හදිසි මරණ පරීක්ෂකවරු ඉටුකරන සුවිශේෂ  මානව හිතවාදී සේවාවට ගෞරවය පමණක් නොව වඩාත්  පිළිගැනීමක් ලැබිය යුතුයි- අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on August 13th, 2023

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ මහා සම්මේලනය සහ නිලවරණය  2023.08.12 දින අරලියගහ මන්දිරයේ පැවැති අවස්ථාවේදීය.

වසර විසිපහකට වැඩි සේවාකාලයක් සපුරණ හදිසි මරණ පරීක්ෂක වරුන් සහ අනෙකුත් හදිසි මරණ පරීක්ෂක වරුන් ඇගයීම ද මෙහිදී සිදු කෙරිණි.

මෙහිදී  අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා –

හදිසි මරණ පරීක්ෂක  සේවාව හා සමාන්තරව තිබෙන ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට සම්බන්ධිත  උප්පැන්න හා මරණ ලියාපදිංචි කිරීමේ ක්ෂේත්‍රයන්ට ද වඩාත් අන්‍යෝන්‍ය අවබෝධයෙන් රට වැසියන් වෙනුවෙන් සේවය කිරීමට අවශ්‍ය පහසුකම් වැඩි කළ යුතුයි. මුදල් නොමැති කාලයක ප්‍රතිපාදන වැඩි කර ගැනීමට නොහැකි බව ඔබට අවබෝධයෙන් වැටහෙනු ඇති. නමුත් ප්‍රතිපත්තියක් හැටියට  හදිසි මරණ පරීක්ෂක සේවාවට මීට වඩා පිළිගැනීමක් ඇති කිරීම සහ පසුගිය කාලයේ තීරණය කරන ලද දීමනාවන් ට අතිරේකව යම් යම්  දීමනා වැඩි කර ගැනීමේ  ක්‍රියාමාර්ගය පිළිබඳව මගෙ සහයෝගය අඛණ්ඩව ලබා දෙනවා. ඒ පිළිබඳව අධිකරණ අමාත්‍යවරයාත්, මමත්, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයත් සාකච්ඡා කරමින් සිටිනවා. ඔබ ඉටු කරන්නා වූ සේවාවට පිළිගැනීමක් පමණක් නොව, එම සේවාවට අලුත් විශ්වාසයක් ඇති කිරිමට හැකි පියවර සම්බන්ධයෙන් සාකච්ඡා  කිරීමට තීරණය කළා.

ජීවිතයක් ලොවට උපන් වෙලාව සියලු දෙනාගේ සතුටයි. පවුලේ අය පමණක් නොව මිත්‍රයන් නෑදෑයන්  සියලු දෙනා වගේම රටක් සතුටුයි. ඒ  බිහිවන්නේ අනාගතයට මහා වගකීම් ගත හැකි දරුවන් වන නිසා. සතුට වගේම ශෝකය  ජීවිතයේ අනිත්‍යය භාවයේ කොනක තිබෙන බව තේරුම් ගත යුතුයි. ශෝකයට පත්වන අවස්ථාවත්  ශෝකයට පත් වීමෙන් පසු ගත කරන කාලයේත් හදිසි මරණ පරීක්ෂකවරු ඉටුකරන සේවය සුවිශේෂයි. එම මානව හිතවාදී සේවාවට රටක් අවබෝධයෙන් ගෞරවය පමණක් නොව වඩාත්  පිළිගැනීමකට පත් කරගත යුතුයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින්  මෙම සම්මමේලනයේ ප්‍රධාන දේශනය සිදු කළ අතර මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ක්‍රිෂාන්ති මීගහපොළ, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් ලක්ෂ්මී සෝමතුංග, සමස්ථ ලංකා හදිසි මරණ පරීක්ෂක වරුන්ගේ සංගමයේ සභාපති අනුර හේරත්, ලේකම් මොහොමඩ් හර්ශාන්  ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress