ත්‍රිකුණාමල කොටුවට පනින්න ට්‍රොයි අශ්වයෙක් සූදානම්
Posted on September 8th, 2023
මතුගම සෙනෙවිරුවන්
ත්‍රිකුණාමලයේ කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් බොරලු කන්ද රජමහ විහාරයට අනුමත වූ ඉඩම තහනම් කිරීමට වාචික උපදෙස් දුන් නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් ට අභියෝග කල පූජ්‍ය පොල්හේන්ගොඩ උපරතන නාහිමියන් ඇතුළු බෞද්ධ බලවේගය නිහඬ කරවන්නට මේ වන විට බොහෝ කටයුතු කෙරෙමින් පවතී.ත්‍රිකුණාමලයේ බෝගස් හතර පුණ්‍ය භූමියේ පැවැත් වීමට නියමිතව තිබූ උපසම්පදා සැමරුම් උත්සවය කඩකප්පල් කිරීමෙන් ඇරඹුණු ක්‍රියාවලිය තුළ නැගෙනහිර පළාතේ මේ බෞද්ධ ප්‍රබෝධය ඇති විය. මෙම තත්වය පාලනය කිරීම පිණිස විවිධ උපක්‍රම භාවිතා කරනු දැකිය හැකිය.ඉන් පළමුවැන්න නම් බොරලුකන්ද වැනි ස්ථානයන් ගොඩ නැන්වීම පිණිස ප්‍රාදේශීය සභා අනුමැතිය ගත යුතුය යන කොන්දේසියයි.ඊට අමතරව ත්‍රිකුණාමලයේ පේද්‍රික් කොටුව පුරාවිද්‍යා රකෂිතයේ සිදු වන සංවර්ධන ක්‍රියාදාමයන් පාලන කිරීමට එකඟතා ගිවිසුමක් ඉදිරිපත් කිරීම දැක්විය හැකිය.
ත්‍රිකුණාමලය නොහොත් ත්‍රිමලය කඳු මුදුන් තුනක් සහිත උස් බිමකි.තුන්වන සියවසේ දී මහසෙන් රජ දවස මෙම කඳුගැටයේ ඉඳිකර තිබූ ජෛන තීර්ථකාරාමයක් විනාශ කර විහාරස්ථානයක් ඉඳි විය.ගෝකණ්න විහාරය නමින් ප්‍රකටව පවතින්නේ එයයි.මෙම විහාරය ආශ්‍රිතව දේවාල සතරක් පිහිටා තිබී ඇතැයි පෝල් ඊ.පීරිස් මහතා සිය පෘතුගීසි යුගය ග්‍රන්ථයේ වාර්තා කරයි. පරංගීන් මෙම විහාරය සහ දේවාලය සුණු විසුණු කර දැමූහ.බුදු පිළිම ගල් කණු කොරවක් ගල් සඳකඩ පහන් සියල්ල මුහුදට ඇද දැමූහ.ඉන්පසු වර්ෂ 1623 දී මෙම කඳු ගැටය ඔවුන් ගේ සුපුරුදු බල කඳවුරක් බවට පත් කරගත්හ.විහාරය සහ දේවාලය විනාශ කරලන්නට ප්‍රථම පරංගීන් විසින් මෙහි එකතු වන ධනයෙන් පණම් 1280 ක් කප්පම් ගත්හ.අනතුරුව දෙවන රාජසිංහයන් ලන්දේසීන් සමග එකතුවී ත්‍රිකුණාමල බලකොටුවට පහර දී අල්වා ගත්හ.
බලේ බලේ රාසිං දෙවියන්ගේ බලේ -ගලේ කොටුව බැන්දයි තිරිකුණාමලේ යයි ජන කවියා සඳහන් කලේ මේ වික්‍රමය දැක්වීමටයි. වර්ෂ 1766 දී ලන්දේසීන් සමග කීර්ති ශ්‍රී රාජසිංහයන් ගිවිසුමක් ඇති කර ගෙන මුහුදු වෙරළේ සිට ගව්වක ප්‍රමාණයක් අත් හරින තෙක් මේ බල කොටුව උඩරට රාජධානිය සතු විය. ඉන්පසු ලන්දේසීන් ගේ යුධ මධ්‍යස්ථානයක්ව පැවත පැමිණ 1796 න් පසු මෙම බල කොටුව වැඩි දියුණු කරගත් ඉංග්‍රීසීන් නැගෙනහිර පළාතේ මර්මස්ථානය එය බවට පත් කරගත්හ. මෙම පේද්‍රික් බලකොටුවේ ඉහළ අන්තයේ පැරණි බෝධීන් වහන්සේ නිරුපද්‍රිතව පැවති අතර බෞද්ධයන් එයට වන්දනාමාන කළහ.
පරංගීන් විසින් මෙම සිද්ධස්ථානය කඩා බිඳ දමා නටබුන් මුහුදට ඇද දමා විනාශ කිරීමේ දී එහි සිටි බෞද්ධ ගණින්නාස්සේ කතෝලික ආගමට හරවා ගත් බව ක්වේරෝස් දක්වා ඇත.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සිටි නියෝජ්‍ය කොමසාරිස් වරයෙකු වූ එම්. එච්. සිරිසෝම මහතා සන්සෝනි කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් කියා සිටියේ මෙම ස්ථානයේ කිසිදු හින්දු කෝවිලක් පැවති බවට සාක්ෂි හමුනොවන බවයි. ඒ වෙනුවට ඉංග්‍රීසින් විසින් සකස් කළ පේද්‍රික් කොටුව ආසන්නයේ ළිඳක් ගොඩ දමන විට ශිව ප්‍රතිමාවක් හමු වූ ඇති බවද පසුව එය ත්‍රිකුණාමල නගරයේ හින්දු ජනතාවට භාර දුන් බවද කියා ඇත. පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව විසින් කරන ලද කැණීම් වලදී පස්වන අග්ගබෝධි රජු විසින් කරවන ලද භාවනාරාමයක නටබුන් මෙහි හමූ වී ඇති බව වාර්තා කර තිබෙන බැවින් සිරිසෝම මහතාගේ සාක්ෂියේ ප්‍රබලත්වය ඉස්මතු වෙයි.
1952 දී පමණ සිදු වූ මෙම සිදුවීම ත්‍රිකුණාමල නගර සභාවේ බලය ෆෙඩරල් පක්ෂයට හිමි වි තිබූ කාලයයි. ඔවුහු පේද්‍රික් බලකොටුව ආසන්නයේ කඳු ගැටයේ කෝවිලක් ඉඳි කොට යට කී ප්‍රතිමා දෙක එහි තැන්පත් කළහ.අනතුරුව 1964 වර්ෂයේ දී මෙහි පැවති ඉපැරණි බෝධින් වහන්සේ කෝවිල් කොමිටිය විසින් කපා දමා තිබේ. ඒ කාලයේ ත්‍රිකුණාමලයේ සිටි සිංහල බෞද්ධයන් නැවත බෝධි රෝපණයක් කරලීමට සැරසුනද ත්‍රිකුණාමලයේ හිටපු දිසාපති වරයෙක් වන එම්.බී.සේනානායක මහතා විසින් එය වළක්වා තිබේ. සන්සෝනි කොමිසමේ සාක්ෂි වලදී මේ බැව් හෙළි විය.එයට අමතරව කිලිවෙඩ්ඩි ශ්‍රී වර්ධන බෝධියද ත්‍රිකුණාමල නගරය ආශ්‍රිතව පැවති බෝගස් 12 ක්ද කපා දමා ඇත.1981 ජනවාරි මාසයේ දී හිටපු පුරාවිද්‍යා කොමසාරිස් සද්ධාමංගලකරුණාරත්න මහතා මෙම ෙඑතිහාසික පුරාවිද්‍යා භූමිය නොහොත් පේද්‍රික් කොටුව අක්කර 372 යි රූඩ් 01 යි පර්චර්ස් 3.6 වශයෙන් අංක 1381 යටතේ නිල වශයෙන් ගැසට් කර තිබේ.ඒ අනුව මෙම භූමිය දැන් පුරාවිද්‍යා රක්ෂිතයකි.මෙහි පුරාවිද්‍යා සංචාරක බංගලාවක් වත්මන් ගෝකණ්න විහාරය කෝවිල ආදියද තිබේ.
මෑතකදී මෙම ස්ථානය වැඩි දියුණු කරලීම පිණිස මධ්‍යම සංස්කෘතික අරමුදල මැදිහත්ව ඇත.පැරණි පේද්‍රික් කොටුව යළි සකස් කර සංචාරක ගමනාන්තයක් කරලීම එහි අරමුණ විය. නමුත් සංචාරකයන්ට මෙහි පහසුකම් නැත.විදෙස් සංචාරකයන් ගෙන් ඩොලර් දහයක මුදලක් අය කරන්නේ නම් ඔවුන්ට පහසුකම් තිබිය යුතුයි.එසේම සම්බන්ධන් මන්ත්‍රීවරයාට ගෝකණ්න විහාරය හිසරදයකි. ඔහු වරක් යොමු කළ ලිපියක දක්වා තිබුණේ ගෝකණ්න විහාරයේ බුදු පිළිමය දැක දැක හින්දු වන්දනා කරුවන්ට කෝනේශ්වරමට යෑම සිත රිදවන කාරණයක් බවයි.ඒ නිසා කෝනේශ්වරමට ඇතුල් වීමට වෙනත් මගක් අවශ්‍ය යැයි ඔහු කියා ඇත. මේවාට උඩ ගෙඩි දෙන වත්මන් සංස්කෘතික ඇමතිවරයා මෙහි පාලනය පුරාවිද්‍යාවෙන් ඉවත් කිරීමට උපක්‍රම යොදවන්නෙකි. මේ අතර ඉන්දියානු සංචාරකයන්ට ශාලාවක් මෙම භූමිය තුළ ඉඳි කිරීමට තොන්ඩමන් ආණ්ඩුකාරවරයා ඉල්වා ඇත. එයට පුරාවිද්‍යා අනුමැතිය හිමි වී නොමැත. එහි නවතම අවස්ථාව ත්‍රිකුණාමල නගර සභාව මෙයට මැදිහත් වීමයි. නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතා බොරලු කන්ද රජමහා විහාරය සඳහා අනුගමනය කිරීමට සැරසෙන උපාය මාර්ගය එනම් නගර සභාව මැදිහත් කරවීම මෙතනදීද අනුගමනය කරමින් ඇත.මේ වන විට නගර සභාවේ පාලනය විසින් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාට එකඟතා ගිවිසුමක් ඉදිරිපත් කර තිබේ.එහි දක්වන කාරණය අනුව පේද්‍රික් කොටුව ආසන්නයේ පවතින කටයුතු පුරාවිද්‍යාවේ අධික්ෂණය යටතේ ඔවුන් භාරයට ගැනෙනු ඇත.දැනුට ඔවුන් කසල බැහැර කිරීම කඩ බදු දීම වැනි පළාත් පාලන ක්‍රමවේද අනුගමනය කරමින් සිටියද මෙම ගිවිසුම මගින් පුරාවිද්‍යා රක්ෂිතය ද පාලනය කරමින් කෝනේශ්වර කෝවිලේ සංවර්ධන කටයුතු වලට මැදිහත් වීමට අවස්ථාව උදා කරගැනීමට මාන බලයි. දැන් මෙම එකඟතා ගිවිසුම මගින් මෙම ස්ථානය පාලනය කිරීම මෙන්ම මුලු ත්‍රිකුණාමල නගරයේ පවතින පුරාවිද්‍යා ස්ථාන පාලනය කරලීමට උත්සාහයක් පවතින බව පෙනේ. මෙහි පිටිපස තිබෙන්නේ ඉන්දීය දේශපාලනයයි.
ත්‍රිකුණාමල මුදුහුද තීරය ආශ්‍රිත ප්‍රදේශය බලශක්ති හා සංචාරක කේන්ද්‍රස්ථානයක් කරමින් ඉන්දීය දේශපාලන මැදිහත් වීමකට මුල පිරූ රනිල් වික්‍රමසිංහ ජනපතිවරයා අනියමින් බලය බෙදීමට කැස කවමින් සිටින හැටි මෙහි යථාරථයක් ලෙසට දැක්විය හැකිය.නගර සභාවේ බලතල යටතේ බෞද්ධ සිද්ධස්ථාන අටක් ත්‍රිකුණාමලයෙන් ඉවත් කිරීමට යෝජිතය.එසේම ඉවත සිංහල ජනයා ත්‍රිකුණාමලයෙන් සහ සමස්ත නැගෙනහිර පළාතෙන් ඉවත් කිරීම දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනවා ඇත.
මතුගම සෙනෙවිරුවන්