බලය ලැබුනහොත් මාලිමාව පරයා සීනුව හඞ නගාවිද ?
Posted on September 20th, 2023

වෛද්‍ය රුවන් එම් ජයතුංග

මෑතකදී ජාතික ජන බලවේගයයේ  ජාතික ලැයිස්තු මන්ත්‍රී ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය, ආචාර්‍ය හරිනි අමරසූරිය ගෙන් විශ්ව විද්‍යාල නවක වධය පිලිබඳ ඇයගේ ස්ථාවරය විමසමින් මහාචාර්‍ය හරේන්ද්‍ර සිල්වා, මහාචාර්‍ය සුජීව අමරසේන, මහාචාර්‍ය සිරි හෙට්ටිගේ, මහාචාර්‍ය හිරාන් අමරසේකර සහ පුරවැසි මාධ්‍යවේදියෙකු වන අජිත් පැරකුම් ජයසිංහ හරහා ප්‍රශ්න ඇයට යොමු කලෙමි. එහෙත් ඇය නිහඞ වූවා මිස ජවිපෙ විසින් කාලයක් පුරා විශ්ව විද්‍යාල වල පවත්වාගෙන ගිය වධය පිලිබඳ අදහස් දැක්වීම නොකලාය. (අජිත් පැරකුම් ජයසිංහ උපකල්පනය කරන පරිදි මෙම ප්‍රශ්නයට පිලිතුරක් දීමට ඇයට ජවිපෙ දේශපාලන මණ්ඩලය අවසර නොදී තිබේ). එය සත්‍යක් නම් හරිනි අමරසූරිය යනු එක්තරා ආකාරයක රූකඩයකි. ඇයට ඉහලින් ඇයව පාළනය කිරීමට අදිසි නූල් තිබේ. 

මීට සති කීපයකට උඩදී යම් ලෙසකින් මාලිමාව බලයට ආවහොත් ඔබලා ක්‍රියාත්මක කරන්නේ ජවිපෙ මතවාදයන් ද නැතහොත් නව ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ද කියා මා ජාතික ජන බලවේගයේ සිටින හිටපු ගුවන් හමුදා නිලධාරී සම්පත් තුයියකොන්ත ගෙන් ඇසුවෙමි. මුලින්ම ඔහු කියුවේ මාලිමාවේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කියවන ලෙසටය. 1977 සිට මිනිසුන් එජාපයේ / ශ්‍රීලනිප ප්‍රතිපත්ති ප්‍රකාශන නම් සුරංගනා කතා කියවා තිබේ. දේශපාලන පක්‍ෂ මහ පොලවේ කරන දේශපාලනය ප්‍රතිපත්ති ප්‍රකාශ වලට වඩා වෙනස් ය. එම නිසා මම තව දුරටත් ප්‍රතිපත්ති ප්‍රකාශන නොව ඔවුන් ගේ අනාගත භූමික ක්‍රියා මාර්ග ඇසුවෙමි. එහිදී ඔහු සාමාන්‍ය ජවිපෙ පාක්‍ෂිකයන් දේශපාලන  වශයෙන් සංවේදී ප්‍රශ්න ඇසීමේදී දක්වන කෝපය සහ අවලාද නැගීම (ෆ්ලැට් න්‍යය) මත සම්පත් තුයියකොන්ත පිලිතුරු කිසිවක් නොදී ලිස්සා ගියේය. 

හරිනිලා, සම්පත් තුයියකොන්තලා ජවිපෙ වෙත ලබා දෙන ප්‍රජාත්න්ත්‍රවාදී මුහුණුවර නරක නැත. එහෙත් එය අව්‍යාජ විය යුතුය. මීට ඉහතදී ජවිපෙ විසින් මධ්‍යම පාන්තික ජනතාව ගේ ආකර්ෂණය පක්‍ෂයට ලබා ගනු වස් ඉහල මධ්‍යම පන්තික,  බටහිර ලෝකයට විවෘත වූ ඉංග්‍රීසි භාෂනයේ හැකියාව තියන සුසිල් සිරිවර්ධන , විරාජ්  ප්‍රනාන්දු සුනිලා අබේසේකර  වැන්නවුන් එකතු කර ගත්හ. එහෙත් අවශ්‍ය කාරිය කරගත් පසු ඔවුන්ට සී.අයි.ඒ ලේබලය ගසා පක්‍ෂයෙන් නෙරපා දැමූහ. මේ නිසා අනාගතයේදී හරිනි අමරසූරියට, සම්පත් තුයියකොන්ත ඇතුළු මාලිමාවේ ප්‍රජාතන්ත්‍රවාදී කොටස් වලට සුසිල් සිරිවර්ධනට සුනිලා අබේසේකරට අත්වූ ඉරණම අත්වේද කියා සැකයක් ද තිබේ. 

රාජපක්‍ෂවාදය තුල තිබූ දූෂණය , නාස්තිය සහ සම්පත් අව භාවිතය පිලිබඳ තිබූ කළකිරීම් නිසා මිනිසුන් හට නව දේශපාලන ක්‍රමයක් අවශ්‍ය විය. වියතුන් සහ මහ ජනතාව තොරන් බැඳ කරළියට ගෙනා ගෝටා වැඩ බැරි ටාසන් කෙනෙකු වූ නිසා ජනතාව විසින් ඔහුව පළවා හරින ලදි. මේ නිසා සෑම විටම ගැලවුම්කරුවෙක් දියසේන කුමාරයෙක් අපේක්‍ෂා කරන ශ්‍රී ලාංකික ජනතාව මාලිමාව වෙත යොමු වූහ. මාලිමාවේ හරිනි අමරසූරිය / සම්පත් තුයියකොන්ත වැනි චරිත නිසා ජවිපෙ විසින් මීට ඉහතදී මුදා හරින ලද ෆැෂිස්ට්වාදය නොව ප්‍රජාතන්ත්‍රවාදය අනවතරයෙන් මාලිමාව තුල ක්‍රියාත්මක වන බව තවමත් මිනිසුන් සිතති. එහෙත් බලය ලැබුනු පසු  මාලිමාව පරයා සීනුව හඞ නගාවිද යන බිය ජනතාව තුල තිබේ. 

බලය අතේ තිබෙන විට ජවිපෙ සෑම විටම ක්‍රියාත්මක වූයේ ෆැෂිස්ට්වාදය මතය. ලාල් කාන්තලා තවමත් 88-89 කාලයේ කරන ලද ඝාතන සහ මහජන දේපළ විනාශ කිරීම් පිලිබඳව ආඩම්බරයෙන් කතා කරති. ටිල්වින් ලා තවමත් මාක්ස්වාදය මිස ප්‍රජාතාන්ත්‍රික ප්‍රායෝගික ආර්ථික දේශාපාලන ප්‍රතිපත්ති භාවිතය ගැන නොසිතති. මේ නිසා යම් ලෙසකින් මාලිමාවට බලය ලැබුනහොත් හරිනිලා / සම්පත් ලා ඉවත් කොට ජවිපෙ දැඩි මතධාරීන් කරළියට එමේ සම්භාවිතාව අවතක්සේරු කල නොහැක. ඒ අනුව ජවිපෙ විවේචකයන් ශාරීරිකව ඝාතනය කිරීම , විරුද්ධවාදීන් කඳවුරු වලට ගාල් කිරීම රතු කොමිසාර්ලා හරහා සියළු ආයතන පාළනය, ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් කප්පාදුව මෙන් පොල්පොට් ක්‍රමයක් ස්ථාපිත වේද යන බිය මිනිසුන් තුල ඇත. මේ නිසා මෙතෙක් රට පාළනය කල දේශපාලකයන් ගේ හොරකම් දූෂණය නිසා හිඟමනට වැටී සිටින මිනිසුන්ට තම පණ කෙන්ද දේශාපාලනිකව බලය ලත් ඝාතකයන් ගෙන් බේරා ගැනීමේ ක්‍රියාවලියකටද මුහුණ දීමට සිදු වේ නම් එය ශ්‍රී ලංකාව  මුහුණ දෙන තවත් ජාතික ව්‍යසනයකි. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress