ජෙරම් ප්‍රනාන්දුට නීතියෙන්ම පිළිතුරු ලැබිය යුතුයි – පූජ්‍ය හෑගොඩ විපස්සි හිමි
Posted on August 22nd, 2023
Lanka Lead News
දේවගැති ජෙරම් ප්‍රනාන්දු බුදු දහමට අපහාස කිරීමේ සිද්ධියට ඔහුගේ මව, කෝටි වාරයක් සමාව අයැද සිටිය ද එය නීතියෙන්ම පිළිතුරු ලැබිය යුතු ප්‍රශ්නයක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
බුදු දහම පිළිබඳව අවබෝධයක් නොමැතිව ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා එම ප්‍රකාශය කළ බව පවසනවා නම් ඔහු නොදන්නා බුදු දහම විවේචනය කරන්නේ කෙසේදැයි යන්න ගැටලු සහගත බවත් උන්වහන්සේ පෙන්වා දෙති.
මෙය කිසිසේත්ම අත්වැරදීමක් නොවන බවත්, එසේ සිදුකළේ ඒකාන්ත වශයෙන්ම බුදුදහමට නින්දා අපහාස කිරීමේ අරමුණෙන් බව පැහැදිලි වන බවත් උන්වහන්සේ අවධාරණය කරති.
දේවගැතිවරයාගේ මවුපියන් ඉදිරියට දමා මෙවැනි සමාව අයැදීමක් සිදුකරනු ලබන්නේ හුදී ජනතාවගේ අනුකම්පාව දිනාගැනීමට බවද හෑගොඩ විපස්සි හිමියෝ සඳහන් කරති.
ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා බුදුදහමට අපහාස කරමින් ප්‍රකාශයක් සිදු කළේ මහා ධනස්කන්දයක් වැයකොට වේදිකා තනා ජනතාව ඒකරාශී කරමින් ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වී සැලසුම් සහගතව බව උන්වහන්සේ පෙන්වා දෙති.
මෙවැනි අපහාස කිරීම්වලට නීතියෙන් දඬුවම් ලැබිය යුතු අතර, එසේ නොකළ හොත් මෙරට තුළ ආගමික ගැටුම් හා ආගමික කල්ලි නිර්මාණය වන බවද හෑගොඩ විපස්සි හිමියෝ වැඩිදුරටත් පවසති.