“සාවද්‍ය තොරතුරු අනතුරුදායකයි. බෞද්ධ ලෝකය මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි” – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ දී.-
Posted on June 2nd, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

   “සාවද්‍ය තොරතුරු අනතුරුදායකයි. බෞද්ධ ලෝකය මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි” – අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා තායිලන්තයේ දී.-

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,  2023.06.01 දින තායිලන්තයේ චූලලෝන්කෝන් රාජවිද්‍යාල  විශ්වවිද්‍යාලයේ  දී, එක්සත් ජාතීන්ගේ වෙසක් දින උලෙළේ ප්‍රධාන දේශනය කරමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා…

“වෙසක් දිනය තායිලන්තයේ සංවිධානය කිරීම පිළිබඳව මහා චූලලෝන්ග්කෝර්න් රාජවිද්‍යාල විශ්ව විද්‍යාලය, වෙත මෙන්ම. මෙහි දේශනය පැවැත්විම මට ආරාධනා කිරීම ගැන අතිපූජ්‍ය මහා සංඝරත්නය, ජාත්‍යන්තර වෙසක් දින සභාව, ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල සංගමය, අයුත්‍යා හි මහා චූලලෝන්ග්කෝර්න් රාජවිද්‍යාල විශ්වවිද්‍යාලය (MCU), බැංකොක්හි එක්සත් ජාතීන්ගේ ESCAP මධ්‍යස්ථානය සහ එක්සත් ජාතීන්ගේ වෙසක් දින සංවිධායකයින් වෙත ප්‍රණාමය පුද කරනවා.

ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම ආගමික ගුරුවරයා වූ සිද්ධාර්ථ කුමරු උපත ලැබුවේ වෙසක් පොහොය දිනකයි. සුඛෝපභෝගී පවුලක හැදී වැඩුනත්, මනුෂ්‍යත්වයේ දුක පැහැදිලිව අවබෝධ කර, වසර ගණනාවක දුක්ඛිත අරගලයකින් පසුව, කිසිවකුගේ මගපෙන්වීමක් නොමැතිව ස්වකීය උත්සාහයෙන් හා ප්‍රඥාවෙන් සියලු ක්ලේශයන් තුරන් කර, ඔහුගේම දැනුම මත වේදනාව සැබෑ ලෙස අවබෝධ කර ගත්තා. උන්වහන්සේ  “බුදුන්” ලෙස මෙලොවට ඉපදුණේ නැහැ, නමුත්  ස්වෝත්සාහායෙන් “බුද්ධ” බවට පත්වුණා. වසර හතළිස් පහක් මුළුල්ලේ සියලු සත්වයන්ගේ යහපත පිණිස දේශනා කොට වැඩ සිටියා. උන් වහන්සේගේ ගෝලයන්ට ඔවුන්ගේ “එකම ගුරුවරයා” ලෙස ධර්මය සහ විනය උගන්වා වදාළා. සමස්ත පරිසර පද්ධතිය සාමූහිකව ආරක්ෂා කරන සහ ඊට සේවය කරන අන්‍යයන්ගේ යහපත සඳහා මධ්‍යම පටිපදාව, තුළ මානව ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමේ වැදගත්කම උන්වහන්සේගේ ඉගැන්වීම තුළින් අවධාරණය කරනවා.

වර්තමාන ලෝක ජනගහනයෙන් පහෙන් එකකට වැඩි පිරිසක් බුදුන් වහන්සේ තම උත්තරීතර ගුරුවරයා ලෙස සලකන බැවින්  උන්වහන්සේගේ ඉගැන්වීම් පෝෂණය කිරීම සහ ප්‍රචාරණය කිරීම සඳහා ලොව පුරා බෞද්ධයන් එක්රැස් වූ මෙම සම්මේලනය ඉතා වැදගත්. අප බුදුරදුන්ගේ ඉගැන්වීම් නැවත නැවතත් හුවමාරු කරගත් නිසා තායිලන්තය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශතවර්ෂ ගණනාවකට එහා අතීතයකට දිව යනවා. ශ්‍රී ලංකාවේ සංඝ ශාසනය පුනර්ජීවනය කිරීම සම්බන්ධයෙන් සියම් දේශයේ සිට පැමිණි අතිපූජ්‍ය උපාලි නාහිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකාව සැමවිටම කෘතඥ වෙනවා. තායිලන්තයේ අතිපූජ්‍ය උපාලි මහා නාහිමිපාණන් වහන්සේ සහ ශ්‍රී ලංකාවේ අතිපූජ්‍ය සරණංකර සංඝරාජ හිමිපාණන් වහන්සේලා  ශ්‍රී ලංකාවේ සංඝ ශාසනය පුනර්ජීවනය කළා. ශ්‍රී ලංකාව මේ වසරේ එම ප්‍රයත්නයන්ගේ 270 වැනි සංවත්සරය සමරනවා.

අතිපූජ්‍ය සඟරාජ මහා ස්වාමින් වහන්සේ ගේ දූරදර්ශී මග පෙන්වීම හා ආශිර්වාදය නොවන්නට මේ මහෝත්සවයේ රැස්වීමත් අප මෙතෙක් පැමිණි ගමනත් සාර්ථක නොවන්නට ඉඩ තිබුණා. මෙම වාර්ෂික රැස්වීමේ සාර්ථකත්වයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ තායිලන්තයේ මහා වජිර-ලෝන්ග්-කෝන් රජුගේ දූරදර්ශී අනුග්‍රහයයි. උන්වහන්සේ 1993 වසරේ කොළඹ, නුවර සහ ගාල්ලට වැඩම කළ බව අපට මතකයි. මීට වසර 30කට පෙර එවකට ඔටුන්න හිමි කුමරු, 1897 සිට උන්වහන්සේගේ පවුලේ රාජකීය මුතුන් මිත්තන් පැවිදි වී භික්ෂුත්වයේ වාසය කළ, කොළඹ දීප දුප්තමාරාම විහාරස්ථානයට වැඩම කිරීම ශ්‍රී ලංකාවාසී මහා සංඝරත්නයටද විශේෂ අවස්ථාවක්.

මහනුවරදී ශ්‍රී දළදා මාලිගාවට ගොස් අති උතුම් දන්ත ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමට මහරජතුමාට හැකිවුණා. බෞද්ධ ප්‍රඥාවෙන් ගෝලීය අර්බුදයට සාර්ථකව මුහුණ දිය හැක්කේ කෙසේදයන්න ගැඹුරින් අවබෝධ කර අද ලොව පුරා සිටින පුරවැසියන් “තිරසාර සංවර්ධනය”, “සමාජ වෙනසක් ඇති කිරීම”, “ගෝලීය උණුසුම”, “පාරිසරික ආරක්ෂාව”, “සෞඛ්‍ය සම්පන්න ජීවිතයක්”, “සාමය ගොඩනැගීම”, “පශ්චාත් ගැටුම් ප්‍රතිසාධනය” සහ ඒ හා සමාන ගැටලු සඳහා බෞද්ධ ප්‍රතිචාර පිළිබඳ ප්‍රබුද්ධ සාකච්ජාවල යෙදෙන බව අප සැමට වැටහෙනවා.

මේ නිමක් නැති චක්‍රය හෙවත් සංසාරය තරම් විශාල අර්බුදයක් තවත් නැහැ. මෙය, ප්‍රබුද්ධයන් විසින් හේතුව සහ ඵලයලෙස විශ්ලේෂණය කළ අතර, වස්තූන්වල සත්‍ය ස්වභාවය සැබෑ ලෙසම අවබෝධ කරගත්තා. එවිට “මැද මාවත”, එකම මධ්‍යස්ථ ප්‍රායෝගික ඉදිරි මාර්ගය ලෙසත්, විරාමයක් හෝ අවසානයක් කරා ළඟා වන තෙක් තමාටම අනන්‍ය වූ මාවතක “සිහියෙන් යුතුව ගමන් කිරීමේ” අවශ්‍යතාවයත් අවබෝධ කරගත්තා.

බෞද්ධයන් වශයෙන් අපට අනෙක් සෑම අර්බුදයක්ම නැවුම් මනසකින් යුතුව විමසා බැලීමට නිරාකරණය කිරීමට සහ කළමනාකරණය කිරීමට එළැඹෙන නව අභියෝගයක් පමණයි. ප්‍රබුද්ධයා විසින් පරිසරය – මිනිසා, සතුන් සහ ශාක රැකබලා ගැනීම සඳහා ගැඹුරු කල්පනාකාරී පිළිවෙත් ස්ථාපිත කොට ජීවිත කාලය පුරාම එය පුහුණු කිරීම ආරම්භ කළා. ලද දෙයින් සතුටු විමේවැදගත්කම, මානව අභිවාද්ධිය සඳහා කාලය සහ සම්පත් වගකීමෙන් හා අල්පේච්ඡව භාවිතා කිරීම හුරු කරවන බෞද්ධ ඉගැන්වීම් තුළ පමණක් අවධාරණය කරනවා.

 “මිනිසාගේ වගකීම් සහගත අභිවෘද්ධිය” සහ “සමාජයේ තිරසරභාවය” සඳහා මැද (මධ්‍යස්ථ) මාවත හඳුන්වා දුන් බුදුන් වහන්සේ එවකට ස්ථාපිත සමාජ ව්‍යුහයට අභියෝග කරමින් මානව වර්ගයාගේ ඉතිහාසයේ විශාලතම විප්ලවය ආරම්භ කරනු ලැබූවා.   අද, අප හමුවන්නේ ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම, ධනවත් අයගේ සිට දුප්පතුන් දක්වා වූ සෑම තරාතිරමකම මිනිසුන්ගේ ජීවිත මිලියන ගණනින් අහිමි වූ පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය වසංගතයකින් පසුවයි. රැස්කරගත් දෙයින් පමණක් තවදුරටත් පැවැත්මක් නැති බවත්, මෙතරම් විශාල අර්බුදයක් ජය ගැනීම එකිනෙකාට සේවය කිරීමේ සාමූහික ප්‍රයත්නය තුළින් පමණක් සිදුකළ හැකිබවත් අවබෝධ කර ගැනීමට එය ලෝක ප්‍රජාවගේ මනස විවෘත කිරිමට සමත් වුණා. 

වසංගතයෙන් පසු ලොව පුරා ආර්ථික ක්‍රියාකාරකම්වල දැවැන්ත මන්දගාමීත්වයක් දක්නට ලැබිමත් සමග ගෝලීය ආර්ථික අර්බුදයක් ඇති වුණා. මිනිසුන් දරිද්‍රතා රේඛාවෙන් තවත් පහළට තල්ලු වුණා. මෙමගින් ලොව පුරා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟය වැඩි වුණා. රජයට, පෞද්ගලික අංශයට හෝ කිසිම ආයතනයකට මේ සඳහා සාධාරණ විසඳුමක් සොයා ගැනීමට නොහැකි වුණා. ආහාර, ඖෂධ, සහ ලොව පුරා ප්‍රධාන අපනයන වැනි අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය හිඟ වුණා.

ශ්‍රී ලංකාව පසුගිය මාස 10 තුළ දශක ගණනාවක් තිස්සේ පැවති ආන්තික ආර්ථික ප්‍රතිපත්ති අත්හැර දමා මැද මාවත අනුගමනය කර තිබෙනවා. මෙය ශ්‍රී ලංකාවට විශාල ඔරොත්තු දීමේ හැකියාවක් ඇතිකිරීමට සහ මැද මාවතේ ඉදිරියට යාමට ගෝලීය විශ්වාසය නැවත ලබා ගැනීමට ඉමහත් ලෙස උපකාරී වී තිබෙනවා. බුදුපියාණන් වහන්සේ අංගුත්තර නිකායේ අනන සූත්‍රයේ දී ණයගැති බව ගැන වදාළා. අනන යන වචනයේ තේරුම ණය නොමැති බව යන්නයි. පුද්ගලයෙකුට හෝ ජාතියකට  ණය බරින් තොරව ජීවත් විය හැකි නම්, එම පුද්ගලයාට හෝ රටට සතර ආකාරයක සැපයක් ලබා ගත හැකියි. අත්ත සුඛය-ධාර්මික මාර්ගයෙන් ධනය හිමිකර ගැනීමේ සතුට, භෝග සුඛය-උපයාගත් ධනය නිසි ලෙස පරිහරණය කිරීමේ සතුට, අනන සුඛය- ණයෙන් නිදහස් වීමේ සතුට, අනවජ්ජ සුඛය-නිදොස් ජීවිතයක් ගත කිරීමේ සතුට එම සතර ආකාර සැපයයි. එය ප්‍රීතිමත් රාජ්‍යයක උච්චතම අවස්ථාවයි.

එබැවින්, මනුෂ්‍ය වර්ගයා විසින් කිසිදා නොඇසූ-නොදුටු-නොසිතූ, පෙර නොවූ විරූ කොවිඩ් වසංගතයේ ප්‍රතිඵලයක් ලෙස ජාතීන් මත ගොඩගැසී ඇති සියලුම ණය සහ ගෙවා නිමකළ නොහැකි මූල්‍ය බැඳීම් සඳහා විශ්වීය සමාකාලයක් හෝ ඒ හා සමාන පිළියමක් ලබාදෙන ලෙස මෙම උත්තරීතර සභාව ඒකමතිකව ඉල්ලා සිටිනවා. මෙය මූලික වශයෙන් ලොව පුරා කනස්සල්ලට පත් මනස් මිලියන ගණනකට ලබා දිය හැකි වඩාත්ම සදාචාරාත්මක සහනය වන්නට පුළුවන්.

නූතන අර්බුදය ආරම්භ වන්නේ දිනෙන් දින වර්ධනය වන මිනිස් ජනගහනයෙන්. අද ලෝකයේ බිලියන 8 කට වඩා වැඩි පිරිසක් සිටිනවා. ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය, ඉඩම් සහ ආහාර හිඟය සමග අඛණ්ඩව පොරබදන්නට මෙම ජනතාවට සිදුවෙනවා. මෙසේ පොරබදන්නට සිදුවන්නේ ගෝලීය වසංගත, ස්වාභාවික විපත්, මූල්‍ය බිඳවැටීම් සහ විනාශකාරී යුද්ධ ද මධ්‍යයේ යි.

තායිලන්තයේ ප්‍රමාණවත් ආර්ථික ප්‍රතිපත්තිය බුදුදහම සහ තිරසර සංවර්ධනය අතර සම්බන්ධයක් සපයන හොඳ උදාහරණයක්. මෙය රාජ්‍ය, පෞද්ගලික සහ පුරවැසි සංවිධාන දක්වා ව්‍යාප්ත වී ඇති ආර්ථිකය, සමාජය සහ පරිසරය සමඟ අන්තර් සම්බන්ධතා පිළිබඳ බෞද්ධ ලෝකයේ දැක්ම මත පදනම් වූ ප්‍රමාණවත් ආර්ථික දර්ශනය පදනම් වූ සුවිශේෂී තිරසර රාමුවක්.

එබැවින්, මෙම මූලික වශයෙන් අත්‍යවශ්‍යම අර්බුදයට නැවුම් මනසකින් මුහුණ දිය යුතු ආකාරය පැහැදිලිවම ආසියාව ලෝකයට පෙන්වා දෙනවා. “මේ සියවස ආසියාවේ සියවස” බව බොහෝ සංසදවල පවසා තිබෙනවා. ලෝකයේ අනාගතය සඳහා අත්‍යවශ්‍යයෙන්ම ඓතිහාසික ප්‍රඥාව සහ භාවිතයන් සොයා ගත යුතු ස්ථානය ආසියාවයි. තවද ASEAN යනු ආසියාවේ අවියෝජනීය කොටසකි. ASEAN යනු බෞද්ධ ප්‍රඥාව සඳහා මනස් දොරටුවයි සහ ගෝලීය ආහාර නිෂ්පාදනයේ තිරසාර කෘෂිකාර්මික පිළිවෙතයි.

ථෙරවාද සම්ප්‍රදාය ප්‍රඥාවෙන් පසු ලෝකයේ  දෙවන වඩාත්ම වටිනා බෞද්ධ සම්ප්‍රදායයි. ථෙරවාදී රටවලට සේවය කිරීමටත් ලෝකයේ බොහෝ අර්බුද සුවපත් කිරීමටත් අවශ්‍ය මූලික සහජීවනය විපස්සනා භාවනාව තුළින් සිහිය පිහිටුවා ගැනීමයි. මෙම උත්සාහය සඳහා ශ්‍රී ලංකාව, තායිලන්තය, මියන්මාරය, වියට්නාමය, කාම්බෝජය සහ ලාඕසය යන ථෙරවාදී ජාතීන් අතර පුළුල් සංස්ථාවක් අත්‍යවශ්‍ය වේ. අපගේ ජාතීන් අතර වඩාත් නිදහස් සංචලනය සහ අන්තර්ක්‍රියා තවදුරටත් ශක්තිමත් කළ යුතුය.

අනෙක් වැදගත්ම දෙය නම්, අනාගතය, තරුණ තරුණියන් මානුෂිකඅංශය කෙරෙහි අවධානය යොමු කර නවීන ශිෂ්ටාචාරයක් තුළ සිහිකල්පනාව ඇතිව අධ්‍යාපනයෙන් පෝෂණය වන ලොව පුරා දහම් පාසල් පද්ධතිය වැඩිදියුණු කිරීමයි. මෙම පියවර ඉදිරියට ගැනීමට ශ්‍රී ලංකාව කැමැත්තෙන් සිටින බව ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මෙම උත්තරීතර සභාවට දන්වා සිටින අතර 19 වැනි එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ඔබ සැමගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරනවා. 2024 දී මෙම සමුළුව ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට විශාල ශක්තියක් සහ ආශිර්වාදයක් වනු ඇත.

අවසාන වශයෙන්, මේ අපි පසු කරන්නේ තොරතුරු යුගය බව අපි මතක තබා ගනිමු, තොරතුරු ප්‍රබල බැවින්, එය යහපත සඳහා සේම අයහපත සඳහා ද භාවිත කළ හැකියි. වැරදි තොරතුරු වෙන කවරදාකටත් වඩා අනතුරක් ගෙන දිය හැකියි. බෞද්ධ ලෝකය මේ පිළිබඳව අවධානයෙන් සිටිය යුතුයි. මෙම සමුළුව සංවිධානයට විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගැනීම සඳහා අඛණ්ඩ නොපසුබට කැපවීම වෙනුවෙන් වෙසක් දින ජාත්‍යන්තර කවුන්සිලයේ සභාපති අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රා බ්‍රහ්ම-පණ්ඩිත් වෙත කෘතවේදීත්වය ප්‍රකාශ කිරීමට  කැමැත්තෙමි.

වෙසක් දින ජාත්‍යන්තර කවුන්සිලයේ සභාපති, ජාත්‍යන්තර බෞද්ධ විශ්වවිද්‍යාල සංගමයේ සභාපති සහ තායිලන්තයේ උත්තරීතර සංඝ සභාවේ සාමාජික, අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රා බ්‍රහ්මපණ්ඩිත්, මහා චූලලෝන්ග්කෝර්න්  රාජවිද්‍යාල විශ්වවිද්‍යාලයේ ප්‍රධානී අතිපූජ්‍ය මහාචාර්ය ෆ්‍රා දම් වජ්‍ර පණ්ඩිත්, සියම් නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහ නාහිමි අතුළු  අතිපූජ්‍ය සංඝරාජ ස්වාමීන් වහන්සේලා සහ ගෞරවණීය මහා සංඝරත්නය, එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම් සහ ආසියානු ශාන්තිකර කලාපයේ ආර්ථක, සාමාජීය සහයෝගීතා සංවිධානයේ (ESCAP) විධායක ලේකම්  Armida Salsiah Alisjahbana,   , අමාත්‍ය විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍ය විජිත බේරුගොඩ, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී  ගුණවර්ධන,  මෙම අවස්ථාවට එක්වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress