බුදු සිරිපා, සුදු සිරිපා කිරීම  
Posted on October 31st, 2023

ප්‍ර සමරසිංහ

අම්මාගේ කවි සේම අප නැලවූ නැළවිලි ගී ද තැනී තිබුනේ උතුම් පැවැත්ම එහෙමත් නැත්නම් සතර බ්‍රහ්ම විහරණ ගුණ තුල පිහිටා උපන් දේශය, ජාතිය, ආගම, බස ලෙන්ගතුව රකින ඇරයුම් පිරි වදන් වලින්ය. තවද ඒ ගී තුල තිබු තුන් රුවනෙ සරණ, සිව් වරම් දෙවි ආසිරි අදටත් අප ජීවිත, අන් ජිවිත ජීවත් කරවමින් ජීවත් වන්නේය. මැදිහත් සිතෙන් ගහ කොල, ඇළ දොළ, සතා විසකුරු සර්පයා දෙස බලන්නට උගත්තේද නැළවිලි කවි ගී බල මහිමයෙන්ය. ඒ මනරම් කවි ගී ඇසී නොඇසෙන හුරතල් ළමා වියෙන් පිටමං වෙන අවදියට එන විට ’70 දශකයේ ගුවන් විදුලිය, ඒ හා යම් සමාන මුහුණුවරකින් අප හිත් පෝෂණය කරන වගකීම බාර ගත්තා කියා කීම අතිශයෝක්තියක් නොවන්නේය.

මහගම සේකර ශුරින් පද රචනය කල සිංහල බෞද්ධ උදාන ගීතයක් ඇත, එය ලියැවී ඇත්තේ 1965 වසරේදි තිරයට ආ “සාරවිට” නැමති චිත්‍රපටයටය. “මේ සිංහල අපගෙ රටයි” ගීතය ඉතාමත් ලයාන්විතය, හද තුල අභිමානය ජනිත කරවන්නේය, සොබාවික සුන්දරත්වයෙන් සපිරි පින් බිම පණ සේ රකින්නට සිත් යොමු කරවයි, සම කරුණාබර සිතැත්තන් සාමයෙන් සමඟියෙන් එකිනෙකා කෙරෙහි දයාවෙන් ජීවත් වෙන බව කියයි. ඒ හේතුවෙන් මේ ගීතය තරම් සහජීවනය ගැන කියවුනු ගීතයක් අදටත් ලියැවී නැත. ජාතියත් ආගමත් දේශයත් බසත් එකිනෙකා නොපරයා ඉවසමින් භේද භින්න නොවී දේශයේ ප්‍රගමණයට එකතු වූ තැන බිහි වෙන්නේ බ්‍රහ්ම ලෝකයක් හා සම ලෝකයක්ය.

මේ මියුරු ගීයේ අපූර්වතාවය රැදෙන්නේ එහි යොදා ඇති හැම යෙදුමකම එකිනෙකට සියුම් ලෙස ගැලපෙන හරබර අරුතකින් නිමවීමත්, එකදු වචනයක් හෝ එහෙ මෙහෙ වූ සැණින් ගීතයේ සිංහල බෞද්ධ උදානය සුනුවිසුනු වන අයුරින් වීමත් තුලය.

’70 දශකයේ අවසන් බාගය ආසන්නයේ මෙම ගීතය ගුවන් විදුලියේ තහනමකට ලක් වෙන හේතුව විකාර සහගතය. ගීතය ගැයූ ගායිකාව “මේ සිංහල අපගේ රටයි” නැවත නොගයන්ට ඉන් පසු තීරණය කර තිබුනද, ඉතා සුක්ෂමව ගීතයේ වැදගත්ම යෙදුම අකා මකා දමා තිබීම අදහා ගත නොහැකිය. අද වන විට අන්තර්ජාලයේ රිංගවා ඇත්තේ අප කුඩා කල ඇසු, අප ප්‍රිය කල ගීතය නොවේය. වෙනකක් තබා අන්තර්ජාලයේ “සාරවිට” චිත්‍රපටයේ එම ගීතය ඇතුලත් දර්ශනය තුලද එම ගී යෙදුම කිසිවෙකුටවත් නොදැනෙන සේ වෙනස් කර තිබීම නින්දා සහගතය. තාක්‍ෂනයේ ‘දියුණුව’ නොවන්නට මෙවැන්නක් සිදු නොවුනා විය හැකිය.

ගීතයේ මුල කොටසේ එන “සිංහල” යන යෙදුම සීරු මාරුවෙන් වෙනස් කරන්නට බැරි වූ තැන ගීයේ අවසන් කොටසේ ඇතුලත්ව තිබූ “බුදු සිරිපා”යන යෙදුම ‘සුදු සිරිපා’සේ වෙනස් කෙරුනේ, තාක්ෂණයේ ආනුභාවයෙන්, ඇතැම් විට ගායිකාව නොදැනුවත්ව වෙන්නට පුළුවන.

‘සුදු සිරිපා’ යන්න සිංහල බසේ යෙදෙන වෙනත් තැනක් දක්නට නැත. ශ්‍රී පතුල/ සිරිපතුල හැමවිටම යෙදුනේ/යෙදෙන්නේ අප භාග්‍යවතුන් වහන්සේගේ සිරිපතුල හා සමඟ මිස පාටක් ඉස්මතු කරන්නට නොවේය. ගීතයේ අවසන් කොටසේ දෙවන පේලියේ තිබු “බුදු සිරිපා” යන යෙදුම ඇරෙන්නට ඊට ගැලපෙන වෙනත් යෙදුමක් වුවමනා කලා නම් ඊට ගැලපෙන්නේ “මුණි සිරිපා” පමණමය. එවන් බැතිබර යෙදුමක් ඉවත් කර ‘සුදු සිරිපා’ යන්න යෙදීමෙන් පහර දී දියාරු කරන්නට වෙර දරා ඇත්තේ සිංහල බෞද්ධ අරටුවය.

සමනොළ වළලු ගිරි මුදුනේ බුදු සිරිපා සටහන් වීම, සිංහල දේශයේ සතර බ්‍රහ්ම විහරණ තුල ජීවත් වන්නවුන් සමකරුණා ගුණයෙන් යුතුව එහි වෙසෙන හැමදෙනා කෙරෙහි කුළුණුබරව මෛත්‍රී සහගතව කටයුතු කරන සිංහල බෞද්ධ උරුමයේ හර පද්ධතිය මනාව පෙන්නා දී ඇත. අප කුඩා කල ඇසු මේ සිංහල බෞද්ධ උදාන ගීය අතිප්‍රභාශ්වර වූයේ ඒ අරුතින්මය.

1965 වසරේ ලියැවුණු, මිය පරලොව ගිය මහගම සේකර ශුරින් බැතිබරව ලක්වැසියන්ට පිදු සහ ලක්වැසියන් ගෞරවයෙන් වැළඳ ගත්, මෙම අරුත්බර සිංහල බෞද්ධ උදාන ගීතයේ පණනල උදුරා විසුනු කල ‘සුදු සිරිපා’යන්න කාගේ අදහසක් වුවත් පටු අදහස් වලින් සමන්විත කිසිදු අනන්‍යතාවක් නැති අයවලුන්ගේ උදහසට පාත්‍රවී මෙසේ මිලිනවී යෑම උපදවන්නේ බලවත් ශෝකයක්ය. දිවමතුරක් වූ නැළවිලි ගී තම දුවා දරුවන්ට නොගයන මවුවරුන් බහුල ඩිජිටල් යුගයක, මෙවන් හරබර ගී හරසුන් නොකර රැක ගැනීම අප කාගේත් යුතුකමක් නොවන්නේද?

මේ සිංහල අපගෙ රටයි- අප ඉපදෙන මැරෙන රටයි

අප හද පණ ගැහෙන රටයි-මුළු ලොව ඒ රටට යටයි

අහස සිඹින ගිරි කඳුරු-පොළොව තෙමන වැව් සයුරු

මුහුද අවට බැඳි පවුරු-එරට අසිරි සිරි එයුරූ

මව්බිම වෙනුවෙන් පොරණේ-දිවි දුන් විරු දරුවන්නේ

ලේ වලිනුයි ඒ දෙරණේ-මිණි කැට මුතු කැට මැවුණේ

සමනොළ ගිරි වළළු බිමේ- බුදු සිරිපා පිපෙන හිමේ

සම කරුණා ගුණ මහිමේ-අප උපතින් ලද උරුමේ..

පද රචනය – මහගම සේකර

සංගීතය – අමරදේව

ගායනය – නන්දා මාලිනී

චිත්‍රපටිය – සාරවිට (1965)

(ගීතයේ අවසන් පේලි හතර පිළිබඳව ස අ හේවගේ මෑතකදි කල සටහනට ප්‍රණාමය.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress