෙනාවේ (කොරමැන්ඩල්හි ද්‍රවිඩයන්ගේ නිතීය – ඉඩම්, විවාහ සහ උරුමක්කාර), ඒ ද්‍රවිඩයන් මේ රටට ගෙන ඒමේ උත්තේජයක් ලෙසටය; සිංහලයන් යාපනයට ඒම වැලක්වීම අරමුණු කර ගෙන නොවේ.

සිංහලයෝ එකළ ලන්දේසීන් යටතේ ඔවුනගේ වගා බිම්වල වැඩ කිරීමට අකමැති බව ලන්දේසින් දැන සිටියහ.

උතුරේ ඇති අධික රශ්මිය, ජලය හිඟතාවය ආදිය  සමහරවිට විශාල සිංහල ජනාවාස (අනුරාධපුරය, පොලොන්නරුව මෙන්) රජ කාලයේ එහි ඉදි නොවීමට හේතු වුවා විය හැක. දකුණේ ඇති වඩා සෞම්‍ය දේශගුණය නිසා (උතුරට සාපේක්ෂව)  සිංහලයෝ එම ප්‍රදේශවල වැඩිපුර රාශි භූත වුවා විය හැක.

නමුත්, සිංහලයන් යාපනයේ ඕනෑ තරම් ජීවත්ව හිඳ ඇත. දෙවානම්පියතිස්ස රජතුමාගේ ශිලා ලිපි, ගල් කුළුණු උතුරෙන් හමුවී තිබේ. උතුරෙන් හමුවූ බෞද්ධ පුරාවස්තු නැගෙනහිරටත් වඩා වැඩි යයි ඇතැම් තතු දත්තෝ පවසත්.

ප්‍රභාකරන් සිංහලුන් උතුරෙන් එලවන විට යාපනයේ අඩු තරමින් සිංහලයෝ 35,000ක් වත් ස්ථිරව සිට ඇත. ඒ අය බොහෝ දෙනෙක් ඉතා සාර්ථක ව්‍යාපාරිකයෝ විය – එළවලු, පලතුරු, මාළු වැනි. සමහරු උතුරේ රැකියා කර යාපනයේ පදිංචි වූ විශ්‍රාමික සිංහලයෝය. දෙමළ අය සමඟ විවාහ වූ සිංහලයෝද වුහ.  මුළු යාපනයටම වාගේ පාන් සැපයුවේ යාපනයේ විසු සිංහල බේකරි හිමියන්ය යන කථාවක් තිබේ,

අද යාපනයේ ස්ථිරව ජීවත්වෙන සිංහලයෝ (හමුදාව, පොලිසිය නොවේ), 1000ක්  වත් වේද?

උතුරේ ඇති සියළුම  කෘතීම වැව් සදා ඇත්තේ සිංහල රජවරුන් විසිනි. මන්නාරමේ යෝධ වැව, කිලිනොච්චියේ ඉරණමඩු වැව ධාතුසේන රජුගේ ශ්‍රේෂ්ට  නිර්මාණයි. ගරු සංඝමිත්තා මෙහෙණින් වහන්සේ යාපනයේ දඹකොළ පටුනේ සිට මාන්තොට (වර්තමාන මන්නාරම) හරහා  අනුරාධපුරයට සිය පිරිවර සමඟ පයින් වැඩියේ පණ්ඩුකාභය රජතුමා සහ ඉන් පසු රජවරුන් සෑදු (දේවානම් පියතිස්ස ඇතුළු)  මල්වතු ඔය ආශ්‍රිත මාර්ගයේය.

අලි මංකඩ (Elephant Pass) වනාහි කන්ද උඩරට රජවරුන් (මහනුවර) මන්නාරම් තොටින් විදේශවලට අලි ඇතුන් යැවීමේ දී  අලි ඇතුන් ගාල් කර තැබූ  සන්ධිස්ථානයයි.

රොබර්ට් නොක්ස් සහ ඔහුගේ පියා ඇතුළු නාවික කණ්ඩායම ලන්දේසින්ට මන්නාරම අවටදී හසුවූ විට ලන්දේසින් ඔවුන්ව භාර දුන්නේ මහනුවර රජකළ දෙවන රාජසිංහ රජුටයි – ඊනියා දෙමළ රජෙකුට හෝ දෙමළ ප්‍රාදේශීය නායකයෙකුට නොවේ.

බෞද්ධ නටඹුන්, ඉපැරණි සිද්ධස්ථාන, කැඩුණු ඉපැරණි බුද්ධ රූප   අදත් මුලතිව්, කිලිනොච්චි, මන්නාරම ආශ්‍රිත  ප්‍රදේශවලින්  හමුවේ. 

උතුරේ ‘දෙමළ බෞද්ධයන්’ සිටියාය කියන කථාව සම්ප්‍රප්ලාපයකි.

ද්‍රවිඩ බෞද්ධයන් කියා කණ්ඩායමක් ශ්‍රී ලංකාවේ හෝ තමිල්නාඩුවේ ඓතිහාසිකව සිට නැත.

මෙවැනි කථා පතුරන සිංහල අය දේශප්‍රේමීන් නොවේ. බොහෝ විට බටහිර NGO සල්ලි වලට ‘කහින’ අයය.

ද්‍රවිඩ ජනයා මේ රටේ වසර 3,000ට වඩා පැරණියයි යන විග්නේස්වරන්ගේ මෑතක දේශන පුස්සකි. රටේ නැති ප්‍රශ්ණ ඇති කිරීමකි. දැනුවත්ව ඔහු විසින් ඉතිහාසය විකෘති කිරීමකි.

ද්‍රවිඩයන්ගේ නිජ බිම ශ්‍රී ලංකාව යයි ඇඳුම් ඇඳගත් මෙම බොරු කාරයා කියයි. එසේ නම් කෝටි 7ක් වාසය කරන තමිල්නාඩුව කුමක්ද?

කිසිම ජාතියකට නිජ බිම් 2ක් තිබිය නොහැක.

විග්නේස්වරන්ට අනුව ද්‍රවිඩයාගේ නිජ බිම ශ්‍රී ලංකාව නම් සිංහලයාගේ නිජ බිම තමිල්නාඩුවද?

සිංහලයාගේ සම්භවය දෙමළ බවත්, සිංහලයාට ප්‍රථමව මේ රටේ ද්‍රවිඩයන් සිටී බවත්, කුවේණීය  දෙමළ බවත්, මහින්දාගමනයට පෙර මේ රටේ ‘දෙමළ බෞද්ධයන්’ සිටී බවත්, මහාවංශය බොරු බවත්, සැමදා යාපනයේ ස්ථිර දෙමළ රජුන් සිටී බවත්, පන්ඩුකාභය රජු දෙමළ බවත්, සීගිරිය කාශ්‍යප රජුගේ නිර්මාණයක් නොවිය හැකි බවත් වැනි ජනතාවට බොරු අදහස් සහිත කථා පවත්වන එක් ප්‍රසිද්ධ පුරාවිද්‍යාඥ මහාචාර්යවරයෙක් සිටී. මොහුගේ ‘නොනවතින ඉතිහාසය’ වැනි නමකින් හඳුන්වන යු ටියුබ් වැඩ සටහන රටේ ඉතාම ප්‍රචලිත යු ටියුබ් වැඩසටහනකි.

ඔහු සහ විග්නේස්වරන් බොහෝ විට දෙන්නේ එකම පණිවුඩයයි. මොහුගේ බොරු සිංහලයාට නොතේරීම ජාතියේ අභාග්‍යයකි (මොහුගේ බොරු අල්ලා ගැනීමට නම් ඔහුගේ සෑම වැඩසටහනක්ම වාගේ ඉතා තීක්ෂණව සහ සියුම්ව සවන් දිය යුතුය).

දෙමළ යනු ‘ද්‍රවිඩියන්’ (Dravidiyan) භාෂාවකි. සිංහල – හින්දි, උර්දු, පාළි  මෙන්, ‘සංස්කෘත’ (Sanskrit) භාෂාවකි.  සිංහලයෝ ආර්යයෝය, දෙමළ අය ද්‍රවිඩියන්ය. මේ දොගොල්ල අහසට පොලොව මෙනි – බොහෝ විට පෙනුමෙන් පවා.

දෙමළ අය අප්‍රිකාවෙන් දකුණු ඉන්දියාවට රැගෙන ආ අය යයි ඉන්දීය ඉතිහාසඥයෝ පවසා ඇත.

ඉදින්, සිංහලයා ද්‍රවිඩයාගෙන් පැවතෙන්නේය යන බොරුව පවත්වාගෙන යන්නේ කෙසේද?

සිංහලයා විජයගෙන් පැමිණෙන අයය. කෙළිලොල් තරුණයෙකු වූ විජයව ඔහුගේ පියා – දඹදිව සිංහපුර, වංග දේශයේ, ලාට රටේ සිටි සිංහබාහු රජතුමා විසින් පිරිවර සමඟ රටින් පිටුවහල් කරන ලදී. මේ කාරණය නිසාදෝ අද සිංහලයෝ (ඇතැම් ගරුතර සංඝරත්නය පවා) තමන් විජයගෙන් පැවතෙන්නන්ය යන්න පිළි ගැනීමට මැලි වෙති. මේ නිසා බෙදුම්වාදීන්ගේ නොයෙක් නුල් සුස්තර වලට ඔවුන් පහසුවෙන් හසු වෙති.

සිංහලයා විජයගෙන් පැවතෙන්නේ නැතය යන මතයට සිංහලයා මේ තරම් කැමති වී ඇත්තේ ඉතා මෑතක සිටය.  ඉතිහාසය අපට වුවමනා ලෙස වෙනස් කර ගත හැකි දෙයක් නොවේ.

විග්නේස්වරන් වැන්නන් ‘පිස්සු නටන්නේ’ අපේම වරදන් නිසාය.

මහාවංශය සහ වෙනත් අටුවා පොත් අනුව සිංහලයන් බුදු බුදුරජානන් වහන්සේට ඥාති සම්බන්ධතාවක් ඇත.  ලංකාවේ දෙවන රජ වූ පඬුවස්දේව (ඔහුට විජය කුමරු තම මාමණ්ඩිය විය) විවාහ වුයේ බුදු රජාණන් වහන්සේගේ  සමීපතම ලේ ඥාතියෙක් වූ බද්ධ කච්චානා (කපිලාවාස්තුහි, ශාක්‍ය වංශයේ) කුමරිය සමඟයි.

විජය කුමරු ලක් බිමට පා තැබුවේ බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පෑ දිනය. මහාවංශයට අනුව, පිරිනිවන් මංචකයේදී අප තිලෝගුරු සම්මා සම්බුදු මෑණියන් වහන්සේ ශක්‍ර දේවේන්ද්‍රයන් අමතා මෙසේ කීහ – ‘සිංහබා පිත් තෙල විජය කුමාර අනුගත සියයක් පිරිවර ඇතිව ලාට රටින් ලක්දිව් බැසේය. දේවේන්ද්‍රය මාගේ සස්න ලක්දිවෙහි පිහිටන්නේය. එහෙයින් පිරිවර සහිත උහු ද ලංකාවද මොනවට රකුව’ යි වදාළ සේක.

විග්නේස්වරන් සහ මෙම පුරාවිද්‍යාඥ මහාචාර්යවරයා විජය මිත්‍යාවක් සේ සලකා විජයව  බැහැර කරති.  මහාචාර්යවරයා විජයව පාසැල් ඉතිහාසය පෙළ පොත් වලින් ඉවත් කර සිංහලයා පැවතෙන්නේ ‘හෝමෝ සපියෙන් වරුන්ගෙන්’ යයි සඳහන් කරන්නේ ඒ නිසාය.

මෙවැනි බරපතල වරදක් කිරීමට තරම් වූ බලයක් ඔහුට ලැබුනේ කෙසේද? රජයන්වල අධ්‍යාපන ඇමතිවරු මර නින්දේය.

පාසැල් දරුවනට රටේ ඉතිහාසය විකෘති කර කියාදීම තරම් වරදක් තවත් නම් නැත.

තමන්ගේ වටිනා ඉතිහාසය මෙසේ වෙනත් අය පැමිණ කෙලෙසීම ගැන සිංහලයාට වගේ වගක් නැත.

ඇමරිකාව, ඕස්ත්‍රේලියාව වැනි රටවලට ඇත්තේ වසර 200ට එහා ගිය ඉතා  කෙටි ඉතිහාසයකි (අපේ වටිනා ඉතිහාසය වසර 2500ට වඩා පැරණිය). නමුත් ඔවුහු තම ඉතිහාසය ‘පණ’ මෙන් රකිති.  කිසිවෙකුට එය විකෘති කිරීමට ඉඩ නොදෙති.

දැනුවත්ව ඉතිහාසය විකෘති කිරීම ඒ රටවල සිර දඬුවම් ලැබිය හැකි වරදක් විය හැක.

නාද්සි යුධ අපරාධ, යුදෙව්වන් මැරීම සිදු  නොකළේය ආදිය කීම යුරෝපයේ සිර දඬුවම් විදින බරපතල වරදකි.

ඒ, ඉතිහාසය ඒ තරම් බරපතල ලෙස එම දියුණු රටවල සලකන නිසාය. අවුරුදු 2000ට වඩා පැරණි දෙවානම්පියත්තිස්ස රජතුමා සමයේ ඉදි කල ගල් කුළුණු, සඳකඩ පහන් පවා අදත් නැගෙනහිර පළාතේ වනාන්තර ඉඩම් වල නිරන්තරයෙන් හමුවේ. ඒවා සංරක්ෂණය කිරීමට වත් අප කිසිම ක්‍රියාමාර්ග නොගනිමු.

බෙදුම්වාදින් රාවණා සංකල්පය ගෙන එන්නේ විග්නේස්වරන්ගේ සහ මෙම මහාචාර්ය වරයාගේ මතය – එනම් සිංහලුන්ට පෙර මේ රටේ ද්‍රවිඩයන් සිටීහ සහ සිංහලයා පැවතෙන්නේ දෙමළ අයගෙන්ය යන්න ඔප්පු කිරීමටයි. නමුත්, අද රාවණා සංකල්පය මේ රටේ ප්‍රවර්ධනය කරන්නේ දෙමළ අයටත් වඩා සිංහලුන්ය.

ඊනියා දෙමළ රජුන්ගේ එකම ශිලා ලිපියක්, ගල් කුළුණක් හෝ වෙනයම් පුරා විද්‍යාත්මක සාක්ෂියක් උතුරේ හෝ නැගෙනහිර හමුවී නොමැත. ඒ මන්ද, උතුරේ දෙමළ කිසිම පිළිගත් දෙමළ රාජධානියක් නොතිබුණු බවයි 1980 මුල් භාගය වන තුරු ශ්‍රී ලංකාවේ සහ ලෝක ඉතිහාසඥයන් විසින් පිළිගෙන තිබු කරුණ වුයේ.

‘අනුරාධපුර යුගයේ ආරම්භයේ සිට මහනුවර යුගයේ අවසානය දක්වා වූ මේ දීර්ඝ ඓතිහාසික කාලපරිච්චේදයේ කිසිම අවස්ථාවක යාපනය අර්ධද්වීපයේ හෝ ඒ අවට ස්වාධීන ද්‍රවිඩ රාජ්‍යයක් නොපැවතී ඇත’ – මහාචාර්ය සිරිමල් රණවැල්ල.

1983 අර්බුදයත් සමඟ ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කිරීමේ මහා දෙමළ සටන ඇරඹුණි. හොඳම උදාහරණයක් වනුයේ මහාචාර්ය කතිරගේසු ඉන්ද්‍රපාලයි. මොහුගේ PhD උපාධිය සඳහා වූ ග්‍රන්ථය (1960 ගණන් වල පළ කල) කියවීමේදී විද්‍යාමාන වනුයේ 6 වන පරාක්‍රමබාහු රජතුමා (1412 – 1467) කෝට්ටේ සිට යාපනය මුලුමනින්ම පාලනය කල බවත්,  යාපනය සිංහල රාජ්‍යයට අයත් වූ බවත්ය. මොහුගේ එකී පොත  පැවසුයේ මෙම පරාක්‍රමබාහු රජු යාපනය පාලනය කරන අවධියේ කයිට්ස් දුපතේ ඉතා වැදගත් නාවික මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය බවයි. නමුත්, 1983න් පසු මෙම ඉන්ද්‍රපාල මහාචාර්යවරයා තදබල  ඊළාම්වාදියෙක් වී තමන්ගේ කලින් පර්යේෂණ තමන් විසින්ම මොට කරගත්තේය. ශ්‍රී ලංකාවේ ඉතිහාසය විකෘති කිරීමේ ක්‍රියාදාමයේ තවත් තදබල ද්‍රවිඩ පුරුකක් වුයේ ජාත්‍යාන්තර නිතී සචි පොන්නම්බලම්ය. මොහුගේ The National Question and the Tamil Liberation Struggle (1983) පොතෙන් ඔහු ශ්‍රී ලාංකික ඉතිහාසය විකෘති කළා පමණක් නොව ඔහුගේ දෙමළ ජාතිවාදය ඉතා මොනවට නිරුපනය කරන ලදී.

ලන්දේසි ආණ්ඩුකාර සිමන්ස්

මේ නව ද්‍රවිඩයන් සතුටු කිරීම සඳහා එවකට වූ ලන්දේසි ආණ්ඩුකාර සිමන්ස් තේසවලාමේ නීති සංග්‍රහය 1706  දී පිළියෙළ කළේය.

ලන්දේසි ජාතික ජෑන් පයිරස් මෙය දෙමළ භාෂාවට පරිවර්තනය කරන ලදී.

බ්‍රිතාන්‍ය පාලන සමයේදී මෙම තේසවලාමේ නිතිය දිගටම ක්‍රියාත්මක විය. ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ජොන්ස්ටන් තේසවලාමේ නිතී සංග්‍රහය ඉංග්‍රීසී බසට පරිවර්තනය කරන ලදී. 

මුල් යුගයේ තේසවලාමේ නිතීය යාපනයට පමණක් ක්‍රියාත්මක වූ බවක් පෙනේ. එවිට යාපනය යන වචනය එම නිතී සංග්‍රහයේ ප්‍රධාන යෙදුම වූ අතර උතුරු පළාත යන්න එහි සඳහන් නොවීය.

සිවගනලිංගම් එදිරිව සුන්දරලිංගන් (1988)සුවිශේෂී නඩුවකි. එවකට අගවිනිසුරු ශර්වානන්ද  (ශ්‍රේෂ්ඨාධිකරණයේ) තීන්දු කළේ මෙම නීතිය (තේසවලාමේ) යාපනයට පමණක් නොව මුළු උතුරු පළාතටම අදාළ වන බවයි.

එවිට රටේ ජනාධිපතිවරයා වුයේ JR ජයවර්ධන මහතාය. ඔහුට මෙම ‘නව නිතීය’ වෙනස් කිරීමට අවශ්‍ය නොවීය.

ශර්වානන්ද විනිසුරුතුමා වැඩිදුරටත් සඳහන් කලේ ශ්‍රී ලංකාවේ කොතැනක ජීවත් වුවද  උතුරු පළාතේ වැසියෙක් නම් ඔහුට හෝ ඇයට මෙම  නීතිය (තේසවලාමේ) බලාත්මක වන බවයි.  

උතුරු පළාත සමඟ සමීප සබඳතාවක් පවත්වාගෙන ගිය බොහෝ කොළඹ පදිංචි දෙමළ ජනයාට (උදා: වැල්ලවත්තේ, මට්ටක්කුලියේ) මෙය ප්‍රතිලාභයක් විය.

මෙය ගරු අධිකරණය මඟින් නව නිතී සැකසීමක් යයි (case law) කෙනෙකුට සාර්ථක ලෙස වාද කල හැක.

නිතී (පනත්) සෑදීමේ වරම ඇත්තේ උත්තරීතර පාර්ලිමේන්තුවට පමණි. පනත් මඟින් ගරු අධිකරණය විසින් නිර්මිත  case law යටපත් කර දැමිය හැක.

මෑත නඩු නීති තීන්දු,  1988 න් පසු,  පෙන්නුම් කරන්නේ සමහර විට තේසවලාමේ  නීතිය චංචල දේපළවලට අදාළ වන බවයි.  මානික්කසාගර් එරෙහිව කන්දසාමි නඩුවෙහි මෝටර් රථයක්  පවා මෙම නිතීයට නතු කරන ලදී.

  •  පුර්ව නිදහස් කිරීමේ අයිතිය (right of pre-emption) දැන් යාබද ඉඩම් හිමියන්ට ද අදාළ වන බවක් පෙනේ

මෙයද, සිංහලයනට විශාල ප්‍රශ්නයක් බව නොපෙනේ.

නැවතත් – නව පනත් සම්මත කිරීමෙන් හෝ පවත්නා පනත් සංශෝධනය කිරීමෙන් දැනට පවත්නා නිතී වල ඇති අඩුපාඩු, අසාධාරණකම් රජයනට වෙනස් කල හැක.

තේසවලාමේ නිතීය අහෝසි  කිරීමට TNA සහ විග්නේස්වරන් එකඟ විය යුතුයි. නැතනම්, ඔවුන් මේ රටේ සිංහල, මුස්ලිම් සහ ඇතැම් දෙමළ ජනයාට (විශේෂයන්ම වතුකරයේ) ජනයාට ද්‍රෝහී වුවන් ලෙස ඉතිහාසගත වනු ඇත.

අඩුම තරමින් එකී සුවිශේෂී 1988 නඩු තීන්දුවට පෙර පැවති ලන්දේසි/ඉංග්‍රීසි පාලන කාලවල ක්‍රියාත්මක වූ තේසවලාමේ නීතියට නැවත යාමට හෝ ඔවුන් එකඟ විය යුතුය (තේසවලාමේ බලපාන්නේ මුළු උතුරු ප්‍රදේශයටම නොව යාපනයට පමණක් ලෙස).

ගරු ශර්වානන්ද උගත් විනිසුරුතුමා විසින් 1988 හඳුන්වා දුන් තේසවලාමේ අර්ථකථනය මහ ජාතිය වන සිංහලයාට, සුළු ජාතියක් වන මුස්ලිමානුවනට සහ වතුකරයේ ද්‍රවිඩයනට තදබල අසාධාරණයකි.

නිතීය සෑදීමේ සහ සංශෝදනය/වෙනස් කිරීමේ පරම වගකීම ඇත්තේ පාර්ලිමේන්තුවටය. මන්ද, රටේ මහජනතාව නියෝජනය වන්නේ පාර්ලිමේන්තුව මඟින් මිස වෙනත් කිසිම ආයතනයකින් නොවන නිසාය. නියම ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.

නැඟෙනහිර පළාතට තේසවලාමේ  නීතිය අදාළ නොවේ. එබැවින් නැගෙනහිර පළාතේ ඕනෑම නිශ්චල දේපලක් සිංහලයන්ට නිදහසේ සහ පහසුවෙන්, කෙලින්ම මිලදී ගත හැකිය. ඔවුන් මඩකලපුවේ, ත්‍රිකුණාමලයේ, මුතුර්, සාම්පුර් හි  ඉඩම් මිලදී නොගන්නේ මන්ද?

මේවායේ සිංහලයන් අද දිනට වඩා සිටියේ නම් අම්පිටියේ සුමනරතන හිමි වැනි හිමිවරුනට බියක් සැකක් නොමැතිව එම ප්‍රදේශවල වැඩ වාසය කල හැකි වේ.

තේසවලාමේ සිංහලයන්ට උතුරේ ඉඩම් මිලදී/බද්දට ගැනීමට බාධාවක් නොවේ

සීමිත අවස්ථා වලදී හැර – ඉහත තේසවලාමේ අවස්ථා 2 හෝ 3 (ඉහත i, ii සහ  iii), උතුරේ ඉඩම් මිලදී ගැනීමට සිංහලයන්ට විශාල බාධාවක් නොමැති බව මෙම නිතී හැදැරීමේදී පෙනේ. බාධාවක් තිබේ  නම් එය සිංහලයාට පමණක් නොව තේසවලාමේ  ප්‍රතිලාභ නොලබෙන ද්‍රවිඩයනට ද, මුස්ලිමානුවනටද බලපායි.

නැවතත් – සිමන්ස් තුල කිසිදු ජාතිවාදී අදහසක් නොවීය. ඔහුට අවශ්‍ය වුයේ තව තවත් ද්‍රවිඩ ජනයා කොරමැන්ඩල් වලින් යාපනයට ආගමනය කර වීමටය – යාපනයේ සාරවත් දුම්කල වැනි වගාවන් සඳහා. ඔවුන් දිරිමත් කිරීමට ඔවුනගේ එම දකුණු ඉන්දීය නිතී කොටස්  හෙතෙම ශ්‍රී ලංකාවේ ස්ථාපිත කළේය.

නැවතත් – වතුකරයේ ද්‍රවිඩයනට කිසිදු තේසවලාමේ ප්‍රතිලාභයක් හිමි නොවේ.  මේ සම්බන්ධව CWC, NUW මේ සම්බන්ධව හඬ නොනගන්නේ ඇයි?

ඉන්දීයාවෙන් මෙරටට ආනයනය කරන ලද වතු කම්කරුවන්

මෙම තේසවලාමේ නිතීය ගෙනෙන විට (1706) උඩරට ද්‍රවිඩයන් (Up Country Tamils) කියා කොටසක් මෙහි නොවීය. ඔවුන්ව ශ්‍රී ලංකාවට ගෙන්වන ලද්දේ (නැවතවරක් දකුණු ඉන්දියාවෙන්) බ්‍රිතාන්‍යයෝය. ඒ 1815 උඩරට ගිවුසුමෙන්ද අනතුරුවය; 1860 න් පමණ පසු මේ දකුණු ඉන්දීය ද්‍රවිඩ ආගමනය විශාල ලෙසින් ඇරඹුණි. 

1964 අත්සන් තබන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම එන තුරු පසුගිය 20 වෙනි ශත වර්ෂයේදී ‘කල්ලතෝනින්’ වශයෙන් හඳුන්වනු ලැබූ දකුණු ඉන්දීය ද්‍රවිඩයන් ඉතා විශාල ලෙස ශ්‍රී ලංකාවට හොරෙන් පැමිණ මෙහි පදිංචි වුහ (එවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය ආසියාවෙන් දෙවෙනි වුයේ ජපානයට පමණි). ඔවුන්ගෙන් ඇතැමෙක් මේ රටේ අති  සාර්ථක ව්‍යවසායකන් බවට පත් වුහ. ප්‍රභාකරන්ගේ පියා (ඔහු කේරල වැසියෙකි) පවා මෙරටට හොරෙන් පීනා පැමිණියෙකි.  

මෑත කාලයේද  මෙරටට හොරෙන් සංක්‍රමණය වන්නන් නිසා සිංහල ජනගහනය අඩු විය. ද්‍රවිඩ සහ මුස්ලිම් ජනගහණයන් වර්ධනය විය.

මාළු අල්ලන ධීවරයන් මෙන් පෙනී සිටිමින් දකුණු ඉන්දියාවෙන් ද්‍රවිඩයෝ පැමිණ මෙරට පදිංචි වෙන බවට වාර්ථා පළවී තිබුණි. මේවා සංවිධානාත්මකව කරන උතුරේ දේශපාලඥයෝ  සිටි බව නොරහසකි. වීසා ලබාගෙන මෙරටට පැමිණ නික්ම නොගොස් සිටින දකුණු ඉන්දියානු ද්‍රවිඩයෝ, මාලදිවයින්, පාකිස්ථාන් වැසියන් පිළිබඳව වාර්ථා පුවත් පත් වල නිරතුරුව පළවී තිබුණි. මෙවැනි අයට මෙහි ජීවත් වීමට ඉඩ නොදිය යුතුය.

විශාල පමණින් මුදල් හොරට දී නොරටුන් ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලාංකීය විදේශ ගමන් බලපත්‍ර ලබා ගෙන ඇති බවට ප්‍රවෘති ශ්‍රී ලංකාවේ මාධ්‍යවල/සමාජ මාධ්‍යවල පලවී තිබේ.   

1987 අත්සන් තබන ලද ඉන්දු – ශ්‍රී ලංකා ගිවුසුම නිසා ශ්‍රී ලංකාව 13වන සංශෝධනය ක්‍රියාත්මක කිරීමට බැඳී සිටී   යන ව්‍යාජ මතයෙහි එල්බ ගෙන සිටින්නන්ට පැවසිය යුත්තේ එසේ නම් 1964 අත්සන් තබන ලද සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම ක්‍රියාත්මක කිරීමටද ඉන්දියාව බැඳී සිටී යන්නයි. එසේ නම් දහස් ගණනින් වතු දෙමළ සහෝදරවරු, සහෝදරියන් ඉන්දියාවට අදත් ආපසු පිටත් කර යැවිය යුතු වේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress