සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය වළක්වන, අධික ලෙස ගාස්තු අයකරන පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති නැවත පාර්ලිමේන්තුවට…!
Posted on August 6th, 2023

අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col), නීතීඥ සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන

පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ අගවිනිසුරු සහ සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල විරෝධී රීති 2023.08.08 පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට නැවත ගෙනවිත් ඇත.

නීති විද්‍යාලයේ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වන ලද 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

පාර්ලිමේන්තු බලතල සහ වරප්‍රසාද උල්ලංඝනය කරමින් එකී පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ රීති වෙනත් ආකාරයකින්
ගෙන එමින් නැවත 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත.

එකී අලුත් රීතිවලට පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමට 2023 අගෝස්තු 08 වැනි දින පාර්ලිමේන්තුවෙර් න්‍යාය පත්‍රයට පවා ඇතුලත් කර ඇත. වරක් තමන් ප්‍රතික්ෂේප කළ නීති විද්‍යාලයේ රීති වලට පාර්ලිමේන්තුව ඉඩ දෙනවාද යන්න ජනතාවගේ පරමාධිපත්‍යය සහ පාර්ලිමේන්තු වරප්‍රසාද සහ බලතල පිළිබඳ ගැඹුරෙන් අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි.

පාර්ලිමේන්තුව වරක් ප්‍රතික්ෂේප කළ රීති වෙස්මුහුණක් දමාගෙන අධික ගාස්තු අයකරමින් සහ සිංහලෙන් නීති අධ්‍යාපනය ලබා දීම වළක්වමින් නැවත ඒ රීති වෙනත් පාරකින් නැවත ගෙනවිත් තිබීම ගැන පාර්ලිමේන්තුව අවධානය යොමු කළ යුතුය. එය ජනතාවගේ පරමාධිපත්‍යය පිළිබඳ ප්‍රශ්නයකි.

මේ සම්බන්ධයෙන් ලේඛකයා විසින්
“නීති විද්‍යාලයේ අලුත් ගැසට් පත්‍රයද  ජයන්ත ජයසූරිය අගවිනිසුරු ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ දිගටම පවතින සිංහල විරෝධය සනාථ කරයි.” 

මැයෙන් 2023 ජූනි 03 ලියන ලද ලිපිය පහත පළ වෙයි.

එහි අන්තර්ජාල සබැඳිය ….
http://neethiyalk.blogspot.com/2023/06/blog-post.html?m=1

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීම වැළක්වූ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රය 2023.03.21 දින පාර්ලිමේන්තුව විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ අධ්‍යාපනය සම්බන්ධයෙන් වන 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රය සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් පළකර ඇත.

එකී ගැසට් පත්‍රය මගින්ද 1972 සිට ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකරමින් පවත්වාගෙන එනු ලැබූ සි‍ංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා දීමේ ව්‍යවස්ථාපිත යුතුකම ඉටුකිරීමෙන් වැළකී ඇත. ශ්‍රී ලංකා නීති විද්‍යාලය සම්බන්ධයෙන් වන 2023.05.15 දිනැති 2332/02 අංක දරන අතිවිශෙෂ ගැසට් පත්‍රයද නැවතත් සිංහල අධිකරණ භාෂාවෙන් නඩු විභාග කිරීම වැළැක්වීම සිදුකර ඇත. එසේම එකී ගැසට් පත්‍රය  මගින් 2023.03.21 පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කළ 2020.12.30 අංක 2208/13 අතිවිශෙෂ ගැසට් පත්‍රයේ ස‍ඳහන් සිංහල අධිකරණ භාෂාවට එරෙහි විධිවිධාන නැවත ඇතුළත් කිරීමද කරමින් පාර්ලිමේන්තු බලතල, වරප්‍රසාද සහ පරිහාරද නොසළකා ඇත.

සිංහල අධිකරණ භාෂාවෙන් නීති අධ්‍යාපනය ලබා නොදීම දණ්ඩ නීති සංග්‍රහයේ 289 වන වගන්තිය යටතේවන ව්‍යවස්ථාපිත යුතුකම කඩකිරීමකි. සිංහල අධිකරණ  භාෂාවෙන් නඩු විභාග කිරීමට හැකිවන පරිදි නීති අධ්‍යාපනය ලබා දීම වැළැක්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 111ඇ ව්‍යවස්ථාව යටතේ අධිකරණයට කරන අයුතු බලපෑම් කිරීමක්ද වෙයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුලු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සිංහල භාෂා විරෝධය නිවැරදි කිරීමට අධිකරණයේ නඩු පැවරීම ඵලදායක නොවන්නේ විධායක බලය සහ අධිකරණ බලය යන බල 2ක් හිමි අගවිනිසුරුවරයා විධායක ජනාධිපතිවරයාටත් වඩා නෛතික බලවතෙක් වීමත් එහි ආරක්ෂාව සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සෙසු සාමාජිකයන්ද ලබන හෙයිනි.

http://neethiyalk.blogspot.com/2023/08/blog-post.html?m=1

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress