ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරින්ගේ පරිපාලන ගැටළු විසදන්න…-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා
Posted on August 28th, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය  

අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ සමෘද්ධි නිලධාරීන්ගේ මෙතෙක් නොවිසදුනු ගැටළු සම්බන්ධයෙන් 2023.08.28 දින අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක් වෙමිණි.

සමෘද්ධි දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කිරීමේදී 44 ඉ(11) වගන්තිය යටතේ මනාපය පලකළ නිලධාරින් රජයට ගෙවිය යුතු සියයට 60 අර්ථ සාධක අරමුදලේ දායකත්වය ගෙවීමේදී අමතර සියයට 4 පොළයක් අයකිරීමට ඇති තීරණය අසාධාරණ බවද වෘත්තීය සමිති සදහන් කලේය. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ තණතුරු හා සේවක සංඛ්‍යාව අනුමත කරවා ගැනීම, සමෘද්ධි නිලධාරින් එම්. එන් 02 වැටුප් තලයේ පිහිටුවීම, උසස්වීමේ ක්‍රමවේදයක් සැකසීම, සමෘද්ධි නියාමක සේවා කාලය සමෘද්ධි සංවර්ධන සේවා කාලයට එක් කිරීම, වැන්දඹු අනත්දරු අරමුදල් සඳහා හිඟවාරික ගෙවීමේදී සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට වැල්පොලිය සහිත සියයට 4ක අධිභාරයක් ගෙවීම ආදී ගැටළු මෙහිදී අවධානයට යොමු විය.

මෙම ගැටළු විසදීමට බාධා වී ඇති අණපනත්, චක්‍ර ලේඛණ සම්බන්ධයෙන් නිලධාරීන් කරුණු පැහැදිලි කළේය.

ඉදිරි අයවැයට පෙර සමෘද්ධි නිලධාරීන්ගේ පරිපාලන ගැටළු විසදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරින්ට උපදෙස් දුන් අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ රට අර්බුදයකට මුහුණ දී සිටින මේ මොහොතේ නිහතමානීව මෙකී ගැටළු විසදා ගැනීමට සියලු දෙනාගේ කැපවීම අවශ්‍ය බවයි.

සමෘද්ධි නිලධාරින්, සමෘද්ධි දෙපාර්තමේන්තුවට අන්තර්ග්‍රහණය කළ ආකාරයටම වෙනත් අධිකාරීන් දෙපාර්තමේන්තු බවට අන්තර්ග්‍රහණය කිරීම් සිදුව ඇති හෙයින් එවැනි අවස්ථාවන් පූර්වාදර්ශ ගනිමින් මෙම ගැටළු කඩිනමින් විසදීමට පියවර ගන්නා ලෙස මෙහිදි අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාද සඳහන් කළේය.  රජයේ සේවකයින්ගේ ගැටළු නොවිසදීම කාර්ය සාධනය පසුබැසීමට හේතුවක් බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් කේ. ඩි. එන් රංජිත් අශෝක, කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශ ලේකම් යමුනා පෙරේරා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. බී. පී. තිලකසිරි, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඒ. ජගත් ඩී. ඩයස් ඇතුළු නිලධාරීන් හා සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරි සංගමයේ නියෝජිතයින් සහභාගි වූහ.

                                                                                                  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress