මැයි දින ප්‍රෝඩාව හා ඩලස්-දයාන් දීගය
Posted on May 12th, 2023
C. Wijeyawickrema, LL.B., Ph.D.
හැඳින්වීම
ලංකාවේ කළුසුද්දන්, මාක්ස්වාදීන් හා පක්ෂ දේශපාලකයින් විසින් කරගෙන ගිය තවත් එක් මහජනයා රැවටීමක් ලෙස මැයි දින පෙලපාලිය නම් කල හැකිය. මුලදී සිටම මාක්ස්වාදීන් එය භාවිතා කලේ ඔවුන්ගේ බංගවේවා මන්තරය වාර්ෂිකව මැතිරීම පිණිසය. සාදුකින් පෙලෙනවුන් අන්තිම සටනට සැරසවීමය. එය ඔවුන්ගේ සිංහල බෞද්ධ විරෝධී සංකේතය (සිග්නල් එක) විය. 1960 ගණන්වල දක්නට ලැබුණේ මැයි දිනයට පෙර යූනියන් ප්ලේස් එකේ කඩසාප්පු වල වීදුරු මූණත ලී ගසා වසා දමා තිබීමය. ඊට හේතුව පෙලපාලියේ එන සමසමාජකාරයින් (බීමත්ව?) ඒවාට ගල් ගසා හානිකිරීම වැලැක්විමටය. පාර්ලිමේන්තුව කතා සාප්පුවක් යන්නට වෛරී දේශපාලනය බද්ධ කිරීමය. විනය, හික්මීම, සදාචාරය බල්ලට ගියේය.
පසු කාලයක 1970 ව දශකය වනවිට, කොල හා නිල් පක්ෂවලට මෙහි රස දැනීමත් සමඟ මැයි දින රාත්‍රිය (මැදියම් රැය) දවල් කාලයට වඩා වැදගත් විය. කොළඹ පෙලපාලි ගොස් රෑ ගම්බිම් බලා එනතෙක් රබර් ගස් වලට මුවාවී බලා සිට ප්‍රතිවාදීන්ගේ බස්වලට ගල් ගැසීමය. මැයි දිනය යනු පක්ෂ දේශපාලකයින්ගේ ගේම් එකක් බව මේ කාලයේදී මට ප්රත්යක්ෂ වුනේ පෙලපාලියේ තෙමි තෙමී ගමන්කල කොල්වින් පසුව වේදිකාවට නැඟ කල කතාව නිසාය. සහෝදරවරුණි, ඔබලා පෙලපාලියේ එන අතරතුර මම ගෙදර ගොස් ඇඳුම් මාරුකරගෙන ආවා (තෙත ඇඳුම් ගලවා නාගෙන?). ඊට කලින් හිටපු අධ්‍යාපන ඇමති බදිඋද්දීන් මොහමඩ් කාර් එකක් උඩ ඇලවී නිදාගෙන ජනයා උසිගන්වනවා මම දුටුවෙමි.
2023 මැයි දිනයෙන් එලිදරව්වුණ කාරණා දෙකක් පෙන්වාදීම මෙම සටහනේ අරමුණය.
*1. JVP මැයි දිනය හා බුද්ධාගම
1935 න් පසු බොරුවට හෝ 1964 දී ඇන් ඇම්-කොල්වින්ලා දළදා මාළිගාවට මල්වට්ටියක් රැගෙන ගියේය. තමන්ටත් බෞද්ධ උරුමයක්, නෑකමක් ගාවා ගන්නට දැන් JVP එක බලවත් ව්‍යායාමයක් දරමින් සිටී. එක් JVP නායකයෙක් ගමක චෛත්‍යයක කොතක් විවෘත කිරීමට ගිය විට කොත කඩා වැටී තුවාලද සිදුවිය. ඔවුන්ගේ මාක්ස්වාදී හැව ගැන තමන්ට බයක් ඇතැයි චම්පික රණවක කියා සිටී. ඔවුන්ගේ වේදිකාවල බෞද්ධ සූත්‍ර හා ජාතක කතා ගැනත්, රනිල් ජනාධිපති සමඟ තරඟයට මෙන්, දැන් දැන් කියැවේ. අනුර කුමාර හොඳ සිංහල බෞද්ධ පසුබිමක් තිබූ අයෙක් බව එලිදරව් කෙරෙන්නේ දැන්ය. එසේ නම් ඔහු උවිඳු විජේවීර නම් තරුණයා මෙන් පරිණාමය නොවුනේ මන්ද?
එහෙත් ඔවුන්ගේ රැලිය කාල් මාක්ස් හා ලෙනින්ගේ රූප වලින්, දෑකැත්තෙන් හා මිටියෙන් ආරම්භ වුනේය. ඉන් පිළිඹිඹුවන්නේ ගොවියා හා කම්කරුවාට වඩා මර්ධනය හා ආගම අබින් යන කතාවය. මාක්ස්වාදීන්ට බුදු දහමේ අධ්‍යාත්මය පෙන්වා දීමට ඓතිහාසිකව හාමුදුරුවරු කීපනමක්ම උත්සාහ කලත් (උඩකැන්දවල සරණංකර, වල්පොල රාහුල, බලංගොඩ ආනන්ද මෛත්‍රී) එය නෙළුම් කොලයට දාන වතුර වැනි විය. නොහොත් වැද්දන්ට බණ කියනවා වැනි විය රුවන්වැලි මහා සෑය සැදූ දුටුගැමුණු රජතුමා ගඩොල් මෝඩයෙක් විය.
විජේවීර තම ක්‍රිස්තියානි බිරිඳගෙන් කල ඉල්ලීමක්වූයේ තම දරුවන් ක්‍රිස්තියානි නොකරණ ලෙසයයි කියැවේ. ඔහුගේ පුතාගේ දේශපාලන දෘෂ්ටි කෝණය වෙනස් මේ හේතුවෙනි. සෝමවංශ අමරසිංහ තමන් මියගිය පසු පාංශුකූලය දීම ගැන තමන් සමඟ කතාකල බව ඇල්ලේ ගුණවංශ හිමිඳුන් එලිකලේය.
කාල් මාක්ස්ගේ පෝස්ටර් පෙලපාලියට පසුව වෙසක් දිනයට කලින්දා (මැයි4), සිරසේ ගයාන් විසින් හඳුන්නෙත්ති සමඟ මෙහෙයවූ <බුද්ධ දර්ශනයෙන් රාජ්‍ය පාලනයට මඟ> නමැති (මාවත) වීඩියෝ වැඩ සටහන JVP එක, දේවානම්පියතිස්ස රජුට ලංවීමට ගත් උත්සාහයක් ලෙස පෙනෙන්නේ යම් දක්ෂතාවයක් ඇති හඳුන්නෙත්ති බෞද්ධ දර්ශණය ගැන තටමන ආකාරය දකිණ විටය.. ඊට සහභාගී කරගත් හාමුදුරුවරු, විජිතපුරයේ විමලරතන, රළුවේ පද්මසිරි (කොළඹ හා කැලණියේ හිටපු මහාචාර්යවරු), දෙහිපේ චන්දවිමල හා නීතියාගම චන්දිම යන උන්වහන්සේලා තෝරාගත්තේ කුමණ පදනමකින්දැයි සිතෙන්නේ, මේ සඳහා ඉඳුරාගාරේ ධම්මරතන වැනි හිමිනමක් සහභාගී කර නොගැනීම නිසාය.
බෞද්ධයින් රැවටීම නමැති පක්ෂ දේශපාලකයින්ගේ උපක්‍රමය, න්යායපත්රය JVP එකටත් බෝවීලාද කියා සිතේ. රටේ හාමුදුරුවරුන් 800 ක්ම ඝාතනය කල ඉතිහාසයක් ඇති ඔවුන් දැන්වත් අවංක යයි ඔප්පුකල හැක්කේ නියමාකාරයේ සාකච්චා මාලා මඟින්. හා ධම්මපදය නිවිහැල්ලේ කියවීමෙන් මිස කට පාඩමින් විභාගයකට උත්තර ලියනවා මෙන් නොවේ. මෙය සමාන කල හැක්කේ අගමැති මෝඩිද ලංකාවේ ඕ මයිගෝඩ් බෞද්ධයෙක් වගේ හැසිරෙන ආකාරයටය.
*2. පෙඩරල් පප්පලා හා 13-A ප්ල්ස් සීයා ලෙස සැළකෙණ දයාන් ජයතිලක
ඩලස් අලහප්පෙරුමගේ නිදහස් ජනතා සභාවේ මැයි දින මීටිමේ ඉදිරිපෙල ආසනවල ඉඳගෙන සිටි සෙට් එක දයාන් ජයතිලකගේ දේශනාව වසීවුණාමෙන් බලා සිටිනවා දුටු විට මට එය පුදුමයට කාරණයක් වුනේ නැත. ඉදිරිපෙලේ සිටි අය අතරින් චන්න ජයසුමන හැරෙනවිට අන් සියල්ලෝම පෙඩරල් කාරයෝය. ලැයිස්තුවේ මුලටම ඉන්නේ G.L. පීරිස්ය. ඔස්ලෝ මීටිමට පසුව කොටි බාලසිංහම්ට හිස් එක්සලන්සි කිව්වේ ඔහුය. බොදු බල සේනාවේ ඥානසාර හිමියන් විසින් කාන්තා නේවාසිකාගාරයක මුරකාරකමකටවත් නුසුදුසු යයි කී ඩිලාන් පෙරේරා තවත් පෙඩරල් කාරයෙකි. තිලංග සුමතිපාල, නාලක ගොඩහේවා ගැන මට ශාක්ෂි නැත. එහෙත් ඩලස් අලහප්පෙරුම ගැන සැකයක් නැත. අරාබි රජෙකුගේ නමින් කාත්තන්කුඩියේ ශාරියා විශ්වවිද්‍යාලයක් දාන්නට හිස්බුල්ලාගේ උගුලට අසුවූයේ කර ගැසුවේ ඔහුය. මෙහි භයානකකම, තකතිරුකම මුල්ගල තැබූ දවසේම ඥානසාර හිමියන් විසින් අනාවරණයකලේය.
13-A යනු, 1921/23 පමණ අතීතයක සිට දෙමළ දේශයක් සඳහා පොන්නම්බලම් අරුණාචලම් ආරම්භකල ටැමිලක්කම් ව්‍යාපාරයේම පුරුකක් බව මෙම පෙඩරල් පප්පලාට පමණක් නොව මේ වනවිට මහින්ද රාජපක්ෂටවත් නොතේරෙන බව මේ හැමදෙනාම කරගෙනයන මගඩියේ සැබෑ කතාවය. රනිල් වික්‍රමසිංහ නම් පෙඩරල් නොව පාලමක් හා බිංගෙයක් දමා රට ඉන්දියාවේ ප්‍රාන්තයක් කිරීමට වුවද සූදානම්ය. 13-A නොව 13-A+ අවශ්‍ය බවත්, එය පමණක් නොව පෙඩරල්ද අවශ්‍ය බවත් මනෝ ගනේෂන් වැනි අය පවා කියද්දීත් මේ 13-A මර උඟුල මේ සිංහල කළු සුද්දන්ට නොතේරෙන්නේ ඇයි? ලංකාව පෙඩරල් යයි සුප්‍රිම් උසාවිය දැනටමත් කියා නැද්ද?
ඩලස්ගේ අවංකකම ගැන හා ඔහු සමඟ ඉන්නා අතලොස්සේ අවංකකම පෙන්විය යුතුව තිබුණේ ගෝටාභය හා බැසිල්ලා විකාර කල කාලයේදී මිස දැන් නොවේ. මන්ත්‍රී කෑදරකම් අතහැර රටේ නියම අරගලයකට පදනම දමා ගෝටා දමණයකට හෝ නිවැරදි පාරට ගැනීමට මොවුන් ක්‍රියාකලේ නැත. අඩුතරමින් විමල් හා උදය දෙන්නා ඉවත් කල වේලාවේ වත් මොවුන් මීයන් සේ හැසුරුණේය. පසුව ගෝල්පේස් කුමණ්ත්‍රනයකට මඟ පෑදුනේ මෙම බියගුළු හා කෑදර ක්‍රියාකලාපය නිසාය.
දයාන් රස්පුටින්ගේ අවතාරයක් වත්ද?
පොහොට්ටුවේ හා නිල් පක්ෂයේ මන්ත්‍රී පරාණ මෙසේ අන්ද මන්දව නන්නත්තාරයේ යමින් සිටින විට, ඒ පරිද්දෙන්ම අතරමංවී සිටි දයාන් ජයතිලක නමැති දේශපාලන ගේම්කාරයාගේ ඔඩොක්කුවට නොසිතූවිරූ අන්දමේ ලොතරැයි ටිකට් එකක් වැටුණේය. එය හිඟන්නාගේ පාත්තරයට හෙනහුරා වැටුනා වගේ දෙයක් නොවන්නේ ඩලස් විසින්ම දයාන්ට ඔහු සමඟ එකතුවෙන ලෙස ආරාධනය කල නිසාය.. අතීතයේදී දයාන් හවුල්වු හැමදෙනාම අකරතැබ්බ වලට පත්වී දේශපාලන වශයෙන් විනාශ විය. ඔහු යටතේ දැරු පලාත් සභා ඇමතිකම අත්හැර, වර්ධරාජා පෙරුමාල්ට කලින් ඉන්දියාවට පැන ගන්නට ලංකාවේ හැරල්ඩ් ලැස්කි වශයෙන් (ඔහුගේ මාමා වන කාලෝ ෆොන්සේකා විසින් හැඳින්වූ) දයාන්ට හැකිවිය. කළු සුද්දෙක්වූ කාලෝගේ අනිත් ප්‍රසිද්ධ බැනා රංජන් රාමනායකය
පසුව ප්‍රේමදාසගෙන් අභයදානය ලබාගෙන කොළඹට ආ දයාන් දාසයෙක් මෙන් ප්‍රේමදාසට බැලමෙහෙවර කලේය. හිට්ලර් වාදියෙකුවු ප්‍රේමදාස ජනහිතකාමි නායකයෙක් නොවීය. ගාමන්ට් පැක්ටරි වලින් රටක් ගොඩ නැඟිය නොහැක. ලංකාවේ කිසිම රජෙකුටත් වඩා වැඩියෙන් චෛත්‍යය සැදූ නිසා එවැනි අයෙක් බෞද්ධ උපාසකයෙක් වෙන්නේත් නැත. කෙසේ වෙතත් ඩෙන්සිල් කොබ්බැකඩුවගේ මරණයට ප්‍රේමදාස ජනාධිපතිව නියෝජනය කලේ දයාන්ය. කුපිතවී සිටි ජනයා කනත්තේදී ඔහුව නිරුවත් කලේය.
රනිල්ගේ හා චන්ද්‍රිකාගේ සමයේදී ඔවුන්ගේ රටකැබලි කිරීමේ (balkanization of Sri Lanka) හා ජනාධිපති ධූරය අහෝසි කිරීමේ පැකේජ් ඩීල් කාලය (1994-2002) දයාන් තෘප්තිමත් ජීවිතයක් ගෙවූ කාලයක් විය. මේ යුද්ධය නම් කවදාවත් දිණන්න බැ යන පිරිස හා මංගල සමරවීර- S.B. දිසානායක සුදු නෙළුම් ගේම් අතරේ දයාන්ට හඬක් තිබුණේය. එහෙත් දේශපාලන රස්පුටින් කෙනෙක් වශයෙන් දයාන්ගේ පුදුම දක්ෂකමවූයේ ඔහු විසින් මහින්ද රාජපක්ෂටත්, රටටත් (සිංහල බෞද්ධයින්ට) කල අපරාධයය.
එය 2002 සටන් විරාම ගිවිසුම මඟින් රනිල් කල, ස්කොට් ජාතික පෝල් හැරිස් විසින් ලෝකයේ සිදුවූ මහා පාවාදීම යයි හැඳින්වූ රට ජාතිය පාවා දීමට වඩා දරුණු සිය දිවි නසා ගැනීමක් විය. අවුරුදු 3 කටත් අඩුකාලයකින් හසලක වීරයා වැනියන්ගේ ජීවිත දානයෙන් නිමකල 30 අවුරුදු යුද්ධයේ ජයග්‍රහණය යුද්ධය නිමවූ 2009 මැයි 19 දාට සති දෙකකට පමණ පසුව, මහින්දගේ නියෝජිතයා වශයෙන් ජීනීවා ගොස්, 13-A ප්ලස් ක්‍රියාත්මක කිරීමට එකඟවීම, 2015 යහපාලන කාලයේ මංගල සමරවීර ජිනීවා ගොස් යුද අපරාධ චෝදනා පිලිගත්තාට වඩා කාළකන්නි හැසිරීමකි.
තානාපතිව සිටිමින් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට විරුද්ධව ලිපි ලිවීම නිසා පසුව ඔහුව තනතුරෙන් ඉවත්කලත් (බෝගොල්ලාගම විදේශ ඇමති විසින්) ඉන් පසුව ආපසු කැරකී ඇවිත් මහින්ද සුළඟ වේදිකාවට නැඟ මහින්දගේ ප්‍රකාශයක් කියවීමට දයාන්ට ඉඩ ලැබුණේ ඔහුගේ රස්පුටින් ඉනාබේත නිසාම විය යුතුය. යුද ජයග්‍රහණය සඳහා රට සිදුකල දුෂ්කරක්‍රියාව එක වාක්‍යයකින් ගඟට ඉණිකැපීමක් කරන්නට දයාන් සමත්විය. මෙවැන්නන්ට රජකාලයේ දුන් දඬුවම කුමක්ද?
යහපාලනකාලයේදී දයාන් නිහඬව සිටියේ ඔරුමිත්තනාඩු ජරමරය ඔහුගේ මතවාදයම වුවත්, රනිල් අගමැතිට ඔහුව අරහං නිසාත්ය. ගෝටාභයගේ වියත් මඟට හොට දමා ගන්නට ඔහුකල වෑයම අසාර්ථකවූ අතර ඉන් පසු ඔහු දිනේෂ් ගුණවර්ධනව ජනාධිපති අපේක්ෂකයා ලෙස ප්‍රොමෝට් කලේය.
ප්‍රේමදාස පියාගේ පුතා ලඟට ඔහු එකතුවූයේ මෙවන් පසුබිමක් යටතේය. ඉංගිරිස් වලින් කතාකර ඩොලර් ලබාගන්නවා වැනි කතා සජිත් කලේ දයාන්ගේ ආශ්‍රය නිසාය. ඔහු සජිත්ගේ දේශපාලන උපදේශකයා ලෙස ක්‍රියාකිරීම නොරිස්සු පිරිසක් සිටි නිසා දයාන් අතරමංවී සිටියේය. ඩලස්ගේ ආරාධනය දයාන්ගේ පෙර පිනකට සිදුවූවක් වැනිය. මේ අනුව ඩලස්ලා 13-A ප්ලස් , පෙඩරල් කාරයින් වශයෙන් රට හඳුනාගන්නා අතර එය එසේ නොවේ යයි කීමේ වගකීම නිදහස් ජනතා සභාවේ වගකීමය. මගේ මේ සටහනේ අරමුණ වන්නේ දයාන් ගාවා ගැනීම, යකා සමඟ කරන ගනුදෙනුවක් බව පෙන්වාදීමය (Faustian bargain).
ඩලස් වනාහි ඓන්ද්‍රීය බුද්ධිමතෙක් යයි දයාන් පවසයි. ඔහු ඇතුළු පිරිස IMF ට විරුද්ධව චන්දය දීම පසසයි. එහෙත් දයාන් යනු IMF යෑමට විරුද්ධ අයෙක්ද? පෙරටුගාමීන්, අන්තරේ යන කොටස් සමඟ සන්ධානගත වන්නැයි දයාන් ඩලස්ලාට උපදෙස් දෙයි. මේ කොටස් IMF වලට කැමති අයද? අවස්ථානුකූලව කබරගොයා තලගොයා කිරීමේ ශූක්ෂම කපටිකමක් ඇති දයාන් චාපා කුමාර බණ්ඩා විසින් ජංගි අරගලයක් ලෙසින් නම්කරණ ගෝල්පේස් කුමණ්ත්‍රණය 1953 හර්තාලයට සමානකරයි. මෙය නිර්මාල් රංජිත්, ජයදේව උයන්ගොඩලා මෙන් ගෝල්පේස්වල නියම කතාව වසන් කිරීමේ උත්සාහයකි.
එක රටක් එක නීතියක්
2018/19 දී සිංහල බෞද්ධ ජනයා ගෝටාභය ජනාධිපති කලේ හිට්ලර් කෙනෙක්වගේවී විනය ගරුක රටක් ගොඩ නැඟීමටය. 1956 දී බණ්ඩාරනායක මෙන් ඔහුත් සිංහල බෞද්ධ අභිලාශයේ වින්නඹුවා පමණය. එක රටක් එක නීතියක් කාර්ය සාධක බලකායට ඥානසාර හිමියන් පත්කිරීම, පේරාදෙණිය සරසවියේ කුලපති ලෙස විශ්‍රාමික භූගෝලවිද්‍යා මහාචාර්ය ජෙරල්ඩ් පීරිස් පත්කිරීම හා MCC මගඩිය විමසීමට ලලිතසිරි ගුණරුවන් පත්කිරීම මෙන් හැසුරුණා නම් ගෝටාභය, ජුලී චුන්, ලලිත් වීරතුංග, පී. බී. ජයසුන්දරලාගේ හිරකාරයෙක් වෙන්නේ නැත. ඔහු විසින් රටට කල හැකි නොමැකෙන සේවයක් නම් ඔහුගේ ජනාධිපති වෘත්තාන්තය පොතක් වශයෙන් ලිවීමය.
නොයෙක් ආකාරයේ පංචස්කන්ධ විසින් පක්ෂ හා කල්ලි සදාගෙන බලයට ඒමට කෙස්පැලෙන තර්ක ගේනවා මිස සද්භාවයෙන් රටගොඩ නැඟීමට සුදානම් බවක් නොපෙනේ. නාගානන්ද කොඩිතුවක්කුගේ විනිවිද පදනමේ උද්‍රිත පාඨය වන්නේ එක රටක්-එක නීතියක්-එකම දැයක් යනුය සෙසු සුළු ජනවර්ගවලට කිසිදු හානියක් නොවන ආකාරයෙන් රට සංවර්ධනය කිරීමේ ආකෘතියක් 1940 දශකයේ මුල සිටම කළුකොඳයාවේ ප්‍රඥාශෙඛර නාහිමියන් ක්‍රියාත්මක කලේය. ගෝල්පේස් අරගලකාරයින් ඉල්ලා සිටි මහජන සභා ක්‍රමය බොරුවට හෝ ක්‍රියාත්මක කරන්නට ජනාධිපති රනිල් විසින් කරු ජයසූරිය (හා වික්ටර් අයිවන්ට) භාරදුන්නේය. මෙය නියමාකාරයේ ජන සභා ක්‍රමයක් කිරීම සඳහා යෝජනාවක් බොදු බල සේනා සංවිධානය විසින් ජනාධිපතිට යවන ලදී.
අතිශයින් පිරිහී ඇති, අසාර්ථක වෙමින් පවතින ලංකාවක් ගොඩ ගත හැක්කේ ගම්මට්ටමින් ජනයා බලවත් කරණ, පක්ෂ දේශපාලනයෙන් තොර ජන සභා සංකල්පයක් මඟින් පමණය. ලැජ්ජා-භය ගමේ පවුල් මට්ටමින්ම ක්‍රියාත්මක විය යුතුය. ජපානයේ කරණවා මෙන් ගම විනාශ නොකර නූතන ආර්ථික ලෝකයකට පිවිසිය හැකිය. අහසින් යන රේල් පාරවල් වෙනුවට කොළඹින් ඈත රජරට ප්‍රදේශයට රටේ අගනුවර ගෙන යායුතුය. ජාතිය, ආගම හෝ භාෂාව වෙනුවට ස්වාභාවික මායිම් සහිත වනසේ ග්‍රාම සේවා වසම් යළි සීමා මායිම් කලයුතුය. ඒ අනුව යමින් ප්‍රාදේශීය හා දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙන්ම පාර්ලිමේන්තු චන්ද කොට්ඨාශ හා පලාත් පාලන වෝඩ් ද සකස් කල යුතුය. අනිත් අතට ජන සභා පක්ෂ දේශපාලනයෙන් තොර නියෝජිතයින් 12 දෙනෙකු හා ජන සභා සීමාවේ ආගමික හා පොලිස්/යුද හමුදා නියෝජිතයින්ගෙන් සමන්විත විය යුතුය. ජන සභාවලට හැකිතාක් උපරිම වශයෙන් බලතල පැවරිය යුතුය.
හොරෝවිට්ස් අවතාරය
මේ පිළිඹඳ දීර්ග සටහන් ජනාධිපතිලාට, කොමිෂන් සභාවලට යවා ඇතත් (දැන් රනිල් ආර්ථික න්‍යාය අගය කරමින් සිටින පැතුම් කර්නර්ට පවා)
පවතින කළු සුද්දන්ගේ පාලන තන්ත්රය යටතේ මෙවැනි සංකල්පයකට ඉඩක් නොදේ. මීට විරුද්ධව කතාකරණ එක් පුද්ගලයෙක් නම් දයාන් ජයතිලකය. ඔහු ලංකාව වැනි පරණ යටත් විජිත වලට ඩොනල්ඩ් හොරෝවිට්ස් ගේ නන් මැජෝරිටරින් විසඳුම් වර්ණනා කරණ අයෙකි (Ethnic groups in conflict, Donald L. Horowitz, 1985). 13-A යනු එවැනි එක් ක්රමයකි. හොරොවිට්ස් ක්‍රමය කොපිකල හැම රටක්ම දෙකට තුනට කැඩී ගියේය. ඩලස් විසින් දයාන් ලංකර ගැනීම යනු 1995-2000 නීලන්-ජීඇල්-චන්ද්‍රිකා පැකේජ් ඩීල් අනුව හා ඉන් පසු 2017 දී ඒවා කොපිකරමින් රනිල්-සුමන්තිරන් ගෙනා ඔරුමිත්තනාඩු රට කැබලි කිරිමේ ප්ලැන අනුමත කිරීමකි.
මෙම සටහන දයාන්ගේ ඊමේල් ලිපිනයටද කෙළින්ම යවන්නේ මෙය දේශපාලන සටහනක් මිස වෙනත් පුද්ගලික ගණුදෙනුවක් නොවන නිසාය.